May 13, 2024

මංගලගෙන් ජනපතිට ටොක්කක්! ජනපති තීන්දුවට මංගල හරස් වෙයි

දුම්රිය සේවකයින්ට වැටුප් වැඩි කිරීමක් සිදු නොකරන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා අවධාරණය කරයි.

එක් කණ්ඩායමකට පමණක් වැටුප් වැඩිවීමක් ලබාදීමෙන් තවත් කණ්ඩායම් ගණනාවකට විෂමතා ඇතිවන බවත් එම නිසා එය කළ නොහැකි බවත් මංගල සමරවීර මහතා සඳහන් කළේය.

දුම්රිය සේවකයින්ට වැටුප් වැඩිවීමක් ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාව පළකර ඇති බවට වාර්තා පළවන අතර එලෙස වැටුප් වැඩිවීමක් ලබාදෙනවාදැයි මුදල් අමාත්‍යංශයේ ඊයේ (20) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසී ය.

සියළුය රජයේ සේවකයන්ගේ වැටුප් සංශෝධනය කිරීම සදහා වැටුප් කොමිසම කටයුතු කරන බවත් එහි නිර්දේශ ඉදිරි මාස 2ක කාලයේදී ලබාගන්නා බවත් ඇමතිවරයා පැවසීය.

ඒ අනුව සියළු රජයේ සේවන වැටුප් සංශෝධන සිදු කරන්නේ යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

කෙසේ වෙතත් පසුගියදා පැවැති දුම්රිය වර්ජනය නවතා දැමීමට වෘත්තිය සමිති තීරණය කර තිබුණේ පොළොන්නරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිවසේදී පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

එහිදී ජනාධිපතිවරයා වර්ජනයේ නිරත දුම්රිය සේවකයන්ගේ ගැටළුවලට කඩිනම් විසඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව පොරොන්දු වීම හේතුවෙන් වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා පැවසී ය.

ඒ අනුව ජනාධිපතිවරයා දුම්රිය වෘත්තීය සමිතිවලට ලබා දුන් පොරොන්දුව “කඩවුණු පොරොන්දුවක්“ වී තිබේ. ඊට හේතු වී ඇත්තේ දුම්රිය සේවකයින්ගේ වැටුප් වැඩි නොකරන බවට මුදල් ඇමැති මංගල සමරවීර මහතාගේ දැඩි ස්ථාවරයයි. මේ නිසා ජනාධිපතිවරයාගේ තීරණය පවා ක්‍රියාත්මක නොකර මුදල් ඇමැතිවරයා කටයුතු කිරීමෙන් යළිත් දුම්රිය වර්ජනයක් ඇතිවීමේ ඉඩ කඩක් ඇතැයි වෘත්තීය සමිති පවසයි.

මංගල, අමුණුගම, රාජිත කැබිනට්ටුවේදී ගැටෙයි

කෙසේ වෙතත් දුම්රිය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විශේෂ කැබිනට් පත්‍රිකාවක් හේතුවෙන් පසුගිය ජූලි මස 31 වැනිදා පැවැති කැබිනට් රැස්වීමේදී මංගල සමරවීර, රාජිත සේනාරත්න සහ සරත් අමුණුගම ඇමතිවරුන් අතර මත ගැටුමක් ඇතිවී තිබිණි.

දුම්රිය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා සරත් අමුණුගම මහතා විසින් මෙම විශේෂ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබූ අතර මංගල සමරවීර ඇමැතිවරයා ඊට දැඩි විරෝධය පළකිරීම හේතුවෙන් මෙම උණුසුම් මත ගැටුම ඇතිවී තිබිණි.

එහිදී සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාද අමුණුගම ඇමැතිවරයාගේ අදහස් අනුමත කරමින් කැබිනට් පත්‍රිකාවට සහය දක්වමින් අදහස් දක්වා ඇතැයි වාර්තා විය.

එහිදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා දුම්රිය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමට විරුද්ධව දැඩිව අදහස් ප්‍රකාශ කර තිබූ අතර වර්තමාන කැබිනෙට්ටුව පිට කොන්දක් නැති කැබිනෙට්ටුවක් බවත් තමන් කටයුතු කළ කැබිනට් මණ්ඩල අතරින් මෙවැනි කැබිනට් මණ්ඩලයක් දැක නොමැති බවත් මුදල් අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබිණි.

දුම්රිය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කැබිනට් පත්‍රිකාවට සහය පළකරමින් අමුණුගම සහ රාජිත සේනාරත්න යන ඇමැතිවරුන් දෙදෙනා දිගින් දිගටම අදහස් දක්වා ඇති අතර තමා ඊට කිසිසේත් එකඟ නොවන බවට මංගල සමරවීර ඇමැතිවරයා දිගින් දිගටම පවසා ඇත.

Rate this item
(3 votes)
Last modified on Thursday, 23 August 2018 18:38