May 03, 2024

පොහොට්ටුවේ ජනපති සටනට බැසිල් පණ පොවයි! මෙහෙයුම සැලසුමටත් අතගසයි

September 28, 2018

මාස දෙකකට ආසන්න විදෙස් සංචාරයකින් පසුව පසුගිය 25 වනදා යළි දිවයිනට පැමිණි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු සඳහා මුලපුරා ඇතැයි වාර්තාවේ.

ඒ සඳහා ක්‍රමෝපායික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග සඳහන් කළේය.

පසුගිය මැතිවරණ සියල්ලෙහි ප්‍රතිඵල පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් සිදු කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය සම්බන්ධව බැසිල් රාජපක්ෂ මහතා විද්‍යාත්මකව පුරෝකථනයක් සිදුකර ඇතැයිද වාර්තා වේ.

ජනාධිපතිවරණ මෙහෙයුම සැලසුම් කිරීමේදී තවත් විශේෂිත මූලෝපායන් රැසක් ඔස්සේ අවධානය යොමුකළ යුතුයැයිද, උතුරු පළාතේ යාපනය, වන්නි සහ කිළිනොච්චි දිස්ත්‍රික්කවලද, නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලද ඡන්ද පදනම පුළුල් කර ගැනීමේ නව වැඩපිළිවෙළක් සකස් කළ යුතුයැයිද බැසිල් රාජපක්‍ෂ මහතා පොදුජන පෙරමුණේ නායකයන්ට පෙන්වා දී තිබේ.

ඒ සඳහා ලබන මස මුලදී එම දිස්ත්‍රික්ක වෙත ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්ය සාධක බළකායක් මුදාහැරීමට නියමිතව ඇතැයි ද කුලුඳුල් ඡන්ද දායකයන් අතරින් බහුතරය ඉදිරි ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණ වෙත දිනා ගැනීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළ සාර්ථක ප්‍රතිඵල අත්කර දෙමින් අවසන් අදියරට පැමිණ ඇතැයිද එම ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය පැවැත්වීම සඳහා දීප ව්‍යාප්තව ග්‍රාමසේවා වසම් මට්ටමින් ස්ථාපිත පක්‍ෂ ශාඛා ජාලය ලියාපදිංචි කිරීමේ කටයුතු කඩිනම් කර තිබෙන බවත්, ඒ අනුව ජාතික මහා සම්මේලනය මෙම වසර අවසානයේදී පැවැත්වීමට නියමිත බවත් වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 01 October 2018 15:10