April 28, 2024

මහාද්වීප යා කළ මෛත්‍රී මාවත

September 22, 2018


වඩාත් අන්තරායකර මොහොත එළඹෙනුයේ ජයග්‍රහණයෙන් පසු ව යැයි කීවේ නැපෝලියන් අධිරාජයා ය. මේ වනාහි කවර කාලයකට වුව ද ගැළැපෙන සත්‍යවාදී කියුමකි. 2015 ජනවාරි 08 වැනිදා ලබාගත් ජයග්‍රහණය එක්තරා දේශපාලන හා සමාජයීය පරිවර්තනයකට හේතු වුව ද, එදායින් පසු උදා වූයේ අන්තරායදායක කාල සීමාවකි.

අසීමාන්තික විදේශ ණය අවුල, බරපතළ මුදල් අහේනිය ඒ අන්තරායට හේතු වූ සාධක දෙකකි. අනෙක නම් යුද්ධය පැවැති සමයේ සිදු විණැ යි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරිපත් කළ යෝජනාවන්ට මුහුණ දීමට සිදුවීමයි. යුද්ධය අවසන් වී ගෙවී ගිය මුල් වසර හයේදී එවක ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජගත් මානව හිමිකම් කවුන්සිලය සමඟ ඇති කර ගත් ආරවුල්වල විපාක වි‍ඳීමට සිදු වූයේ නව යහපාලන ආණ්ඩුවට ය. ජනාධිපතිතුමා රට භාර ගන්නා විට ආර්ථික සම්බාධක පැනවීම ආරම්භ කොට තිබිණි. එහෙත් ඒවාට විසඳුම් සඳහා නව රාජ්‍ය නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කළ ධෛර්යවත් කැපවීම අද බොහෝ දෙනකුට අමතක වී ඇත.

පුරා වසර 62ක කාලයක් එක්සත් ජාතීන් ගේ ප්‍රඥප්තීන්ට, එකඟතාවන්ට, නීතිරීතිවලට පක්ෂපාතී ව කටයුතු කරන දේශයක් ලෙස එකී සංවිධානය හා බැඳීම් තහවුරු කරමින් අප ගේ ස්වෛරීත්වය, ස්වාධීනත්වය උදෙසා යළි මිත්‍රත්වයේ දෑත් දිගු කළ සාමකාමී සහජීවනයේ නායකයා වූයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බව යළි සිහිපත් කිරීමට කාලය එළැඹ ඇත.

එක්සත් ජාතීන් ගේ මහා මණ්ඩලයේ 72 වන සැසිවාරය අමතමින් ජනාධිපතිතුමා පසුගිය වසරේ සැප්තැම්බර් 20 වන දා ප්‍රකාශ කළේ එක්සත් ජාතීන් ගේ සංවිධානය විසින් ගනු ලබන තීන්දු තීරණවල දී ශ්‍රී ලංකා රජය සාමාජික රටක් වශයෙන් ඒ බැඳීම් තහවුරු කරමින් කටයුතු කරන බවයි.

හුදෙකලා වන්නට ගිය රටක් මේ පෘථිවි තලයේ ඊට හිමි තැන මෙන් ම නිසි තැන තබන්නට අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කළ ජනාධිපතිතුමා ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස හා යහ පාලනය මෙන් ම නීතියේ ආධිපත්‍යය සහතික කිරීමේ මූලිකත්වය ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ 71 වැනි සැසිවාරයේ දී ප්‍රකාශ කළේ ය.

අන්තර්ජාතික ලෝකයෙන් හුදෙකලා වන්නට තිබූ මාර්ගය අවුරා හොඳහිත, හොඳ හිතින් දිනාගන්නට ජනාධිපතිතුමා දැරූ ප්‍රයත්නය හේතු කොටගෙන අපේ රට ඛේදවාචකයක මුවදොරට ම ගොස් යළි නිරුපද්‍රිත විය. විදේශ රාජ්‍යයන් හමුවේ ශ්‍රී ලංකාව සතු විය යුතු අභිමානය පිළිබඳ ව මින් වසර තුනහමාරකට එපිට දී කිසිවකුගේ තැකීමක් නොතිබිණි. තිබුණේ ලොව කිසි ම රටක නායකයකු පවරා නොගත් අන්දමින් විධායක ජනාධිපතිවරයකු සතු වූ අසීමිත බලයක් පමණකි. තනි බලයක් භාවිත කරමින් ආඥාදායක ගමනක යෙදුණු දේශපාලන කණ්ඩායමක් ඉවත් කොට තමාට ද උරුම කොටගත හැකි වූ සීමාරහිත බලතල ස්වේච්ඡාවෙන් පාර්ලිමේන්තුවට පැවරූ නායකයකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අන්තර්ජාතික දේශපාලනයට ද බලය අත්හැරීම පිළිබඳ ආදර්ශයක් සැපැයූ වග දැන් බොහෝ අයට අමතක ය.

මෙරට මෙන් ම ලෝක දේශපාලන ස්වභාවය අනුව වුව ද තේරුම්ගත හැක්කේ බලයට පත්වන බොහෝ නායකයන් බලයෙන් ඉවත් වීමට ඇති අකැමැත්තයි. එනිසා ම මින් සිවු වසරකට පමණ පෙරාතුව සාමකාමී සහජීවනයට කැලල් ඇති කරගත්, රට තුළ භීතිය සාමය සාධාරණය කඩ වූ කාල පරිච්ඡේදයක් අප ගතකොට ඇති බව දැන් යළි සිහිපත් කර දීමට සිදු ව ඇත.

එදා රට තුළ සාමය කඩවීම්, බල තෘෂ්ණාව යන ආදිය අන්තර්ජාතික වශයෙන් ද විවිධ බෙදීම්, අසමඟිකම් සඳහා බලපෑ බව අප කිසිවකුට රහසක් නො වේ. එතැනින්, දේශය නැවතත් ලෝකය හා සමඟ සහජීවනයෙන් බැඳීගත් රාජ්‍යයක් ලෙස විවෘත වීමේ මිත්‍රත්වයේ සංචාරය ජනාධිපතිතුමා අසල්වැසි භාරතයට සම්ප්‍රාප්ත වීමෙන් ආරම්භ කළේ ය. ඒ 2015 පෙබරවාරි 02 වෙනි දා ය.

එතැන් සිට එංගලන්තය, චිනය, පකිස්තානය, මාලදිවයින, ඇමරිකා එක්සත් ජනපදය, තායිලන්තය, මෝල්ටාව, ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය සහ ඔස්ට්‍රියාව, බ්‍රතාන්‍ය සහ ඉන්දියාව, ජපානය, ඇමරිකා එක්සත් ජනපදය, තායිලන්තය, ඉන්දියාව, මලයාසියාව, ඉන්දුනීසියාව, රුසියාව ඔස්‍ට්‍රෙලියාව, බංගලාදේශය – නිව්යෝර්ක්, කටාර් – කොරියාව, ඉන්දියාව – ජපානය, පකිස්තානය – එක්සත් රාජධානිය, ඉරානය – ඉතාලිය, ජෝර්ජියාව සහ නේපාලය යන ආදි රටවලින් නිල රාජ්‍ය සංචාර සඳහා ආරාධනා ලද අන් ශ්‍රී ලාංකික නායකයෙක් මෙරට දේශපාලන ඉතිහාසයේ නොවී ය.

සිවුවන වරටත් මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණඩලයේ 73 වැනි සැසි වාරය ඇමැතීමට ජනාධිපතිතුමා එළැඹෙන්නේ සමස්ත ලෝකයේ ම මිත්‍රත්වය දිනාගනු පිණිස දෑත් දිගු කළ සාමකාමී සහජීවනයේ නායකයා වශයෙනි. අන්තර්ජාතික ප්‍රජාව සතුරන් ලෙස හුවා දැක්වීමේ ප්‍රයත්න ද මේ වන විට අතිශය නිශ්ඵල උත්සාහයන් බවට පත්ව ඇත.

එතුමාට පෙර සිට ම පූර්වාදර්ශ වූයේ ඉන්දිරා ගාන්ධි, නෙල්සන් මැන්ඩෙලා, මාඕ සේතුං වැනි විශිෂ්ට නායකයන් ගේ අද්විතීය දේශපාලන චරිත යි. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තාරුණ්‍යයේ සිට ම තම අධ්‍යාත්මයෙන් ම මෙබඳු නායක නායිකාවන් ගේ ජීවන චරිත සමඟ ඒකාත්මික ව කටයුතු කළේ ය. වර්ගවාදයෙන් තොර සමාජයක් වෙනුවෙන් සියලු බෙදීම්වලට දැඩි සේ එරෙහි වූ දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයේ ක්‍රෑරත්වයට එරෙහි ව සටන් කොට මුළුමහත් ජනතාවකට නිදහස ලබා දුන් නෙල්සන් මැන්ඩෙලා යනු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගේ හෘදයංගම වීරයෙක් විය.

තම අධ්‍යාත්මයේ ජීවත්වූ උදාර නායකයා පිළිබඳ ව එතුමාට එක්සත් ජාතීන්ගේ 73 වැනි සැසිවාරයට සමගාමීව පැවැත්වෙන ගෝලීය සාමය සඳහා වූ නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුවේ කතාකරන්නට ලැබීම වූකලි එතුමා ගේ දෛවය විසින් ලබා දෙනු ලැබූ විස්මිත වරමකැ යි කිව හැකි ය. තව ද මේ වනාහි දුර්ලභ, අහම්බ, අද්විතීය අවස්ථාවකි. මෙබඳු අවස්ථාවක් සඳහා එතුමා යම් සියුම් සිහිනයක් දකින්නට ඇත. ‘All big men are dreamers’ යනුවෙන් එක්තරා විද්වතකු පැවසූ කරුණක් මට මෙහි දී සිහිපත් වෙයි.

“ප්‍රශ්නය තමන් ගේ වන තාක් කල් උත්තරය දාර්ශනික ය” යනුවෙන් මේ දිනවල සමාජ ජාල පෝස්ටුවක් දක්නට ලැබේ. මෙහි දී අපට පැනයක් අසන්නට තිබේ. ප්‍රශ්නය අනුන් ගේ වන විට උත්තරය අඥානකම ද යන්න යි. ඒ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දිනාගත් අන්තර්ජාතික සුහදතාව මේ අනුව සමහරුනට අවප්‍රමාණ කළ හැකි වුව ද පොදුවේ මේ අන්තර්ජාතික සුහදතාව හේතු කොටගෙන අප ලබන ජයග්‍රහණ අවප්‍රමාණ කළ හැකි ද?

ජී.එස්.පී. ප්ලස් සහනය හිමිවී ඇත. මාළු අපනයනයට යුරෝපා සංගමය කළ තහනම ඉවත් කරගත හැකි විය. මෙලෙස ලැබූ ඇතැම් ජයග්‍රහණ අමතක කොට නිගා කිරීම හැම විට ම පහසු ය. එහෙත් රට පාවා දෙනවා ය කියා කියූ කතා දැන් නෑසේ. විදුලි පුටුව ගැන කතා අවසන්ව ඇත. දැන් තානාපති කාර්යාල අබියස උද්ඝෝෂණ ද නැත.

යම් තිරසර අරමුණක් සහිත ව පෙරට යන මිනිසුන්හට සොබාදහම දුර්ලභ අවස්ථා උදාකර දෙයි. ‘අද දවසේ ඔබ හමුවන්නට ලැබීම ගැන මම සතුටු වෙමි’ යි කියමින් හැම උත්සව සභාවක් ම අමතන, මිනිසුන් හමුවීම සතුට දනවන්නක් බවට පත්කරගත් ජනාධිපතිතුමාට මහා බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව, චීනය, ප්‍රංශය, ඔස්ට්‍රෙලියාව, රුසියාව ප්‍රමුඛ ලොව අනේක රාජ්‍යයන් ඇමතීමට අවස්ථාව හිමි වූයේ ද සොබාදහම උදා කරදුන් යම් කුසල බලයක් හේතු කොටගෙන විය හැකි ය.

මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වරක් හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් පිදුම් ලැබී ය. මෙවර බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවේ සභාපතිත්වය එතුමාට පිරිනැමිණි. මේ සියල්ල සිහිනයක් සහිතව තනි ව නැඟී සිට අරමුණක් සහිත ව පෙරට යෑමෙන් අත් කරගත් ප්‍රතිඵල වේ.

ඒ අරමුණට අවසානයක් නැත. එතුමා එක්සත් ජාතීන් ගේ මහ සමුළුව ඇමතීමෙන් අනතුරු ව සංහිඳියාව කරා යන චාරිකාවේ නියැළීමේ අරමුණ අතරමඟ නතර නො වේ.

අන්තර්ජාතික ලෝකය ම ජනාධිපතිතුමාට සමීප වූයේ ඔහුගෙන් යමක් ලබා ගැනීමට නොවේ. එහෙත් මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදයත්, අන්තවාදයෙන් තොර ව ලෝක මිත්‍රත්වය පවත්වා ගැනීමේ ඔහු සතු කෞශල්‍යයත් නිසා ලොව නානා දේශයන්හි රාජ්‍ය නායකත්වය ජනාධිපතිවරයා හා බැඳී ගිය බව සත්‍යයකි. එතුමාගෙන් ලෝක රාජ්‍යයන් අපේක්ෂා කරන්නේ දූෂණය, භීෂණය තුරන් වූ යහපත් දේශපාලන සංස්කෘතියක් සහිත ප්‍රජාතාන්ත්‍රික ස්වරූපය සුරකින රටක් පමණි.

ලොව සුප්‍රකට ණය ආධාර පදනම් ශ්‍රී ලංකාව මඟහැරිය යුගය අවසන් ය. සියලු මූල්‍ය හා තාක්ෂණික ආධාර කොන්දේසි විරහිත ව ගලා එයි. අවශ්‍ය කවරක් දැයි විමසමින් ප්‍රතිපාදන ලබා දීම සඳහා ජනාධිපති නිල නිවසටත්, ජනාධිපති ලේකම් කාර්යාලයටත් විදේශ නියෝජිතයන් නිතර පැමිණෙන තත්ත්වයක් උදාවී ඇත. මෙසේ ඔවුන් අවශ්‍ය කවරේදැයි විමසා සපයා දුන් පසු සියල්ල ඉටු කරගැනීමේ අවස්ථා එළැඹෙනු ඇත.

ව්‍යාජ ආශ්චර්යයන් ගෙන් ජනතාවගේ ඇස් රැවටීමට නො ව අන්තර්ජාතික ආධාර මඟින් අනාගතය පුරා පොදුජන ජීවිත සමෘද්ධියට පත් කරන මහා කාර්ය භාරයක් උදෙසා වන ජනාධිපතිතුමා ගේ ගමන නොනවතිනු ඇත.

ලැබූ ජයග්‍රහණයෙන් පසු මොහොත අන්තරායදායක වුව ද, අභියෝගාත්මක වුව ද, දැන් ඒ දුෂ්කර කාල වකවානුව අවසන් ය. ජනාධිපතිතුමා ගේ මහත් සවියෙන් වෑයමින් අත්කරගත් සරු ප්‍රතිඵල පෙනි පෙනී තිබියදීත් ඇතැම්හු එතුමාට ‘බැහැ’ යි කියති. මීට පෙරාතුව සිටි නායක නායිකාවන් සතුව ද බෙහෙවින් අඩුපාඩු, ඌනතා, නොහැකියා පැවතිණි. එහෙත් ඒවා ගැන හඬගා, උලුප්පා පෙන්වීමට ජනතාවට වරම් නොලැබිණි. එසේ ජනතාවට අවහිර බාධා ඇති නොකරන, ජනතා හඬ නොවසන, යුක්තිගරුක නායකයාට ගැරැහුම් අවමන් හිමි වීම ලෝක ධර්මතාවකි. ඒ ගැරහුම් අවමන් මල්දම් සේ ගැනීමට තරම් සංසිඳුණු මනුෂ්‍යයකු නායකයකු වීම රටකට මොන තරම් භාග්‍යයක් ද?

රොබට් බ්‍රවුනිං නම් ශ්‍රේෂ්ඨ කවියා පැවසුවේ සැබෑ ව්‍යවසායකයා යනු කතාවට වඩා ක්‍රියාත්මක වන්නා ය. සිහින මවන්නා නො වේ ය යනුවෙනි.

ජනාධිපතිතුමා සතුව මේ ලක්ෂණ දෙකම පවතී. එහෙත් සිහිනය, යථාර්ථය කරා යා හැකි යානයක් බව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෙර සිට ම දැන සිටියේ ය. ලෝකයේ ම සවිමත් මනුෂ්‍යයා නම් වඩාත් තනි ව නැගී සිටින්නෙකැ යි කීවේ හෙන්රික් ඉබ්සන් නම් මහා නාට්‍ය රචකයා ය. ජනාධිපතිතුමා අන්තර්ජාතික ලෝකයට මුදුන් ව යන මේ මාර්ගයට පළමු ව අවතීර්ණ වූ යේ තනි මිනිසකු ලෙස වීර්යවත් වීමෙනි. එහෙයින් එතුමා අප සමාජයට මෙන් ම ලොවට ද ආදර්ශයක් සපයා ඇත්තේ ය.

ලෝක නායකයෝ පෞද්ගලිකව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හඳුනති. පෞද්ගලිකව ම ඔවුනොවුන් අතර දැන හැඳුනුම්කම් ඇති වූ තත්ත්වයක් උදා වී ඇත. මෙරට ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, ජනවර්ග අතර සුහදතාව, මනුෂ්‍යත්වය හා සහෝදරත්වය වෙනුවෙන් ක්‍රියාවෙන්ම කැප වූ මේ ශ්‍රී ලාංකීය නායකයා දැන් ලෝක කමහ සමුළු හොබවන විශිෂ්ට නායකයන් ගේ පොදු මිතුරා බවට පත්ව ඇත. ඒවනාහි මේ දේශය නිරුපද්‍රිත, සුරක්ෂිත සහජීවනයේ රාජ්‍යයක් බවට දෙස් දෙන මහා සාධකයක් බව කියනු කැමැත්තෙමි.

සිිිරිමල්වත්ත

Rate this item
(0 votes)