April 28, 2024

ජනපති හදිසියේ කැඳවූ කැබිනට් රැස්වීමේ තොරතුරු හෙළිවෙයි

September 13, 2018

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) කැඳවා තිබූ කැබිනට් මණ්ඩලයේ හදිසි විශේෂ රැස්වීම පැය කිහිපයක සාකච්ඡාවකින් පසු අද පස්වරුවේදී අවසන් විය.

ජනාධිපතිවරයා මෙම හදිසි කැබිනට් රැස්වීම කැඳවා තිබුණේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, හිටපු නාවික හමුදාපති, අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පිළිබඳ ප්‍රශ්නය සාකච්ඡා කිරීමට බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග ඒෂියන් මිරර් වෙත පැවසී ය.

රහස් පොලීසිය විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ප්‍රශ්න කිරීමට කැඳවා තිබීමත් ඉන් අනතුරුව අත්අඩංගුවට ගැනීමේ සූදානමත් පිළිබඳවත් මෙහිදී දැඩිව කතාබහට ලක්ව තිබේ.

ආරක්ෂක අංශයේ ඉහළ පෙලේ නිළධාරීන්ට චෝදනා ඇත්නම් නඩු පවරා කටයුතු කළ යුතු බවත් රහස් පොලීසියට අවශ්‍ය පරිදි හමුදා ප්‍රධානීන් අත්අඩංගුවට ගැනීමට, රඳවා ප්‍රශ්න කිරීමට නොහැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

එහිදී මංගල සමරවීර, මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ, රාජිත සේනාරත්න, සුජීව සේනසිංහ යන ඇමැතිවරුන් පෙන්වා දී ඇත්තේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අවංක නිලධාරියෙකු බවත් එලෙස රහස් පොලීසියට අන්තනෝමතික ලෙස කටයුතු කිරීම වැරදි ක්‍රියාවක් බවත්ය.

පසුව කැබිනට් මණ්ඩලයේදී තීරණය ගෙන ඇත්තේ කිසිදු හමුදා ප්‍රධානියෙකු අත්අඩංගුවට ගෙන හෝ රඳවා ප්‍රශ්න කිරීමට නොහැකි බවත් අවශ්‍ය නම් චෝදනා ඇත්නම් නඩු පැවරීමට හැකි බවත්ය.

පුද්ගලයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළව සැකකරුවන්ට නඩු පැවරීමද කඩිනමින් කටයුතු කළ යුතු බවටද කැබිනට් මණ්ඩලයේදී තීරණයක් ගෙන තිබේ.

කීත් නොයාර් මහතාට පහරදී කෲර වදහිංසා කළැයි කියන සිද්ධියට අදාළව ආධාර අනුබල දුන්නැයි මාස පහකට අධික කාලයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ, මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා ඇප මත මුදා හැරීමේ සිද්ධිය ගැනද අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.

එහිදී රහස් පොලීසිය කටයුතු කර ඇති ආකාරය වැරදි සහගත බවත් බොරු චෝදනා මත අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කර පසුව ඇප මත නිදහස් වීම ගැන රහස් පොලීසිය වගකීම බාර ගත යුතු බවත් ඇමැතිවරුන් පෙන්වා දී තිබේ.

මේ කාරණා පිළිබඳ දැඩි අවධානය යොමු කරමින් පසුව කැබිනට් ඇමැතිවරු තීරණය කර ඇත්තේ කිසිදු හමුදා ප්‍රධානියෙකු අත්අඩංගුවට ගැනීමට පෙර චෝදනා ඇත්නම් අධිකරණයේ නඩු පැවරිය යුතු බවයි.

මේ අතර අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා වත්මන් හමුදාපතිවරයා ගැන සිදු කර ඇති ප්‍රකාශය ගැනද ඇමැතිවරුන්ගේ දැඩි විරෝධය පළ කර ඇති අතර ඉන් ආණ්ඩුව ගැන ජනතාව අප්‍රසාදය පළ කරන බව පෙන්වා දී තිබේ.

මෙම විශේෂ කැබිනට් රැස්වීම අද දහවල් 12.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ආරම්භ වූ අතර සියලුම අමාත්‍යවරුන්ට අද දහවල් පැවැත්වෙන විශේෂ කැබිනට් රැස්වීමට සහභාගි වන ලෙස ජනාධිපති කාර්යාලය ඊයේ (12) පස්වරුවේ ඇමැතිවරුන්ට දුරකථනයෙන් දැනුම් දී තිබිණි.

සුපුරුදු පරිදි සෑම අඟහරුවාදා දිනකම පෙරවරුවේ සතිපතා කැබිනට් හමුව පැවැත්වෙන අතර ඊට අමතරව ජනාධිපතිවරයා විසින් මෙම විශේෂ කැබිනට් හමුව කැඳවා තිබිණි.

Rate this item
(2 votes)
Last modified on Sunday, 16 September 2018 13:14