May 04, 2024

කරළියෙන් එහා: එජාප ඇමැති එක්ක පොහොට්ටුවේ මන්ත්‍රීවරු ප්‍රකාශනයකට අත්සන් තබයි - ජනපති සජිත්ගේ පැත්ත ගනී

September 22, 2018

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන මහසභා සැසිවාරයට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සිදු කිරීමට යන විශේෂ යෝජනාවලිය පිළිබඳවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය පිළිබඳවත් පසුගිය සතියේ දේශපාලන කරළියේ උණුසුම් කතාබහක් ඇතිවී තිබිණි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන මහසභා සැසිවාරය ඇමතීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද ( 22 ) ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව ගියේය. එක්සත් ජාතීන් සියලූම ජනතාවට සමීප කරවීම හා සාධාරණ, සාමකාමි සහ තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමුහික වගකීම, තේමාව යටතේ එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලයේ 73 වන සැසිවාරය නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ දී පැවැත්වේ. එහි ප‍්‍රධාන සැසිවාරය ලබන 25 වැනිදා ආරම්භ කෙරෙන අතර එදින පස්වරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සැසිවාරය අමතා සිය විශේෂ දේශනයක් සිදු කිරීමට නියමිත ය. එම විශේෂ දේශනය සිදු කරමින් ජනාධිපතිවරයා විශේෂ විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කරන අතර එහිදී ජාත්‍යන්තරය හමුවේ මතුව ඇති ප්‍රශ්නාවලියට තිරසාර විසඳුමක් සහිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කෙරෙනු ඇතැයි වාර්තා වේ. මේවන විට එම යෝජනාවලිය පිළිබඳ ජාත්‍යන්තරයේ දැඩි අවධානය යොමුව තිබෙන අතර විදෙස් තානාපතිවරුන්ද ජනාධිපතිවරයා හමුවීමට බලාපොරොත්තු වන බව රජයේ ආරංචි මාර්ග පැවසී ය. ඒ අනුව ජනාධිපතිවරයාගේ එම විශේෂ යෝජනාවලියට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තරයේ ප්‍රබල රටවල් දැඩි අවධානයෙන් පසු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

ජනපතිගෙන් මධ්‍යස්ථ යෝජනාවලියක්

කෙසේ වෙතත් ඉතිහාසයේ පළමු වතාවට මෙරට සිදු වූ මානුෂීය මෙහෙයුමෙන් ශ්‍රි ලංකා හමුදාවට සිදු වූ අපකීර්තියෙන් ගලවා ගැනීම සදහා රටට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හමුවට විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේදී ප්‍රකාශ කළේය. මෙම යෝජනාව මගින් ජාතයන්තර යුධ අධිකරණයක් සදහා ඉදිරිපත් ව තිබෙන යෝජනාව පහසුවෙන්ම නිෂ්ප්‍රභ වනු ඇති අතර ඒ අනුව මෙම යෝජනාවලිය මගින් දෙමල ඩයස්පෝරාව මෙන්ම ශ්‍රි ලංකාව පාර්ශ්වයත් පිළිගත හැකි මධ්‍යස්ථ යෝජනාවලියක් ද වනු ඇතැයි වාර්තා වේ. ඊට සමගාමීව මානව හිමිකම් පිළීබඳ නව මහ කොමසාරිස්වරිය ද පළමු වරට හමුවන බවත් ඇය ට ද ලිඛිත යෝජනාවලියක් ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ හිතවාදී ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන විවිධ චෝදනා ඉදිරිපත් කරන බවත් වත්මන් ආණ්ඩුව බලයට පත්විමට පෙර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ පැවැති දුරස්තභාවය මඟහැර මිත්‍රශිලි භාවයක් ඇති කර ගැනීමට රජයට හැකි වු බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ. රටේ ආරක්ෂක තත්ත්වය කිසිලෙසකින් දුර්වල වී නොමැති බවත් හමුදාව නිරන්තරයෙන් ශක්තිමත්ව ක්‍රියාත්මක වන බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ජනපති සජිත්ගේ පැත්ත ගනී

කැබිනට් මණ්ඩල රැස්වීම ඉකුත් අඟහරුවාදා පැවතියේ සුපුරුදු පරිදි ජනාධිපති ලේකම් කාර්යාලයේය. එහිදී සජිත් ප්‍රේමදාස රටේ පවතින බඩු මිල ගැන අදහස් දක්වන්නට විය. සජිත් ප්‍රේමදාස කීවේ බඩුමිලෙන් ජනතාව පීඩා විඳින බවය. “මහපාරේ දහ දෙනෙක් ගෙන් ඇහුවොත් නම දෙනෙක්ම කියන්නේ අද ජීවත් වෙන්න අමාරුයි කියලයි. ජනතාවට සහනයක් අවශ්‍යයි” සජිත් පැවසී ය. එහෙත් සජිත්ගේ තර්කය පිළිගන්නට ආණ්ඩුවේ එජාප කැබිනට් ඇමැතිවරු කිහිපදෙනෙක් සූදානම් නොවූහ. මලික් සමරවික්‍රම, කබීර් හෂීම් සජිත්ට එරෙහිව අදහස් දක්වන්නට පටන් ගත්තෝය. “මේ දවස්වල හාල් පොල් මිල ස්ථාවරත්වයකට ඇවිත් තියෙනවා. හැබැයි මේ ගැන මාධ්‍යයෙන් ප්‍රකාශ වෙන්නේ නැහැ. එතනයි ප්‍රශ්නය තියෙන්නේ” මලික් හා කබීර් කීහ. අනෙක් ඇමැතිවරුද විටින් විට යම් යම් අදහස් පළ කරන්නට වූහ. අවසානයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත්තේ සජිත්ගේ අදහසය. ජනාධිපතිවරයාද කීවේ බඩුමිල ඉහළ ගොස් තිබෙන බවය.

මේ අතර කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෝස්මුරයක් දැමීය. ‘මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම්වලට එන්නේ නැහැ. නරක තත්ත්වයක්. රැස්වීම්වලට එන්නේ නැති මන්ත්‍රීවරුන්ට දඩයක් හරි ගහලා මේ තත්ත්වය වෙනස් කරන්න ඕනෑ’ යැයි ජනාධිපතිවරයා කීවේය. ජනාධිපතිවරයාගේ එම යෝජනාවට හෝ චෝදනාවට අගුල්පත් තබන්නට හෝ විරුද්ධවීමට කිසිදු ඇමැතිවරයෙක් ඉදිරිපත්වූයේ නැත.

කතානායක කරු ජයසූරිය මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමක් ඉකුත්දා ඉන්දියාවේ නිල සංචාරයක නිරතවූහ. කතානායකවරයාගේ එම සංචාරයට ඩග්ලස් දේවානන්ද, විජිත හේරත්, මනෝ ගනේෂන්, රාවුෆ් හකීම් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායකද එක්ව සිටියහ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කතානායක කරු ජයසූරිය අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා පැවැත්විණ. ඩග්ලස් දේවානන්ද ඉන්දීය අගමැතිවරයාගෙන් එහිදී ඉල්ලීම් කිහිපයක්ම කළේය. පලාලි සහ ඉන්දියාවේ නගර අතර ඍජු ගුවන් සේවා ආරම්භ කිරීම, ඉන්දීය ආධාර ඇතිව උතුරේ ඉදි කෙරෙන නිවාස පනස් දහසේ ව්‍යාපෘති තව දුරටත් වැඩි කිරීම ඩග්ලස්ගේ යෝජනා විය. මේ අතර විපක්ෂ නායක ආර්. සම්පන්දන් කීවේ ශ්‍රී ලංකාවේ ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳීම සඳහා දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව කටයුතු කළ යුතු බවය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාද එහිදී අදහස් පළ කළේය.

එජාප ඇමැති සහ පොහොට්ටුවේ මන්ත්‍රී දෙදෙනකු ඒකාබද්ධ ප්‍රකාශනයකට අත්සන් තබයි

ආණ්ඩුවේ ඇමැතිවරයකු සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු ඒකාබද්ධ ප්‍රකාශනයකට අත්සන් කිරීමේ අපූරු පුවතක් ඉකුත් බදාදා අසන්නට ලැබිණ. ආණ්ඩුවේ ඇමැතිවරයා දුනේෂ් ගන්කන්දය. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනා ජානක වක්කුඹුර සහ රංජිත් ද සොයිසාය. රත්නපුර සාන්ත ඇලවීසියස් විද්‍යාලයේ සැමරුම් උත්සවයක් පසුගියදා පැවැති අතර ඉකුත් බදාදා මේ තිදෙනා උත්සව භූමියේදී මුණ ගැසුන අතර පැයක පමණ කාලයක් එහි ගත කළහ. පාර්ලිමේන්තුවේදී සහ දේශපාලන පොරපිටියේදී නොයෙකුත් ඇණුම් බැණුම් සිදුකර ගත්තද දේශපාලනඥයන් තිදෙනා ආගිය කතා කියමින් උත්සව භූමියේ සතුටු සාමීචියේ යෙදෙනු දක්නට ලැබිණ. මේ අතර ඇලවීසියස් විදුහලේ ආදි සිසුවකු වන ජානක වක්කුඹුර මන්ත්‍රීවරයා අතීත කතාවක් සිහිපත් කළේය. ඔහු කීවේ පංති කාමරයේ විදුලි බුබුලක් ගැලවූ මිතුරෙකු පාවා නොදී ඒ වෙනුවෙන් තමා දඬුවමක් විඳි බවය. “මම 2010 පාර්ලිමේන්තුවට යනතුරු කවදාවත් පාර්ලිමේන්තුව දැකලවත් තිබුණේ නැහැ. මට අධිෂ්ඨානයක් තිබුණා. කවද හරි පාර්ලිමේන්තුවට යනවා නම් යන්නේ මන්ත්‍රීවරයෙක් වෙලාම තමයි” යැයි ජානක වක්කුඹුර මන්ත්‍රීවරයා දුනේෂ් ගන්කන්ද නියෝජ්‍ය ඇමැතිවරයාට කීවේය. එවිට රංජිත් සොයිසාද මෙලෙස අදහස් පළ කළේය. “මිතුරන් පවා නොදීමේ ගුණය වක්කුඹුර මන්ත්‍රීතුමා ළඟ තවම තියෙනවා. හැබැයි එදා පංති කාමරයේදි විදුලි බුබුළක් ගැලවීම වගේ දේවල් ඉගෙන ගත්ත නිසා අද දියවන්නාවේ ශබ්ද විකාශන අක්‍රීය කරන්නත් මෙයාට පුළුවන්” යැයි රංජිත් කී විට සියලු දෙනා සිනා සෙන්නට වූහ. මේ අතර දේශපාලනඥයන් තිදෙනාට එදින පාර්ලිමේන්තුවට යෑමටද තිබුණු හෙයින් උත්සව භූමියෙන් පිටව යාමට සැරැසෙද්දී සංවිධායකවරු ඉල්ලීමක් කළේ “ඔබතුමාලා සමරු සටහන් තියලා යන්න” කියාය. “එහෙනම් අපි දෙන්නත් කාලවේලා ඉතිරි කර ගන්න දුනේෂ් ගන්කන්ද නියෝජ්‍ය ඇමැතිතුමා එක්ක එකතුවෙලා එකම සමරු සටහනක් තබමු” යැයි ජානක වක්කුඹුර කීවේය. ඒ අනුව දුනේෂ් ගන්කන්ද තැබූ සමරු සටහනට ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් දෙදෙනාද අත්සන් තැබූහ.

පොලිස්, ඉඩම් බලතලවලට මොකද වෙන්නේ - මල්වතු නා හිමියෝ අනුරගෙන් අසති

ජවිපෙ නායක අනුර දිසානායක පසුගිය 19වෙනිදා මල්වතු පාර්ශ්වයේ මහ නායක, පූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල මහ නායක හිමියන් බැහැ දැකීමට ගියේය. ඒ, ජවිපෙ මන්ත‍්‍රී විජිත හේරත් පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති 20වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් උන්වහන්සේ දැනුවත් කිරීම සඳහාය. ජවිපෙ නායකයා තම පක්ෂය විසින් මෙම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට බලපෑ දේශපාලන තත්වය පැහැදිලි කළ අතර වර්තමාන ජනාධිපතිවරයා මෙන්ම පසුගිය ජනාධිපතිවරුද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට පොරොන්දු වූ බවත් ජනවරම් 05ක් ඒ සඳහා ලැබී ඇති බවත් සඳහන් කළේය. ”ඒත් පොලිස් බලතල, ඉඩම් බලතල ක‍්‍රියාත්මක කරන්න විධායක ක‍්‍රමය ඕනෑ කියලා නේද කියන්නේ” මල්වතු මහනායක හිමියෝ විමසා සිටියෝය. ”අපි 13 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට පැවරී තියෙන බලතල වෙනස් කරන්න යෝජනා කරන්නේ නැහැ. 20 සම්මත වුණත් ජනාධිපතිතුමා තමයි පළාත් සභාවලට ආණ්ඩුකාරවරුන් පත්කරන්නේ. ඒ නිසා එතන ගැටලූවක් නැහැ ස්වාමින්වහන්ස” අනුර දිසානායක පිළිතුරු දුන්නේය. මහනායක හිමියන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමෙන් පසුව මන්ත‍්‍රීවරයා මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්නවලටද පිළිතුරු ලබාදුන්නේය. ”20න් අගමැති රනිල් මහත්තයට වාසි වෙනවා කියලා බොහෝ අය කියනවා” මාධ්‍යවේදියෙක් විමසීය. ”අපිට රනිල් එක්ක බේරගන්න දෙයක් නැහැ. ඒත් රනිල්ගේ ඇප පිට එළියේ ඉන්න අය තමයි ඔය කතාව කියන්නේ. 20න් වැඩිම වාසි තියෙන්නේ මහින්ද මහත්තයට. මෛත‍්‍රීපාල ජනාධිපතිතුමාටත් මේකෙන් වාසියක් ලැබෙනවා. නමුත් රනිල් වික‍්‍රමසිංහ මහත්තයට මාස 07කට පෙර ආණ්ඩුව නැතිවෙනවා. මොකද 20 සම්මත වෙලා ආණ්ඩුව විසුරුවන්න වෙන නිසා. ඉතිං එහෙම තියෙද්දී රනිල් වාසි කියන අයගේ මොළය පරීක්ෂා කරන්න ඕනෑ. 20ට විරුද්ධ වෙන ඇත්ත ප‍්‍රශ්නේ රාජපක්ෂ කණ්ඩායමේ බල අරගලයයි.” අනුර දිසානායක පිළිතුරු දෙමින් කීය.

”මන්ත‍්‍රීතුමා එතකොට ඔබතුමාලා ජනාධිපති අපේක්ෂකයෙක් දානවද?” ”අපේ මූලික ප‍්‍රයත්නය 20දිනවලා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන එක. එය සාර්ථක නොවුණොත් ජවිපෙ ප‍්‍රමුඛව ජනතා බලවේග සමඟ විකල්ප අපේක්ෂකයෙක් ගැන පක්ෂය අවධානය යොමු කරලා තියෙන්නේ. මොකද තවදුරටත් පොදු අපේක්ෂක සංකල්පය වලංගු නැහැ.” මන්ත‍්‍රීවරයා කීය. ”එතකොට කවුද අපේක්ෂකයා” නැවත ප‍්‍රශ්නයක්. ”අපි කලබල විය යුතු නැහැ. මුලින්ම 20 දිනවීමට අපි කටයුතු කරනවා.” මන්ත‍්‍රීවරයා කියා සිටියේය. ”කෙහෙළිය මන්ත‍්‍රීවරයා කිවුවා මේක ජවිපෙ ගෙනාපු එක තමයි ප‍්‍රශ්නේ කියලා” ”අපි කියනවා එයාලට ගේන්න කියලා. අපිට ප‍්‍රශ්නයක් නැහැ කවුරු ගෙනාවත්. අපි අවධානය යොමු කරන්නේ අවශ්‍ය දේශපාලන ක‍්‍රියාමාර්ගය ගැනයි. ඔහු වරෙක එජාපයේ. තවත් විටෙක තව පැත්තක. ඒ වගේ ප‍්‍රතිපත්තියක් නැති අය කියන කතා ගණනකට ගත යුතු නැහැ” මන්ත‍්‍රීවරයා කීය.

ජනාධිපතිතුමත් අපි වගේ කජු ඇට කොස් ඇට ඇහිඳගෙන කාපු කෙනෙක්

ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී එයාර් ලංකා ගුවන්සේවාවේ කජු ප‍්‍රශ්නය පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශයක් කළේය. මන්ත‍්‍රීවරයා එම අදහස් පළ කළේ ගුවන් සේවා රෙගුලාසි පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදීය. මෙම කතාවෙන් අනතුරුව සභා ගර්භයෙන් පිටතට පැමිණි මන්ත‍්‍රීවරයාට පාර්ලිමේන්තුවේ කේටරින් අංශයේ සේවකයින්ගෙන්ද ලැබුණේ උණුසුම් ප‍්‍රතිචාරයකි. ”ඔබතුමා කිවුවේ ඇත්ත. අපි අහලා තියෙන විදියට එයාර් ලංකා සමාගමේ කේටරින් සේවාව ඉතාම හොඳ එකක්. එයාර් ලංකා සමාගම බිලියන ගාණක ආදායමක් ලබනවා කියලා අපි අහලා තියෙනවා.” සේවකයෙක් කීවේය. ”ජනාධිපතිතුමා කියපු කතාවේ ඇත්තක් තියෙන්න පුළුවන්. නමුත් තමන්ගේ රටේ ගුවන් සේවය ගැන ප‍්‍රසිද්ධියේ මේ වගේ කතාවක් කිව්වාම ඒකට වෙන කැළල මකන්න ලේසියෙන් බැහැ. ජනාධිපතිතුමා කරන්න තිබුණේ අදාළ බලධාරීන් කැඳවලා අවශ්‍ය පියවර ගන්න නියෝගයක් දෙන එක. ජනාධිපතිවරු කෑම නරක් වුණා කියලා රට වටේ කිය කිය යන්නේ නැහැ. මේක ජනාධිපති කෙනෙක් කරන වැඩක් නෙවෙයි.” බිමල් රත්නායක කීවේය. ”මන්ත‍්‍රීතුමා මේ නිවුස් එක විදෙස් මාධ්‍යවලත් පළවෙලා” තවත් සේවකයෙක් කීවේය. ”ඔව් ඉතිං, ඒ රටවල තියෙන ගුවන් සමාගම් එක්ක තරඟ කරන සමාගමක් තමයි එයාර් ලංකා සමාගම. එතකොට රටේ ජනාධිපති තමන්ගෙ රටේ ගුවන් සමාගම ගැන ප‍්‍රසිද්ධියේ විවේචනය කළාම එයාලා ඒකට ලොකු ප‍්‍රචාරයක් දෙනවා. ජනාධිපතිතුමා හරියට චාල්ස් කුමාරයා වගේ කතාව. එතුමත් අපි වගේ කජු ඇට කොස් ඇට ඇහිඳගෙන කාපු කෙනෙක්. ජනාධිපති විදියට කරන්න ඕන දේ නොකළාම වෙන අලකලංචි තමයි මේ” බිමල් රත්නායක කී කතාවට සේවකයින්ට සිනා ගියේය.

ජවිපෙ කොමියුනිස්ට් පක්ෂය අතර සාකච්ඡා

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වෙනුවෙන් ව්‍යවස්ථාවට යෝජනා කර ඇති 20වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්යෙන් දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡුා කිරීමට ජවිපෙ තීරණය කර තිබේ. ඒ අනුව මේ වනවිටත් පක්ෂ කිහිපයකට සහ සිවිල් සංවිධාන කිහිපයකට ලිඛිතව දන්වා තිබේ. මේ අතර පසුගිය 18වෙනිදා ජවිපෙ සහ කොමියුනිස්ට් පක්ෂය අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡුාවක් පැවැත්විණි. ඒ සඳහා ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සහභාගී වූ අතර කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් ප‍්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර, සභාපති රාජා කොල්ලූරේ, චන්ද්‍රසිරි ගජධීර, ඩොක්ටර් වීරසිංහ යන දේශපාලන මණ්ඩල සභිකයින් සාකච්ඡුාවට සහභාගි වූහ. මෙහිදී නව ව්‍යවස්ථාක් සම්බන්ධයෙන් තිබෙන කතිකාව පිළිබඳව කතාබහක් ඇති විය. ”ජවිපෙ ස්ථාවරය වුණේ නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන්. එහිදීත් අපි විශේෂ අවධානයක් යොමු කළේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, නව මැතිවරණ ක‍්‍රමයක් සැකසීම වගේ දේවල්. නමුත් අපිට පේන්න තියෙන්නේ අලූත් ව්‍යවස්ථාවක් වෙනුවෙන් තිබෙන ඉඩ අවමයි කියන එක. ඒ නිසා තමයි අපි 20 සංශෝධනය ගෙනාවේ.” ජවිපෙ ලේකම්වරයා පැහැදිලි කළේය. ”අපිත් මුල ඉඳලම හිටපු ස්ථාවරය තමයි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම. ඒ නිසා අපිට මේකට විරුද්ධ වෙන්න දෙයක් නැහැ. ඉදිරි ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපි තවදුරටත් සාකච්ඡුා කළ යුතුයි කියලා අපි හිතනවා. ඒ වගේම අපේ පක්ෂය ඇතුළෙත් මේ සම්බන්ධයෙන් සාකච්ඡුා කරන්න බලාපොරොත්තු වෙනවා.” කොමියුනිස්ට් පක්ෂ නායකයෝ ජවිපෙ නියෝජිතයින්ට පැවසූහ.

ඉන්දියාවට ගිය මහින්ද දේශපාලනික කරුණු ගැන සාකච්ඡාවක

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ඉන්දීය රජය නිල ආරාධනාවක් කර තිබුණේ නැත. පෞද්ගලික මට්ටමින් සිදු කෙරුණ ආරධනාවක් මත ඔහු ඉන්දීය සංචාරයේ නිරත විය. එහිදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ විපක්ෂ නායක රාහුල් ගාන්ධි ද හමුවී සාකච්ඡා කළේය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් විනාඩි හතළිස් පහක කාලයක් වෙන්කර තිබූ අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දේශපාලනික කරුණු කාරණා පිළිබඳව එහිදී විශේෂ අවධානයක් යොමුවී තිබුණු බවද ආරංචි මාර්ග සඳහන් කළේය. මේ අතර කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි හමුවී සාකච්ඡා කිරීමටද මහින්ද රාජපක්ෂට අවස්ථාව සැලසී තිබිණ. එහිදී රාහුල් ගාන්ධි ඉන්දියාව හා ශ්‍රී ලංකාව පිළිබඳව විශේෂ කරුණු කාරණා ප්‍රකාශ කර තිබිණ. “ඉන්දියාවේත් ලංකාවේත් ගැටලු සමානයි. අපේ රටවල් දෙකටම ආර්ථික ප්‍රශ්න තියෙනවා. ගොවි ප්‍රශ්න තිබෙනවා. දෙරටේම ධීවර ගැටලුවල සමානතාවයක් තිබෙනවා” යැයි රාහුල් ගාන්ධි මහින්දට කියා තිබේ. “ඒ විතරක් නෙවෙයි ඉන්දියාවේ මීළඟ මහ මැතිවරණයේ ප්‍රධාන සටන් පාඨය වන්නේ ආර්ථික ප්‍රශ්න. මම හිතන්නෙත් ලංකාවෙත් ඒක වෙන්න පුළුවන්” යැයි රාහුල් ගාන්ධි කියූ කතාවට මහින්ද රාජපක්ෂද එකඟතාවය පළ කර ඇත.

මේ අතර ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දීය මහ කොමසාරිස් ශිව සංකර් මෙනන් හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පැවැත්වීය. ශිව සංකර් මෙනන් ඉන්දියාවේ අග්‍රගණ්‍ය රාජතාන්ත්‍රික නිලධාරියෙක් වන අතර ශ්‍රී ලංකාවේ යුද්ධය පැවැති සමයේදී ඔහු ඉන්දියාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ගැටලුවට විශාල මැදිහත් වීමක්ද කළේය. යුද්ධය උච්චස්ථානයට පැමිණ තිබූ සමයේ ශිවසංකර් මෙනන් ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක සහ තවත් නිලධාරියකු සමඟ කොළඹට පැමිණ වැදගත් තීන්දු තීරණ ගත්තේය. ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ ලලිත් වීරතුංග සමඟ එක්වී එම තීන්දු ගත් බවද ශිව සංකර් මෙනන් පසුව අනාවරණය කළේය. ඔහු විසින් රචිත ‘චොයිසස්’ ග්‍රන්ථයේ ඒ බව සඳහන්වේ. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ශිව සංකර් මෙනන් හා මහින්ද රාජපක්ෂ අතර හමුවද ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් දෙරටටම වැදගත් පියවරක් වනු ඇති බවය.

මේ අතර ඉන්දියාවේ කාන්තා හා ළමා කටයුතු ඇමැතිනියක හා පරිසරවේදිනියකද වන මනේකා ගාන්ධි ද මහින්ද රාජපක්ෂ හමුවීමට පැමිණ සිටියාය. මනේකා ගාන්ධි මහින්දට කියා ඇත්තේ පින්නවල අලි අනාථාගාරයේ බැඳ තබා සිටින බන්දුල ඇතා නිදහස් කළ යුතු බවය. ඒ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කළ බවද ඇමැතිනිය මහින්දට කීවාය. මනේකා ගාන්ධි ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධිගේ සොහොයුරාවන සංජය ගාන්ධිගේ බිරිඳවන අතර ඇය කලක් තිස්සේ කොංග්‍රස් පක්ෂය සමඟ විරසකයකින් සිටී.

පොලිස්පතිට විරෝධයක්

පොලිස්පති පූජිත් ජයසුන්දර සම්බන්ධයෙන්ද ඉකුත් දිනවල විවිධ ආරංචි පැතිර ගියේය. පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පොලිස්පතිවරයා දැඩිව විවේචනය කළහ. මේ අතර ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේ ඇමැතිවරුන් පිරිසක්ද පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇති බවය. මේ අතර පොලිස්පතිවරයා ධුරයෙන් ඉවත් කරන ලෙසද එම ඇමැතිවරුන් පිරිස ජනාධිපතිවරයාට යෝජනා කර ඇතැයිද දැන ගන්නට තිබේ. “දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පොලිස්පතිවරයා ඉවත් කරන්න රටේ ජනාධිපතිටවත් අගමැතිවරයාටවත් නොහැක. ඔහුට ඉල්ලා අස්වෙන්න පුළුවන්. පොලිස් කොමිසමටවත් පොලිස්පතිවරයා ඉවත් කරන්න බලයක් නැහැ.” යැයි නීතිඥයෝ පිරිසක් ඉකුත්දා කරුණු විග්‍රහ කළෝය. තවත් අදහසකින් කියැවුණේ ව්‍යවස්ථාදායක සභාවට අවශ්‍ය නම් තීන්දුවක් ගන්න පුළුවන්. දහනවවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පොලිස්පතිවරයා පත් කිරීමේ බලය ව්‍යවස්ථා සභාවට තියෙනවා. ඉවත් කරන්න පුළුවන්ද කියලා ප්‍රතිපාදනයක් නැහැ.” කියායි. කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ අලුත් පූර්වාදර්ශයක් ලබාදෙමින් පොලිස්පතිවරයා පිළිබඳව තීන්දුවක් ගැනීමට ව්‍යවස්ථාදායක සභාවට හැකියාවක් තිබෙන බවය.

Rate this item
(3 votes)
Last modified on Sunday, 23 September 2018 00:41