May 12, 2024

ආණ්ඩුවේ අර්බුදය හෙට එළියට: රනිල් - මහින්ද එක මතයක! මෛත්‍රීගේ සහයට ජවිපෙ එයි

මේ වන විට පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබේ. ඒ යහපාලන ආණ්ඩුවේ කටයුතු කරන ප්‍රධාන පක්ෂ දෙක කඹ ඇදිල්ලක නිරතවී තිබීමය.

එක්සත් ජාතික පක්ෂයේ අදහස වී ඇත්තේ පැරණි ක්‍රමයට හෙවත් සමානුපාතික ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් පවතින බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලුත් ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට තීරණයක් ගෙන තිබිය දී එජාපය හා ආණ්ඩුවට සම්බන්ධ සුළු දේශපාලන පක්ෂ, එජාපයත් සහ ඒකාබද්ධ විපක්ෂයත් පැරණි ක්‍රමයටම ඡන්දය ඉල්ලා සිටීම නිසා අර්බුද රැසක් මතුවී තිබේ.

මේ අතර පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පිළිබඳ විවාදය හෙට (24) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය. ඒ අනුව පෙරවරු 11.00 සිට පස්වරු 6.00 දක්වා විවාදය පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

අදාළ යෝජනාව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් ඉදිරිපත් කරනු ලබන අතර පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත් නව ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වෙනු ඇත.

පාර්ලිමේන්තුවේදී එය සම්මත නොවුවහොත් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති කමිටුවක් වෙත යොමුකරනු ලබයි.

එම කමිටුව මාස දෙකක් ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වන යෝජනා ඇතුළත් වාර්තාවක් ජනාධීපතිවරයා වෙත යොමු කරන බව වාර්තා වේ.

අනතුරුව ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොට්ඨාශ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පැවසී ය.

කෙසේ වෙතත් එම පළාත් සභා සීමා නිර්ණ වාර්තාව හෙට පාර්ලිමේන්තුවේදී සම්මත නොවන වාතාවරණයක් හටගෙන තිබේ. ඒ එජාපය ප්‍රමුඛ සුළු පක්ෂත්, ඒකාබද්ධ විපක්ෂයත් එම වාර්තාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණයක් ගෙන තිබීමය.

එජාපෙ සීමා නිර්ණ වාර්තාවට එරෙහි වෙයි

මේ අතර අද පාර්ලිමේන්තුවේදී පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් පැවැත්වුණේ මැතිසබයේදී හෙට පැවැත්වෙන පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පිළිබඳව විවාදය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව සාකච්ඡා කිරීම අරමුණු කරගෙනය.

එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩාම් රැස්වීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකිර්ණයේ දී රැස්විය.

එහිදී එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කර ඇත්තේ පළාත් සභා මැතිවරණය කොට්ඨාශ ක්‍රමයට පැවැත්විම වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන සීමානිර්ණ කොමිෂන් සභා වාර්තාව ප්‍රතික්ෂේප කරමින් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමටය.

සීමා නීර්ණය වාර්තාවට ඒකාබද්ධය එරෙහි වෙයි

කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමු‍ණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත සීමා නිර්ණය කමිටු වාර්තාවට තුනෙන් දෙකේ බහුතර බලය ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් ඒ අනුව සීමා නිර්ණය වාර්තාව නිවැරදි කර යළි කඩිනමින් ගෙන ආ යුතු බවත්ය.

ඒ අනුව අද පැවති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත්තේ පළාත් සභා සීමා නිර්ණ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හෙට පැවැත්වෙන විවාදයේදී ඊට විරුද්ධව ඡන්දය භාවිත කිරීමටය.

සීමා නීර්ණය වාර්තාවේ සමහර තැන්වලදී ඒකාබද්ධ විපක්ෂයට අසාධාරණයක් සිදුව ඇති බවද එක්සත් ජාතික පක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ද මෙම සීමා නීර්ණය වාර්තාවට විරුද්ධ වන බවට ප්‍රකාශ කර ඇති බවද ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා ප්‍රකාශ කළේය.

සීමානිර්ණ වාර්තාව පරාජය වුවහොත් විකල්පයක්

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය මහින්ද සමරසිංහ පැවසූවේ ඡන්දය විමසීමේදී පළාත් සභා සීමානිර්ණ වාර්තාව පරාජයට පත්වුවහොත් ඊට විකල්පයක් පවතින බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වී ඇත්තේ මීළඟ පළාත් සභා මැතිවරණය සහ මහ මැතිවරණය නව ඡන්ද ක්‍රමය යටතේ පැවැත්විය යුතු බවද පළාත් පාලන මැතිවරණය නව කොට්ඨාස හා සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ පවත්වා ඉදිරි මැතිවරණ යළිත් පැරණි මනාප ක්‍රමයට පැවැත්වීම සුදුසු නැතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.

සීමානිර්ණ වාර්තාවට ජවිපෙ කැමැත්ත දෙයි

කෙසේ වෙතත් මෙම වාර්තාවට තම පක්ෂයේ මන්ත්‍රීවරුන් පක්ෂව ඡන්දය භාවිත කරන බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කළේය.

පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට නම් අලුත් ඡන්ද ක්‍රමය අත්හිටවිය යුතු බවත් ඒ සඳහා වූ යෝජනාවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්ත හිමි විය යුතු බවත් ඒ මහතා කියා සිටියේය.

එහිදී පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට අදාළ යෝජනාව ද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කරගත යුතු බව ද ඔහු පැවසී ය.

අසමත් ආණ්ඩුව මැතිවරණ කල්දැමීමට ඔවුන් ම ගෙනා නව මැතිවරණ ක්‍රමයට අදාළ සීමානිර්ණ වාර්තාව සම්මත කර ගැනීම හමුවේ තවත් උපක්‍රමයක් භාවිත කරන බව ද විජිත හේරත් මහතා කියා සිටියේය.

මේ වන විට නව මැතිවරණ ක්‍රමයක් සැකසූ එජාපය යළි පැරණි මැතිවරණ ක්‍රමය අවශ්‍ය බව කියමින් කටයුතු කරද්දී ආණ්ඩුවේ ශ්‍රීලනිප පිරිස අලුත් ක්‍රමය අවශ්‍ය බව කීම ම ආණ්ඩුවේ අර්බුදයේ තරම පෙන්වන්නක් බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

වාර්තාව පැරදුණොත් මැතිවරණ කොමිසමෙන් විකල්පයක්

පළාත් සභාවල කොට්ඨාස වෙන් කෙරෙන සීමා නිර්ණය වාර්තාව හෙට (24) පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුවහොත් ඒ සඳහා විකල්පයක් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

පළාත් සභා සීමා නිර්ණය වාර්තාව පාර්ලිමේන්තුවෙන් සම්මත නොවුණහොත් ඒ සඳහා විශේෂ කමිටුවක් පත්කර එම කමිටුව මගින් වාර්තාව නැවත සලකා බැලිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචි මාර්ග පැවසී ය.

පළාත් සභා පනතට අනුව කතානායකවරයා විසින් එම කමිටුව පත්කළ යුතු අතර අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුව පස්දෙනෙකුගෙන් සමන්විත විය යුතු බවද වාර්තා වේ.

අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව මගින් එම පනත මාස දෙකක් ඇතුළත සලකා බලා ජනාධිපතිවරයාට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර එම වාර්තාව ජනාධිපතිවරයා පිළිගන්නේ නම් සීමා නිර්ණය වාර්තාව සම්මත වූවාසේ සැලකිය හැකි බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

එසේ වුවහොත් නව මැතිවරණ ක්‍රමයට පළාත් සභා ඡන්දය පැවැත්විය හැකි වනු ඇතැයිද වාර්තා වේ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි එක්සත් ජාතික පෙරමුණක් ඒකාබද්ධ විපක්ෂයත් ගනු ලැබු තීරණය අනුව සිමානීර්ණ වාර්තාව ප්‍රතික්ෂේප වනු ඇතැයි අපේක්ෂිතය.

මෙම පසුබිම යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම අර්බුදයකට ලක්ව තිබෙන අතර විපක්ෂයේ චෝදනාව වන්නේ මෙය මැතිවරණ කල් දැමීම සඳහා කරන උප්පරවැට්ටියක් බවයි.

Rate this item
(1 Vote)
Last modified on Friday, 24 August 2018 13:50