May 13, 2024

ජනපති කාර්ය සාධක බලකායට විග්නේෂ්වරන් විරුද්ධ වෙයි! සම්බන්ධන් මෛත්‍රීගේ පැත්ත ගනී

උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය කිරීමට ජනාධිපතිවරයා විසින් පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධක බලකායට සහය දීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කොට තිබේ.

මේ පිළිබදව තීරණයක් ගැනීම සදහා ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී කළ මත විමසීමේදී ඊට ඉතා තදින්ම විරුද්ධ වී ඇත්තේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පමණක් බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙකු කියා සිටියේය.

උතුරේ අර්බුදයට ස්ථීර දේශපාලන විසදුමක් හිමිකර දෙන තෙක් කිසිදු සංවර්ධන කාර්යංශයකට හෝ කමිටුවකට එක් නොවන ලෙසට උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතාගෙන් මීට පෙර ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබුනි.

දේශපාලන විසදුමක් ලැබෙනතාක් දෙමළ දේශපාලන නියෝජිතයින් වන ඔවුන් රජයේ කිසිදු කමිටුවකට හෝ කාර්යංශයකට සම්බන්ධ නොවීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබෙන බවත් එය සැලකිල්ලට ගනිමින් දෙමළ ජාතික සන්ධානයද මෙම කාර්යංශය හා එක්වීම ප්‍රතික්ෂේප කළයුතු මහ ඇමතිවරයා සිය ලිපියේ තවදුරටත් සදහන් කොට තිබේ.

උතුරු මහ ඇමතිවරයාගේ එම ඉල්ලීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන නායක විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේදී එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම රැස්ව සාකච්ඡා කළ අතර විග්නේෂ්වරන්ගේ ක්‍රියාකලාපය මෙහිදී දැඩි දෝෂදර්ශනයකට ලක්ව තිබේ.

යුද්ධයෙන් අගතියට පත් උතුරු නැගෙනහිර පළාත්හි සංවර්ධන කටයුතු බොහෝමයක් සිදුවිය යුතු බවත් ඊට අමතරව ආරක්ෂක හමුදාව යටතේ ඇති දෙමළ ජනතාවගේ ඉඩම් නිදහස් කරගැනීම, එම පළාත්වල නව සිංහල ජනාවාස පිහිටුවීම් ඇතුළු ගැටළු රැසක්ම නිරාකරණය කරගැනීමේ අරමුණින් මෙම ජනාධිපති කාර්යංශය පිහිටුවා ඇති බවත් මෙනිසා දෙමළ ජාතික සන්ධානය මෙකී කාර්යංශය හා අනිවාර්යෙන්ම සහභාගී විය යුතු බවත් කියමින් විග්නේෂ්වරන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබිණි.

මේ අනුව උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය කිරීමේ ජනාධිපති කමිටුවේ මීලග රැස්වීමට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද ඇරයුම පිළිගනිමින් ඒ හා එක්වීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇත.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 29 August 2018 11:55