May 12, 2024

කරළියෙන් එහා: ඇමැති මංගල - මහින්ද මැදමුදලන නිවසේ රහස් සාකච්ඡාවක! එජාප ඇමැති පිරිසක් හදිසියේ මෛත්‍රී හමුවෙයි

මේ සතියේ දේශපාලන කරළියෙන් එහා උණුසුම් වූයේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අනිවාර්යයෙන්ම සම්මත කරගත යුතුව තිබූ සීමානිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වීමත් සමඟය. ඒ අනුව මේවන විට ගැටලු රැසක් නිර්මාණය වී තිබෙන බව වාර්තා වේ. සීමානිර්ණ වාර්තාව නීතියක් බවට පත්වන තෙක් පළාත් සභා මැතිවරණය නව ක්‍රමයට පැවැත්විය නොහැකිය. අනිත් අතට ඇතැම් දේශපාලන පක්ෂ තරයේ ඉල්ලා සිටින්නේ පළාත් සභා මැතිවරණය පැරණි මනාප ක්‍රමයට පැවැත්විය යුතු බවටය. එසේවුවත් මැතිවරණ කාර්යාල ආරංචි මාර්ග පැවසූවේ පැරණි මනාප ක්‍රමයට මැතිවරණය පැවැත්වීම පිළිබඳවද නීතිමය බාධා මතුවී තිබෙන බවයි. මේ වනවිට 2017 අංක 17 දරන පළාත් සභා සංශෝධන පනත පාර්ලිමේන්තුවේ සම්මත වී තිබීම එම බාධාකය වේ. එම පනත අහෝසි කිරීමට නම් නැවත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්ද බලයක් හිමිවිය යුතුය. පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ අතරින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ හැර අනෙකුත් සියලු පක්ෂ පැරණි මනාප ක්‍රමයට කැමැත්තක් දක්වන හෙයින් එවැනි තත්ත්වයකදී තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම අපහසු නැතැයි ද විපක්ෂයේ මතය වී තිබේ. කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත්, විෂයභාර ඇමැතිවරයාත් ශ්‍රීලනිපයේ ආණ්ඩුවේ පාර්ශවයත් පැරණි මනාප ක්‍රමයට දැඩි සේ විරෝධය දක්වන හෙයින් පැරණි පනත යළි බලාත්මක කිරීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි සැකයක් මතුව තිබේ. අනෙක් අතට පළාත් සභා මැතිවරණය නව ක්‍රමයට පැවැත්වීම සඳහා ද ආණ්ඩුව මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් තිබේ. කතානායක කරු ජයසූරිය මහතා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් මේ වනවිටත් පත්කර තිබේ. එම පංච පුද්ගල කමිටුවට පත්වීම ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් අගමැතිවරයාට හෝ අනෙකුත් සාමාජිකයන්ට නැත. එසේ කළහොත් අගමැතිවරයා පනත උල්ලංඝනය කළාසේ සැලකෙන බව ද නීති විශාරදයෝ සඳහන් කරති. එම පංච පුද්ගල කමිටුව සම්බන්ධයෙන් පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කළේ ‘මේ පංච පුද්ගල කමිටුවට නීතියෙන් පැවරෙන වගකීමක් තිබෙනවා. අනිවාර්යයෙන්ම මේ දෝෂ සහිත වාර්තාවේ අඩුපාඩු සකස් කරන්න ඕනේ. එතනින් මෙපිට දෙයක් කරන්න පංච පුද්ගල කමිටුවට බලයක් නැහැ. මාස දෙකක් ඇතුළත සංශෝධන වාර්තාවක් ජනාධිපතිතුමාට දෙන්න වෙනවා. ජනාධිපතිතුමාට දෙන වාර්තාව යළිත් පාර්ලිමේන්තුවට දාන්නෙ නැහැ. ජනාධිපතිතුමා එය ගැසට් කරනවා. එතකොට ඒක නීතියක් බවට පත්වෙනවා’ යනුවෙනි. මේ හේතුවෙන් ආණ්ඩුව මැතිවරණ කල් දැමීමේ උප්පරවැට්ටියක් සිදු කරමින් සිටින බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරන අතර ඔවුන් ලබන 05 වැනිදා පැවැත්වීමට නියමිත “ජනබලය කොළඹට“ විරෝධතාවයෙන්ද මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුවට බල කිරීමට සූදානම්ය.

“කුමන ක්‍රමය ආවද අනිවාර්යයෙන්ම ලබන වසරේ ජනවාරි වන විට මැතිවරණය පැවැත්විය හැකි බවය. මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කළේ පළාත් සභා මැතිවරණ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් මූලික කටයුතු ආරම්භ කර තිබෙන බවය. අපි මැතිවරණ කොමිෂන් සභාව සැප්තැම්බර් මාසෙන් පස්සේ වැඩ පටන් ගන්නවා’ යැයි මහින්ද දේශප්‍රිය අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර තිබිණි.“ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේය.

කෙසේ වෙතත් අවසානයේ තීන්දු වී ඇත්තේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ තීරණයන් ගැනීම සඳහා පත් කෙරුණු සීමානිර්ණ සමාලෝචන කමිටුවේ පියවර පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ බහුතර එකඟතාවය මත ගැනීමට සැලසුම් කිරීමයි. දැනට සම්මත කර තිබෙන පනත අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා සංශෝධන දෙකක් ගෙනවිත් උප‍ලේඛන අනුමත කරගත යුතුව පවතී. මේ පසුබිම යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට දැනට නීතියක් නොමැතිය යන්න කමිටු සාමාජිකයන්ගේ මතය වේ. කුමන තත්ත්වයක් යටතේ වුවද පළාත් සභා ඡන්දය කල් දැමීමට අදහසක් නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් වෙත දැනුම් දී තිබේ. පාර්ලිමේන්තු පක්ෂ නායක තීරණය අනුව පළාත් සභා මැතිවරණය ගැන තීරණය පාර්ලිමේන්තුවට දැනුම්දීමට ද නියමිතව ඇත.

එජාප කැබිනට් ඇමැතිවරු පිරිසක් මෛත්‍රී හමුවෙයි

පසුගිය දිනවල වැඩ වර්ජනයක නිරතවූ දුම්රිය වර්ජකයෝ සිය ඉල්ලීම් ගැන සාකච්ඡා කිරීමට මෛත්‍රී හමුවීමට පසුගිය බ්‍රහස්පතින්දා පැමිණියහ. “මම වැටුප් ප්‍රශ්න ගැන සොයා බලා විසඳුම් යෝජනා කිරීමට පහළොස් දෙනෙකුගේ කමිටුවක් පත් කරලා තියෙනවා. ඔයාලාගේ ප්‍රශ්නයත් මම ඒ කමිටුවට දීලා තියෙන්නේ. එතැනින් ස්ථිර විසඳුමක් යෝජනා කරාවි. එතකම් ටිකක් ඉවසාගෙන ඉන්න”මෛත්‍රී සඳහන් කළේය. “ඒ වුණාට සර් අපේ සංගමයේ අය ආයිමත් වර්ජනයකට යන්න ඕන කියලා කියනවා”වර්ජකයින් ස්ථිර විසඳුමක් එන තෙක් බලා සිටීමට සූදානම් නොවීය.

මෛත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හමුවූයේ ඉන් පසුවය. එහිදී වැඩි අවධානයක් යොමුවූයේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම කෙරෙහිය. දැනට කර තිබෙන සීමා නිර්ණය වාර්තාවට පක්ෂ වන්නේද විරුද්ධ වන්නේද යන්න ගැන එහිදී සාකච්ඡාවට ලක්විය. මේ සාකච්ඡාව යන අතරවාරයේදී එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් ඇමැතිවරු පිරිසක් මෛත්‍රී හමුවීමට පැමිණ සිටියහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හමුව අවසන් වන තෙක් ඔවුහු වෙනත් කාමරයකට වී බලා සිටියහ. “දැන් එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් ඇමැතිවරු කීප දෙනෙක් මම හමුවෙන්න ඇවිත් ඉන්නවා. අපේ කැබිනට් ඇමැතිතුමන්ලා විතරක් ඒකට හිටියාම ඇති”මෛත්‍රී කීවේ මන්ත්‍රීවරුන්ට හා නියෝජ්‍ය ඇමැතිවරුන්ට සමුදෙමිනි. ඉන් පසුව එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරු එහි පැමිණි අතර ඔවුන් සමග මෛත්‍රී සාකච්ඡා කළේද සීමා නිර්ණය වාර්තාව පිළිබඳවය. “එක්සත් ජාතික පක්ෂය කණ්ඩායමක් විදියට මේ සීමා නිර්ණය කමිටු වාර්තාවට විරුද්ධයි”එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරු මෛත්‍රීට පැවසූහ. එජාප ඇමැතිවරු එම තීරණය ගෙන තිබුණේ රනිල්ගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා රාත්‍රියේ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන්ගේ හමුවකින් පසුවය.

“ඒකාබද්ධයත් මේකට විරුද්ධව ඡන්දය දෙනවා කියලා ඩලස් අලහප්පෙරුමයි, දිනේෂ් ගුණවර්ධනයි පාර්ලිමේන්තුවේදී කියලා තිබුණා. ඒ නිසා අපේ පක්ෂයත් මේකට විරුද්ධව ඡන්දය දෙමු” රනිල් අවසානයේදී කීවේ පළාත් සභා මැතිවරණය ජනවාරියේදී පැවැත්විය යුතු බවත් එයට එක්සත් ජාතික පෙරමුණද සූදානම් විය යුතු බව කියමිනි. “එක්සත් ජාතික පෙරමුණේ වැඩකටයුතු ගැන ජනාධිපතිතුමා දැනුවත් කරන්න ඕන” රනිල් යෝජනා කරන විට මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පැවැසුවේ තමන් ගොස් මෛත්‍රී හමුවන බවය. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම කැඳවූයේ ඉන් පසුවය. එහිදී සාකච්ඡා වූයේද සීමා නිර්ණය වාර්තාව ගැනය. “සර් අපිම ගේන එකකට අපිම විරුද්ධ වෙන එක හරි නෑනේ“ මන්ත්‍රීවරයෙක් කීවත් රනිල් කීවේ එය ගැටලුවක් නොවන බවය.

මැකෝගෙන් චීස්

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලමින් පළාත් සභා හිටපු නියෝජිතයෝ පිරිසක් මැතිවරණ ‍ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් දැක්වූහ. මේ විරෝධතාව අවසානයේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය හමුවීමට අවශ්‍ය යැයි පණිවුඩයක් යවා තිබුණි. “එන්න කියන්න“ ඒ අයට මහින්ද දේශප්‍රිය කියා තිබුණේ සුපුරුදු ගැඹුරු හඩිනි. ඒ අනුව විරෝධතාකරුවෝ මහින්ද දේශප්‍රියගේ කාමරයට පැමිණියහ. “ආ..එන්න..එන්න.. දැන් කෑ ගහලා උගුර එහෙම අමාරු ඇතිනේ. මම ඔන්න බිස්කට් එක්ක චීස් ලෑස්ති කළා. බිස්කට් එකක් කාලා තේකක් බිලා කතා කරන්න එන්න.“ මහින්ද දේශප්‍රිය මහතා සාකච්ඡාව ආරම්භ කළේය.

ගොවි රජා සමග ෆොටෝ එකක්

පසුගිය 24වනදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් වයඹ ඇල ව්‍යාපෘතියේ දෙවැනි අදියර විවෘත කිරීම පොල්පිතිගමදී සිදුවිය. එම අවස්ථාවට මැති ඇමතිවරු විශාල පිරිසක් සහභාගි වූහ. මේ අතර එම උත්සවයට සහභාගි වෙතැයි බලාපොරොත්තු විය නොහැකි දේශපාලඥයෙක්ද පැමිණ සිටියේය. ඒ, ජවිපෙ පළාත් සභා මන්ත‍්‍රී, සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්නය. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ විශාල ජනතාවකටද බලපාන මෙම ව්‍යාපෘතිය විවෘත වන අවස්ථාව සඳහා ඔහුටද නිල ආරාධනයක් ලැබී තිබිණි. පොල්පිතිගම ප‍්‍රදේශය ඇතුළු ප‍්‍රදේශ ගණනාවක අලි මිනිස් ගැටුම, ඉරුදෙණියාය ප‍්‍රදේශයේ ජනතාවගේ ඉඩම් ගැටලූව ආදී ගොවි ගැටලූ විසඳීම සඳහාද සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය පසුගිය කාලය පුරාම විශාල අරගලයක යෙදී සිටීමත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සෘජුව සාකච්ඡා කර ගැනීමත් අරමුණු කරගෙන නාමල් කරුණාරත්න මෙම උත්සවයට සහභාගි වීමට තීරණය කළේ ප‍්‍රදේශයේ ජනතාවගේද ඉල්ලීමකට අනුවය.

විවෘත කිරීම් අවසන්වීමෙන් අනතුරුව නිල උත්සවයට සහභාගිවීමට වේදිකාවට යමින් සිටින අතර නාමල් කරුණාරත්න දුටු ජනාධිපතිවරයා ”හා කොහොමද කචල්කාරයා” කියමින් සිනාමුසු මුහුණින් කතාබහට වැටුණි. නාමල් කරුණාරත්නද ජනාධිපතිවරයා සමඟ ගමනට එක්වෙමින් ජනතාවගේ ගැටලූ කිහිපයක් ඔහුගේ අවධානයට ලක්කළේය. අලි මිනිස් ගැටුම ඉන් එකකි. ජනාධිපතිවරයා කියා සිටියේ රාජ්‍ය ඇමතිවරයාද ඒ පිළිබඳව තමන් දැනුවත් කළ බවත් ඒ සම්බන්ධයෙන් අදාළ පියවර ගැනීමට උපදෙස් දුන් බවත්ය. එමෙන්ම ඉරුදෙනියාය ජනතාවගේ ඉඩම් අක්කර තුන්දහසකට අධික ප‍්‍රමාණයක් පිළිබඳව මතුව ඇති ගැටලූවද ජනාධිපතිවරයාගේ අවධානයට ලක්කිරීමට නාමල් කරුණාරත්න පියවර ගත්තේය. අනතුරුව උත්සවය අවසන්වන විට නාමල් කරුණාරත්න දුටු මහින්ද අමරවීර ”මෙන්න ජනාධිපතිතුමා ගොවි රජා ඇවිත් ඉන්නවා” යැයි පැවසුවේ මීට පෙර හමුවූ බව නොදැන සිටි නිසාය. ”ඔව්, ඔව් අපි මුණගැහුණා. ආ.. ඒකට කමක් නෑ. ගොවි රජා එක්ක ෆොටෝ එකක් ගමු” යැයි ජනාධිපතිවරයා කීවේ කැමරා ශිල්පීන්ට ඡායාරූපයක් ගන්නා ලෙස අතින් සංඥා කරමිනි.

මහින්ද මැදමුලනේ

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පසුගිය සතියේ සිටියේ මැදමුලන සිය ගම් පියසේය. අභාවප්‍රාප්ත සිය සොයුරාගේ අවමඟුල් උත්සවය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා පූර්ණ කාලය ගත කළේය. පසුගිය 25 වැනි දා උදෑසන අටට පමණ මැදමුලන පැවැති අවමඟුල් නිවසට මෛත්‍රී පැමිණියේය. මෛත්‍රී සමඟ විජයදාස රාජපක්ෂ සහ ඉසුර දේවප්‍රිය ද පැමිණ සිටියේය. ඔවුන් පැමිණියේ හෙලිකොප්ටරයෙනි. නිවසට පැමිණි මෛත්‍රී පිළිගත්තේ මහින්දය. “මහ ඇමැතිතුමාට නම් හරියන පුටුවක් මෙතන නැහැ” මහින්ද කී නමුත් ඉසුර පිළිතුරු දුන්නේ නැත. ඒ අතර චමල් පැමිණි බැවින් මහින්ද සිය අසුන චමල්ට පරිත්‍යාග කළේය. පසුව ගෝඨාභය ද පැමිණියේය. පිරිස කතාබහ කරමින් සිටින අතරතුර මෛත්‍රීට තේ පැන් සංග්‍රහයක් සූදානම් කරන ලද්දේ ජනාධිපති ආරක්ෂකයන්ගේ නිරීක්ෂණය යටතේය.

තේ කෝප්පයක් පිළියෙළ කෙරුණු පසු එතැන සිටි එක් ආරක්ෂකයකු නිවසේ අයකු අමතා කීවේ එය ජනාධිපතිතුමාට පිළිගන්වන ලෙසය. තේ කෝප්පය රැගෙන ගිය පුද්ගලයා එය පිළිගැන්වූයේ මහින්දටය. මහින්ද කෝප්පය දෙස බලා එය පැත්තකින් තැබුවේ සුපුරුදු කෝප්පය නොවන නිසාය. එහෙත් එය මෛත්‍රීට සකස් කළ තේ කෝප්පය බව මහින්ද දැන සිටියේ නැත. ඒ බව දුටු ජනාධිපති ආරක්ෂකයන්ට සිදුවූයේ මෛත්‍රීට තවත් තේ කෝප්පයක් සකස් කිරීමටය. “මොකද අර තේ කෝප්පේ ජනාධිපතිතුමාට දුන්නේ නැත්තේ? ආරක්ෂකයෝ අර පුද්ගලයාගෙන් ඇසූහ.“මං දුන්නේ ජනාධිපතිතුමාට තමයි. අපිට ඉතින් ජනාධිපතිවරුන් දෙතුන් දෙනෙක් නැහැ නේ. අපේ ජනාධිපතිතුමා මහින්ද මහත්තයම තමයි” ඒ පුද්ගලයා කීවේය.

ඉරිදා නාමල් සිටියේ ගම්පහ ප්‍රදේශයේය. ඒ ප්‍රසන්න රණතුංග විසින් සංවිධාන කර තිබූ රැස්වීම් කිහිපයක් අමතන්නට තිබුණු නිසාය. ප්‍රසන්න එම රැස්වීම් සංවිධාන කර තිබුණේ සැප්තැම්බර් 05 වැනි දා පැවැත්වෙන ජනබලය කොළඹට උද්ඝෝෂණය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්නටය. එදින දිවා ආහාර සකස් කර තිබුණේ මරඳගහමුල ප්‍රසිද්ධ සහල් ව්‍යාපාරිකයකු වන කැකුළු රංජිගේ නිවසේය. රණවීර, ඉන්දික, ඩුලිප්, ලන්සා යන මන්ත්‍රීවරු ද එහි වූහ. දිවා ආහාරය ගන්නා අතරතුර පිරිස කතා කළේ මෛත්‍රී අවමඟුලට සහභාගීවන්නට ආ එකය. ඉරිදා රාත්‍රියේ මහින්දගේ සොහොයුරාගේ සත් දින බණ පැවැත්වුණේ ද මැදමුලනේමය. එම අවස්ථාවට සහභාගීමට මංගල සමරවීර ද පැමිණ සිටියේය. “මළ ගෙදරට එන්න බැරිවුණ නිසා ආවා“ මංගල මහින්දට පැවසීය. “ඔයාලගේ ගම් පෙරළිය වැඩසටහන අසාර්ථකයි නේද? මොණරාගල, බදුල්ලේ මිනිස්සු ඕකට හරියට බණිනවාලු” මහින්ද පැවසීය. “චෝදනා නම් තියෙනවා. අපි දැන් ඒවා හරිගස්සාගෙන යනවා” මංගල උත්තර දුන්නේය.
අනතුරුව මංගල සහ මහින්ද පමණක් වෙනම තැනක සිට කතාබහක නියැලුණහ. එම කාරණා කිසිවකුටත් දැනගන්නට ලැබුණේ නැත. මංගල පැය දෙකක පමණ කාලයක් මැදමුලන නිවසේ රැඳී සිටියේය.

පොහොට්ටුවේ මන්ත්‍රීවරුගෙන් රෝසිට උපක්‍රමශීලී සහයක්

කොළඹ මහනගර සභාවේ මන්ත්‍රීවරුන්ගේ දීමනාව රුපියල් 20,000න් ඉහළ නැංවීම යෝජනාව පසුගියදා එම සභාවේ මාසික රැස්වීමේදී සම්මත කර ගැණින. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් වැඩි පිරිසක් එම දීමනාව ඉහළ නැංවීමේ යෝජනාවට පක්ෂපාතීව සිටියහ. එහෙත් එය එළිපිට සිදු කළ නොහැකි නිසා කල්තියාම යම් වැඩපිළිවෙළක් දියත් කිරීමට පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිස සැලසුම් කළහ. පසුගිය දා පැවැති මාසික රැස්වීමේදී ඔවුහු කොළඹ මහ නගර සභා විපක්ෂ නායක ධුරය පිළිබඳ ගැටලු අල්ලාගෙන නගරාධිපතිනියත් සමග ගැටුමක් හට ගත්තේය. එහි ප්‍රතිඵලය ලෙස පොහොට්ටුවේ මන්ත්‍රී පිරිස එළියට ගොස් රැස්වීම වර්ජනය කළහ. ඒ අතරේ නගරාධිපතිනි රෝසි සේනානායකගේ මන්ත්‍රී දීමනාව ඉහළ නැංවීමේ යෝජනාව සභා සම්මත වූයේය. ජනතා විමුක්ති පෙරමුණත් ස්වාධීන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුත් පමණක් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ. පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම උපක්‍රමශීලීව එළියට ගොස් දීමනාව ඉහළ නැංවීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතවීමට අවස්ථාව සලසා දුන්නේය. ඊට පක්ෂව ඡන්දය දීමෙන් වන නරක නාමයට ද ඔවුන් අසුවූයේ නැත. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිනී ශ්‍යාමිලා ගෝනවල සහ තවත් කිහිප දෙනෙක් මන්ත්‍රී දීමනාව ඉහළ දැමීමට විරෝධය පෑහ. ගෝනවල මන්ත්‍රීවරිය කීවේ ‘නගරයේ ජනතාවගේ බදු මුදල් දීමනා ලෙස ගන්නා එක වැරදියි. දැනටමත් මහනගර සභාවේ ජංගම ගිණුමේ විශාල මුදලක බැංකු ඓරාවක් තිබෙනවා. එහෙම තත්ත්වයක් තිබියදී අපි දීමනා වැඩිකර ගැනීම අසාධාරණ යැයි’ ද ගෝනවල මන්ත්‍රීවරිය පැවසුවාය.

Rate this item
(0 votes)