May 13, 2024

මහින්ද පිලට ගිය 15 කණ්ඩායම මට්ටු කරන්න මෛත්‍රීගෙන් ඇමක්

ඇමැති ධූර අතහැර ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 15දෙනාගෙන් 07දෙනෙකුගේ ශ්‍රීලනිප ආසන සංවිධායක ධූර වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට සූදානම් බව වාර්තා වේ.

ඒ අනුව ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයේ අසුන් ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, චන්දිම වීරක්කොඩි, ටී.බී. ඒකනායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ තාරානාත් බස්නායක යන අයගේ ආසන සංවිධායක ධුර වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට නියමිතය.

මෙම මන්ත්‍රි පිරිස අතර පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් තිදෙනකු සිටීම මෙහි ඇති විශේෂත්වයයි. පක්ෂයේ සංවත්සරයට සහ මහ සමුළුවට පෙර බල මණ්ඩල රැස්වීම පවත්වා අවසන් කරන ලෙසට දන්වා තිබියදී ඔවුන් පසුගිය 22 වනදා වනතුරුත් ඒවා නොපැවැත්වීම හෝ ඉදිරි කාලය තුළ පවත්වන බවට හෝ කිසිදු දැනුම්දීමක් කර නොමැති බවද ශ්‍රීලනිප ආරංචි මාර්ග පැවසී ය.

එම නිසා අදාළ ආසනවල සංවිධාන කටයුතු දුර්වල මට්ටමක පවතින බැවින් නව ආසන සංවිධායකවරුන් පත් කිරීමට නියමිත බවද ආසනවල සංවිධායක කටයුතු දුර්වල නම් හා ඒ සඳහා පත් කිරීමට සුදුසු අය වේ නම් ඒ පිළිබඳව කරුණු දක්වන ලෙසට ශ්‍රීලනිප දිස්ත්‍රික් සංවිධායකවරුන් හට දැනුම්දී තිබෙන බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේ වෙතත් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසූවේ ඇමැති තනතුරු අත්හැර විපක්ෂයේ අසුන් ගත් මන්ත්‍රිවරුන් අතරින් සුමේධා ජයසේන, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ තිලංග සුමතිපාල යන අය ඉදිරි සතිය තුළ බල මණ්ඩල රැස්වීම් පවත්වන බවට දැනුම් දී ඇති බවයි.

ඊට අමතරව එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, අනුරාධ ජයරත්න සහ දයාසිරි ජයසේකර යන මන්ත්‍රිවරුන් ආසන බල මණ්ඩල පිහිටුවා ඇති බව දැනුම් දී ඇතැයිද මහ ලේකම්වරයා සදහන් කළේය.

මේ අතර ශ්‍රීලනිපයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසූවේ ක්‍රියාකාරී නොමැති ආසන සංවිධායකවරුන් වෙනුවට නව ආසන සංවිධායකවරුන් පත් කරන බවයි.

ඒ සඳහා තීන්දු කිරීමට තව කල් ඇති බවද මන්ත්‍රීවරයෙකුට පක්ෂ දෙකක සිටිය නොහැකි බවද ඇමැතිවරයා අවධාරණය කළේය.

සුසන්ත පුංචි නිලමේ මන්ත්‍රිවරයාද බල මණ්ඩල පිහිටුවා නොමැති වීම නිසා ඔහුගේ ආසන සංවිධායක තනතුර ඉවත් කිරීමට පසුගියදා පියවර ගැනුණි.

කෙසේ වෙතත් ඉවත් නොකරන ආසන සංවිධායක තනතුරුවලට සංවිධායනයකින් පත්කිරීම සඳහා වන කමිටුව ඊයේ (23) පක්ෂ මූලස්ථානයේදී රැස්වී තිබිණි.

ශ්‍රීලනිපයේ බහුතර බලය මේවන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ඒකාබද්ධ විපක්ෂයට හිමිව තිබෙන අතර ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප ඇමැතිවරුන්ද මේවන විට කටයුතු කරනුයේ ඒකාබද්ධ විපක්ෂයේය. ආණ්ඩුවේ කටයුතු කරන තවත් ශ්‍රීලනිප ඇමැතිවරුන් පිරිසක් ඒකාබද්ධ විපක්ෂයට එක්වන බවට ශ්‍රීලනිපයේ 15 කණ්ඩායම ප්‍රකාශ කරයි.

ඒ අනුව ශ්‍රීලනිපයේ නායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිපයේ පිරිස ආණ්ඩුව තුළ තවදුරටත් රඳවා ගැනීමට දැඩි පාලනයක් පක්ෂය තුළ ගෙන යාමට සැලසුම් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

Rate this item
(1 Vote)
Last modified on Monday, 27 August 2018 11:04