May 03, 2024

කරළියෙන් එහා: 20 නිසා ඒකාබද්ධයේ ලොකු බෙදීමක් - ජනපති මෛත්‍රීගේ පැමිණිල්ලට සුජීවගෙන් දොස්මුරයක්

September 28, 2018

පසුගිය සතියේ දේශපාලන කරළිය උණුසුම් වූයේ මෛත්‍රී - ගෝඨා සහ මහින්ද - මෛත්‍රී ඝාතන කුමන්ත්‍රණයක් ගැන හෙළිදරව් කිරීමත් සමඟය. මේ හේතුවෙන් ජනාධිපතිවරයාගේ සහ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව පිළිබඳ විවිධ මත පළ කෙරිණි. මේ අතර තවත් සුවිශේෂ අවධානයක් යොමුව තිබුණේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගීවීමට නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ ප්‍රකාශය දෙසය. එම විශේෂ දේශනය ගැන මෙරට පමණක් නොව ජාත්‍යන්තර නායකයින්ගේද දැඩි අවධානයක් යොමුව තිබිණි. මේ කාරණා ගැන පසුගිය සතියේ ප්‍රධාන මාතෘකා බවට පත්ව තිබිණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉකුත් දා නිව්යෝක් නුවර බලා පිටත්ව ගියේය. එක්සත් ජාතීන්ගේ 73 වැනි සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ ඇමැතිවරුන් වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න සහ මනෝ ගනේෂන් ඇතුළු පිරිසක්ද සහභාගී වී සිටිති. එහිදී රාජ්‍ය නායකයින්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවූ අතර ජනාධිපතිවරයා සිදුකළ දේශනය ගැන ප්‍රසංශා කර තිබිණි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයේ ප‍්‍රධාන සැසිය අමතමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ අපගේ ආරක්ෂක හමුදාවන් විසින් පරාජය කරනු ලැබුවේ ලොව ප‍්‍රබල ත‍්‍රස්ත සංවිධානයක් වන අතර අද ශ‍්‍රී ලංකාව නොබෙඳුන රටක් බවට පත්ව ඇත්තේ විරෝධාර රණවිරුවන් ඉටුකළ එම යුග මෙහෙවර නිසා බව කියා සිටි ජනාධිපතිවරයා රටේ ඒකීයභාවය සුරැකීම වෙනුවෙන් ආරක්ෂක හමුදාව සිදු කළ එම කැපවීම සැමදා ගෞරවයෙන් සිහිපත් කරන බව ද සඳහන් කළේය. එමෙන්ම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඉදිරියේ ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ රටක ස්වාධීනත්වය ඉතා වැදගත් බවයි. එබැවින් එම ස්වාධීනත්වය ආරක්ෂා කරමින් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය ලබා දෙන්නැයි ද සියලුදෙනාගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා දීර්ඝ කාලීන යුද්ධයක අභාග්‍ය සම්පන්න අත්දැකීම් හමුවේ දැනුණු අමිහිරි වේදනාවන් ඇත්තේ වෙනත් අයට නොව ශ‍්‍රී ලාංකීය ජනතාවට බවත් එබැවින් රටේ ප‍්‍රශ්න විසදා ගැනීමට රටට ඉඩදෙන්නැයි ද සියලුදෙනාගෙන් තමා ඉල්ලන බවත් ප‍්‍රකාශ කළේය.

එමෙන්ම මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් විසදාගැනීමට රජය ගෙන යන වැඩපිළිවෙළ ඉතාමත් වැදගත් බව සඳහන් කළ ජනාධිපතිවරයා කිසිදු විදේශ බලපෑමක් හෝ තර්ජනයක් ස්වාධීන රටක් ලෙස ශ‍්‍රී ලංකාවට අවශ්‍ය නොවන බව ද කියා සිටියේය. මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ අද තිබෙන්නේ මීට වසර තුන හමාරකට පෙර තිබූ ශ‍්‍රී ලංකාව නොව ඊට වඩා වෙනස් වූ මානවවාදී සහ පරිපූර්ණ සමාජයක් සහිත ශී‍්‍ර ලංකාවක් බවයි.

ජනපති මෛත්‍රී නැවතී සිටි හෝටලයට ඇමරිකා උප ජනපති එයි

හා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නවාතැන් ගෙන සිටින හෝටලයට දැඩි ආරක්ෂාවක් යොදවා තිබිණි. මේ අතර තවත් සුවිශේෂ කාරණයක් වූයේ පසුගිය 26 වනදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නවාතැන් ගෙන සිටි එම හෝටලයට හදිසියේම ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් මහතා (Mike Pence) පැමිණ තිබීමයි. කෙසේ වෙතත් ඇමරිකානු උප ජනාධිපතිවරයා එලෙස හදිසියේ එම හෝටලයට පැමිණියේ කුමණ කාරණයකටද යන්න තවම තොරතුරු හෙළිවී නොමැත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද රැදී සිටි එම හෝටලයට පැමිණි ඇමරිකානු උප ජනාධිපතිවරයා හදිසි සාකච්ඡාවක් පවත්වා ඇතැයිද යන්න තවම කරුණු වාර්තා වී නැත. නිව්යෝර්ක් නුවර පොලිස් දෙපාර්තමේන්තුව විසින් ජනාධිපතිවරයා රැඳි සිටි එම හෝටලයට සහ අවට ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ අතර එම හෝටලයට පැමිණෙන සියලු දෙනාද දැඩි පරික්ෂාවට ලක් කර තිබේ. මේ අතර එම හෝටලයට ඇතුල්වීමට මාධ්‍යවේදීන්ට හෝ කිසිවෙකුටත් අවස්ථාවක් ලැබී නොමැත.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගි වන සියලු රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් මහතා විසින් පිරිනමන ලද විශේෂ රාතී‍්‍ර භෝජන සංග‍්‍රහය සැසිවාරයට සමගාමීව නිව්යොර්ක් පැලස්හි දී සංවිධානය කර තිබිණි. එම රාතී‍්‍ර භෝජන සංග‍්‍රහය සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට ද විශේෂ ඇරයුම් ලැබුණු අතර එහි දී ඇමරිකා ජනාධිපතිවරයා සහ එම මැතිනිය විසින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ එම මැතිනිය ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී. අනතුරුව ජනාධිපතිවරු සිය ආර්යාවන් සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

ප්‍රභූ ඝාතන කතා දේශපාලන උප්පරවැට්ටියක්?

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ කතාවක් මුලින්ම කරළියට පැමිණ තිබිණි. එහි ආන්දෝලනය මැකී යන්නටත් ප්‍රථම තවත් ප්‍රභූ ඝාතන කිහිපයක් ගැන කතාබහට ලක්වූ අතර ඒ සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය සහ සමාජ වෙබ් අඩවි හරහා විවිධ ආකාරයට ආරංචි පැතිර යන්නට පටන් ගත්තේය. ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳව තොරතුරු කීවේ නාමල් කුමාර නමැත්තාගේ නිවසේ සිටියදී අත්අඩංගුවට පත්ව සිටින ඉන්දියානු ජාතිකයාය. ඔහු කියා ඇත්තේ මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ සහ තවත් කිහිප දෙනෙකු සම්බන්ධයෙන්ද ජීවිත තර්ජනයක් ඇති බවකි. ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් කියැවුණේ අත්අඩංගුවට පත් ඉන්දියානු ජාතිකයා රහස් ඔත්තු සේවා නිලධාරියකු බවට සැක කළ හැකි බවකි. වීසා කාලය පවා නිමවී නීති විරෝධී ලෙස රැඳී සිටින බව කියන එම ඉන්දියානුවා සම්බන්ධයෙන් ඉහළම පෙළේ දේශපාලනඥයකුගේ නියමයෙන් විශේෂ රහස් පරීක්ෂණයක් පැවැත්වෙන බවද දැනගන්නට තිබේ. ප්‍රභූ ඝාතන සැලැස්ම පිළිබඳ කතාවට ආණ්ඩුවේ ආරක්ෂක අංශ හෝ ඉහළම නායකයන් හෝ මුලදී එතරම් උනන්දුවක් සැලකිල්ලක් දැක්වූයේ නැත. ඒ හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂයට ඔවුන්ගේ මාතෘකාව තව තවත් ඉදිරියට ගෙන යාමට අවස්ථාවක් ලැබිණි. මේ ගැන ඒකාබද්ධ විපක්ෂනායකයෝ විවිධ අදහස් පළ කර තිබිණි. උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පැවසූවේ “මේ තරම් භයානක කතාවක් එළියට ඇවිත් රටේ ජනාධිපතිවරයාත් හිටපු ආරක්ෂක ලේකම්වරයාත් ඝාතනය කිරීමේ සැලසුමක් ගැන කියැවෙද්දීත් සැකකරුවන් අත්අඩංගුවට ගන්නවත් ආණ්ඩුවට උවමනාවක් නැහැ. අනිත් අතට මේ සැලසුමේ මහ මොළකරුවා ආණ්ඩුවේම කෙනකුදැයි කියලත් සැක හිතන්න වෙනවා.” කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ විවේචන සම්බන්ධයෙන් හෝ ප්‍රභූ ඝාතන සැලැස්ම පිළිබඳ කතාව සම්බන්ධයෙන් හෝ ජනාධිපතිවරයාවත් අගමැතිවරයාවත් කිසිදු ප්‍රකාශයක් නොකිරීමද විශේෂත්වයකි. පොලිසිය භාර ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර පසුගිය දා ඒ පිළිබඳව හිතවතුන් පිරිසක් සමග අදහස් දක්වා තිබිණි. “මේ කතාව හිතලුවක්. දැනට සිදු කරන පරීක්ෂණවලට අනුව මෙවැනි සැලසුමක් තිබුණ බවට සනාථ වන බවක් පේන්න නැහැ. මේක දේශපාලන උප්පරවැට්ටියක් වෙන්නත් පුළුවන්. අනික් අතට අත්අඩංගුවට ගත්ත ඉන්දියන්කාරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියලා තියෙන්නේ එයා හිතන දෙයක්. ඒ නැතිව ඇත්ත දෙයක් නෙවෙයි. හීනෙන් බයවෙලා වගේ තමයි මිනිහා කට උත්තර දීලා තියෙන්නේ. එයාට හිතෙනවලු මේ මේ අයට ජීවිත තර්ජන තියෙනවාය කියලා. ඒක එයාට හිතෙන දෙයක්” යැයි රංජිත් මද්දුම බණ්ඩාර ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මේ අතර අත්අඩංගුවට ගත් ඉන්දියානු ජාතිකයා පිළිබඳව ජනමාධ්‍ය වාර්තා පළවීමත් සමග ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයද කලබලයට පත්ව තිබූ අතර කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නවදිල්ලි නුවර විදේශ අමාත්‍යාංශයේද සහාය ඇතිව ඔහු පිළිබඳව සොයා බැලීට කටයුතු කර ඇත. පසුව මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයකු සඳහන් කළේ අත්අඩංගුවට පත් ඉන්දියානු ජාතිකයා කිසියම් මානසික ආබාධයකින් පෙළෙන්නෙකු බවය. ඔහු 2000 වසරේදී අනතුරකට පත්ව ශල්‍යකර්මයකට ලක්කළ පුද්ගලයකු බවද එතැන් පටන් ඔහු මානසික ආබාධයකින් පෙළෙන බවද ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පසුගියදා මාධ්‍යයට දැනුම් දුන්නේය.

ඩොලර් උල්පත් විකුණාදාපු මහින්ද කියනවා රට ආපහු දෙන්න කියලා

මේ දිනවල දේශපාලන වේදිකාවේ ප‍්‍රධාන මාතෘකාව වී තිබෙන්නේ රුපියල කඩාවැටීම පිළිබඳවයි. රටේ ආර්ථික අර්බුදයේ ගැඹුර කොතෙක්දැයි රුපියල කඩාවැටීමෙන් පෙන්නුම්කරමින් තිබේ. ජවිපෙ නායක අනුර දිසානායක මේ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂත්, රනිල් වික‍්‍රමසිංහත්, මුදල් අමාත්‍ය මංගල සමරවීරත් කරන ප‍්‍රකාශවල පිළිතුරු ලබාදුන්නේ මේ දිනවල ජාතික විද්වත් සංවිධානය මගින් රටපුරා පවත්වමින් යන දිස්ත‍්‍රික් සමුළු මාලාවට ආරාධිත දේශකයෙකු ලෙස සහභාගි වෙමිනි. කළුතර දිස්ත‍්‍රික්කයේ පැවැති සමුළුවේදී අනුර දිසානායක මන්ත‍්‍රීවරයා රුපියල කඩාවැටීම පිළිබඳ දීර්ඝ පැහැදිළි කිරීමක් කළේය. ”අපේ රටේ ආනයන අපනයන පරතරය 100%ක්. අපේ රටට සියල්ල ආනයනය කරන්න සිදුවෙලා. නිෂ්පාදන ආර්ථිකය බිඳවට්ටලා. අපනයනවලින් ලැබෙන ආදායම අවම වෙලා. ඒ විතරක් නෙවෙයි අපි ලෝක වෙළෙඳ පොලේ අත්කරගෙන තිබෙන පංගුව මේ වනවිට 0.0045% දක්වා අඩුවෙලා. රට පාලනය කරපු පාලකයින් ලෝක වෙළෙඳ පොළේ සැලකිය යුතු පංගුවක් අත්කරගන්න කටයුතු කළේ නැහැ. ඒ විතරක් නෙවෙයි ලංකාවේ ඩොලර් උල්පත් පිට රට සමාගම්වලට විකුණලා දැම්මා. කොළඹ වරායේ ජැටිය, තෙල් ටැංකි, හම්බන්තොට ඉඩම් පිටරට සමාගම්වලට දීලා අපේ රටේ ඩොලර් උල්පත් අහිමි කරපු මහින්ද දැන් කියනවා ආපහු රට දෙන්නලූ. ඒ වුනාට රුපියල ගැන ඇහුව්වාම වටපිට බලනවා. කබ්රාල් කියන එක තමයි මුමුණන්නේ මොන නායකයොද මේ. ඒ විතරක් නෙවෙයි රුපියල කඩාවැටීමට බලපෑවේ මහින්ද ගත්ත ණය කියලා කියන ගමන් රනිල් තව තවත් ණය ගන්නවා. වෙන උත්තරයක් මේ පාලකයින්ට නෑ. මංගල කියනවා රුපියල කඩාවැටුණට ආර්ථිකය කඩාවැටිලා නෑ කියලා. නොදන්න ආර්ථික විද්‍යාව ගැන කතා නොකර ඉන්න කියලා මංගලට කියනවා. මුදල් ඇමතිකම නෙවෙයි ගිහින් වෙන රස්සායක් කරන්න කියලා එයාට අපි කියනවා. මොකද රටේ ආර්ථික අර්බුදයේ ප‍්‍රකාශනය තමයි රුපියල කඩාවැටීම. දැන් මේකට කෙටිකාලීන වගේම දීර්ඝකාලීන විසඳුමක් ඕනෑ. නැත්නම් දෙසැම්බර් වන විට ඩොලරය වෙනුවෙන් රුපියල් 200කට ආසන්න ප‍්‍රමාණයක් අපිට ගෙවන්න සිදුවෙන බව ආර්ථික විශේෂඥයෝ කියනවා.” අනුර දිසානායක කියා සිටියේය.

ජාතික විද්වත් සංවිධානය විසින් මේ දිනවල රට පුරා පවත්වමින් තිබෙන දිස්ත‍්‍රික් සමුළු මාලාවට රටපුරා සිටින විද්වතුන්, වෘත්තිකයින්, ආගමික නායකයින් අත්වැල් බැඳගනිමින් සිටියි. රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ කළ සමුළු මාලාව මේ වනවිට කළුතර, මොණරාගල දිස්ත‍්‍රික්කවලදී පැවැති අතර ඉදිරි සති කිහිපය තුළදී අනෙකුත් දිස්ත‍්‍රික්කවලදී පැවැත්වීමට නියමිතය. මෙම සමුළු මාලාවට ජාතික විද්වත් සංවිධානයේ ආරාධනයෙන් ජවිපෙ නායක අනුර දිසානායක මහතාද සහභාගි වේ. රත්නපුර පැවැති දිස්ත‍්‍රික් සමුළුවට විශේෂ ආරාධිතයා ලෙස වැඩම කළේ සියම්මහනිකායේ, මල්වතු පාර්ශ්වයේ සබරගමු පළාතේ ප‍්‍රධාන සංඝනායක, රාජකීය පණ්ඩිත, ශාස්ත‍්‍රපති කෑලිගම විජිතනන්ද නායක ස්වාමින්වහන්සේය. ”මම 1970 ඉඳලා දේශපාලන පක්ෂ සමඟ කිසිදු ළඟ සම්බන්ධයක් තිබුණේ නැහැ. සෑම කෙනෙක් සමඟම මැදිහත්ව ආශ‍්‍රිය කරන්න ඕන නිසාත් දේශපාලකයින් අඳුනාගැනීමෙන් පස්සේ එක එක වැඩ කරලා දෙන්න කියලා ජනතාව කියන නිසාත් මම දේශපාලන පක්ෂවලින් ඈත්වෙලා හිටියා. නමුත් මේ අලූත් වැඩසටහනට විද්වතුන්, දැන් උගත් පිරිසක් එකතු වෙලා ඉන්න නිසා ඒකෙන් රටේ ගමනට පිටිවහලක් වෙයි කියලා මම විශ්වාස කරපු නිසා මම මෙතුන්ලාගේ ආරාධනාව පිළිගත්තා. අපේ රට සුදු අධිරාජ්‍යවාදීන්ගේ පාලන කාලයට වඩා දැන් පිරිහෙමින් තිබෙනවා. අපේ දක්ෂතා නැතිවෙලා ගිහින්. තමන් හදපු වඩපු අම්මට තාත්තට පිහියෙන් අනින දරුවන් අද බිහිවෙලා. මිනිසාගේ අධ්‍යාත්මයත් බාහිරයත් සංවර්ධනය කිරීම තමයි රටක සංවර්ධනය කියලා කියන්නේ.” නායක ස්වාමින් වහන්සේ අනුශාසනාවක්ද සිදුකළේය.

ජවිපෙ සහ සාධාරණ සාමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය 20ගැන සාකච්ඡාවක්

ජනතා විමුක්ති පෙරමුණ විසින් පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේ වන විට විවිධ පාර්ශ්ව සමඟ සාකච්ඡා ආරම්භ කර තිබේ. මේ වනවිට කොමියුනිස්ට් පක්ෂය සමඟ 20වැනි සංශෝධනය සම්බන්යෙන් පැවැති සාකච්ඡා සාර්ථක වී තිබේ. පසුගිය සතියේ ජවිපෙ නායක අනුර දිසානායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් සාධාරණ සාමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නායකයින් හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡුා පැවැත්වීය. ”සෝභිත නායක හාමුදුරුවන්ගේ ප‍්‍රධාන සටන්පාඨයක් වුනේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැනයි. උන්වහන්සේ වසර ගණනක් තිස්සේ ඒ වෙනුවෙන් සටන් කළා. මේ සංවිධානය හැදුවෙත් ඒ සඳහා. අපි කරන්න ඕන දෙයක් ඔබතුමාලා මේ කරන්නේ. ඒ ගැන ඔබතුමාලට ස්තූතිවන්ත වෙනවා. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් එන යෝජනාවකට අපි සහය දෙනවා. මේ සම්බන්ධයෙන් අපි ජනතාව දැනුවත් කරන වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න කැමතියි.” සාධාරණ සාමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නායකයෝ ජවිපෙ නායකයින්ට දැනුම් දුන්හ. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මූලික ඉල්ලීමක් වූ එම කරුණ ඉටු කිරීමට කටයුතු කරන ඕනෑම පාර්ශ්වයක් සමඟ තම ව්‍යාපාරය එකඟ වන බව එහි ප‍්‍රධාන ලේකම් පාලිත ලිහිණිය කුමාර මහතා රාජගිරියේදී පසුගිය 26වැනිදා පැවැති මාධ්‍ය හමුවේදී සිය සංවිධානයේ මතය රටට ප‍්‍රකාශ කළේය.

ජවිපෙ නායකයා ඉන්දියා යයි

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක ඉන්දියාවේ වෙසෙනෙ ශ‍්‍රී ලාංකිකයින් පිරිසකගේ ආරාධනයකට අනුව එහි පැවැත්වෙන විශේෂ සම්මන්ත‍්‍රණයක් සඳහා සහභාගවීමට ඉන්දියාවට යෑමට නියමිතය. සැප්.30 පස්වරුවේ දිල්ලියේදී පැවැත්වෙන එම සම්මන්ත‍්‍රණය විද්වතුන් සහ වෘත්තිකයින් පිරිසක් විසින් සංවිධානය කර තිබේ. මෙම සංචාරය අතරතුරදී ඉන්දියාවේ මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂයේ නායකයින් සහා ඕල් ඉන්ඩියා ෆෝවර්ඞ් බ්ලොක්හි නායකයින් හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටද ජවිපෙ නායකයා බලාපොරොත්තු වෙයි.

ජවිපෙ මන්ත‍්‍රීවරයෙක් පළමුවරට මාලදිවයිනට යයි

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී, එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මාලදිවයිනේ පැවැත්වෙන දින තුනක වැඩසටහනක් සඳහා සහභාගිවීමට පසුගිය 27වෙනිදා දිවයිනෙන් පිටත්විය. මාලදිවයිනේ රැකියා කරන ශ‍්‍රී ලාංකිකයින් පිරිසකගේ විශේෂ ආරාධනයකට අනුව එතෙර අපි සංවිධානයේ ශාඛාවක් ගොඩනැගීම සඳහා මෙසේ මන්ත‍්‍රීවරයා මාලදිවයිනට ගොස් තිබේ. මෙම සංචාරය අතරතුර ශ‍්‍රී ලංකාවේ මාලදිවයින තානාපතිවරයා හමුවී සාකච්ඡුාවක් පැවැත්වීමටත් එරට සංචාරක ක්‍ෂෙත‍්‍රයේ සේවය කරන ශ‍්‍රී ලාංකිකයින් හමුවීමටත් ඊට අමතරව අනෙකුත් ක්‍ෂේත‍්‍රයන්හි සේවය කරන වෘත්තිකයින් හමුවූ ඔවුන් මුහුණ දෙන ගැටලූ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් මන්ත‍්‍රීවරයා බලාපොරොත්තු වෙයි.

සජිත් පැදවූ වාහනයට රනිල් ගොඩවෙයි

සජිත් ප්‍රේමදාසගේ ගම්උදා වැඩසටහන යටතේ ඉදිකළ ඩී.එස්. සේනානායක ගම්මානය විවෘත කිරීම පසුගිය දා හම්බන්තොටදී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිතයා වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහය. අගමැතිවරයා ඇමැති සජිත් ප්‍රේමදාස සමඟ ඉතා සුහදව කතා බස් කරමින් නිවාස පරීක්ෂා කළේය. සජිත් ප්‍රේමදාස එහිදී අගමැතිවරයාට විශේෂ ආරාධනාවක් කළේය. ඒ තමන්ගේ රථයට නගින ලෙසය. රියැදුරාද ඉවත්කළ සජිත් සිය මෝටර් රථයේ රියැදුරු අසුනට නැග්ගේය. සිදුවූයේ අගමැතිවරයාවත් නොසිතු දෙයකි. එහෙත් අගමැතිවරයා දෙවරක් නොසිතාම සජිත්ගේ රථයෙන් නව ගම්මානයේ නිවාස දැකබලා ගැනීමට ගියේය. මේ අතර එම ගම්මානය විවෘත කිරීමේ උත්සවය නිමවී සතුටු සාමීචියේ යෙදී සිටින අතරවාරයේ අගමැතිවරයා සජිත් හා ගයන්ත ගැන හොඳක් කීවේය. “නිවාස ඇමැතියි ඉඩම් ඇමැතියි දෙන්නම හොඳට වැඩකරනවා. දෙන්නම වැඩක් දුන්නොත් ඒක හරියටම කරනවා. පාර්ලිමේන්තුවේ වැඩ ටික ගයන්ත හොඳට කරන නිසා තමයි මම ඉඩම් ඇමැතිකමත් දුන්නේ. සජිත් ප්‍රේමදාසත් එහෙමයි.” අගමැතිවරයාගේ ප්‍රශංසාවට සජිත් සහ ගයන්ත සිනාසෙමින් සතුට පළ කළහ.

20 නිසා ඒකාබද්ධයේ බෙදීමක්

ඒකාබද්ධ විපක්ෂය මුල සිටම විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය දැක්විය. මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ, ජී.එල්. පීරිස් සහ උදය ගම්මන්පිල ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් විසිවන සංශෝධනය පට්ට පතුරු ගසන තත්ත්වයක් තුළ කොමියුනිස්ට් පක්ෂයේ නායකයන් විසිවන සංශෝධනයට පක්ෂවීම විශේෂත්වයක් වී තිබේ. විශේෂයෙන් විසිවන සංශෝධනය පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකට ලක් කළ හොත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හැත්තෑ දෙනාගෙන් තවත් ඡන්දයක් අහිමිවීම නතර කළ නොහැකියි.

මෛත්‍රීගේ පැමිණිල්ලට සුජීවගෙන් දොස්

එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් පසුගිය දා සිරිකොත එජාප මූලස්ථානයේදී පැවැත්විණි. එහිදී රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ ජනාධිපතිවරයා පිළිබඳව පක්ෂයට පැමිණිල්ලක් කළේය. “ජනාධිපතිතුමා වගක් විභාගයක් නැතිව කටයුතු කරනවා. අපට විරුද්ධව විදේශ රටකින් ආපු පැමිණිල්ලක් එකපාරටම අල්ලස් කොමිසමට දීලා. එහෙම කරන්නේ කොහොමද? මේවා ඇත්තද කියලා මූලික වශයෙන් හරි සොයා බලලයි තීන්දු ගන්න ඕනේ” යැයි සුජීව තරමක් ආවේගශීලී ලෙස කීවේය. සුජීවගේ කතාවට පසුබිමක් තිබේ. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැතිවරයාටත් රාජ්‍ය ඇමැතිවරයාටත් සහ ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලයේ නිලධාරීන්ටන් එරෙහිව විදේශ ව්‍යාපාරිකයකුගෙන් ජනාධිපති කාර්යාලයට පසුගිය දා පැමිණිල්ලක් ලැබී තිබිණි. ඉන් කියැවුණේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් වෙනුවෙන් ඇමැතිවරයා, රාජ්‍ය ඇමැතිවරයා සහ නිලධාරීන් අල්ලස් ඉල්ලන ලදැයි කියන කතාවකි. ජනාධිපති කාර්යාලයට ලැබුණ පැමිණිල්ල ජනාධිපතිවරයා විගසකින්ම අල්ලස් කොමිසමට යොමුකර ඇතැයි සුජීව සේනසිංහ කියන්නේය. සුජීවට කේන්ති ගොස් ඇත්තේ ඒකටය. අසත්‍ය පැමිණිල්ලකට ජනාධිපතිවරයා ක්‍රියාත්මකවී ඇතැයි කියමින් සුජීව එක්සත් ජාතික පක්ෂයට පැමිණිල්ලක් කළේය. අගමැති රනිල් වික්‍රමසිංහ හෝ එජාප ජ්‍යෙෂ්ඨයන් හෝ සුජීවගේ කතාවට ඇහුම්කන් දුන්නා මිස කිසිවක් කීවේ නැත.

පළාත් සභා මැතිවරණයට අදාළ සීමා නිර්ණය සමාලෝචන කමිටු වාර්තාව තවත් මාස දෙකකින් කල්යෑම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ මෙන්ම මැතිවරණ කොමිෂන් සභාවද කලබලයට පත්ව තිබේ. “අගමැතිතුමාගේ කමිටුව පත් කළේ මාස දෙකකින් වාර්තාව සකස් කරන්න. ඒක කතානායකවරයාට ලියුමක් ලියලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කැබිනට් මණ්ඩලයට අනුමත කර ගන්න පුළුවන් දෙයකුත් නෙමෙයි. මේක නීතියක්. 2017 අංක 17 දරන පළාත් සභා සංශෝධන පනතට අනුව මේ වගේ කමිටුවකට දෙන්නේ මාස දෙකයි. තවත් කල් දාන්න බැහැ. එහෙම නම් පනත සංශෝධනය කරන්න වෙනවා” යැයි මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් ජනමාධ්‍යවේදීන් සමඟ ප්‍රකාශ කළේය. මේ අතර විපක්ෂයේ දේශපාලන පක්ෂ අගමැතිවරයාගේ කමිටුවේ ඉල්ලීමට විරෝධය දක්වයි. “ආණ්ඩුවට අවශ්‍ය ඡන්දය කල්දාන්න. එහෙම වුනොත් අපට කරන්න දෙයක් නැහැ. කරන්න පුළුවන් එකම දෙය තමයි මැතිවරණ කොමිසමට තීරණයක් ගන්න එක” යැයි ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනඥයෝ කියති.

මැතිවරණ කල් දැමීමට එරෙහිව මැතිවරණ කොමිසම තීන්දුවක් ගැනීමට සැරසෙයි

මේ අතර ආණ්ඩුව නියෝජනය කරන සුළු දේශපාලන පක්ෂ තදබල ලෙසම නව මැතිවරණ ක්‍රමය ප්‍රතික්ෂේප කරමින් සිටී. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, කඳුරට ජනතා පෙරමුණේ නායක පලනි දිගම්බරන්, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිෂාඞ් බදියුදීන් ආදී ආණ්ඩුවේ පක්ෂ තවදුරටත් නව මැතිවරණ ක්‍රමය ප්‍රතික්ෂේප කරමින් සිටිති. මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ පවතින තත්ත්වය ආණ්ඩුවේ මැතිවරණ කල්දැමීමේ ක්‍රියාමාර්ගයකට ප්‍රතිචාර දැක්වීම සඳහා යම් තීන්දුවක් ගැනීමට කොමිෂන් සභාව අපේක්ෂා කරන බවයි. මැතිවරණ කොමිෂන් සභාව රැස්වී ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවය. මැතිවරණ කොමිෂන් සභාවට පැවරී තිබෙන නීතියට ප්‍රතිපාදන උපයෝගී කරගෙන පැරැණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීමේ හැකියාව ඇද්දැයි කොමිෂන් සභාව සොයා බලන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

Rate this item
(0 votes)