May 13, 2024

කරළියෙන් එහා: ආණ්ඩුවේ දෙදරීම අස්සේ මහින්දගෙන් එජාපයට මුක්කුවක්! 2020 සීතල යුද්ධයට මහින්දගෙන් ගැටයක්

මේවන විට පළාත් සභා මැතිවරණය පැවැත්වීම අර්බුදයකට ලක්ව තිබේ. මේ සතියේ දේශපාලන කරළිය උණුසුම් වූයේ සීමා නිර්ණය වාර්තාව අද පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම පිළිබඳවය. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ එම වාර්තාව පරාජය කිරීම සඳහා දේශපාලනඥයින් වැඩි පිරිසක් බලා සිටින බවය. සීමා නිර්ණය වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට අවශ්‍යව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ ජනතා විමුක්ති පෙරමුණටත් පමණි. ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරන්නේ අනිවාර්යයෙන්ම පළාත් සභා ඡන්දය නව ක්‍රමයට පැවැත්වීම අත්‍යවශ්‍ය බවය. පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි එක්සත් ජාතික පෙරමුණත් ඒකාබද්ධ විපක්ෂයත් එම සීමා නිර්ණ වාර්තාව විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ගනු ලැබු තීරණය අනුව සිමානීර්ණ වාර්තාව ප්‍රතික්ෂේප වනු ඇතැයි අපේක්ෂිතය. මේ අනුව එජාපය ප්‍රමුඛ සුළු පක්ෂ සියල්ලත්, හිටපු මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයත් මෙම සීමා නිර්ණ වාර්තාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරද්දී ආණ්ඩුවේ පාර්ශවකරුවෙකු වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දරන ශ්‍රීලනිපය එම වාර්තාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් යහපාලන ආණ්ඩුවේ දෙදරා යාම එළිපිටට පැමිණි තිබේ. පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බවට පාර්ශ්ව ගණනාවකින් යෝජනා පැමිණිය ද මැතිවරණ කොමිෂන් සභාව ඒ සම්බන්ධයෙන් සිය ස්ථාවරය වෙනස්කර නැත. “පළාත් සභා මැතිවරණය පරණ ක්‍රමයට තිබ්බත් අලුත් ක්‍රමයටත් තිබ්බත් අපි සූදානම්. කතානායකවරයා අපට සැප්තැම්බර් මාසෙ අග දක්වා කාලය දීලා තියෙනවා. අපි එතකන් බලාගෙන ඉන්නවා. සැප්තැම්බර් මාසෙ අග මොනවා හරි වේවි. ඒ වෙන්නේ මොනවද කියලා අපි දන්නේ නැහැ. දෙවියෝ තමයි දන්නේ” යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කරයි. කෙසේ වෙතත් පළාත් සභා මැතිවරණය කුමන ක්‍රමයකට පවත්වන්නේ ද යන්න හෝ එවැනි මැතිවරණයක් පැවැත්වෙන්නේ ද යන්න පිළිබඳව හෝ තවමත් නිශ්චිත දේශපාලන ස්ථාවරයක් රටේ නැතැයි ඇතැම් විචාරකයෝ පෙන්වා දෙති.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව තවත් අලුත් වැඩකට අත පොවා තිබේ. ඒ පළාත් සභා මැතිවරණය තවත් මාස කිහිපයකින් පැවැත්වේ යැයි උපකල්පනය කර 2018 ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීම ඔක්තෝබර් මස මැදට ගැනීමය. මීට පෙර එම ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමට සැලසුම් කර තිබුණේ නොවැම්බර් මාසයේදීය.

ඡන්ද ක‍්‍රමය ගැන ජවිපෙ ස්ථාවරයේ වෙනස් නැහැ

පළාත් සභා මැතිවරණය සඳහා මනාප ක‍්‍රමය වෙනුවට කොට්ඨාස ක‍්‍රමය මත පදනම් වෙමින් සහ කාන්තා නියෝජනය වැඩි කරමින් සම්මත වූ නව ඡන්ද ක‍්‍රමයක් සහිත පනත ක‍්‍රියාත්මක කිරීම සඳහා සීමා නීර්ණයක් අත්‍යාවශ්‍යය. මේ වනවිට එම සීමා නීර්ණයන් අවසන් වී ඇති අතර ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතය. මෙම සීමා නීර්ණය පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් තොරව මැතිවරණය පැවැත්විය නොහැක. ඒ සම්බන්ධයෙන් ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාකච්ඡාවක් පැවැත්විණි. ”සීමා නීර්ණ වාර්තාවට එක්සත් ජාතික පක්ෂය විරුද්ධව ඡන්දය දෙන්න යනවා. ආණ්ඩුවම තමයි මේ පනත ගෙනාවේ කාන්තා නියෝජනය වැඩි කරන්න ඕනෑ, මනාප ක‍්‍රමය වෙනස් කරන්න ඕනෑ කියලා. නමුත් දැන් ආණ්ඩුවම ගෙනාපු යෝජනාවට ආණ්ඩුවම විරුද්ධ වෙනවා.” විජිත හේරත් කීවේය. ”අපි සීමා නීර්ණ වාර්තාවට පක්ෂව ඡන්දය ලබාදෙන්න ඕනෑ. මොකද අපේ ස්ථාවරයේ වෙනසක් නැහැ. කාලයක් තිස්සේ මනාප ක‍්‍රමය වෙනස් කරන්න ජනතාවගෙන් ඉල්ලූමක් තිබුණා. කාන්තා නියෝජනය වැඩි කරන එකත් සාධනීය දෙයක්. ආණ්ඩුවේ ඇතුලේ අර්බුද නිසා තමයි මේ විදියට ඡන්දය කල් දාන්න ක‍්‍රම හොයන්නේ. මේ සීමා නීර්ණය සම්මත නොවුණොත් ඡන්දය පවත්වන්න තවත් ලොකු ක‍්‍රියාවලියකට යන්න වෙනවා.” අනුර දිසානායක කීවේය. ”ඔව්, අලූත් පනත අත්හිටුවන්න වෙනවා. ඒ වගේම පැරණි ක‍්‍රමයට පවත්වන්න පැරණි පනත බලාත්මක කරන්න වෙනවා. මේවා කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් ඕනෑ. අඩුම තරමේ අවස්ථා දෙකක් ඡන්ද වීමසීම්වලට යන්න වෙනවා. මෙකෙන් වෙන්නේ තවත් ඡන්දය කල් යන එකයි.” බිමල් රත්නායක කියා සිටියේය.

ශිවාජිලිංගම්ගෙන් මෛත්‍රීට උණුසුම් පිළිගැනීමක්

මේ අතර මයිලිඩ්ඩි ධීවර වරාය ප‍්‍රතිසංස්කරණය හා නැවත කි‍්‍රයාත්මක කිරීමේ සමාරම්භක අවස්ථාවට සහභාගීවීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පසුගිය 22 වනදා යාපනයට ගියේය. එහිදී කාගේත් අවධානය යොමු වූ කාරණයක් වූයේ උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් මහතා සහ ජනාධිපතිවරයා අතර හදිසියේම ඇතිවී තිබෙන මිතුදම සම්බන්ධවය. යාපනයේ මයිලිඩ්ඩි ප්‍රදේශයට ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයාව ඉතා උණුසුම් අන්දමින් පිළිගත් ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට අතට අතදී බොහෝ වේලාවක් ඉතා සුහදව කතා කරමින් සිටියේය. ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා මීට පෙර එක් වතාවක් යාපනයට පැමිණි අවස්ථාවේදී කලු පටි බැදගෙන ජනාධිපතිවරයා ඉදිරියටම ගොස් ජනාධිපතිවරයාට බැණ වැදුණේය. ඒ යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් හා ඉඩම් පිළිබදව ප්‍රශ්නයකට විරෝධතාවය දක්වමින් සිටි අතරතුරය. ජනාධිපතිවරයා මෙවර යාපනයට පැමිණෙන දිනයේදී ධීවර ගැටළු විසදුවේ නැතැයි කියමින් යාපනයේ වඩමාරච්චි පළාතේ ධීවරයෝ ජනාධිපතිවරයාගේ සංචාරයට එරෙහිව කලු කොඩි එසවීමට සූදානම් වූ අවස්ථාවේදී ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා වඩමාරච්චි පළාතට ගොස් ධීවරයින් සමග සාකච්ඡා කොට කලු කොඩි එසවීම නතර කරගෙන තිබේ. හදිසියේම හා එක්වරම ශිවාජිලිංගම් මන්ත්‍රීවරයාගේ වූ මෙම වෙනස්කම පිළිබදව උතුරේ වැසියෝ පුදුමයට පත්ව සිටින අතර උතුරේ දෙමළ මාධ්‍ය මේ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කොට තිබුණි.

ආරක්ෂක අංශ ඉවත් කර ඉඩම් ජනතාවට දෙනවා - උතුරට ගිය ජනපතිගෙන් පොරොන්දුවක්

මයිලිඩ්ඩි ධීවර වරායේ උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා උතුරේ ජනතාවට පොරොන්දුවක් දුන්නේය. ආරක්ෂක අංශ භාරයේ පැවති උතුරේ ඉඩම්වලින් සියයට 88 ක් පමණ මේ වන විට මුල් පදිංචිකරුවන් වෙත නිදහස් කර අවසන් අතර, ඉතිරි සියයට 12 ක ප‍්‍රමාණය ද කඩිනමින් එම ජනතාව වෙත ලබාදිය යුතුය යන පැහැදිලි ප‍්‍රතිපත්තිය තුළ රජය කටයුතු කරන බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය. තවමත් ආරක්ෂක අංශ භාරයේ පවතින මයිලිඩ්ඩි පාසල ඇතුළු පාසල් කිහිපයකට අයත් ඉඩම් ඉදිරි සති 02 තුළ නිදහස් කිරීමට පියවර ගන්නා බව ද මෙම ධීවර වරාය ආශ‍්‍රිතව ඉඩම් අහිමි වූ ජනතාවට ද ඉඩම් ලබාදීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට රහස් පොලිස් නිලධාරීන් හිටපු ජනාධිපතිවරයාගේ නිවසට පැමිණීමට නියමිතව තිබුණේ පසුගිය 17 වැනිදා සිකුරාදාය. මහින්ද නිවසට පැමිණෙන විට මන්ත්‍රීවරුන්, මාධ්‍යවේදීන් මෙන්ම සාමාන්‍ය ජනතාව ද විශාල පිරිසක් එහි පැමිණ සිටියහ. ඒකාබද්ධ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් මෙන්ම නිදහස් පක්ෂයේ 15 කණ්ඩායමේ මන්ත්‍රීවරු ද එහි සිටියහ. නිවසට පැමිණි වහාම සැහැල්ලු ඇඳුමක් හැඳගත් මහින්ද වෙනම කාමරයක සිට රහස් පොලිස් නිලධාරීන්ට ප්‍රකාශය ලබා දුන්නේය. පැය තුනකට ආසන්න කාලයක් මහින්දගේ ප්‍රකාශය සටහන් කරගැනුණි. එහිදී විශේෂයෙන් ප්‍රශ්න කෙරුණේ මාධ්‍යවේදී කීත් නොයාර් අතුරුදන් වූ දිනයේ කරු ජයසූරිය සහ ලලිත් අලහකෝන් මහින්දට දුරකතන ඇමතුම් දීමෙන් පසු කීත් නිදහස් කිරීම සම්බන්ධයෙනි.
මහින්ද ප්‍රකාශය දෙමින් සිටින අතරතුර ආලින්දයේ සිටි මන්ත්‍රිවරු කතාබහ කරමින් පසුවූහ. ඔවුන්ගේ සාකච්ඡාව යොමුව තිබුණේ මහින්දගෙන් ප්‍රකාශයක් ගැනීමට රහස් පොලීසිය පැමිණීම ගැනය. “මහින්ද මහත්තයාගෙන් ප්‍රශ්න කරනවා. රාජපක්ෂවරුන් හිර කරන්න බලනවා. අපේ කටවල් වහන්න හදනවා. ආණ්ඩුවේ අයයි රතු අලි පැටව් ටිකයි එකතු වෙලා දැන් ඉතින් මේවා තරමයි කරන්නේ” විමල් පැවසීය. “ආණ්ඩුව හොඳටම දන්නවා දැන් මිනිස්සු ඉන්නේ කලකිරීමෙන් කියලා. ඒ හින්දා තමන්ගේ නැති වෙමින් යන ජනප්‍රියත්ව ආපහු ගන්න මේ වගේ බාල වැඩ කරනවා” රෝහිත පැවසීය.

නාමල් - ප්‍රසන්න මහින්දගේ නිවසේ වෙනම කාමරයක විශේෂ සාකච්ඡාවක

මෙම සාකච්ඡාව තවදුරටත් ඇදීගෙන යන විට නාමලුත් ප්‍රසන්නත් මහින්දගේ නිවසේ වෙනම කාමරයක විශේෂ සාකච්ඡාවක නියැළුණහ. පැය එකහමාරක් පමණ දෙදෙනා සාකච්ඡා කරද්දී මන්ත්‍රීවරුන් විමසිලිමත් වූයේ මේ දෙන්නාගේ කතාව මොකක්ද දන්නේ නැහැ කියමිනි. සාකච්ඡාව නිමවා නාමල් සහ ප්‍රසන්න එළියට එන විට මන්ත්‍රිවරුන් ඇසුවේ “මොනවද දෙන්නා කතා කළේ, මොකක්ද ඒ සතරකන් මන්ත්‍රණය” කියාය. එහෙත් නාමලුත් ප්‍රසන්නත් සිනාසුණා මිසක් මන්ත්‍රීවරුන්ට උත්තර දෙන්නට ගියේ නැත. මහින්දගේ ප්‍රකාශය සටහන් කර ගන්න අතරතුර මන්ත්‍රීවරුන් සාකච්ඡා කළේ ආණ්ඩුව පෙරළීම සම්බන්ධයෙනි. ජන බලය කොළඹට උද්ඝෝෂණය සම්බන්ධයෙන් ද සාකච්ඡා කළහ. ඒ සඳහා මෙහෙයුම් කමිටුවක් ද පත්කර ගැනිණි. මහින්දානන්ද, ජොන්ස්ටන්, නාමල්, ප්‍රසන්න, රෝහිත, ඩලස්, දිලුම් එම කමිටුවට ඇතුළත් වූහ.

මහින්දට මලපනී

ඒ අතරතුර ප්‍රකාශය සටහන් කරගැනීමෙන් පසුව මහින්ද රහස් පොලිස් නිලධාරීන් ද සමඟ එළියට ආවේය. “මොනවද සර් මෙයාලා අහන්නේ? රෝහිත ඇසුවේය. “මෙයාලා මොනවා නැතත් මම රෑ දහයට නිදා ගන්නේ නැහැ කියලා නම් දැන ගත්තා” මහින්ද සිනාසෙමින් පැවසීය. මහින්ද එසේ කීවේ තමන් රාත්‍රී දහය වන විට නිදා ගන්නා බවට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශයක් සිහිපත් කරමිනි. කීත් නොයාර්ගේ සිද්ධිය දා කරු ජයසූරියට මහින්ද ඇමතුමක් දී ඇත්තේ රාත්‍රි 11.17ටය. “අපි මේවට සැලෙන්නේ නැහැ. රාජපක්ෂලා හිරේ දාලා බය කරන්න බැහැ. අපිට හිරගෙවල් අමුතු තැන් නෙමෙයි. ජනතාව වෙනුවෙන් කෑගහලා හිරේ යන්න වෙන එක අපි සලකන්නේ ගෞරවයක් විදියටයි” මහින්ද මන්ත්‍රීවරුන්ට පැවසීය. මහින්ද රහස් පොලීසියට කටඋත්තර දුන් දා උදිත ලොකුබණ්ඩාර හට සැරෙන් කතා කිරීමේ සිදුවීමක් ද පසුගිය දිනවල ප්‍රසිද්ධියට පත්ව තිබුණි. එතැන දී සිදුව තිබුණේ අනවබෝධය නිසා ඇති වූ ගැටලුවකි.
මහින්ද ප්‍රකාශයක් ලබාදෙන අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් එදින උදෑසන සිට විජේරාම පෙදෙසේ නිල නිවස ඉදිරියේ රැස්ව සිටියහ. ප්‍රකාශය සටහන් කරගැනීමෙන් අනතුරුව මහින්ද මන්ත්‍රිවරුන් සමඟ සාකච්ඡා කරමින් සිටින අතරතුර එතැන සිටි අයකු කීවේ “සර් මාධ්‍යවේදින් සෑහෙන වෙලාවක ඉඳලා බලන් ඉන්නවා” කියාය. “අපි එයාලව ඇතුළට ගෙන්වමු” උදිත පැවසීය. “නෑ නෑ අපි ඒ අය ළගටම යන්” මහින්ද පැවසීය. එහෙත් උදිතට එය ඇසුණේ නැත. උදිත ආරක්ෂකයන් හට උපදෙස් දුන්නේ මාධ්‍යවේදීන් ඇතුළට කැඳවන ලෙසය. මාධ්‍යවේදීන් එනු දුටු මහින්ද ඇසුවේ “කවුද ගෙන්නුවේ. මම එයාල ළඟට යන්නනේ හිටියේ” කියාය. මහින්දට කේන්ති ගොස් තිබුණේ එම සිද්ධියටය.

රාජපක්ෂවරුන්ගේ සීතල යුද්ධයට මහින්දගෙන් ගැටයක්

ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රීලංකා පොදුජන පෙරමුණ පක්ෂය තුළ හටගෙන ඇති අර්බුදය තව තවත් උත්සන්න වෙමින් පවතී. ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ යන සහෝදරයන් අතර පවතින සීතල යුද්ධය නතර කිරීමට හිටපු ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදී උත්සාහ ගෙන තිබූ අතර අවසානයේදී හිටපු ජනාධිපතිවරයා තීන්දු කර ඇත්තේ වෙනත් අපේක්ෂකයකු නම් නොකර තමාම ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමටය. මහාචාර්ය ජී.එල්. පීරිස් හිටපු, අගවිනිසුරු සරත් නන්ද සිල්වා යන මහත්වරුන් ඒ හිටපු ජනාධිපතිවරයාට නීති උපදෙස් ලබා දී තිබිණ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව එක් පුද්ගලයකුට තෙවරක් ජනාධිපතිධුරය දැරිය නොහැකි බවක් සඳහන්ව ඇතත් එය අතීතයට බලපාන්නක් නොවන බව ඒකාබද්ධ විපක්‍ෂයේ අදහස වී තිබේ. එහෙත් තවත් පාර්ශ්වයක මතය වී ඇත්තේ කිසිදු පුද්ගලයකුට තෙවරක් ජනාධිපතිධුරය දැරිය නොහැකි බව තක්කෙටම ව්‍යවස්ථාවේ සඳහන්ව පවතින බවයි. කෙසේ වෙතත් නීති විශාරදයන්ගේ අදහස වී ඇත්තේ ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලබාගත යුතු බවය. මේ වන විටත් ඒකාබද්ධ විපක්ෂයේ යෝජනා කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන මූලික අයිතිවාසිකම් පෙත්සමක් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමටය. තත්ත්වය මෙසේ තිබියදී එක්තරා දේශපාලනඥයකු අලුත්ම අදහසක් ඉදිරිපත් කර තිබිණ. එම අදහසින් ප්‍රකාශ වී තිබුණේ “ඇත්තටම 2020 ජනාධිපතිවරණය දිනන්න ඒකාබද්ධයේ ප්‍රබලයෙකුට අවශ්‍ය නැහැ. ඔහු කැමැතියි පරදින්න. ඒකට ඉන්දියාවෙනුත් සහායක් ලැබෙන බවක් පේනවා.” යනුවෙනි.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ විමල් වීරවංශ හා උදය ගම්මන්පිලගේ අවශ්‍යතාවයට ඉකුත්දා කොළඹදී පැවැත්වූ ආණ්ඩු විරෝධී රැලියට එතරම් සෙනඟක් සහභාගි වී තිබුණේ නැත. ඒ පිළිබඳව විමල් වීරවංශට තරමක් කේන්ති ගොස් තිබූ අතර ඒකාබද්ධයේ ප්‍රබලයෙක් පිළිබඳව විවේචනයක් ද ඉදිරිපත් කර තිබිණ. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ එම රැලිය කඩාකප්පල් කිරීමට පොහොට්ටුවේ ප්‍රබලයෙක් හිතාමතා කටයුතු කර තිබුණු බවත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඔහු පිළිබඳව විවේචනයක් ඉදිරිපත් කර තිබූ බවය. “මේක ලොකු රැලියක් නොවේ. අපට වැඩ තියෙන්නේ ඉස්සරහට. ඒ නිසා මේ රැලියට සෙනඟ ගේන්න අවශ්‍ය නැහැ.” යැයි එම ප්‍රබලයා සංවිධායකයන්ට ඇඟවීමට කටයුතු කර තිබුණ බව ද වාර්තා විය.

උතුරේ මහ ඇමැති සටන තීව්‍ර වෙයි

උතුරු පළාත් සභාවේ මීළග ප්‍රධාන අමාත්‍යධූරය සදහා තරග කරන පුද්ගලයා සම්බන්ධයෙන් යළිත් වරක් අර්බුදකාරී තත්ත්වයක් හට ගෙන තිබේ. වත්මන් උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේස්වරන් මහතාට ඒ සදහා යළි අවස්ථාවක් ලබා නොදෙන බව දෙමළ ජාතික සන්ධානය විසින් ප්‍රකාශ කොට තිබියදී එම අදහසේ වෙනසක් මේ සතියේදී සිදුව තිබිණි. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා ඉන්දීය මාධ්‍යවේදීන් පිරිසකට පවසා ඇත්තේ විග්නේස්වරන් මහතා ඒ සදහා සුදුසුම පුද්ගලයා බවයි. මේ ප්‍රකාශයත් සමග දෙමළ ජාතික සන්ධානයේ මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා හා සුමන්තිරන් මන්ත්‍රීවරයා තරමක් කලබල වී සිටින්නේ ඔවුන් දෙදෙනාම මීළග ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකයින් වීමට බලාපොරොත්තුවෙන් සිටි නිසයි. මේ පිළිබදව මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා යාපනයේ මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය අපේක්‍ෂකයා කවුරුන්ද? යන්නත් එය කුමන දිනයක දැනුවත් කරන්නේද? යන්නත් දෙමළ ජාතික සන්ධානයේ නායකයින් ඒකාබද්ධවී තිරණයක් ගෙන නිසි වේලාවේදී දැනුවත් කරන්නෙමු” යනුවෙනි. උතුරු පළාත් සභාව විසුරුවා හැරීම සඳහා තව කාලය තිබෙන අතර, උතුරු පළාත සඳහා වන මැතිවරණය පවත්වන්නේ කවදාද? යන්න සම්බන්ධයෙන් ස්ථිර වශයෙන් තීරණයක් ගෙන නොමැත. මෙවැනි පසුබිමකදී, මිළඟ ප්‍රධාන ආමාත්‍ය අපේක්‍ෂකයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු විවිධ අදහස් ප්‍රකාශ කරමින් සිටින නමුත් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට තව කල් ඇති බව මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා පවසා තිබේ.

“ජනබලය“ වාර්තාවක් තියන්න යයි

පසුගිය 20 වැනි දා සවස නාමල් රාජපක්ෂගේ ටවුන්හෝල් කාර්යාලයේදී ජනබලය කොළඹට උද්ඝෝෂණය මෙහෙයවීම සම්බන්ධයෙන් පත් කෙරුණු මෙහෙයුම් කමිටුව රැස්විය. එහිදී ඩලස් අලහප්පෙරුම අතීතයේ ආණ්ඩු පෙරළීමේ ව්‍යාපාර සම්බන්ධයෙන් මිනිත්තු 20ක කදිම විග්‍රහයක් කළේය. “සර්ගේ විග්‍රහය නම් අනර්ඝයි. හැබැයි ඕක මෙතන නෙමේ ජනතාව ඉස්සරහයි කියන්න තිබුණේ” නාමල් පැවසීය. “ඒක නම් ඇත්ත. මේ කාරණා දැනගන්න ඕනේ ජනතාවයි” ප්‍රසන්න ද කීවේය. අනතුරුව ජනබලය කොළඹට උද්ඝෝෂණයේ ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණි. රෝහිත සහ ප්‍රසන්න රට පුරා සංවිධානය කටයුතු සම්බන්ධයෙන් පැහැදිලි කළහ. උද්ඝෝෂණයට ජනතාව සම්බන්ධ කරගැනීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම ජොන්ස්ටන්ට පැවරුණි. මහා නායක හිමිවරුන් සහ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම දිලුම්, ශෙහාන්, කාංචන, කනක හට පැවරුණි. ඒකාබද්ධයේ රැළි අතරින් වැඩිම ජනසහභාගීත්වයක් තිබුණේ ගෝල්ෆේස් පිටියේ මැයි රැලියටය. එදින ලක්ෂ 18ක ජනතාවක් ගෝල්ෆේස් පිටියට පැමිණි බව සැළකේ. ජන බලය කොළඹට සංවිධායකයන්ගේ අරමුණ වී ඇත්තේ මෙවර එම වාර්තාව බිඳ හෙළීමය.

ආණ්ඩුව මේ අවුරුදු 03ට කළේ ආණ්ඩුව නොකරන එක විතරයි

ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ නායකයින්ගේ සහභාගිත්වයෙන් රට හදන, රට රකින, ජනතාවාදී පාලනයක් මැයෙන් රට පුරා ජනහමු දසදහසක වැඩසටහනක් මේ දිනවල කි‍්‍රයාත්මක වෙමින් තිබේ. මෙහි අරමුණ වී ඇත්තේ රට ගොඩනැගීම වෙනුවෙන් ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාව ජනතාව සමඟ සමීපව සාකච්ඡා කිරීමයි. මෙම ජනහමු මාලාවේ එක වැඩසටහනක් ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්ගේ සහභාගිත්වයෙන් කෑගල්ලේදී පැවැත්විය. ජනහමුවේදී මන්ත‍්‍රීවරයාගේ අදහස් දැක්වීමෙන් අනතුරුව ජනතාව සමඟ අදහස් හුවමරු කර ගැනීමද සිදුවිය. ”ඇත්තටම මන්ත‍්‍රීතුමා අපිට තියෙන ප‍්‍රශ්නය ආණ්ඩුවක් තියෙනවද කියන එකයි.” ජනහමුවට පැමිණ සිටි ව්‍යාපාරිකයෙක් විමසා සිටියේය. ”ඒක ඇත්ත ප‍්‍රශ්නයක්. මේ ආණ්ඩුව යන්නේ හවුල් ආණ්ඩුව කියන ලේබලය ගහගෙන. නමුත් වැඩක් කරන්න ගියාම අගමැතියි, ජනාධිපතියි ගැටුම්; ජනාධිපතියි කැබිනට් එකයි ගැටුම්; කැබිනට් එකයි මුදල් ඇමතියි ගැටුම්. ඉතිං කොහොමද ආණ්ඩුවක් කරන්නේ. අපේ රටේ ආණ්ඩුවක් නැහැ. හැමෝම එකතුවෙලා තමන්ගෙ වැඩ ටිකක් කරගත්තා. ඒ තමයි කැබිනට් මණ්ඩලය හතර පස් වතාවක් වෙනස් කරගත්තා. ඉන්ධන මිල මාසෙන් මාසෙට වැඩි කරන්න මිල සූත‍්‍රයක් හදාගත්තා. බදු වැඩි කළා. බඩු මිල වැඩි කළා. ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන්ට දීමනා වැඩි කරගත්තා. අයවැයෙන් වෙන් කරගත්ත සල්ලි මදි වුණාම පරිපූරක දාලා සල්ලි වෙන්කර ගත්තා. කලා නිර්මාණ වාරණය කරන්න පටන් ගත්තා. ජනතාවගේ ප‍්‍රශ්නවලට උත්තරයක් නැහැ. අවුරුදු 03ක් එකම ප‍්‍රශ්න පල්වෙනවා. හොරු, මංකොල්ලකාරයෝ සතුටින් ඉන්නවා. ඒ අතරේ ආණ්ඩුව බැංකු කැඩුවා. එච්චරයි” විජිත හේරත් කියා සිටියේ.

“මහින්දට පුළුවන්“ ඇතුලේ අර්බුදය වහන්න ගෙනාපු එකක්

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හැකි යැයි ඇතැම් පිරිස් නීතිමය තර්ක ඉදිරිපත් කරමින් සිටිති. මේ සම්බන්ධයෙන් ජවිපෙ නායකයින්ගේද අවධානය යොමු විය. ”මේ තර්ක ගේන්නේ ජී.එල්. පීරිස් වගේම අය. මේ කට්ටිය නීතිය නොදන්නවා නෙවෙයිනේ. දැන් ඇතුලේ විශාල අර්බුදයක් පැන නැගිලා තියෙනවා රාජපක්ෂ කණ්ඩායමේ ජනාධිපති අපේක්ෂකයා ගැන. ඒ අර්බුදය එළියට එන්න නොදී යට ගහගන්න ක‍්‍රමයක් තමයි මේ ආයෙත් මහින්ද එන්න පුළුවන් කියලා මාධ්‍ය සංදර්ශනයක් උඩට ගන්න එක. අනෙක් කාරණය තමයි එයාලට තමන්ගෙ ඡන්ද දායකයො පිනවන්න ක‍්‍රමයකුත් ඕනෑ. මොකද ඒ කණ්ඩායම ගෙනාපු හැම දේශපාලන තර්කයක්ම පහුගිය කාලේ පරාජය වුණා.” ටිල්වින් සිල්වා කියා සිටියේය. ”අනෙක් කෙනා තමයි සරත් එන්. සිල්වා. එතුමා අපේ රටේ අගවිනිසුරු වෙලා හිටියට එතුමාම හෑල්ලූවට ලක්වෙලා තියෙන්නේ. 78 ව්‍යවස්ථාවේ ඉඳලා තමයි දෙවරක් පත්වුණු පුද්ගලයෙකුට නැවත ජනාධිපතිවරණයට එන්න බැහැ කියලා තියෙන්නේ. නමුත් මහින්ද රාජපක්ෂ ඒක වෙනස් කරලා 18 සම්මත කරගත්තා. නමුත් 19වැනි සංශෝධනයෙන් 18 බල රහිත කළා. ඒ අනුව දැන් 1978 තිබුණු ප‍්‍රතිපාදන ඒ විදියට බලාත්මක වෙනවා. ඒ කියන්නේ දෙවරක් ජනාධිපති ලෙස තේරී පත්වුණු කෙනෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බැහැ.” විජිත හේරත් ව්‍යවස්ථාමය තත්වය පැහැදිලි කළේය. ”මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ ඇත්තම ප‍්‍රශ්නය දැන් කවුද ඊළඟ නායකයා කියන එක. රාජපක්ෂ පවුලේ කෙනෙක් නැත්නම් ඔවුන්ට පැවැත්මක් නැහැ. මොකක් හරි විදියකට රාජපක්ෂ කෙනෙක් තමන්ගේ නායකයා කරගන්නම වෙනවා. නමුත් ඒ ප්‍රොජෙක්ට් එක අවුල් වෙමින් යන්නේ. ඒ නිසාම පුහු තර්ක ඉදිරිපත් කර කර කාලය ගෙවාගන්න හදන්නේ. රාජ්‍ය දේපළ, මුදල් කොල්ල කාලා, ඝාතන කරලා මේ රටේ භීෂණයක් ඇති කරපු අයට ආයෙත් මේ රටේ ජනාධිපති වෙන්න සිහින දකින්න පුළුවන් වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවේ බැරි බැරියාව නිසයි නීතිය හරියට ක‍්‍රියාත්මක නොවෙන නිසයි.” ලාල්කාන්ත කියා සිටියේය.

මෛත්‍රීගෙන් ජවිපෙට සම්මානයක්

සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ පාලනයෙන් යුත් වරාය සමුපකාර බැංකුව ලංකාවේ අංක එකේ සමුපකාර බැංකුව ලෙස තේරී පත්විය. එයට හිමි සම්මානය ජනාධිපතිවරයා අතින් පසුගියදා මඩකලපුවේ පැවැති උත්සවයකදී එම සමිතියට ප‍්‍රදානය කෙරිණි. සමූපකාර දෙපාර්තමේන්තුවේ නිර්දේශයන්ට අනුව ක‍්‍රියාත්මක වන සමුපකාර බැංකු සඳහා ලකුණු ලබාදෙන අතර වරාය පොදු සේවක සමිතිය ලකුණු 680ක් ලබාගෙන තිබේ. ලංකාවේ සමුපකාර බැංකු අතරින් ලකුණු 600 මට්ටම ඉක්මවූ එකම බැංකුව වරාය සමුපකාර බැංකුව පමණි.

සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය යනු ජවිපෙ වෘත්තීය සමිතියකි. මෙම වෘත්තීය සමිතිය වරාය සේවකයින්ගේ සුභසාධනය සහ වෘත්තීය සමිති ඉල්ලීම් දිනාගැනීම වෙනුවෙන් දිගු කාලයක් පුරා පෙනී සිටින වෘත්තීය සමිතියකි. වරාය අධිකාරියේ සේවකයින් වෙනුවෙන් ස්ථාපිත කොට තිබෙන වරාය සමුපකාර බැංකුවේ පාලන බලය දිනා ගැනීමට 2005දී මෙම වෘත්තීය සමිතියට හැකි වූ අතර එතැන් සිට අඛණ්ඩව බලය හිමිකරගැනීමට ඊට හැකි විය.

Rate this item
(2 votes)