May 06, 2024

මත්තල පාඩුව ඉන්දියාව බාර නොගනී - හොරෙන් සිදු කරන ඩීල් එකක්

September 11, 2018

පාඩුව බෙදා ගැනීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුකාරි තත්ත්වයක් හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉන්දියාවට බදු දීමේ ගනුදෙනුව ඇණහිට ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ රජයේ තක්සේරු වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 229කට දිගුකාලීන බදු පදනම යටතේ ඉන්දියාවට පැවරීමට රජය යෝජනා කර තිබිණි. ඊට ඉන්දියාවද කැමැත්ත පළකර තිබේ.

එම ආරංචි මාර්ග සඳහන් කළේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ පවත්වාගෙන යාමේදී සිදුවන පාඩුව බාර ගැනීම ඉන්දියාව ප්‍රතික්ෂේප කර ඇති බවයි.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ වාර්ෂික ආදායම රුපියල් මිලියන 14.7ක් පමණ වන අතර එහි වියදම රුපියල් බිලියන 5,650ක් පමණ වන බව වාර්තා වේ.

මේ තත්ත්වය තුළ මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට පැවරීමේ ගනුදෙනුව තවදුරටත් ප්‍රමාද වනු ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් ඉන්දීය රජයට සියයට 70ක කොටස් සහ ශ්‍රී ලංකා රජයට සියයට 30ක කොටස් ලැබෙන පරිදි ගිවිසුම සකස් කිරීමට සාකච්ඡා කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ඒෂියන් මිරර් වෙත පැවසුවේය.

ඒ සඳහා ඉන්දීය රජයේ නියෝජිතයින් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවත් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉන්දීය සහ ශ්‍රී ලංකා රජයන්ගේ ඒකාබද්ධ හවුල් ව්‍යාපාරයක් ලෙස ගුවන් සේවා හා මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමට එහිදී සාකච්ඡා කළ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඉන්දීය රජයේ නියෝජිතයන් සමඟ ඒ සම්බන්ධයෙන් පැවැත්වූ මූලික සාකච්ඡා සාර්ථක මට්ටමක පවතින බවත් නමුත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගත් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

මත්තල ගුවන්තොටුපොළෙහි තක්සේරු කටයුතු සිදුකරගෙන යන බවත් මුළු තක්සේරු වටිනාකමෙන් 70%ක කොටස් ඉන්දීය රජය ලබාගත් පසුව ඊට අදාළව ඇමෙරිකානු ඩොලර් මිලියන 225ක් පමණ ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම හවුල් ව්‍යාපාරය සිදුකරන්නේ කොපමණ කාලයකටද යන්න පිළිබඳව මේ වනවිට සාකච්ඡා කළද අවසන් තීරණයක් නොගත් බවද කියා සිටියේය.

දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ තව දුරටත් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයට රජය පත්ව තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවත් ඔහු පැවසී ය.

මත්තල ගුවන්තොටුපොල ආරම්භ කළදා පටන් මේ දක්වා කිසිදු දිනක ලාබ ලබා නොමැති බවත් වසරකට කෝටි 100 බැගින් වසර 15ක ණය වාරිකයක් ගෙවීමට රජයට සිදුව ඇති බවත් මේ වන විට එම ණය වාරික ගෙවන්නේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොලෙන් ලැබෙන ආදායමෙන් බවත් නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

හොරෙන් සිදු කරන ඩීල් එකක්

මේ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් වෙත අදහස් දක්වමින් දූෂණ විරෝධි හඩ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවසූවේ මත්තල ගුවන්තොටුපොල ඉන්දියාවට ලබා දීමේ ගිවිසුම “හොරෙන් සිදු කරන ඩීල් එකක්“ බවයි.

පසුගියදා ඉන්දියානු සමාගම් සහ ඉන්දියානු රජයේ නිලධාරීන් මෙරටට පැමිණ ඊට මැදිහත්වෙමින් රටට හොරෙන් ඇති කර ගන්නා තවත් එක් ගිවිසුමක් බවත් මෙය දේශපාලන ගේම් වගේම දෙයක් බවත් සමරසිංහ මහතා සඳහන් කළේය.

පසුගිය සමයේ චීනය සතුටු කිරීමට හම්බන්තොට වරාය දුන් බවත් ඉන්දියාව සතුටු කිරීමට මත්තල ගුවන්තොටුපොල පවරාදීමට යන බවත් රටේ ණය වලින් ඉදිකර ඇති ආයතන ලාභ ලබන ආයතන බවට පත් කිරීම වෙනුවට හොරාට විකුණන වැඩක් සිදුකරන බවත් ඔහු කියා සිටියේය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 12 September 2018 11:30