May 06, 2024

මහින්ද - ගෝඨා පිටකොටුවේදී රැලියට එක්වෙයි! පෙළපාලි 6 කින් කොළඹට එන ජනබලයේ සැලසුම මෙන්න

September 05, 2018

“ජනබලය කොළඹට“ විරෝධතාව සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පිටකොටුව බෝගහ ආසන්නයෙන් එක්වීමට නියමිත බව වාර්තා වේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද එම ස්ථානයෙන්ම විරෝධතාවයට සම්බන්ධවීමට නියමිත බව වාර්තා වෙයි.

මේ අතර ජනබලය කොළඹට විරෝධතාවය අද(05) පස්වරු 02.00ට පමණ ආරම්භ වීමට නියමිතය.

සංවිධායකයන් විසින් ඒ ඒ දිස්ත්‍රික්වලින් පැමිණෙන ජනතාව වෙනුවෙන් ඒ ඒ මාර්ග වෙන්කර දී තිබේ.

කෙසේවෙතත්, පිට පළාත්වලින් පිටත් වු ජනතාව රැගත් බස්රථ මේ වන විට කොළඹ නගර වෙත පැමිණෙමින් තිබේ.

ඒ අනුව ජනබලය කොළඹට විරෝධතා රැළියට සහභාගි වීම සඳහා පෙළපාලි 6 කින් ජනතාව පැමිණෙමින් සිටින බවත් උතුරු, උතුරුමැද, මධ්‍යම, දකුණු, සහ බස්නාහිර පළාත් නියෝජනය කරමින් මෙම පෙළපාලි කොළඹට පැමිණෙමින් සිටින බවත් වාර්තා වේ.

මෙලෙස පැමිණෙන පෙළපාලි මධ්‍යහ්න 12.00 ත් පස්වරු 2.00 ත් අතර කාලසීමාව තුළ කොළඹ එක් ප්‍රධාන ස්ථානයකදී එක්වීමට නියමිත බවත් ඉන් අනතුරුව විරෝධතා රැළිය පැවැත්වීමට නියමිත බවත් ඒකාබද්ධ විපක්ෂය සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂය විසින් ඔවුන්ගේ පණිවුඩ හුවමාරු කර ගැනීම සඳහා නියෝජිතයන් කිහිපදෙනෙකු කොළඹ සෑම ප්‍රධාන මංසන්ධියකම යොදවා ඇති බවත් විරෝධතා රැළිය පැවැත්වීම සඳහා ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානය සහ බොරැල්ල කැම්බල් පිටිය මුදල් ගෙවා වෙන් කරගෙන තිබුණද කොළඹ මහ නගර සභාව එම ක්‍රීඩාංගණ ලබා නොදීමට තීරණය කර ඇති බවත් වාර්තා වේ.

මේ අතර, අද දිනයේ ඉදිරි පැය කිහිපය තුළ විරෝධතා රැළියේ කටයුතු මෙහෙය විය යුතු ආකාරය පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්විණි.

අද දිනයේ කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 5000 කට වැඩි පිරිසක් යොදවා ඇති බවත් මහජන පීඩාවන් ඇති වන පරිදි කටයුතු කළහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් පොලිසිය පැවසී ය.

Rate this item
(4 votes)
Last modified on Thursday, 06 September 2018 13:24