April 28, 2024

කරළියෙන් එහා: මහින්ද - මෛත්‍රී රහසේ හමුවී ජනබලය විරෝධතාවය ගැන කතා කරයි! ජනපති රහස් පොලීසියට දෙහි කපයි

September 14, 2018

සතියේ සුපුරුදු පරිදි පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට අමතරව ජනාධිපතිවරයා විසින් විශේෂ කැබිනට් රැස්වීමක් ඊයේ(13) කැඳවා තිබීම පිළිබඳව කාගේත් අවධානය යොමුව තිබූ අතර මේනිසා රජයේත් විපක්ෂයේ දැඩි අවධානය ඒ දෙසට යොමු වී තිබිණි. මෙම විශේෂ කැබිනට් රැස්වීම ඊයේ දහවල් 12.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ආරම්භ වූ අතර සියලුම අමාත්‍යවරුන්ට එම විශේෂ කැබිනට් රැස්වීමට සහභාගි වන ලෙස ජනාධිපති කාර්යාලයෙන් පෙරේදා (12) පස්වරුවේ ඇමැතිවරුන්ට දුරකථනයෙන් දැනුම් දී තිබිණි.

ඒ අනුව ඊයේ පැවැති එම කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කළ කරුණු ඇමැතිවරුන් විසින් මාධ්‍යයට හෙළි නොකළ අතර ඒ පිළිබඳ ප්‍රසිද්ධියේ කතා නොකිරීමට ඔවුන් තීරණය කර තිබිණි. නමුත් ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, හිටපු නාවික හමුදාපති, අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පිළිබඳ ප්‍රශ්නය සාකච්ඡා කිරීමට මෙම හදිසි කැබිනට් රැස්වීම කැඳවා තිබූ බවයි. රහස් පොලීසිය විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ප්‍රශ්න කිරීමට කැඳවා තිබීමත් ඉන් අනතුරුව අත්අඩංගුවට ගැනීමේ සූදානමත් පිළිබඳවත් මෙහිදී ජනාධිපතිවරයාගේ දැඩි අවධානයට යොමු කර තිබිණි. ආරක්ෂක අංශයේ ඉහළ පෙලේ නිළධාරීන්ට චෝදනා ඇත්නම් නඩු පවරා කටයුතු කළ යුතු බවත් රහස් පොලීසියට අවශ්‍ය පරිදි හමුදා ප්‍රධානීන් අත්අඩංගුවට ගැනීමට, රඳවා ප්‍රශ්න කිරීමට නොහැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. ඔවුන්ට විරුද්ධව නිශ්චිත චෝදනා ඇත්නම් ඊට එරෙහිව නඩු පවරනවා මිස පොලිස් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ප්‍රකාශ සටහන් කර ගැනීම්, ප්‍රශ්න කිරීම් සිදු කිරීම නතර කළ යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත. නිශ්චිත චෝදනා නොමැතිව ත්‍රිවිධ හමුදා නිලධාරීන් අපහසුතාවට පත්වන මෙවැනි ක්‍රියා සිදුකිරීමෙන් ජනතාව තුළ ත්‍රිවිධ හමුදාවට හිමිවන ගෞරවය පලුදු වන බවද හෙතෙම අවධාරණය කර තිබේ.

ඊට අමතරව රජයක් ලෙස මෙවැනි ක්‍රියාවලට තවදුරටත් ඉඩ ලබාදුනහොත් ජනතාව තුළ අනවශ්‍ය ගැටුම් ඇතිකර ගැනීම සඳහා සංවිධානගත වීමේ ඉඩකඩක් ඇතිවිය හැකි බවද ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රහස් පොලිසියට කැඳවා තිබීමෙන් රට තුළ මහත් ආන්දෝලනයක් ඇති වෙමින් තිබෙන අතර මේ ගැන සාකච්ඡා කිරීම සඳහා මෙම හදිසි කැබිනට් හමුව කැඳවා තිබිණි. මෙහිදී ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක දීර්ඝ ලෙස අදහස් දක්වා ඇති බවද ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග හෙළි කළේය. පැය 1 1/2කට ආසන්න කාලයක් පුරා පැවැති මෙම විශේෂ කැබිනට් හමුවේදී පොලිසිය ගැන විවිධ චෝදනා එල්ල වී ඇති අතර විෂය භාර ඇමැතිවරයා සහ වැඩ බැලූ නියෝජ්‍ය ඇමැතිවරයාද කැබිනට් හමුවේ නොසිටීම විශේෂත්වයකි. ඊට අමතරව අගමැති රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍යවරුන් බොහෝ දෙනකු විදේශගත වීම නිසා වැඩබලන ඇමැතිවරුන් ලෙස නියෝජ්‍ය ඇමැතිවරු බොහෝ දෙනෙක් විශේෂ කැබිනට් හමුව නියෝජනය කළහ. මේ අතර තරුණයන් 11 දෙනකු කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් ඝාතනය කළේ යැයි කියන සිද්ධියට සෘජුවම සම්බන්ධ පුද්ගලයන් සිටිනවා නම් ඔවුන්ට විරුද්ධව නඩු පැවැරිය යුතු අතර ඒ ගැන ප්‍රකාශ ලබාගැනීමට යැයි පවසමින් ත්‍රිවිධ හමුදා නිලධාරීන් අපහසුතාවට පත් කිරීම නුසුදුසු ක්‍රියාවක් බවද මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ. කීත් නොයාර් මහතාට පහරදී කෲර වදහිංසා කළැයි කියන සිද්ධියට අදාළව ආධාර අනුබල දුන්නැයි මාස පහකට අධික කාලයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ, මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා ඇප මත මුදා හැරීමේ සිද්ධිය ගැනද අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කර තිබේ. එහිදී රහස් පොලීසිය කටයුතු කර ඇති ආකාරය වැරදි සහගත බවත් බොරු චෝදනා මත අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කර පසුව ඇප මත නිදහස් වීම ගැන රහස් පොලීසිය වගකීම බාර ගත යුතු බවත් ඇමැතිවරුන් පෙන්වා දී තිබේ. මේ අතර අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා වත්මන් හමුදාපතිවරයා ගැන සිදු කර ඇති ප්‍රකාශය ගැනද ඇමැතිවරුන්ගේ දැඩි විරෝධය පළ කර ඇති අතර ඉන් ආණ්ඩුව ගැන ජනතාව අප්‍රසාදය පළ කරන බව පෙන්වා දී තිබේ.

එක්සත් ජාතීන්ට නව යෝජනාවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වහාම අද(14) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් හමුවිය. එහිදී විශේෂ කැබිනට් රැස්වීම පිළිබඳවත් තවත් කරුණු ගණනාවක් පිළිබඳවත් මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට ප්‍රකාශ කර තිබිණි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික සැසිවාරය හමුවේ මෙම මස 25 වන දින තමන් ශ‍්‍රී ලංකාවට අදාළ නව යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා එහිදී ප‍්‍රකාශ කළේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව ශ‍්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති යෝජනා කි‍්‍රයාත්මක කිරීමේ දී සහන ලබා ගැනීම මෙන්ම රටේ ස්වාධීනත්වයට, ජාතික ආරක්ෂාවට සහ ති‍්‍රවිධ හමුදාවේ ගෞරවයට හානියක් නොවන අයුරින් කටයුතු කිරීම පිළිබඳව එම යෝජනාවලියේ කරුණු ඇතුළත් වනු ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. එමෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරියේ අපගේ ආරක්ෂක හමුදාවන්ට එල්ල වී ඇති චෝදනා මෙන්ම පසුගිය යුද සමයේදී දෙපාර්ශ්වය අතර සිදුවූවා යැයි පැවසෙන ඇතැම් සිදුවීම් පිළිබඳ තවමත් ඉතිරිවී ඇති ගැටලු රැසක් සුහදශීලීව විසඳාගැනීමට ඒ මගින් හැකියාව ලැබෙනු ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය. මෙම යෝජනාවලිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරිය වෙත මෙන්ම එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම්වරයා වෙත ද ලිඛිතව භාරදීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

මාධ්‍යවේදින් සහ සිවිල් වැසියන් පැහැර ගැනීම, ඝාතනය කිරීම් ඇතුළු සිදුවීම්වලට අදාළව 2015 වසරේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන පරීක්ෂණවල පවතින යම් යම් දෝෂ සහිත ස්ථාන පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සැකකරුවන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ රඳවා ගත්ත ද එම කිසිවෙකුට මෙතෙක් නඩු පවරා නොතිබීම හේතුවෙන් මතුව ඇති ගැටලුකාරි තත්ත්වය පිළිබඳව ද පැහැදිලි කළේය. එමෙන්ම 2015 අගෝස්තු මාසයේ සිට ති‍්‍රවිධ හමුදා නිලධාරින් ද යම් යම් පරික්ෂණ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන, රිමාන්ඩ් භාරයට පත්කර තිබුණ ද ඔවුන් කිසිවෙකුට එරෙහිව නඩු පවරා නොමැති අතර, ප‍්‍රමාණවත් හේතු සාධක තිබේ නම් නඩු පැවරීමට කටයුතු කිරීම මිස, අනවශ්‍ය ලෙස ඔවුන් රිමාන්ඩ් භාරයේ රඳවා තබා ගැනීම හේතුවෙන් රජය අපකීර්තියට පත්වන බව ද පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ පිළිබඳ තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට සහ පොලිසිපතිවරයා වෙත තදින් උපදෙස් ලබා දුන් බව ද කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ වත්මන් රජය යටතේ කිසිසේත් රටේ ජාතික ආරක්ෂාව දුර්වල වී නොමැති බවයි. යුද්ධයක් නැති රටක හමුදාව පවත්වාගෙන යාමේදී ප‍්‍රතිසංවිධාන කිරීමක් සිදු වුව ද දුර්වල වීමක් සිදුව නොමැති අතර, අද අපගේ ආරක්ෂක හමුදාවන්ට පසුගිය කාලයටත් වඩා ලොව ප‍්‍රබල රටවල පුහුණු අවස්ථා මෙන්ම සහයෝගයන් හිමිව තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අද ද ජාතික අය වැයෙන් වැඩිම මුදලක් වෙන් කෙරෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයට බව කියා සිටියේය. ජාතික ආරක්ෂාව සහ ආරක්ෂක හමුදාව පිළිබඳ ඇතැමුන් සිදුකරන විවිධ ප‍්‍රකාශ පිළිබඳව ද සිහිපත් කළ ජනාධිපතිවරයා කියා සිටියේ ඒවා ඔවුන් ඇතැම් පෞද්ගලික කරුණු මුල් කර ගනිමින් සිදු කරන ප‍්‍රකාශ බවයි. තෙල් මිලට අදාළ මිල සූත‍්‍රය පිළිබඳ ඉදිරිපත්වී ඇති විවේචන සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ මිල සූත‍්‍රය තවදුරටත් පවත්වාගෙන යනවා ද, නැතහොත් දැනට වඩා මහජනතාවට හිතකර තත්ත්වයක් ඇති කිරීම වෙනුවෙන් අවශ්‍ය සංශෝධනවලට ලක් කරනවා ද යන්න පිළිබඳ ඉදිරි අය වැය යෝජනා අනුව පියවර ගන්නා බවයි.

රට තුළ සිදුවන සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා වාරි ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් සිදුකෙරෙන වැව් ප‍්‍රතිසංස්කරණය කිරීමේ දැවැන්ත වැඩසටහන පිළිබඳව ද මාධ්‍ය ආයතන දැනුවත් කළේය. අද වී සඳහා ඉහළ මිලක් ලැබෙන අතර ඒ පිළිබඳ මාධ්‍ය ආයතනවලින් නිසි ප‍්‍රචාරයක් නොලැබෙන බව ද සඳහන් කළ ජනාධිපතිවරයා වී මිළ ඉහළ ගියද සහල් මිල ඉහළ යාමට ඉඩ නොතබා පාරිභෝගිකයාට සහන සලසමින් කටයුතු කිරීමට රජය වගබලාගෙන තිබෙන බව ද කියා සිටියේය. උතුරේ සිංහල ජනතාව පදිංචි කරවන බවට පසුගිය දිනවල මුලතිව් ප‍්‍රදේශයේ ගෙනගිය උද්ඝෝෂණය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ ප‍්‍රතිපත්තියක් ලෙස ඕනෑම ජන කොටසකට රටේ ඕනෑම තැනක ජීවත්වීමට අයිතියක් තිබෙන බවයි. පළාත් භේදයෙන් තොරව සියලු ජනතාව සංහිඳියාවෙන් සහ සමඟියෙන් ජීවත්වන රටක් අපේක්ෂාව වන නමුත්, අර්බුද ඇතිවන අයුරින් ජනාවාස ඇතිකිරීමක් රජයේ මැදිහත්වීමෙන් සිදුවී නොමැති අතර, ඉදිරියට ද එලෙස සිදු නොකරන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා රජයට ඉදිරිපත් කර ඇති එම සියලු චෝදනා ප‍්‍රතික්ෂේප කරන බව ද කියා සිටියේ ය.

ශ‍්‍රී ලංකා-සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති චෝදනා පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදුකිරීමට තමා විශේෂඥ කමිටුවක් පත්කර තිබෙන අතර එම පරික්ෂණ කටයුතු අද ඉතා සාර්ථකව සිදුවන බවත් ඒ සඳහා තම අදහස් ඉදිරිපත් කිරීමට ඕනෑම අයෙකුට අවස්ථාව පවතින බවත් කියා සිටියේ ය. එම කමිටු වාර්තාව මඟින් මෙම ගිවිසුමෙන් රටට අහිතකර තත්ත්වයක් ඇතිකරවන බවට නිර්දේශ ඉදිරිපත් කළහොත් එම අහිතකර තත්ත්වයන් ඉවත් කිරීමේ වගකීම තමා භාරගන්නා බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා යම් බරපතළ තත්ත්වයක් වාර්තා වුවහොත් ඒ සඳහා ද අවශ්‍ය පියවර ගන්නා බව සඳහන් කළේ ය. එමෙන්ම තිරසර සංවර්ධන වැඩපිළිවෙළේ ප‍්‍රගතිය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා රටේ වන ඝනත්වය ඉහළ නංවාගැනීම ඇතුළු පරිසර සංරක්ෂණය වෙනුවෙන් රජය ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳව සහ ඒ සඳහා ජනතාව එක්කර ගැනීමේ ප‍්‍රචාරාත්මක වැඩපිළිවෙළකට සහය ලබාදෙන ලෙස මාධ්‍ය ආයතන වෙතින් ඉල්ලා සිටියේය.

ජවිපෙ, පක්ෂ සහ සිවිල් සංවිධාන සමඟ සාකච්ඡා

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ගෙනා ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් නැවත කතාබහක් මතුවූයේ එය පසුගිය 05වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ පැවැති ජවිපෙ දේශපාලන මණ්ඩල රැුස්වීමේදීද සාකච්ඡුාවට බඳුන්විය. ”මේ වෙනකොට පෙත්සම් කිහිපයක් 20ට එරෙහිව ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පෙත්සම්වල හරය ගත්තාම තියෙන්නේ පාර්ලිමේන්තුවේ 2/3න් සම්මත කර ගන්න ඕන කියන එකයි ජනමත විචාරණයයි. ඒවා අමුතු දේවල් නෙවෙයි. අපි බලාපොරොත්තුවෙන් හිටපු දෙයක්.” ටිල්වින් සිල්වා කියා සිටියේය. ”මේක ජනතාවට බලපාන ව්‍යවස්ථා සංශෝධනයක්. ඒ නිසා ජනතාවගේ මැදිහත්වීමෙන් මේ සංශෝධනය සම්මත කර ගැනීම තමයි ඉතාම වැදගත් වෙන්නේ. ඇත්තටම පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් මේක සම්මත කරගන්නවට වඩා ජනතාවගේ සක‍්‍රීය මැදිහත්වීමෙන් සම්මත කරගන්න තියෙනවනම් හොඳයි. මොකද මේකට ජනතාව ඉතාම කැමතියි. ජනතාව අවස්ථා පහකදී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න ඡුන්දය දීලා තියෙනවා.” බිමල් රත්නායක කීවේය. ”ඇතැම් ජාතිවාදී කණ්ඩායම් මේ ව්‍යවස්ථා සංශෝධනය ගැනත් ජාතිවාදී බිල්ලෝ මවනවා. ඒක පරාජය කරන්න ඕනෑ. ජනතාව දැනුවත් කිරීමේ ක‍්‍රියාමාර්ග කිහිපයක් ආරම්භ කරමු” අනුර දිසානායක කීවේය. ”ඒ වගේම අපි දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සමඟත් සාකච්ඡුාවක් කරමු. ඒ විතරක් නෙවෙයි මල්වතු නාහිමියන්, කාදිනල්තුමන් ඇතුළු ආගමික නායකයින් හමුවෙලා මේ ගැන සාකච්ඡුාවක් කරන එක තමයි වැදගත් වෙන්නේ. මොකද අපි මේක හංගලා කරන දෙයක් නෙවෙයි. ඕනෑම දෙයක් විවෘතව කතා කරන්නයි අපිට ඕනෑ. එතකොට කොයි වෙලාවෙත් කොරහේ කිඹුල්ලූ දකින කුමන්ත‍්‍රණවලින් විතරක් ඔළුව පුරවගෙන ඉන්න කණ්ඩායම්වලට උත්තර ලැබෙයි” ලාල්කාන්ත කියා සිටියේය. මේ වනවිට ජවිපෙ ප‍්‍රධාන ලේකම්වරයා විසින් කොමියුනිස්ට් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයකටත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයටත් සාකච්ඡුාවක් සඳහා ලිඛිතව ආරාධනා කොට තිබේ.

20 පිළිබඳ පෙත්සම් විභාගය ඇරඹෙයි

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත්ගේ පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පෙත්සම් කිහිපයක් අධිකරණයට ඉදිරිපත් වී තිබේ. උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයා සහ තවත් සිවිල් සංවිධාන කිහිපයක් විසින් 20වැනි සංශෝධනයට එරෙහිව පෙත්සම් 11ක් ඉදිරිපත් කර තිබේ. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය පසුගිය 12වැනිදා ආරම්භ කළේය. අගවිනිසුරුවරයා විදේශ සංචාරයක නිරතවී සිටින බැවින් එම පෙත්සම් විභාගය වැඩබලන අගවිනිසුරු සිසිර ද ආබෲ මහතා ඉදිරියේ සිදුවේ. මෙම පෙත්සම් විභාගයේදී විජිත හේරත් මන්ත‍්‍රීවරයා වෙනුවෙන් ඉදිරිපත් වන්නේ ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම්ය. නීතිඥ සුනිල් වටගල විසින් නීති කටයුතු සම්බන්ධීකරණය සිදුකරයි. මෙම පෙත්සම් විභාගය සම්බන්ධයෙන් නීතිඥයින් තුළ දක්නට ලැබෙන්නේ විශාල උනන්දුවකි.

”මෙම ව්‍යවස්ථා සංශෝධනය විජිත හේරත් මන්ත‍්‍රීවරයාගේ පෞද්ගලික යෝජනාවක් නිසා මෙම පෙත්සම් විභාගය මන්ත‍්‍රීවරයාට දැනුම් දී සිදුකළ යුතුව තිබෙනවා.” නීතිඥයින් විසින් පෙත්සම් විභාග විය යුතු ආකාරය පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලදී. ”යර්ස් මිස්ටර් වටගල, ඔබ විජිත හේරත් වෙනුවෙන් මෙම දැනුම්දීම භාර ගන්නවාද?” විනිස්රු මඩුල්ල විමසා සිටියහ. ”ඔව් මම භාරගන්නවා. ඒක ප‍්‍රශ්නයක් නැහැ” නීතිඥ සුනිල් වටගල කියා සිටියේය. මුලින්ම සිදුවන්නේ පෙත්සම්කරුවන්ගේ පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් කිරීම්ය. මෙහිදී මූලික වශයෙන් 20වැනි සංශෝධනයේ නීතිමය අඩුපාඩු ඇතැයි පෙත්සම්කරුවෝ කියා සිටියහ. ඔවුන්ගේ මූලික ඉල්ලීම වන්නේ මෙම සංශෝධනය පාර්ලිමේන්තුවේ 2/3න් සහ ජනමත විචාරණයකින් සම්මත කරගත යුතු බවය. පෙත්සම් විභාගයට විජිත හේරත් මන්ත‍්‍රීවරයාගේ පාර්ශ්වයෙන් කරුණු දැක්වීම ඉදිරියේදී සිදුවීමට නියමිතය.

”පෙත්සම්කරුවෝ පැහැදිලි කිරීම්වලදී විකෘති අදහස් තමයි ඉදිරිපත් කරන්නේ. අපිට නීතිමය පැහැදිලි කිරීම්වලින් ඒ විකෘති නැති කරන්න පුළුවන්. ජාතිවාදී පදනමින් තමයි ඒ අය මේක විස්තර කරන්නේ. ජනතාව මුලා කරන්නයි මේ විදියට හැසිරෙන්නේ.” සුනිල් වටගල ඇතුළු නීතිඥ කණ්ඩායම පෙත්සම් විභාගයෙන් පසුව සාකච්ඡාවක නිරත වූහ.

ගම්මන්පිලගේ දෙබිඩි ප‍්‍රකාශ වටගලගේ ප‍්‍රකාශ ඉදිරියේ පුස්සක් වෙයි

20වැනි සංශෝධනය සම්බන්ධයෙන් පෙත්සම් විභාගය ආරම්භ කෙරුණු 12වෙනිදා පෙත්සම් විභාගයට පෙර පෙත්සම්රුවෝ සහ විත්ති පාර්ශවයේ සියලූ දෙනා ශ්‍රේෂ්ඨාධිකරණ සංකීරණයේ කතාබහක නිරත වූහ. මේ අතර සුනිල් වටගල, උදය ගම්මන්පිල සහ තවත් නීතිඥ පිරිසක්ද සිටියහ. විධායක ජනාධිපති ධුරය පිළිබඳව මෙන්ම මාක්ස්වාදී දේශපාලනය සම්බන්ධයෙන්ද විවිධ තර්ක විතර්ක ඉදිරිපත් විය. ”මහින්ද රාජපක්ෂ විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලා ජනතාව ඉදිරියේ පොරොන්දු වුණා. පක්ෂ එක්ක ගිවිසුම් ගැහුව්වා. ඔබතුමා ඒකට සහය දුන්නේ ඇයි විධායක ජනාධිපති ධුරය තියාගන්න ඕන නම්.” සුනිල් වටගල ගම්මන්පිල මන්ත‍්‍රීවරයාගෙන් විමසා සිටියේය. ”ජවිපෙ එක්ක ගිවිසුම ගැහුව්වට පස්සේ රාජපක්ෂ මැතිතුමා අපිත් එක්ක සාකච්ඡුාවට ආවා. අපේ පැහැදිලි කිරීම්වලින් පස්සේ එතුමා තේරුම්ගත්තා විධායක ජනාධිපති ක‍්‍රමය ඕන කියලා” ගම්මන්පිල ලබාදුන්නේ අපූරු පිළිතුරකි. ”ඒක පුදුම කතාවක්. මහින්ද රාජපක්ෂ මහත්තයා තේරුමක් නැතුවද විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා කියලා ගිවිසුම් අත්සන් කළේ. මේ විදියට ජනතාව ගොනාට අන්දන්නද එයා කටයුතු කළේ.” වටගල, ගම්මන්පිලගෙන් පෙරළා ප‍්‍රශ්න කළේය.

”විධායක ජනාධිපති ක‍්‍රමයෙන් රටවල් හදලා තියෙනවා. අපි 20 ගැන නීතිඥයින් එක්ක පැය ගණන් සාකච්ඡා කළා. මේ 20 වැනි සංශෝධනයෙන් විධායක ජනාධිපති ක‍්‍රමය ශක්තිමත් වෙනවා” ගම්මන්පිල තවත් පරස්පර ප‍්‍රකාශයක් කළේය. ”අයියෝ මන්ත‍්‍රීතුමා. එහෙනම් මොකටද 20 පරද්දන්න හදන්නේ. ඔබතුමාලා මේක දිනවන්නනේ කටයුතු කරන්න ඕනෑ.” සුනිල් වටගල සිනාසෙමින් කියා සිටියේය.

”ඔබතුමාලගෙ නායකයා කියලා තිබුණා පිවිතුරු හෙළ උරුමයේ ඉන්නේ ගම්මන්පිල විතරයි කියලා. ඔබතුමා දන්නවද? පිවිතුරු හෙළ උරුමය කියන්නේ ජවිපෙට වැඩිය ලොකු පක්ෂයක්. ඔබතුමාලට ඒක තෙරෙන්නේ නෑ.” ගම්මන්පිල කීවේය. ගම්මන්පිලගේ කතාව අසාගෙන සිටි නීතිඥයින් සියලූ දෙනාටම පාහේ සිනා පහළ විය. ”ඒකනේ මන්ත‍්‍රීතුමා, කට්ටියගෙ හිනාවෙන්ම ඔබතුමාගෙ දේශපාලන දැනුම ගැන තේරෙනවා.” සුනිල් වටගල කියා සිටියේය. ”අනේ ඔයත් එක්ක කතා කරලා වැඩක් නැහැ” කියමින් ගම්මන්පිල යන්නට ගියේ ඉන් අනතුරුවය.

මෛත්‍රීගේ කතාවට ඉසුරට බය හිතෙයි

මහවැලි ක්‍රීඩා උත්සවයේ සමාරම්භය සටහන් කරමින් ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාම ආරම්භ කළේ නිදහස් චතුරශ්‍රයේ පැවැති උත්සවයකදීය. මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයට බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රියද පැමිණ සිටියේය. උත්සවය අවස්ථාවේදී බැලුම් අහසට යැව්වේ තරුණ තරුණියන්ගේ සහභාගිත්වයද ඇතිවය. “දන්නවාද මේකට මොකද කියන්නේ කියලා” මෛත්‍රී, ඉසුරගෙන් ඇසුවේ ඉහළ යන බැලුම් පෙන්වමිනි. “මොකක්ද සර්” ඉසුර විමසීය. “මේකට තමයි කියන්නේ පුම්බලා උඩ යවනවා කියලා” මෛත්‍රී කීවේ සිනාසෙමිනි. ඉසුරත් සිනාසුනා මිස කිසිවක් කියන්න ගියේ නැත. “මට ඕනනම් ඔයත් පුම්බලා උඩ අරින්න පුළුවන්” මෛත්‍රී කිවේය. “වෙන කෙනෙක් කිව්වනම් බය නෑ. ඒත් සර් ඔහොම කිව්වම බය හිතෙනවා” ඉසුර කීවේ සිනාවෙමිනි.

ජනබලය විරෝධතාවට ගෙන්නපු සෙනඟෙන් බාගයයි ආවේ - චමල්ගෙන් දොස්

මහින්දගේ හිතවතෙක් වන මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ මාමණ්ඩිය වන චන්ද්‍රිකා ආණ්ඩුවේ වසර දහයක් කැබිනට් ‍ලේකම් ධුරය දැරූ ධර්මසේන විජේසිංහ අභවප්‍රාප්ත වූයේ පසුගිය සතියේදීය. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු විරෝධතාවට ගොස් සිටි නිසා ඒකාබද්ධයේ මන්ත්‍රීවරු වැඩි දෙනෙක් බ්‍රහස්පතින්දා උදේ අවමඟුල් නිවසට පැමිණ තිබුණේ නැත. දහවල් එකට පමණ හදිසියේම ආරක්ෂාව වැඩි කළේ කවුරුන් හෝ ප්‍රභූවරයෙක් පැමිණෙන බව අඟවමිනි. එසේ එක්වරම පැමිණියේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාය. මෛත්‍රී පැමිණ දේහයට අවසන් ගෞරව දක්වා එළියට එන විට ඔහුගේ මුහුණට මුහුණ හමුවූයේ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා සහ මාධ්‍යවේදියෙකි. “කොහොමද මන්ත්‍රීතුමා” යැයි කියමින් මෛත්‍රී උදයට කීවේය. “සර්” යැයි කියමින් උදයත් මෛත්‍රී සිටි තැනට ආවේය. “මොකද මේ නිදිමරලා වගේ ඉන්නේ” මෛත්‍රී ඇසුවේ සියුම් සිනහවක් මුවට නංවා ගනිමිනි.

“අපේ වැඩේ තිබුණානේ සර්. ඒකට නිදි මැරුවා. ඒ විතරක් නමෛයි මේකේ සංවිධාන වැඩවලට දවස් කීපයක් නිදි මරන්න වුණා” උදය කියා සිටියේය. “ඔය තරුණ වයසට ඔය විදියට නිදිමරන්න එපා. ඒක සෞඛ්‍යයට හොඳ නෑ. අපි නම් නියම වෙලාවට කාලා නියම වෙලාවට නිදාගන්නවා” මෛත්‍රී පැවැසුවේය. “අපිට කොහෙන්ද සර් ඒ වගෙ පිනක්” උදයත් අනෙක් අතටම කීය. ඒ අතරම උදය ගම්මන්පිලගේ නඩු ගැනද කතාවක් ඇදී ආවේය. ඔහු සමග ටික වේලාවක් කතා කරමින් සිට මෛත්‍රී එතැනින් පිටත්ව ගියේය. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු එහි පැමිණියේ මෛත්‍රී පිටත්ව ගිය පසුවය. චමල් රාජපක්ෂ සහ බන්දුල ගුණවර්ධන සහ මාධ්‍යවේදියෙක් ආගිය කතා කතා කරමින් සිටින අතරවාරයේදී ඒකාබද්ධයේ විරෝධය ගැනත් අදහස් මතුවිය. “විරෝධතාවය සාර්ථකයි. ඒත් ගේනවා කියලා කියපු සෙනඟෙන් බාගයයි ආවේ” චමල් කීවේය. “මේකේ අවසානය කොහේද කියන එක ගැන සැලසුමක් තිබුණේ නෑනේ. ඒක නිසා රෑ වෙනකොට ගොඩක් අය ගෙවල්වල ගියා” බන්දුලත් විරෝධතාව ගැන අදහස් දැක්වූවේය.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මෙරිල් පෙරේරාගේ පුතාගේ සහ දෙවිනුවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක නිලංග රාජපක්ෂගේ සහෝදරියගේ දියණියගේ විවාහ මංගල උත්සවය පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැවැත්වුණේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදීය. එක් පාර්ශ්වයක් වෙනුවෙන් මහින්ද සාක්ෂියට අත්සන් කිරීමට නියමිතව තිබූ අතර අනෙක් පාර්ශ්වයෙන් සාක්ෂියට අත්සන් කළේ මෛත්‍රීය. මහින්ද නැකැත් වේලාවට පෙර හෝටලයට පැමිණ තිබුණේය. මෛත්‍රී පැමිණියේ නැකැත් වේලාව ආසන්නයේදීමය. මෛත්‍රී සහ මහින්ද වෙනුවෙන් වෙනම මේස දෙකක් වෙන් කර තිබුණේ ඔවුන් දෙදෙනා එකම මේසයක අසුන් නොගනු ඇතැයි විශ්වාස කළ නිසාය. එහෙත් සාක්ෂියට අත්සන් කර මහින්ද තමන්ගේ මේසයට ගොස් වාඩි වන විට මෛත්‍රීත් ඔහු පිටුපසින්ම ගොස් ඒ අසලින් වාඩිවිය. මහින්ද මෛත්‍රී අතර මැද සිටියේ රංජිත් සියඹලාපිටිය ඇමැතිවරයාය. මෛත්‍රීගේ එක් පසෙකින් ඉසුර වූ අතර මහින්දගේ අනික් පසින් ප්‍රසන්න විය. “ඊයේ රෑ දඟලලා මහන්සිත් ඇති නේද” මෛත්‍රී මහින්දගෙන් අසමින් පුටුවෙන් වාඩිවිය. “අපිට ඉතිං ඕවා පුරුදුයි. මෙයා නම් ඉවර වෙනකම් එතැනට වෙලා හිටියා” මහින්ද පිළිතුරු දුන්නේ ප්‍රසන්න පෙන්වමිනි. “හැමතැනම කුණු එහෙම දාලා තිබුණානේ” මෛත්‍රී ඇසුවේය. “නෑ.. නෑ.. අපි සුද්ධ කරලයි ගියේ” ප්‍රසන්න වහාම කීවේය. “සුද්ධ කරලා තිබුණේ නෑ. මම උදේ දහයට මඟුල් ගෙදරකට යනකොටත් කුණු තිබුණා. නගර සභාවත් කිව්වේ සුද්ධ කරලා නෑ කියලයි” මෛත්‍රී කීවේය. “ඒක නම් වෙන්න බෑ. අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ටික කුණු සේරම සුද්ධ කරලා පාරත් අතුගාලයි ගියේ. සමහරවිට අපි ගියාට පස්සේ වෙන කවුරුහරි අපි අල්ලන්න ගෙනත් දැම්මද දන්නේ නෑ” ප්‍රසන්න කීවේය. ටික වේලාවකින් මහින්ද එතැනින් පිටත්ව ගිය අතර මෛත්‍රී තව ටික වේලාවක් සිට එතැනින් පිටත්ව ගියේය.
“දැක්කද ඊයේ පෙළපාළි ගියාට අද දෙන්නම යන්නේ එකට. ඕක තමයි කවදාහරි වෙන්නේ. දෙන්නා එකතු වෙනවා” එය දුටු ඉසුර කීවේය.

මහින්දට තීන්දු ගන්න අමාරුයි - රනිල්ගෙන් විග්‍රහයක්

එක්සත් ජාතික පක්ෂයේ හැත්තෑ දෙවැනි සංවත්සරය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණේ රනිල්ගේ ප්‍රධානත්වයෙන්ය. රනිල් පක්ෂ සංවත්සරයට සහභාගිවීමට පෙර සිරිකොතේ තමන්ගේ කාර්යාලයට ගියේය. “සර් ආණ්ඩු පෙරළන්න ආපු ‍පොහොට්ටුවේ අය හොඳටම බිලා පෙරළුණා මිසක් ආණ්ඩුව පෙරළන්න බැරිවුණානේ” රනිල්ගේ මුහුණට හමුවූ කිරිඇල්ල කීවේය. “මාත් එක්ක කාර්යාලයට යන්න එන්න” යැයි කී රනිල් කිරිඇල්ල තමන්ගේ කාර්යාලයට කැඳවාගෙන ගියේය.

“බැසිල් නැතිව එයාලාට රැස්වීමක්වත් තියාගන්න බැරි තරම්. සමෘද්ධි අය දැන් එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයවීම නිසා ලොකු පාඩුවක් වුණා. මහින්ද දැන් විකල්පයක් නෙමෙයි කියලා පෙනුණා” නවීන් දිසානායක ඇමැතිවරයා රනිල්ගේ මුහුණටම කීවේය. “‍පොහොට්ටුව ඇතුළේ ප්‍රශ්නය ගිනියම් වෙලා කියන එක ඔප්පු වුණා. බැසිල්ගේ පිල විරෝධතාවයට කකුල් මාට්ටු දැම්මා. ඊළඟට බැසිල් රැලියක් කරන වෙලාවට අනික් අය කකුලෙන් අදීවි. බෙදීම ඒ තරමට තියුණුයි. ඒ නිසා මහින්දට තීන්දු ගන්න අමාරුයි” රනිල් විග්‍රහ කළේය. මේ කතාබහ අවසන් වූයේ රනිල් පක්ෂ සම්මේලනයට යාමට නැගිටීමත් සමගය. පක්ෂ සම්මේලනයට ගිය රනිල් කීවේ තමන් දෙවැනි පෙළ නායකත්වයට නායකත්වය දෙන්නේ 2030දී බවය. ඒ කතාවෙන් රනිල් නොකියා කීවේ තමාට අවුරුදු 80ක් පිරෙන තෙක් එජාප නායකත්වයෙන් ඉවත් නොවෙන බවය.

පාර්ලිමේන්තුවේ ලොබියේදී බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා හා ඩී.වී.චානක මන්ත්‍රීවරයා එකට එන විට ෂෙහාන්ට හා පියල් නිශාන්තට ඔවුන් දෙදෙනා හමුවිය. “ආ..ඩී.වී. දැන් මාමමත් එක්කමනේ ගමන” ෂෙහාන් විහිළු කරන්නට පටන් ගත්තේය. “එහෙම එක්ක නෑ”ඩී.වී. කීවේ ලැජ්ජාවෙන් ඇඹරෙමිනි.

“අපිටත් ආරංචියි දැන් මේවා. දැන් අඳින්නේ, කතා කරන්නේ, හැසිරෙන්නේ මාම කියන විදියටලු නේද” ෂෙහාන් විහිළු කරන්න ගත්තේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පෙන්වමිනි. “දැන් ඉතිං ටෙම්පල් ට්‍රීස්වල ඕනම කෙනෙක්ට වෙඩින් එකක් ගන්න පුළුවන්නේ. ඒකේ වාසියත් මේ අයටම තමයි” පියල් කීවේය. “ඉස්සර අරලියගහ මන්දිරයේ දන්සල් දෙනවා කියලා යූ.එන්.පී. එක මැරෙන්න හැදුවා. දැන් ඒකේ මඟුුල් නටනවා” ෂෙහාන් කීවේ චතුර සේනාරත්න මන්ත්‍රීවරයාගේ විවාහ මංගල උත්සවය සිහිපත් කරමින්ය.

Rate this item
(1 Vote)