May 04, 2024

ඇමැති රිෂාඩ්ට පැල සිටුවන්නැයි ජනපති දැනුම් දෙයි

විල්පත්තුවට ආසන්නයේ වූ වන විනාශය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාද සහභාගී කර ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(05) මන්නාරම, මඩුපාර, තම්පනකුලම් ප‍්‍රදේශයේ දී රුක් රෝපණ වැඩසටහනක් ආරම්භ කළේය.

ඒ අනුව විල්පත්තුව අසල කැපු ගස් වෙනුවට අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා ලවා නැවතත් ගස් සිටුවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

විල්පත්තු රක්ෂිත වනාන්තරය ආශ්‍රිත ප්‍රදේශයක් වන මන්නාරම, මඩුපාර, තම්පනකුලම් ප‍්‍රදේශයේ දී අද 2018 ජාතික රුක් රෝපණ වැඩසටහනේ සමාරම්භය පැවැත්වුණේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙනි.

කිසිදු බල දේශපාලන, ජනවර්ග, ආගම් වශයෙන් බෙදීමකින් තොරව පරිසරය රැකගැනීමට පෙරමුණ ගැනීමට පැමිණිය යුතු බවත් විල්පත්තුවේ කැපූ ගස් වෙනුවෙන් පැල ලක්ෂයක් සිටුවා වරද නිවැරදි කරගන්නැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා රිෂාඩ් ඇමැතිවරයාගේ මූණටම කියා ඇතැයිද වාර්තා වේ.

එම පැල සිටුවීම පමණක් නොව එය රැක බලා ගනිමින් ආරක්ෂා කිරීමේ වගකීමත්, විල්පත්තුවේ කැපූ ගස් ප්‍රමාණයට වඩා දෙගුණයක් පැල සිටුවීමටත් ජනාධිපතිවරයා රිෂාඩ් ඇමැතිවරයාට දන්වා තිබේ.

මිනිසාගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන පරිසරය දරුවෙකු සේ රැක ගැනීමේ වැදගත්කම අවධාරණය කර ඇති ජනාධිපතිවරයා පරිසරය විනාශ කර දැමීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බව ද එහිදී රිෂාඩ් ඇමැතිවරයාට අවධාරණය කර ඇත.

යම් දිස්ති‍්‍රක්කයක සිදුවන පරිසර විනාශය පිළිබඳ එම දිස්ති‍්‍රක්කයේ සියලු රාජ්‍ය නිලධාරින් වගකිවයුතු බව ද මෙහි දී අවධාරණය කළ ජනාධිපතිවරයා නීතිය කි‍්‍රයාත්මක කිරීමේදී යම් දේශපාලන බලපෑමක් සිදුවන්නේ නම් තමා දැනුවත් කරන ලෙස ද එම සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේ ය.

රාජ්‍ය අනුග‍්‍රහය සහිතව දීප ව්‍යාප්ත මට්ටමින් පුළුල් පරිසර සංරක්ෂණ වැඩසටහනක් දියත් කිරීමේ කාලීන අවශ්‍යතාව පෙරදැරි කර ගනිමින් ජනාධිපතිතුමාගේ මඟපෙන්වීමට අනුව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් කි‍්‍රයාවට නංවන ලද පුනරුදය ජාතික පරිසර සංරක්ෂණ වැඩසටහන යටතේ වනරෝපා ජාතික වැඩසටහන කි‍්‍රයාත්මක කෙරේ.

ශ‍්‍රී ලංකාවේ වන ආවරණය 32‍% ක් දක්වා ඉහළ නංවා ගැනීම හා දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කිරීම සහ නීල හරිත යුගයක් කරා රට ගෙන යාම මෙහි අරමුණයි.

ජන සහභාගිත්වය හා ආයතනික දායකත්වය මගින් මෙම වැඩසටහන අපේක්ෂිත ඉලක්ක කරා ළගාවීම දිරි ගන්වමින් ඔක්තෝබර් මාසය ජාතික රුක් රෝපණ මාසය ලෙස නම් කොට ඇත.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2018 වනරෝපා ජාතික වැඩසටහනට සමගාමීව දිවයින පුරා විවිධ ස්ථානවල පැළ මිලියන 2 කට ආසන්න ප‍්‍රමාණයක් බෙදාදීමට ද කටයුතු යොදා තිබේ.

කොහොඹ පැළයක් රෝපණය කරමින් 2018 වනරෝපා ජාතික වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

Rate this item
(0 votes)