May 04, 2024

ජනපතිගේ විශේෂ යෝජනාවලිය ගැන ඉඟියක්!

September 24, 2018

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (25) ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතය.

ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එක්සත් ජාතින්ගේ මහ මණ්ඩල සැසිවාරය අමතන සිව් වන අවස්ථාව මෙයයි.

“එක්සත් ජාතීන් සියලුම ජනතාවට සමීප කරවීම හා සාධාරණ, සාමකාමි සහ තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමුහික වගකීම” තේමාව යටතේ එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ දී පැවැත්වේ.

එහි ප‍්‍රධාන සැසිවාරය හෙට ආරම්භ කෙරෙන අතර එදින පස්වරුවේම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සැසිවාරය අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිත ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව ශ‍්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති යෝජනා කි‍්‍රයාත්මක කිරීමේ දී සහන ලබා ගැනීම මෙන්ම රටේ ස්වාධීනත්වයට, ජාතික ආරක්ෂාවට සහ ති‍්‍රවිධ හමුදාවේ ගෞරවයට හානියක් නොවන අයුරින් කටයුතු කිරීම පිළිබඳව මෙහි දී එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය වෙත විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා මීට පෙර සඳහන් කර තිබේ.

එම විශේෂ දේශනය සිදු කරමින් ජනාධිපතිවරයා එම විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කරන අතර එහිදී ජාත්‍යන්තරය හමුවේ මතුව ඇති ප්‍රශ්නාවලියට තිරසාර විසඳුමක් සහිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කෙරෙනු ඇතැයි වාර්තා වේ.

මේවන විට එම යෝජනාවලිය පිළිබඳ ජාත්‍යන්තරයේ දැඩි අවධානය යොමුව තිබෙන අතර විදෙස් තානාපතිවරුන්ද ජනාධිපතිවරයා හමුවීමට බලාපොරොත්තු වන බව රජයේ ආරංචි මාර්ග පැවසී ය.

ඒ අනුව ජනාධිපතිවරයාගේ එම විශේෂ යෝජනාවලියට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තරයේ ප්‍රබල රටවල් දැඩි අවධානයෙන් පසු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

කෙසේ වෙතත් ඉතිහාසයේ පළමු වතාවට මෙරට සිදු වූ මානුෂීය මෙහෙයුමෙන් ශ්‍රි ලංකා හමුදාවට සිදු වූ අපකීර්තියෙන් ගලවා ගැනීම සදහා රටට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හමුවට විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේදී ප්‍රකාශ කළේය.

ජනපතිගෙන් මධ්‍යස්ථ යෝජනාවලියක්

මෙම යෝජනාව මගින් ජාතයන්තර යුධ අධිකරණයක් සදහා ඉදිරිපත් ව තිබෙන යෝජනාව පහසුවෙන්ම නිෂ්ප්‍රභ වනු ඇති අතර ඒ අනුව මෙම යෝජනාවලිය මගින් දෙමල ඩයස්පෝරාව මෙන්ම ශ්‍රි ලංකාව පාර්ශ්වයත් පිළිගත හැකි මධ්‍යස්ථ යෝජනාවලියක් ද වනු ඇතැයි වාර්තා වේ.

ඊට සමගාමීව මානව හිමිකම් පිළීබඳ නව මහ කොමසාරිස්වරිය ද පළමු වරට හමුවන බවත් ඇය ට ද ලිඛිත යෝජනාවලියක් ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ හිතවාදී ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන විවිධ චෝදනා ඉදිරිපත් කරන බවත් වත්මන් ආණ්ඩුව බලයට පත්විමට පෙර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ පැවැති දුරස්තභාවය මඟහැර මිත්‍රශිලි භාවයක් ඇති කර ගැනීමට රජයට හැකි වු බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.

රටේ ආරක්ෂක තත්ත්වය කිසිලෙසකින් දුර්වල වී නොමැති බවත් හමුදාව නිරන්තරයෙන් ශක්තිමත්ව ක්‍රියාත්මක වන බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

මේ අතර එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල ප‍්‍රධාන සැසිවාරයට සමගාමීව පැවැත්වෙන ගෝලීය සාමය සඳහා වූ නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව සැප්තැම්බර් 24 වනදා පැවැත්වෙන අතර එම සමුළුව ඇමතීමට ද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත ආරාධනා ලැබී තිබේ. නෙල්සන් මැන්ඩෙලා ජන්ම ශත සංවත්සරය සමරමින් මෙම සාම සමුළුව සංවිධානය කරයි.

ලෝක මත්ද්‍රව්‍ය ගැටලුව පිලිබඳ ගෝලීය කි‍්‍රයාමාර්ගයක් සඳහා වූ විශේෂ හමුවට ද ජනාධිපතිවරයා අද (24) එක් වෙයි.

ක්ෂය රෝගය මැඩලීමේ ව්‍යාපාරය සඳහා වූ සැසියක් සියලු රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයෙන් අනිද්දා (26) වනදා පැවැත්වෙයි.

එක්සත් ජාතීන්ට අනුබද්ධ ආයතනයක් වන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවත්වන බෝ නොවන රෝග පිළිබඳ සමුළුව සැප්තැම්බර් 27 වනදා පෙරවරුවේ ආරම්භ කෙරෙන අතර, සෞඛ්‍ය ක්ෂේත‍්‍රය වෙනුවෙන් පුළුල් මෙහෙවරක් ඉටුකළ රාජ්‍ය නායකයෙකු ලෙස එම සමුළුවේ විශේෂ දේශනයක් සඳහා ද ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත ඇරයුම් ලැබී තිබේ.

එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන මගින් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ආරම්භ කිරීමට නියමිත නව අරමුදලට අදාළ ගිවිසුමට අත්සන් තැබීම ද ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේදී සිදුවන තවත් සුවිශේෂි කටයුත්තකි.

මේ අතරතුර සැසිවාරයට සහභාගීවන ලෝක නායකයන් කිහිප පළක් සමඟ ජනාධිපතිවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, එක්සත් ජාතින්ගේ මහලේකම්වරයා මෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම්වරයා සමග ද විශේෂ සාකච්ඡාවලට එක්වනු ඇත.

Rate this item
(0 votes)
Last modified on Monday, 24 September 2018 13:20