May 13, 2024

මෛත්‍රී තනිවෙයි - එජාපයේ පුළුල් පෙරමුණක් ගොඩනගන්න රනිල් රාජිතට පවරයි

September 03, 2018

ඉදිරියේදී පැවැත්වීමට නියමිත කුමන හෝ මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පෙරමුණ යටතේ තරගවැදීමට තීරණය කර තිබේ.

ඒ සඳහා එක්සත් ජාතික පෙරමුණ පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට උපදෙස් දී ඇතැයි එජාප ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම තීරණය ලබන මස පැවැත්වීමට නියමිත එජාප 72 වැනි පක්ෂ සම්මේලනයට යෝජනාවක් ලෙස ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමටද නියමිතය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සර මහා සම්මේලනය ලබන 06 වැනි දින පෙරවරු 9ට සිරිකොත එජාප පක්ෂ මූලස්ථානයේදී එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

රටේ ආර්ථිකය යහමඟට ගෙන ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව ඉහළට ඔසවා තැබීම සඳහා කරන ලද කැපවීම පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තුති පිදීම ඇතුළු යෝජනා කිහිපයක්ද එහිදී සම්මත කරගැනීමට නියමිතය.

මේවන විට යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරුවන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් ඉදිරි මැතිවරණයේදී තනි තනිව තරඟ කිරීමට නියමිතය. පසුගිය පළාත් පාලන මැතිවරණයේදීද ආණ්ඩුවේ කටයුතු කරන ප්‍රධාන පක්ෂ දෙක තනි තනිව මැතිවරණයට මුහුණ දුන් අතර එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද පදනම ඉතා පහල මට්ටමකට ඇද වැටී තිබිණි.

එම මැතිවරණයේදී වැඩි බහුතර බලය ලබා ගැනීමට හැකිවූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටය. ඒ අනුව ඉදිරි මැතිවරණයට අගමැතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය පුළුල් පෙරමුණක් ලෙස එක්සත් ජාතික පෙරමුණෙ තරග කරන විට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කරනු ඇතැයි වාර්තා වේ.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 04 September 2018 20:25