May 06, 2024

ජනබලය කොළඹට කැඳවා මහින්ද ලොකු පෙරළියකට සැරසෙයි - පොලිස්පතිගෙන් ඒකාබද්ධයට අනතුරු ඇඟවීමක්

September 03, 2018

ඒකාබද්ධ විපක්ෂය විසින් පැවැත්වීමට සැලසුම් කර තිබෙන “ජනබලය කොළඹට“ විරෝධතාවයට ආණ්ඩුව බිය වී ඇති බවත් ඒ හේතුවෙන් එම විරෝධතාවය කඩාකප්පල් කිරීමට විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන බවත් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

ලබන 05 වනදා කොළඹදී පැවැත්වෙන එම විරෝධතාවයෙන් පසු ආණ්ඩුව පලවා හැරීමේ සටන ආරම්භ කරන බවත් එම විරෝධතාවයට මේවන විටත් විශාල ජනතාවක් සහභාගී වීමට සූදානම් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ආණ්ඩුව ගැන කළකිරුණු එජාප මැති ඇමැතිවරුන්ද ජනබලය විරෝධතාවයෙන් පසු ඒකාබද්ධ විපක්ෂයට සහය දීමට සූදානම් බවත් මේවන විටත් ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවට ආණ්ඩුව බිය වී ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

මහින්දගෙන් ලොකු පෙරළියක්

ලබන බදාදායින් පසුව මෙරට දේශපාලනයේ විශාල පෙරළියක් සිදුවණු ඇතැයි ද වත්මන් සම්මුති ආණ්ඩුව ජනතාවට දුන් ‍පොරොන්දු කඩ කර ජනතාව තලා පෙළා පීඩාවට පත්කිරීමට එරෙහිව සැප්තැම්බර් පස්වන බදාදා අති විශාල ජනතාවක් කොළඹට රැස්වී රජයට ගෙදර යෑමට බලකරනු ඇති බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

මෙම දැවැන්ත උද්ඝෝෂණ මේ රටේ සියලු පාර්ශ්ව නියෝජනය කරන සියලු දෙනා සහභාගි වනබව දැනටමත් තමන්ට දැන ගන්නට ලැබි ඇති බවත් රජය ඉල්ලා අස්වී ගෙදර යනතුරු නොනවතින අරගලයක් ලෙස ජනතා උද්ඝෝෂණය ක්‍රියාත්මක වනු ඇති බවත් හිටපු ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ජනබලයට 15 කණ්ඩායමේ සහයත්

ශ්‍රීලනිප 15 කණ්ඩායමේ මන්ත්‍රීවරයෙකු වන හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගෙන් කළ විමසීමකදී සඳහන් කළේ ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ලබන 5 වැනිද‌ා කොළඹ දී පවත්වන ජනතා උද්ඝෝෂණයට උපරිම සහාය දීමට ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප 15 දෙනාගේ කණ්ඩායම තීරණය කර ඇති බවයි.

උද්ඝෝෂණය සංවිධානය කිරීමට පමණක් නොව එදින කොළඹට විශාල පිරිසක් සහභාගි කරවීමට තම කණ්ඩායම සෘජුවම සම්බන්ධ වන බවද උද්​ඝෝෂණ​යේ සංවිධාන කටයුතු පිළිබඳ තම කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා කර ඇති බවත් ආණ්ඩුව ගෙදර යැවීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පොලිස්පති සීරුවෙන්

කෙසේ වෙතත් කොළඹදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණයේදී ජන ජීවිතයට හා මහජනතාවගේ සාමායට බාධා ඇති කළහොත් සුදුසු උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස්පති පුජිත ජයසුන්දර මහතා සඳහන් කර තිබේ.

ජන ජීවිතයට මහජන සාමයට බාධා නොවන අයුරින් කටයුතු කරන්නැයි උද්ඝෝෂක සංවිධායකයින්ගෙන් පොලිස්පතිවරයා ඉල්ලීමක් කරයි.

උද්ඝෝෂණය පැවැත්වෙන 05 වැනිදා කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායද යොදවන බව පෙන්වා දෙන පොලිස්පතිවරයා පිට පළාත් වලින්ද පොලිස් කණ්ඩායම් කිහිපයක්ම කැඳවන බවද පාර්ලිමේන්තුව ඇතුළු නගරයේ වැදගත්ම ස්ථාන රැසකට විශේෂ ආරක්ෂාව යොදවන බවත් කියා සිටියේය.

මීට අමතර බුද්ධි අංශ කණ්ඩායම්, කැරලි මර්ධන කණ්ඩායම්, රථ වාහන පොලිස් නිලධාරීන් ද සීරුවෙන් තබන බවද නියෝජ්‍ය පොලිස්පතිවරුන්ද කැඳවා මේ සම්බන්ධයෙන් උපදෙස ලබා දුන් බවද පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

ආණ්ඩුව බියෙන්

පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ ජනතාව කොළඹට ගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂය සුදානම් වන නිසා ඊට බිය වී සිටින ආණ්ඩුව 01 වැනිදා සිට 08 වැනිදා දක්වා බස්නාහිර මාර්ග බලපත් හිමි පෞද්ගලික බස් වලට විශේෂ චාරිකා තහනම් කිරීම විකාරයක් බවයි.

ආණ්ඩුවට එරෙහිව 05 වැනිදා කොළඹ පැමිණ විරෝධය පළ කිරීමට ජනතාව පුල පුලා බලා සිටින බවත් මෙම රැලියට එක්වන බස් රථ වල මාර්ග බලපත් අහෝසි කිරීමට බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට නෛතික බලතල නොමැති බවත් ඒ මහතා අවධාරණය කළේය.

තමා බස්නාහිර පළාත් මහ ඇමැති ලෙස කළක් කටයුතු කළත් කිසි කලෙක එවැන්නක් සිදු නොවු බවත් පෙන්වා දෙන ඒ මහතා ජනබලය රැලියට එන බස් රථවලට දඩ මුදලක් පැනවීමට නියම කළහොත් ඒ වගකීම ඒකාබද්ධ විපක්ෂය ගන්නා බවද කියා සිටියේය.

මේ අතර මගී ප්‍රවාහන සේවා විධිමත් කිරීමේ ආදර්ශ සතිය (2018.09.01 සිට 2018.09.08 දක්වා) නමින් බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් හදිස් වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් එම දිනයන්හි විශේෂ චාරිකා බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන බවට ලිපියක් නිකුත් කර තිබේ.


එම ලිපිය පහතින්,

No automatic alt text available.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 04 September 2018 20:25