May 06, 2024

කරළියෙන් එහා: මෛත‍්‍රී - අනුර කුමාර රහස් සාකච්ඡාවක! “ජනබලය“ විරෝධතාවයෙන් බැසිල් ඉවත්වෙයි

September 07, 2018

මේ සතියේ දේශපාලන කරළිය උණුසුම් මුහුණුවරක් ගත්තේ ඒකාබද්ධ විපක්ෂය විසින් පැවැත්වූ “ජනබලය කොළඹට“ විරෝධතාවය නිසාය. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොළඹට පාක්‍ෂිකයන් රැගෙන ඒමට ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලනඥයෝ කටයුතු සංවිධාන කර තිබුණද කොළඹට පැමිණ එම විරෝධතා රැලිය පැවැත්වීමේ ස්ථානයක් ප්‍රසිද්ධ කර නොතිබිණි. ඒකාබද්ධ විපක්‍ෂයේ විරෝධතාව මාසයක පමණ කාලයක සිටම ඉතා සූක්‍ෂම ලෙසින් සංවිධානය කර තිබිණ. සංවිධාන කටයුතුවල මූලිකත්වය ඒකාබද්ධයේ ප්‍රබලයන් කිහිප දෙනෙකුට බාරදී තිබුණු අතර සංවිධාන බලය ගම්මට්ටම දක්වා දියත් කර තිබිණ. බස්රථ සූදානම්කර ගැනීම, පාක්‍ෂිකයින් රැස්කර ගැනීම හා ඔවුන්ට ආහාර පානාදිය සපයාදීමට බාරදී තිබුණේ ප්‍රාදේශීය සභා සහ නගර සභාවල මන්ත්‍රීවරුන්ටය. ඔවුන් විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ සංවිධාන කටයුතු සංවිධානය කළහ. ඇතැම් දේශපාලනඥයන් සිය ආධාරකරුවන්ට ඔවුන්ගේ නම ගැසූ ටී-ෂර්ට් පවා බෙදාදී තිබිණ. ඇතැම් මන්ත්‍රීවරුන් හා සංවිධායකයන් ඔවුන්ගේ පෞද්ගලික වියදමින් රුපියල් ලක්‍ෂ ගණනක් වැය කර තිබූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. තවත් පිරිසකට ව්‍යාපාරිකයන්ගේ අනුග්‍රහය ලැබී තිබුණු බවද දැනගන්නට තිබේ. ඒකාබද්ධ විපක්‍ෂයේ විරෝධතාව පසුගිය බදාදා පස්වරුවේ ආරම්භ වී එ මැදියම් රෑ වන තුරුත් පැවතීම විශේෂයක් වූ අතර එවැන්නක් මෙරට දේශපාලනයේ සිදු වූ පළමු අවස්ථාව බවද පැවසේ. ඇතැම් විදේශීය රටවල විශේෂයෙන් තායිලන්තය වැනි රටවල රැය පහන්වනතුරු පැවැත්වෙන විරෝධතා තිබෙන අතර මෙවර ඒකාබද්ධ විපක්‍ෂය සංවිධානය කර තිබුණේ එවැනි ආකාරයක විරෝධතාවයකි. විරෝධතා කරුවන්ට මෙන්ම දේශපාලනඥයන්ට ද එම විරෝධතාව නැවුම් හා විශේෂ අත්දැකීමක් වූ බවද දේශපාලන විචාරකයෝ සඳහන් කරති.

බැසිල් “ජනබලය කොළඹට” මඟහරී

විරෝධතාව පැවැත්වූ පසුගිය 05 වනදා උදෑසන සාකච්ඡා වට කිහිපියක්ම පැවැත්විණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්නයෙන් ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් කොළඹ විජේරාම පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්විණි. ඊට සමගාමීව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන වෘත්තීය සමිති නායකයින්ද පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සංවිධානයද සමඟද විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණේ විරෝධතාවයේ අවසන් සැලසුම හෙළි කරමිනි. මේ අතර කාගේත් අවධානය වූයේ මෙම ජනබලය කොළඹට විරෝධතාවය සැලසුම් කිරීමේ නායකත්වය ගෙන තිබූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා දෙසය. ඊටත් වඩා ඒකාබද්ධයේ ජ්‍යෙෂ්ඨයින්ට නොරිස්සන සුළු දෙයක් වී තිබුණේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ සාකච්ඡාවේදී නාමල් රාජපක්ෂ මහතා මූලිකත්වය ගෙන එම සාකච්ඡාව මෙහෙයවීම පිළිබඳවය. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් වැඩි කාර්ය බාරයක් බාරව සිටියේ හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාටය. ඔහු රටපුරා මහා සංවිධාන ජාලයක් ගොඩනගාගෙන තිබුණු අතර ඒකාබද්ධ විපක්‍ෂයේ කටයුතුද ඔහු විසින් සංවිධානය කෙරිණි. එහෙත් මෑතකදී රාජපක්‍ෂ සහෝදරයන් අතර හටගෙන තිබෙන යම් යම් මත ගැටුම් හේතුවෙන් බැසිල් රාජපක්‍ෂ තරමක් පසුගාමී තත්ත්වයකට පත් වී තිබෙන බවක් දක්නට ඇතැයි ඇතැම් පිරිස් අදහස් දක්වා තිබිණි. ඒකාබද්ධ විපක්‍ෂයේ බැසිල් හිතවාදී දේශපාලනඥයෙක් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු සමඟ ඒ පිළිබඳව අදහසක් ප්‍රකාශ කර ඇත්තේ “බැසිල් තමයි සංවිධාන කටයුතුවලට හොඳම මිනිහා. මිනිස්සු රැස්කරන්න බැසිල්ට හොඳ සංවිධාන ජාලයක් තිබෙනවා. ඒ දක්‍ෂතාව ගෝඨාභයට නැහැ. ඒ නිසා බැසිල් නැතිව මේ වගේ සංවිධානාත්මක කටයුතු කරන්න අමාරුයි” යනුවෙනි. එහෙත් බැසිල් රාජපක්‍ෂ “කොළඹට ජනබලය” සංවිධානය කරන්නට ඉදිරිපත් වූයේ නැත. ඒ වෙනුවෙන් කිසිදු කැපකිරීමක් බැසිල් රාජපක්‍ෂගෙන් සිදු නොවූ බවට ඒකාබද්ධයේ නායකයෙක් එළිපිටම චෝදනා කර තිබිණ. මෙවර සැලසුම් කර හෝ නොකර බැසිල් රාජපක්‍ෂ විදෙස් ගත වී තිබිණ. “නාමල්ගේ වැඩක් විදියට තමයි මේක මුල ඉඳන්ම ප්‍රකාශයට පත් වෙලා තිබුණේ. ඒකට බැසිල්ගෙ වැඩි මනාපයක් නැහැ. ඒ නිසා කරල බලන්න කියල වගේ අදහසක් දීලා බැසිල් රට ගියා” යැයි ද සුළු දේශපාලන පක්‍ෂයක නායකයෙක් කියා තිබේ. මේ අතර ඒකාබද්ධ විපක්‍ෂයේ විරෝධතාව සම්බන්ධයෙන් ආණ්ඩුව දින කිහිපයකම සිට දැඩි අවධානයක් යොමු කර තිබූ නමුත් ආණ්ඩුව මුලින් ප්‍රකාශ කර තිබුණේ විපක්‍ෂයේ විරෝධතාව එතරම් ගණන් නොගන්නා බවය. “මේ ආණ්ඩුව රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් ලබාදී තිබෙනවා. ඒ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස භුක්ති විඳින්න විපක්‍ෂයට පුළුවන්. හැබැයි ජනතාවට හෝ පොදු දේපළවලට හානියක් සිද්ධ වෙන්න බැහැ” යැයි ආණ්ඩුවේ මැති ඇමැතිවරු ප්‍රකාශ කර තිබේ. අගමැතිවරයා ද ඒකාබද්ධ විපක්‍ෂයේ විරෝධතාව පිළිබඳ අදහස් ඉදිරිපත් කර තිබුණු නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිසිදු ප්‍රකාශයක් හෝ අදහසක් පළකර නොතිබීම විශේෂත්වයකි.

“ජනබලයට“ මහින්දත් කැමැති නෑ

මේ අතර ආණ්ඩුවේ හැසිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේම දේශපාලනඥයන් පිරිසක් පසුගිය සඳුදා කොළඹ ඇමැති නිල නිවසකදී හොර රහසේම සාකච්ඡාවක් පවත්වා තිබිණි. නොනිල මට්ටමින් පැවැති එම සාකච්ඡාවේදී ආණ්ඩුවේ ඇමැතිවරයෙක් මෙලෙස අදහස් දක්වා තිබේ. “මහින්ද රාජපක්‍ෂ වුණත් ඔය වැඬේට ඒ තරම් කැමති නැහැ. ඒත් මහින්දට තවමත් ජනබලයක් තිබෙනවාය කියන එක පෙන්නන්නත් ඕක හොඳ අවස්ථාවක්. විරෝධතාව සංවිධානය කළේ සුළු පක්‍ෂවල නායකයන්ගේ විශේෂ උවමනාවට. අපට ලැබිලා තියෙන තොරතුරුවලට අනුව අවසන් මොහොතේ මහින්දට වැඬේට එකඟ වෙන්න සිද්ධ වුණා” යැයි එම ඇමැතිවරයා සඳහන් කළේය. “ආණ්ඩුව කොළඹ විරෝධතාව ගණන් ගන්නේ නැති තත්ත්වයක් තමයි පෙන්නුවේ. ඒ වුණාට ආණ්ඩුව සූදානම් වුණා පොලිසියට සහ ආරක්‍ෂක අංශවලට උපදෙස් දීලා තිබුණා. ඒ අනුව ඉකුත් අඟහරුවාදා ඉඳලම කොළඹ වැදගත් මර්මස්ථානවලට දැඩි ආරක්‍ෂාවක් යොදවා තිබුණා.” සඳහනක් කරමින් තවත් අයෙක් කියා සිටියේ ආණ්ඩුවේ රහසක් හෙළිකරන බවක් පෙන්වමිනි. “පෙළපාලි ගිහින් කොළඹ බිම වාඩිවෙලා සෙනඟ පෙන්නලා ආණ්ඩු පෙරළන්න බැහැ. යම් විරෝධතාවයක් දක්වන්න පුළුවන්. ආණ්ඩුවක් පෙරළන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තිබෙනවා. ඒක මැතිවරණය. මැතිවරණයකින් තමයි ආණ්ඩුවක් පෙරළන්න වෙන්නේ. එතැනින් මෙපිට මුකුත් කරන්න බැහැ. ඒකාබද්ධ විපක්‍ෂයේ පිරිස් බ්‍රහස්පතින්දා ගෙදර ගියා ආණ්ඩුවට මුකුත් වුණේ නැහැ” යැයි විරෝධතාවයෙන් පසුව තවත් පිරිසක් අදහස් ප්‍රකාශ කරමින් සිටිති.

20 පාර්ලිමේන්තුවට

මෙම මස මුල් සතියේ පාර්ලිමේන්තු සභාවාරයක් පැවැත්වීමට නියමිතව තිබූ අතර ජවිපෙ 20වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා න්‍යාය පුස්තකයට ඇතුළත් වී ඇතිද යන්න සොයා බැලූවේ සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයාය. එය පස්වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිතව තිබූ අතර එය කළ යුතුව තිබුණේ විජිත හේරත් මන්ත‍්‍රීවරයාගේ පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙසය. කෙසේ වෙතත් මන්ත‍්‍රීවරයා කොරියාවේ සිටි බැවින් සුනිල් හඳුන්නෙත්ති දුරකතනයෙන් ඔහු දැනුවත් කළ අතර විජිත හේරත් කියා සිටියේ තමන් 04 වෙනිදා අළුයම දිවයිනට පැමිණෙන බවයි. විජිත හේරත් විසින් සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ යෝජනාව සිදු කළ අතර පක්ෂ නායක අනුර දිසානායක එය ස්ථිර කළේය. සභානායකවරයාගේ ඉල්ලීමක් අනුව 20 සංශෝධනය ගැන විජිත හේරත් විසින් කෙටි හැඳින්වීමක්ද ඉදිරිපත් කරන ලදී. පසුව ජවිපෙ මන්ත‍්‍රී කණ්ඩායම සභාගැබෙන් පිටතට පැමිණි අතර සිය පළමු කඩඉම් ජයග‍්‍රහණය පිළිබඳව සතුට බෙදා ගත්හ. පසුව විජිත හේරත් පාර්ලිමේන්තුවේ පනත් අංශයට ගොස් කාර්යමණ්ඩලයට සිය පක්ෂයේ ගෞරවනීය ස්තූතිය පුදකරන බව කියා සිටියේය.
”මන්ත‍්‍රීතුමා අපිට ස්තූති කළාට ඔබතුමාට ස්තූතියි. මොකද අපේ කාර්යභාරය මේ විදියට පැසසුමට ලක්වුණේ පළවෙනි වතාවට. ඔබතුමාලගේ උත්සාහයට අපි සුභ පතනවා.” පනත් අංශයේ නිලධාරියෙක් කියා සිටියේය.

මෛත‍්‍රී - අනුර සුහද කතාබහක

එදිනම අනුර, විජිත, නලින්ද පාර්ලිමේන්තු පුස්තකාලයට ගියේ පුවත්පත් කියවීම සඳහාය. පුවත්පත් බලමින් සිටි අනුර දිසානායකට පුස්තකාල සේවකයෙකු අතින් සංඥා කරමින් විශේෂ අමුත්තෙක්ද පුවත්පත් බලන බව හැඟවීය. ජවිපෙ මන්ත‍්‍රීවරුන්ගේ අවධානය ඒ දෙසට යොමුවිය. විශේෂ පුද්ගලයා වූයේ ජනාධිපතිවරයාය. ඔහු පාර්ලිමේන්තුවේ උත්සවයකට සහභාගිවීමට පැමිණ සිටියේය. අනුර දිසානායක මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයා අසලට පැමිණ සුහද කතාබහක නිරත විය. මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ උද්ඝෝෂණය පිළිබඳවද කතාව ඇදී ගියේය. ”හෙට වෙනකල් ඉන්නවා කිව්වට ? වෙන්න කලින්ම කට්ටිය යනවා. මම දන්නවනේ එයාලගෙ වැඩ” ජනාධිපතිවරයා කියා සිටියේය. කෙසේ වුවත් ජනාධිපතිවරයා 20වැනි සංශෝධනය පිළිබඳව කතා නොකර සිටීමට පරෙස්සම් විය. එතනට පැමිණි වෛද්‍ය නලින්ද ජයතිස්සද ජනාධිපතිවරයාගේ අවධානය ගැටලූවක් පිළිබඳව යොමු කළේය. සයිටම් ආයතනයේ සිසුන් කොතලාවල ආයතනයට අනුයුක්ත කළ පසුව ඔවුන්ගෙන් මුදල් අයකිරීම ගැටලූවක් බව ඔහු පෙන්වා දුන්නේය. ශිෂ්‍යත්ව පදනමින් සයිටම් ආයතනයේ අධ්‍යාපනය ලැබූ සිසුන්ගෙන්ද මුදල් අයකරන බව මන්ත‍්‍රීවරයා සඳහන් කළේය. ඒ පිළිබඳව සොයා බලන බවට ජනාධිපතිවරයා මන්ත‍්‍රීවරයාට පොරොන්දු විය.

බස්නාහිර පළාත් සභාවේ පුදුම දොරක් - වියදම කෝටිය පනී

පසුගිය කාලයේ බස්නාහිර පළාත් සභාව දේශපාලන වේදිකාවේ හොඳම මාතෘකාවක් විය. ඒ ලක්ෂ හයහමාරක පුටු 125ක් හේතුවෙනි. ඒ සම්බන්ධයෙන් කතාබහක් ඇතිවුනේ ජවිපෙ මන්ත‍්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චිගේ හෙළිදරව්වක් සමගිනි. මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිිටි මන්ත‍්‍රීවරයාට තවත් කරුණු ගණනාවක් පිළිබඳව තොරතුරු වාර්තා විය. පුටු සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ලැබුණු බව සැලවුණු මන්ත‍්‍රීවරයා ඔහුට දුරකතන ඇමතුමක් ලබාදුන්නේ කරුණු විමසා බැලීමටය. ”ආණ්ඩුකාරතුමා මට ආරංචියක් ලැබුණා පුටු ගැන විමර්ශන වාර්තාවක් ඔබතුමාට ලැබුණා කියලා. මට ඒකෙන් කොපියක් ගන්න පුළුවන්ද?” ලක්ෂ්මන් නිපුණාරච්චි විමසීය. ”මන්ත‍්‍රීතුමා ඒක රහස්‍ය වාර්තාවක්නේ. ඒක ගැන තව කරුණු හොයන්න ඕනෑ. මම මාධ්‍ය සාකච්ඡාවක් තියන්න තමයි හිතාගෙන ඉන්නේ.” ආණ්ඩුකාරවරයාගේ පිළිතුර විය. කෙසේ වෙතත් පුටු පිළිබඳ ටෙන්ඩරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුවේ බස්නාහිර පළාත් ලේකම්වරයා ප‍්‍රධානියා වන අතර ඔහු ටෙන්ඩර් මණ්ඩලයේද සාමාජිකයෙකි. රහස ඇත්තේ එතැන බව මන්ත‍්‍රීවරයාට දැනගන්නට ලැබිණි. එමෙන් තවත් වංචා දූෂණ ගණනාවක් ගැනද මන්ත‍්‍රීවරයාට දැනගන්නට ලැබී තිබේ. ඒ පළාත් සභා ගොඩනැගිල්ලේ පුදුමාකාර දොරක් පිළිබඳවය. එම දොර සඳහා කෝටියකට අධික මුදලක් වියදම් කර ඇති බව නිල නොවන ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබී ඇත. කෙසේ වෙතත් මේ පිළිබඳව මන්ත‍්‍රීවරයා පළාත් සභාවෙන් ප‍්‍රශ්නයක් විමසා ඇති අතර පිළිතුරු අපේක්ෂාවෙන් සිටියි. කෙසේ වෙතත් ලක්ෂ හයහමාරේ පුටුවල අසුන්ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි මන්ත‍්‍රීවරුන් ලක්ෂ්මන් නිපුණාරච්චි සමඟ ප‍්‍රකාශ නොකළ හැකි කෝපයෙන් පසුවන බවද දැනගන්නට තිබේ.

සිංගප්පූරු ගිවිසුම ගැන ජවිපෙන් අත්පත‍්‍රිකාවක්

ශ‍්‍රී ලංකා ආණ්ඩුව සහ සිංගප්පූරු රජය අතර අත්සන් කරන ලද ගිවිසුම පිළිබඳව මේ වනවිට ඇත්තේ විශාල කතාබහකි. නමුත් එහි බරපතළකම පිළිබඳ ජනතාව අවශ්‍ය ගැඹුරින් වටහාගෙන නොමැති බවද කතාබහක් තිබේ. මේ සම්බන්ධයෙන් ජවිපෙ නායකයින්ගේ අවධානය යොමු වූයේ දේශපාලන තත්වය පිළිබඳව ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදීය. ”ලංකාවම නිදහස් වෙළඳ කලාපයක් වෙන්නයි යන්නේ. ඒ විතරක් නෙවෙයි භාණ්ඩ වර්ග 3500ක පමණ බදු නිදහස් වෙනවා. ක‍්‍රමානුකූලව තවත් භාණ්ඩ වර්ග 3500ක ආනයන බදු නිදහස් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. මූල්‍ය, අධ්‍යාපන, ප‍්‍රවාහන, සෞඛ්‍ය, නීති, උපදේශන, ශ‍්‍රමික ආදී සේවා ක්ෂේත‍්‍ර ගණනාවට පුද්ගලයන්ට සහ සමාගම්වලට මැදිහත්වෙන්න දොර ඇරෙනවා. නමුත් අපේ රටේ ව්‍යාපාරිකයෝ වත් මේ ගැන අවශ්‍ය ප‍්‍රමාණයට මැදිහත්වීමක් නැහැ” සුනිල් හඳුන්නෙත්ති කීවේය. ”මාධ්‍යවේදීන්ටත් මේ ගැන හොඳම අදහස් නැහැ වගේ පේනවා. මාධ්‍යවේදීන් දැනුවත් කරන්න විශේෂ දැනුවත් කිරීමක් සංවිධානය කළොත් හොඳයි. මොකද මේ ගැන සංවාදය හදන්නේ වෙන්නේ මාධ්‍ය තුළින්.” වසන්ත යෝජනා කළේය. ”අපි මේ ගැන ජනතාව දැනුවත් කරන පත‍්‍රිකාවක් බෙදමු. ඊට අමතරව විද්වතුන්, ව්‍යාපාරිකයින් සහභාගි කරවාගෙන සම්මන්ත‍්‍රණ මාලාවක් පටන් ගමු” ටිල්වින් සිල්වා විසින් කළ යෝජනාවට සියලූ දෙනාගේ එකඟතාව පළ විය.

කොරියා ගිය විජිත ශ‍්‍රී ලාංකිකයින් සමඟ දින දෙකක්

ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවට කොරියා රජයෙන් ලද ආරාධනයකට අනුව පාර්ලිමේන්තු කණ්ඩායමක් විශේෂ සංචාරයක් සඳහා පසුගිය සතියේ සම්බන්ධ විය. කතානායකවරයාද නියෝජනය කළ එම කණ්ඩායමට ජවිපෙ නියෝජනය කරමින් සම්බන්ධ වූයේ විජිත හේරත් මන්ත‍්‍රීවරයාය. නිල කටයුත්තෙන් පසුව විජිත හේරත් මන්ත‍්‍රීවරයා තව දින දෙකක් කොරියාවේ රැඳී සිටීමට තීරණය කළේ කොරියාවේ ‘එතෙර අපි’ සංවිධානය විසින් සංවිධානය කොට තිබූ වැඩසටහන් කිහිපයකට සහභාගිවීමටය. දකුණු කොරියාවේ ශ‍්‍රී ලාංකිකයින් තිස්දහසකට අධික පිරිසක් රැකියා කරමින් සිටින අතර ඔවුහු ගැටලූ ගණනාවකට මුහුණ දෙමින් සිටිති. විජිත හේරත් මන්ත‍්‍රීරයා පළමු දිනයේ ශ‍්‍රී ලාංකිකයින් රැකියා කරන ස්ථානවලට ගොස් ඔවුන් සමඟ සුහද සාකච්ඡාවක නිතර වූ අතර ඇතැම් ආයතනවල පාලනාධිකාරිය සමඟද සාකච්ඡා වට කිහිපයක්ද පැවැත්වීය. එදින පස්වරුවේ ශ‍්‍රී ලාංකිකයින්ගේ නවාතැන්පොළවලට ගොස් ඔවුන් සමඟ රාත‍්‍රී ආහාරයද ලබාගත් මන්ත‍්‍රීවරයා ඔවුන්ගේ ජීවිත අත්දැකීම් බෙදා හදාගත් අතර වත්මන් දේශපාලන තත්වය ගැනද ඔවුන් දැනුවත් කළේය. පසුදින ‘එතෙර අපි’ සංවිධානය විසින් පෝචෝන්හිදී සමුළුවක් සූදානම් කොට තිබිණි. එහිදී විජිත හේරත් වර්තමාන දේශපාලන තත්වයත් විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින් මුහුණ දෙන ගැටලූ පිළිබඳවත් ජවිපෙ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙනුත් දේශනයක් පැවැත්වීය. එමෙන්ම විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින්ගේ ගැටලූ පිළිබඳ පාර්ලිමේන්තුවේ අවධානය යොමුකිරීමටත් අවශ්‍ය පියවර ගැනීමටත් ඔහු පොරොන්දු විය.

දයාසිරිට තවමත් ඇමැති සැප

ඇමැති ධූරයෙන් ඉවත් වූ ශ්‍රීලනිපයේ 16 කණ්ඩායමේ කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා තවමත ඇමැති නිල නිවස තවමත් රජයට බාර දී නොමැති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. වත්මන් යහපාලන ආණ්ඩුවේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා භාවිත කළේ කොළඹ විජේරාම මාවතේ පිහිටි ඇමැති නිල නිවස වන අතර එය නැවත අලුත්වැඩියා කර ඇතැයිද වාර්තා වේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුට ගෙන ආ පසුගිය අප්‍රේල් 04 වැනිදා ඔහු ආණ්ඩුවෙන් ඉවත් වූයේය. එම ඉවත්වීමෙන් පසු පුරප්පාඩු වූ ක්‍රීඩා අමාත්‍ය ධුරයෙහි ෆයිසර් මුස්තාෆා මහතා දිවිරුම් දුන්නේ මැයිමස පළමුවැනිදායි. ඒ අනුව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අමාත්‍ය ධුරයෙන් ඉවත්ව අදට මාස තුනක් ගතව ඇතැත් ඔහු තවමත් අමාත්‍ය ධුරකාලයේදී භාවිත කළ නිල නිවස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට භාර දී නොමැත. එම නිවස පිහිටා ඇත්තේ කොළඹ හත හෙක්කර්කොබ්බෑකඩුව අංක සී - 78 දරණ ස්ථානයේය. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය අවස්ථා ගණනකදී එම නිල නිවසින් ඉවත්ව එය තමන්ට භාර දෙන්නැයි දයාසිරි ජයසේකර මහතාට දන්වා ඇතත් එය දයාසිරි මන්ත්‍රීවරයා එය කිසිදු සැලකිල්ලකට ගෙන නැතැයි වාර්තා වේ. දයාසිරි ජයසේකර මහතාට එරෙහිව නඩු පවරා නිවස නැවත ලබා ගන්නා ලෙසට රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කර ඇතැයිද එම ආමත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

ජනපති කැමැත්තෙන් රවීට යළිත් ඇමැතිකමක්

එක්සත් ජාතික පක්ෂ උප නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට යලි කැබිනට් අමාත්‍යධූරය දීමට අවසන් එකඟතාවය ඇති වී තිබෙන බව දැනගන්නට තිබේ. යළි කැබිනට් ඇමැතිධූරයට පත් කිරීමට කිසිදු විරෝධතාවයක් නැති බව ජනාධිපතිවරයා තමාට දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා එජාප දේශපාලන මණ්ඩලයට නිල වශයෙන් දැනුම් දී ඇත. රවි කරුණානායක මන්ත්‍රීවරයා එලෙස දැනුම් දී ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේදී පෙරේදා (05) පැවැති එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමේදීය. එම රැස්වීමට එජාප ජාතික සංවිධායක, අමාත්‍ය නවින් දිසානායක, පක්ෂ මහලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, පක්ෂ සභාපති, අමාත්‍ය කබිර් හෂිම්, විදේශ රැකියා, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සි අලවතුවල හා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පි පෙරේරා යන මහත්වරු සහභාගී වී සිටියහ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි අවස්ථාවේ තමා හමුවූ බවත් එවිට මේ බව දැනුම් දුන් බවත් රවි කරුණානායක මහතා දේශපාලන මණ්ඩලයට සදහන් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට එරෙහිව පවතින චෝදනා පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට අගමැතිවරයා කළ දැනුම් දීමට අනුව නීතිපති මතයද ලබන සතියේ දැනුම් දීමට නියමිතය. ඉහත පසුබිම යටතේ රවි කරුණානායක මන්ත්‍රීවරයාට යළිත් කැබිනට් අමාත්‍යධූරය ස්ථිර වශයෙන්ම හිමිවිමට නියමිතය.

පළාත් සභා මැතිවරණය ගැන තවම අවුලක්

පළාත් සභා මැතිවරණය හොඳින් හෝ නරකින් හෝ ජනවාරි මාසයේදී පැවැත්විය යුතුම බවට මැතිවරණ කොමිෂන් සභාව ස්ථිර තීන්දුවකට එළැඹී තිබේ. “කතානායකතුමා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළා. අගමැතිතුමා ඒ කමිටුවට පත්වුණා. එතකොට කමිටුවේ සියලු සාමාජිකයන්ට නීතියෙන් වගකීමක් පැවරෙනවා. සීමා නිර්ණය වාර්තාව සංශෝධන කිරීමට මාස දෙකෙන් ඒක සිද්ධ වෙන්න ඕනේ. අපට අගමැතිගෙ කමිටුව විශ්වාසයි. ඡන්දය ජනවාරියේ ගන්න පුළුවන්” යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කර තිබේ. මැතිවරණ කොමිසමේ අදහස වී ඇත්තේ පළාත් සභා මැතිවරණය අනිවාර්යෙන්ම නව ක්‍රමයටම පැවැත්වෙන බවය. ඇතැම් සුළු දේශපාලන පක්‍ෂ තවදුරටත් දිගින් දිගටම විරෝධය පළකරන්නේ පළාත් සභා මැතිවරණය නව ක්‍රමයට පැවැත්වීම සම්බන්ධයෙනි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මෙන්ම ඇමැති මනෝ ගනේෂන්ගේ කණ්ඩායම ද පළාත් සභා මැතිවරණය නව ක්‍රමයට පැවැත්විය යුතු බවට ආණ්ඩුවේ නායකයන්ට දිගින් දිගටම බලපෑම් කරමින් සිටින බවක් පෙනෙන්නට තිබේ.

රනිල් ප්‍රශ්න අසා ඇමැති පට්ටම් දෙයි

ඊයේ (06) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති එජාප 72 වැනි සම්මේලනයට සහභාගී වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා “ජනබලය කොළඹට“ විරෝධතාවය ගැන සිහිපත් කළේය. පසුගියදා පැවැති “ජනබලය කොළඹට“ විරෝධතාවය නිසා එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සර සැමරුම කල් දැමීමට යෝජනා කර තිබූ බව අගමැතිවරයා සඳහන් කළේය. “සර් මේ සම්මේලනය තියන්න ඕනද. අරපැත්තෙන් එනවා පොහොට්ටුවෙන් එනවා බලය අල්ලගන්න. ආණ්ඩුව ආරක්ෂා කර ගන්න මේක කල් දාන්නද“ යනුවෙන් තමාට පෙරේදා දුරකතන ඇමතුම් කිහිපයක් ලැබුණු බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය. “අපි අපේ වැඩේ කරමු ඒක ඒගොල්ලන්ට ඒ වැඩේ කර ගන්න“ යනුවෙන් තමා එලෙස විමසූ අයට පිළිතුරු දුන් බවද අද බලන විට පොහොට්ටුවේ ජනබලයත් නොමැති බවත් මාධ්‍යයේ පච බලයත් නොමැති බවත් අගමැතිවරයා මාධ්‍යයටද චෝදනා කළේය. “ඊයේ සිදුවූ ඓතිහාසික වැඩකටයුත්ත මොකක්ද යන්න මට කියන්න. පළමු වතාවට නිවාස යෝජනා ක්‍රම 138 අපේ නියෝජ්‍ය නායකතුමා ආරම්භ කළා. කොයි මාධ්‍යයේද ඕක තිබ්බේ. මට අත උස්සලා හරි එක්කෙනා මට කියන්න. මන්ත්‍රී කමක් දෙන්නම් මන්ත්‍රී නෙමෙයි ඇමැතිකමක් දෙන්නම්. කොයි මාධ්‍යයද මාධ්‍යයෙන් මේ පක්ෂය නැති කරන්න බෑ.“ යනුවෙන් අගමැතිවරයා සිනහවෙමින් ප්‍රකාශ කළේය.

කොළඹ මහ නගර සභාවේ කොමසාරිස්වරයා සම්බන්ධයෙන් මේ වනවිට පරීක්‍ෂණ තුනක් පැවැත්වේ. කෝප් කමිටුව ආණ්ඩුකාර කාර්යාලය මෙන්ම මහ නගර සභාවද ඔහු සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වෙන්නේ මීතොටමුල්ල කුණුකන්ද සම්බන්දයෙන් ඉකුත් කාලයේ සිදුවූ සිද්ධීන්වලටය. ඒ කෙසේ වෙතත් නගර සභා ආරංචි මාර්ග සඳහන් කළේ අදාළ පරීක්‍ෂණ යට ගැසීමේ ක්‍රියාදාමයක් සිදුවන බවය. “කොළඹ මහ නගර සභාවේ රෙකෝඞ් රූම් එකේ නිලධාරියෙක් මාරු කරන්න හදනවා. එම නිලධාරියා හොඳින් වැඩ කරන නිසා පරීක්‍ෂණ යට ගහන්න අමාරුයි. ඒ නිසා ඔහු මාරු කරන්න හදනවා. අපි මේ ගැන ආණ්ඩුකාරතුමාට පැමිණිලි කළා” යැයි පොහොට්ටුවේ නාගරික මන්ත්‍රීවරියක් කියා සිටියාය.

Rate this item
(3 votes)