May 13, 2024

ජනපති සටනට යළිත් මහින්ද - ෆොන්සේකා එයි? මහින්ද ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසයි

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනපති සටනට එන අපේක්ෂකයින් පිළිබඳ බොහෝ දෙනාගේ දැඩි අවධානයක් යොමු කර තිබූ අතර මේ වන විට ප්‍රධාන පක්ෂ වලින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂකයින් රැසක් සූදානම් වන බව වාර්තා වේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකත්වය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වීමට සූදානම් බවට වාර්තා පළ විය. නමුත් පසුව හිටපු ජනාධිපතිවරයා ඒකාබද්ධ විපක්ෂයේ නායකයින්ට ප්‍රකාශ කර තිබුණේ ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ කතා නොකරන ලෙසයි.

කෙසේ වෙතත් මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ නායකයින්ගේ අලුත්ම අදහස වී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළිත් ජනපති ධූරයට පත් කර ගැනීමයි. ඒ සඳහා ඇති බාධාවන් ඉවත් කර ගැනීමට මේවන විටත් ඒකාබද්ධයේ ප්‍රබලයින් කටයුතු කරමින් සිටියි.

ඒ පිළිබඳ මුල්වරට පිළියන්දළදී පැවැති උත්සවයකදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා නැවතත් ජනපතිවරණයට ඉදිරිපත් විය හැකි බවට මතයක් පවතින හෙයින් ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන බව යි.

“19 වැනි ව්‍යවස්ථාව අනුව ඉල්ලන්න පුළුවන් කියලා දැන් මතයක් තියෙනවා. මට නෙමෙයි හිටපු ඕන කෙනෙකුට. එනවද නැත්ද කියන එක පිළිබඳව පස්සේ බලන්නම්. හැබැයි අපි පුළුවන්කම ලබාගන්න ඕන මුලින්ම.“ යැයිද හිටපු ජනාධිපතිවරයා පැවසී ය.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට තමන්ට බාර දිමට එක්සත් ජාතික පක්ෂයත්, විපක්ෂ නායකත්වයත් තීරණය කළහොත් එම අභියෝගය බාර ගන්නා බවට හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් ඇමැති සරත් ෆොන්සේකා මහතා අවධාරණය කරයි.

එය පක්ෂය විසින් ගත යුතු තීරණයක් බවත් තිස් වසරක කුරිරු යුද්ධයෙන් රට බේරා ගත් තමා ඉදිරියටත් රට සහ රටේ ජනතාව වෙනුවෙන් අවංකව කැප වෙන බවත් ෆොන්සේකා මහතා පෙන්වා දෙයි.

තම පක්ෂය ගන්නා තීරණයකට තමාද එකඟවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග පැවසූවේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා වුවද විරුද්ධ පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයාට අභියෝගයක් එල්ල කළ හැකි වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවයි.

ඒ අනුව බොහෝ දුරට එජාපයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනපති සටනට ඉදිරිපත් නොවන අතර වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සූදානමක් පවතී.

ඒකාබද්ධ විපක්ෂය ජනපති අපේක්ෂකත්වයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට යෝජනා වුවද ඔහුට ඒකාබද්ධ විපක්ෂය තුළින්ට විරෝධයක් පළ කිරීමත්, සුළු ජනතාවගේ ඡන්ද ලබා ගැනීමට නොහැකි වීමට ඉඩ ඇති බැවින් ඔහු වෙනුවෙට වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බවයි.

ඒ අනුව නැවත වරක් හිටපු ජනාධිපතිවරයා ජනපති සටනට එක්වනු ඇති බවට වාර්තා වේ.

මහින්දට, චන්ද්‍රිකාට විජේදාසගෙන් නීති තර්කයක්

මේ අතර සස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා පැවසූවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඉතාම පැහැදිලිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හෝ හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට නැවත ජනාධිපතිවරණයට තරඟ කළ නොහැකි බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 (II) වගන්තියට අනුව ජනතාව විසින් දෙවරක් තෝරා පත් කර ගනු ලැබු තැනැත්තෙකු නැවත එකී ධුරයට තෝරා ගැනීම සඳහා සුදුස්සෙක් නොවන බව පැහැදිලිවම සඳහන් වන බවද ඇමැතිවරයා පැවසී ය.

මීට අමතරව ජනාධිපති මැතිවරණ පනතට අනුව ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයකු දුවුරුමක් අත්සන් කළ යුතු අතර එම දිවුරුම් දීම වැරැදි ලෙස ලබා දීම දණ්ඩනීතී සංග්‍රහයේ 190 වැනි වගන්තියේ අනුව අපරාධ වරදක් වන බවද එකී වරදට වසර තුනක සිර දඩුවමක් හිමි වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Friday, 24 August 2018 13:51