May 13, 2024

ඒකාබද්ධයට ආණ්ඩුවේ සුළු පක්ෂ සහය! ආණ්ඩු පෙරළියේ තීන්දුව අවසාන මොහොතේ එළියට

ඒකාබද්ධ විපක්ෂයේ පොදු එකඟතාවයකින් ගන්නා තීන්දු තීරණවලට තම කණ්ඩායමේ පූර්ණ සහය හිමිවෙන බව ශ්‍රීලනිප 15 කණ්ඩායමේ මන්ත්‍රීවරයෙකු වන හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

ආණ්ඩු පෙරළිය සිදු කිරීමට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීම කළ යුත්තේ ඉතා පරිස්සමෙන් බවත් අගමැතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයේදී ඊට පෙර සිටම ඡන්දය දීමේ මන්ත්‍රීවරුන්ගේ නම් හෙළි කිරීම නිසා ආණ්ඩුව ඔවුන්ට විවිධ වරදාන වරප්‍රසාද සහ මුදල් ලබා දී අගමැතිවරයාට වාසි සහගත ලෙස කටයුතු කිරීමට සැලසුම් සකස් කර ගත් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ඒනිසා මෙවර ආණ්ඩු පෙරළියක් සිදු කරන්නේ නම් ඉතා විශ්වාසවන්තව අවසාන මොහොතේ තීන්දු කළ යුතු බවත් එය ඒකාබද්ධ විපක්ෂය පොදු තීන්දුවක් ගත යුතු බවත් මන්ත්‍රීවරයා පැවසී ය.

ඒ සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහයත් හිමිවෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ආණ්ඩු පෙරළියට මේවන විට ආණ්ඩුවේ කටයුතු කරන සුළු පක්ෂ නායකයින්ගේ සහයත් හිමිවෙන බවත් ආණ්ඩු බලය ලබා ගත් පසු කොහොමත් සුළු පක්ෂවල සහය ගැන ගැටලුවක් නොමැති බවත් මන්ත්‍රීවරයා පැවසී ය.

යහපාලන ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට තම කණ්ඩායම ලිපියක් බාර දුන් බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

මේ අතර අප කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ මෙම පාර්ලිමේන්තුව තුලම ආණ්ඩු පෙරළියක් ඇති කිරීමට සූදානම් බවයි.

මේ වනවිට ආණ්ඩු පක්ෂයේ පිරිසක් විපක්ෂයට එක් වීමට සූදානම් බවත් තවත් පිරිසක් ආණ්ඩුවේ සිටිමින් සහය පල කිරීමට කැමැත්ත පළ කර ඇති බවත් පෙන්වා දුන් ඒ මහතා තවත් පිරිසක් ආණ්ඩුවේ පනත් සම්මත කිරීමේදී පවා ඡන්ද දීමෙන් වැලකී සිටීමට සූදානම් බවත් ඒ අනුව ඉදිරියේදී ආණ්ඩුවේ බහුතරය බලය හීන කිරීමට ඒකාබද්ධ විපක්ෂය සැලසුම් කර ඇති බවත් කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට යෝජනාවක් ඇතුළත් පිටු තුනක ලිපියක් අනුර ප්‍රියදර්ශන යාපා සහ එස්.බී. දිසානායක යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් මීට පෙර පැවැති ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කර තිබිණි.

ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා ප්‍රකාශ කරන්නේ ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බව වුවත් ශ්‍රීලනිපයේ ඇමති ධුර දරන පිරිස පවසන්නේ තව දුරටත් ආණ්ඩුවේ රැදී සිටිය යුතු බවයි.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 23 August 2018 18:37