May 13, 2024

ඒකාබද්ධයේ විරෝධතාවයෙන් පසු ශ්‍රීලනිප ඇමැතිවරු ආණ්ඩුව හැර යයි

ඒකාබද්ධ විපක්ෂය ලබන 05 වැනිදා සංවිධාන කරන “ජනබලය කොළඹට“ විරෝධතාවයෙන් පසු ඇමැතිධූර දරමින් ආණ්ඩුවේ කටයුතු කරන ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන්ද ඒකාබද්ධ විපක්ෂයට එක්වනු ඇතැයි එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

ආණ්ඩුව ගැන කළකිරුණු එජාප මැති ඇමැතිවරුන්ද ජනබලය විරෝධතාවයෙන් පසු ඒකාබද්ධ විපක්ෂයට සහය දීමට සූදානම් බවත් මේවන විටත් ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවට ආණ්ඩුව බිය වී ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ආණ්ඩුව ගෙදර යවන සටන සැප්තැම්බර් 05 වැනිදා ආරම්භ කරන බවත් ආණ්ඩුව මැතිවරණ කල් දැමීමේ උත්සාහයක නිරත වන බවත් ප්‍රජාතන්ත්‍රවාදී රටක එසේ කළ නොහැකි බවත් පෙන්වා දෙන ඒ මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 29 දෙනෙකු හැරෙන්නට අනෙක් මන්ත්‍රීවරුන් මහජන ඡන්දයෙන් පත්වූ අය බැවින් ඔවුන්ටද මැතිවරණ කල් දැමීමේ තීරණයට එකඟ විය නොහැකි බවත් කියා සිටියේය.

මුළු රටම උග්‍ර දේශපාලන අර්බුදයකට ලක් කර ජනතා ආර්ථිකය පහතට ඇද දැමූ මේ ආණ්ඩුව පෙරළා දැමීමේ මහා ජනතා විප්ලවය සැප්තැම්බර් 5 වැනිදා අපි කොළඹින් ආරම්භ කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

ඒකාබද්ධ විපක්‍ෂයේ විරෝධතාව පවත්වන ස්ථානය පිළිබඳ පසුගියදා පැවැති ඒකාබද්ධයේ පක්‍ෂ නායක රැස්වීමේදී අවසන් තීරණයකට එළැඹීමට නොහැකි වූ බව වාර්තා විය. ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායක රැස්වීමක් ලබන 03 වැනිදා යළි පවත්වා අවසන් තීරණයක් ගැනීමට පක්‍ෂ නායකයන් එකඟතාවකට පැමිණි තිබේ.

සැප්තැම්බර් 05 වැනිදා පැවැත්වෙන මෙම විරෝධතාවේ සංවිධාන කටයුතු සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා විසින් දීර්ඝ ලෙස පැහැදිලි කර ඇති අතර මාර්ග කිහිපයකින් කොළඹට පැමිණෙන ජනතාවට එක්ව රැලියක් පැවැත්වීම සඳහා වඩා ඉඩකඩ ඇති ස්ථානයක් පිළිබඳ අවධානය යොමු කළ යුතු යැයි පක්‍ෂ නායකයන්ගේ අදහස වී තිබේ.

කෙසේ වෙතත් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත් නොවූ බවට, එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන ඇමති නිමල් ද සිල්වා මහතා පෙරේදා සිදුකල ප්‍රකාශය නිදහස් පක්ෂය 16 කණ්ඩායම ප්‍රතික්ෂේප කරයි.

මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ ඒකාබද්ධ විපක්‍ෂය විසින් ලබන මස 5 වැනිදා කොළඹදී පවත්වන උද්ඝෝෂණය වැළැක්වීම සඳහා නීතිමය පියවර ගැනීමේ කිසිඳු අවශ්‍යතාවයක් නැති බවයි.

මෙම උද්ඝෝෂණයෙන් පසුව ආණ්ඩුව ඉවරවනු ඇතැයි සිතීම මුලාවක් බවත් උද්ඝෝෂණයෙන් පසුව ආණ්ඩුව තව තවත් ශක්තිමත් වනු ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

Rate this item
(1 Vote)
Last modified on Monday, 03 September 2018 09:28