May 13, 2024

කරළියෙන් එහා: අවුල ලිහන්න 16 කණ්ඩායම මහින්ද එක්ක රහස් සාකච්ඡාවක - මහින්දගෙන් පසු ගෝඨා CIDයට

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහුගේ නිල නිවසට ගොස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ ලබා ගැනිම පිළිබඳ දේශපාලන කරළියේ කාගේත් අවධානය යොමු වී තිබිණි. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 6 දෙනකු පමණ මෙලෙස හිටපු ජනපතිවරයාගේ නිල නිවස වෙත පැමිණියේ අද (17) පෙරවරුවේ දිය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසට ගියද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නිල නිවසේ නොසිටියේය. ඒ වන විටත් සිය පෞද්ගලික රාජකාරියක් සඳහා නිවසින් බැහැරව සිටි හිටපු ජනපතිවරයා පෙරවරු 11.30 ට පමණි නිවසට පැමිණියේය. කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවස ඉදිරිපිටට ආගමික නායකයින්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, නීතීඥයින්, කලාකරුවන් ඇතුළු ආධාරකරුවෝ විශාල පිරිසක් රැස්ව සිටියේය. ඒ වන විටත් ඒකාබද්ධ විපක්ෂයේ කුමාර වෙල්ගම, උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන, සී.බී. රත්නායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ශෙහාන් සේමසිංහ, කුමාර වෙල්ගම, නිමල් ලාන්සා ඇතුළු ඒකාබද්ධයේ නියෝජිතයින්ද පැමිණ තිබිණි.

ඉන් අනතුරුව කුමාර වෙල්ගම මහතා සඳහන් කළේ “මේක දේශපාලන පලිගැනීමක්. මේක මුළු රටම දන්නවනේ. අවුරුදු තුනහමාරක් ගිහිල්ලද මේ ගොල්ලන්ට මතක් වුණේ. මේක සම්පූර්ණයෙන්ම දේශපාලන පලිගැනීමක්. ජනාධිපතිවරණය අතලඟනේ. පළාත් සභා ඡන්ද අතලඟ. මේකේ නායකයන්ට ඕනනේ මඩ ගහන්න. ඒකනේ මහින්ද මහත්තයට මඩ ගහන්නේ. “

ශ්‍රීලනිපයේ 15 කණ්ඩායමේ නියෝජිතයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්බී දිසානායක මහතා කියා සිටියේ මොළේ කළදක් ඇති කෙනෙක් නම් හිටපු ජනාධිපතිවරයාගෙන් සාක්කි ලබා ගැනීමට සීඅයිඩීය එවන්නේ නැති බවයි. කීත් නොයාර්ට පහර දුන්නේ ජනාධිපතිවරයා නොවන බවත් සීඅයිඩිය ජනාධිපතිවරයා හමුවී ප්‍රකාශ සටහන් කර ගැනීම විහිලුවක් බවත් මෙය නාටකයක් යැයි ද එහි තිර පිටපත රනිල් වික්‍රමසිංහ මහතා ලියා ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය. මාධ්‍යවේදී කීත් නොයාර් මහතා 2008 වසරේදී මැයි මස 22 වනදා දෙහිවල වෛද්‍ය පාරේ පිහිටි සිය නිවස අසලදී පැහැරගැනීමට ලක්වූ අතර දින කිහිපයකට පසු ඔහු මුදා හැර තිබුණේ කෲර ලෙස වධ හිංසනයට ලක් කිරීමෙන් අනතුරුවයි. මීට අමතරව මෙම පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කතානායක කරූ ජයසූරිය මහතාගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පියවර ගෙන තිබුණි. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ‍ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කැඳවා ප්‍රකාශයක් ගැනීමට නියමිත බව වාර්තාවේ.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම 14 වැනි දා විජේරාම පෙදෙස් නිල නිවසේ දී පැවැත්වුණේ මහින්දගේ ප්‍රධානත්වයෙනි. මෙම හමුව තීරණාත්මක හමුවක් බවට පත්ව තිබුණේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලබා ගැනීමට නම් ස්වාධීන වනවාද? නැද්ද? යන අවසන් තීන්දුව ගැනීමට නියමිතව තිබුණු නිසාය. සාකච්ඡාව ආරම්භ වීමට පෙර පවිත්‍රා, මහින්දානන්ද, සී. බී. ප්‍රසන්න ඇතුළු පිරිසක් මහින්ද සමඟ ඇතුළු කාමරයක සුහද කතාබහක නියැළෙමින් සිටියහ. ඒ අතරතුර මහින්දට හිතවතකුගෙන් ඇමතුමක් ලැබුණේය. ඇමතුම දුන් කෙනා ප්‍රශ්න කළේ මහින්ද සී.අයි.ඩී එකට කැඳවා තිබෙනවා ද කියාය. “නැහැ මට නම් එහෙම කැඳවීමක් ලැබිලා නැහැ” මහින් ද පැවසී ය. “කීත් නොයාර්ට පහරදීම ගැන ප්‍රකාශයක් ගන්න ඔබතුමා කැඳවලා තියෙනවා” එම හිතවතා සඳහන් කළේය.
“මම නම් එහෙම එකක් දන්නේ නැහැ. එහෙම කැඳවීමක් ලැබුණා නම් අපි යනවා. රාජපක්ෂලා ඕවට බය නැහැ. මම සී.අයි.ඩී. එකට උත්තර දෙන්න ඕනේ වෙලාවක ලැහැස්තියි”මහින්ද පැවසීය.

දුරකතනය විසන්ධි කළ මහින්ද එහි සිටි කාර්ය මණ්ඩලයේ අයගෙන් ප්‍රශ්න කළේ සී.අයි.ඩීයෙන් කැඳවීමක් ලැබුණා ද? කියාය. එහෙත් කාර්ය මණ්ඩලය කීවේ එවැනි ඇමතුමක් නොලැබුණු බවය. මහින්ද යළිත් වතාවක් දුරකතනය ගෙන සී.අයි.ඩී.යේ ප්‍රධානියකුට ඇමතුමක් ගත්තේය. “ඔයාලට මගේ ප්‍රකාශයක් ගන්න ඕනේකමක් තියෙනවා ද? මහින්ද ඇසුවේය. “ඔව් සර්. හැබැයි අපිට ඔබතුමාගෙන් වෙලාවක් ලැබුණේ නැහැ” ප්‍රධානියා කීවේය.

“මට නම් එහෙම දැනුම් දීමක් කරලා නැහැ. මම මේ රටේ නීතියට ගරු කරනවා. ඕනේ වෙලාවක මම ප්‍රකාශයක් දෙන්න සූදානම්. මම ඕනේ වෙලාවක ඒවට උත්තර දෙනවා. දැන් කවද්ද මම එන්න ඕනේ. මට සිකුරාදා නම් උදේ 10ට එන්න පුළුවන්”මහින්ද පැවසීය.
මේ අතර ඒකාබද්ධ විපක්ෂය පැවැත්වීමට නියමිතව තිබෙන පා ගමන ගැන විවිධ අදහස් ඉදිරිපත් වීමත් සමඟ පා ගමන ආරම්භ කිරීමේ ස්ථානය ගැන ගැටලුකාරී තත්ත්වයක් හටගෙන තිබේ. ඒ අනුව තීන්දුව ස්ථිර එකක් නොවන බවත් වෙනත් අදහස්වලට ඇහුම්කන්දිය යුතු බවටත් ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ එකඟතාවයකට ද එළඹ සිටියහ. කෙසේවෙතත් තවත් මතයක් ඉදිරිපත් වී ඇත්තේ මහනුවර සිට එම විරෝධතා පාගමන පැවැත්වීමටය. ගාල්ලෙන්, මහනුවරින් හා රත්නපුරයෙන් ආදී පැති තුනකින් මහජන ගංගාවක් කොළඹට ගලා ඒමට කටයුතු කළ යුතු බවටද මතයක් පළ වී තිබේ. ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනඥයන්ගේ විරෝධතාවයට කෙසේ මුහුණ දිය යුතුදැයි යන්න සම්බන්ධයෙන් ආණ්ඩුවේද අවධානය යොමු වී තිබේ. මේ වනවිටත් එජාපය ඔවුන්ගේ රහසිගත තොරතුරු ඔස්සේ ඒකාබද්ධයේ ක්‍රියාදාමය ගැන තොරතුරු රැස්කරමින් තිබෙන බව වාර්තා වේ.

රු.5649.60කින් වැටුප් වැඩි කරනු!

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයට අනුබද්ධ රාජ්‍ය, පෞද්ගලික සහ වතු ක්ෂේත‍්‍රවල වෘත්තීය සමිති පසුගිය සතියේ විශේෂ සාකච්ඡාවක නිරත විය. ඒ, වැඩිවී තිබෙන ජීවන වියදම පදනම් කරගනිමින් වැටුප් වැඩි කර ගැනීමේ සටනක් ආරම්භ කිරීම සඳහා මූලික පියවරයන් පිළිබඳව සාකච්ඡුා කිරීම සඳහාය. මෙම සාකච්ඡාව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්තගේ ප‍්‍රධානත්වයෙන් පැවැති අතර එහි ජාතික මෙහෙයුම් කමිටුව සහ වෘත්තීය සමිති නායකයෝ සහභාගි වී සිටියහ. ”මේ වෙනකොට බදුබර, බඩුමිල, ඉන්ධන මිල වැඩිවෙලා. ජනතාවට තමන්ගේ වැටුපෙන් ජීවිත් වෙන්න බැරි තත්වයක් මතුවෙලා තිබෙනවා. ඒ නිසා වැඩිවෙන ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක් වැඩකරන ජනතාවට ලබාදෙන්න කියලා සටනක් ආරම්භ කළ යුතුවෙලා තිබෙනවා.” ලාල්කාන්ත සාකච්ඡාවට මුල පිරීය. ”ඔව්, ආණ්ඩුව බදු වැඩි කරන්න, තෙල් මිල ඉහළ දාන්න මිල සූත‍්‍ර හදනවා. නමුත් ජනතාවගේ ආදායම වැඩිකරන්න කිසිම පියවරක් ගන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි මේ වෙනකොට මැති ඇමතිවරුන්ගේ වැටුප් දීමනා වැඩි කරගන්න සාකච්ඡාවක් තියෙනවා. 640,000 පුටුවල වාඩිවෙන්න කතා කරනවා. අධීක්ෂණ මන්ත‍්‍රීලා පත්කරලා ලක්ෂ දෙක තුන දීමනා දෙනවා. නමුත් රටේ ජනතාව ගැන කිසිදු කතාබහක් ඔය කියන ආයතනවල සිදුවෙන්නේ නැහැ.” අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ කීය. ”අපි වැටුප් සටන ජීවන වියදමත් එක්ක ගැටගහන්න ඕනෑ. එතකොට ජනතාවටත් මේ සටන් පාඨ තේරුම් ගන්න පුළුවන්. ඇත්තම තත්වය ජනතාවට හොඳට ජීවන වියදම දැනිලා තියෙන්නේ. ඒ නිසා මේ වෙනකොට වැඩිවෙලා තියෙන ජීවන වියදම සැලකිල්ලට ගන්න ඕනෑ.”ලංකා ගුරුසේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියේය. ”මේ ආණ්ඩුව පත්වුණේ 2015 ජනවාරි 08වෙනිදා. 2015 පෙබරවාරිවල ජීවන අංකය වෙලා තියෙන්නේ 108.9ක්. මේ වෙනකොට ජීවන අංකය 126.5යි. මේවා ආණ්ඩුවේ සංඛ්‍යාලේඛන. ඒ අනුව ජීවන අංකය 17.6කින් වැඩිවෙලා. ආණ්ඩුවේ සංඛ්‍යාලේඛන අනුව ජීවන අංකය රු.321ක් වෙනවා. ඒ අනුව මේ ආණ්ඩුව පත්වුණාට පස්සේ රු.5649.60කින් ජීවන වියදම වැඩිවෙලා තියෙන්නේ.” ලාල්කාන්ත සංඛ්‍යාලේඛන අනුව වැටුප් වැඩිකර ගැනීමේ ප‍්‍රමාණය පිළිබඳව අදහසක් යෝජනා කළේය. ”ඒක හොඳ තර්කයක්. මොකද අපි වැටුප් වැඩි කරන්න කියන්නේ සාධාරණ තර්කයකට අනුවයි. ඒ වගේම මේ වැටුප් වැඩිවීම රාජ්‍ය, වතු සහ පෞද්ගලික අංශයේ සියලූදෙනාට ලැබිය යුතුයි.” සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති සෙල්වරාජ් පැවසීය. ඒ අනුව ජනාධිපති, අගමැති සහ මුදල් ඇමතිවරයාට මේ පිළිබඳව දන්වමින් ලිපි යැවීමටත් වැටුප් වැඩිකර ගැනීමේ සටන පිළිබඳව ජනතාව දැනුවත් කරන පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කිරීමත් සැප්තැම්බර් මාසයේදී කොළඹදී වැටුප් දිනාගැනීමේ උද්ඝෝෂණ සංවිධානය කිරීමටත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නායකයෝ තීරණය කළහ.

වෘත්තීය සමිති මර්දනයට අලූත් අවියක්

වෘත්තීය සමිතිවල ඉල්ලීම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප‍්‍රතිචාර දැක්වීම පිළිබඳවද ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නායකයින්ගේ අවධානය යොමුවිය. ”දැන් ආණ්ඩුවේ අලූත් වෘත්තීය සමිති මර්දන උපකරණය වෙලා තියෙන්නේ සාමාන්‍ය ජනතාව සහ වෘත්තීය සමිති අතර ගැටුමක් ඇති කරන එකයි. ඒක නිසා තමයි ජනාධිපතිතුමා කිවුවේ වැඩවර්ජනවලින් රිදෙන්නේ ආණ්ඩුවට නෙවෙයි ජනතාවට කියලා. ප‍්‍රශ්න විසඳන්න ඉන්න පාලකයෝ ප‍්‍රශ්නය මඟහරිනවා. මොන වැඩ තිබුණත් ? 10ට නිදාගන්න ජනාධිපති කෙනෙක් රටේ ප‍්‍රශ්න විසඳන්නේ කොහොමද?” ලාල්කාන්ත කීවේය. ”දුම්රිය වැඩවර්ජනය වුණත් ආණ්ඩුවට විසඳන්න පුළුවන් එකක්. ඇත්තටම දැන් ආණ්ඩුවක් නැහැ. අගමැති එකක් කියනවා. ජනාධිපති එකක් කියනවා. කැබිනට් මණ්ඩලය තවත් එකක් කරනවා. මේ නිසා තමයි ප‍්‍රශ්න උග‍්‍රවෙලා තියෙන්නේ. ආණ්ඩුවේ බැරිකම වෘත්තීය සමිති පිටින් දාලා ජනතාව කෝප ගන්වලා වෘත්තීය සමිතිවලට විරෝධය හදනවා.” මහින්ද ජයසිංහ කීවේය. ”දැන් ඊටීඅයි ආයතනයයි තැන්පත්කරුවොයි අතර ප‍්‍රශ්නයත් ඒ වගේ දෙයක් වෙලා. මේ වගේ නීති විරෝධී විදියට තැන්පත් බාරගත්ත එකට ඊටීඅයි ආයතනයට විරුද්ධව මහ බැංකුව පියවරක් ගන්න ඕනෑ. නමුත් දැන් ආණ්ඩුව පැත්තක තැන්පත්කරුවෙයි ආයතනයේ නිලධාරීන් ගහගන්න තත්වයක් මතුවෙලා. මේ තත්වය ජනතාවත් හරියට තේරුම් ගන්න ඕනෑ.” වසන්ත සමරසිංහ කීවේය.

මහජන උපයෝගිතා කොමිසම හා විදුලි බල මණ්ඩලය අතර ගැටලූව කෝප් කමිටුවට

මහජන උපයෝගිතා කොමිසම සහ විදුලි බල මණ්ඩලය අතර ගැටලූවක් හේතුවෙන් ජනතාවට අසාධාරණයක් සිදුවන බවට ලද පැමිණිල්ලකට අනුව කෝප් සභාපතිවරයා විසින් එම ආයතන දෙක කෝප් කමිටුවට ගෙන්වීමට කටයුතු කළේය. මහජන උපයෝගිතා කොමිසම අයත් වන්නේ ජාතික ප‍්‍රතිපත්ති අමාත්‍යංශයටය. විදුලි බල මණ්ඩලයෙන් ම.උ.කො. එල්ලවන බලපෑම් ඇමතිවරයාටවත් පාලනය කරගත නොහැකි බවත් කෝප් කමිටුවෙන් ගැටලූව විසඳා දෙන ලෙසත් විෂය භාර නියෝජ්‍ය ඇමතිවරයා වරෙක කෝප් සභාපතිවරයාට පවසා තිබිණි. ගැටලූව වන්නේ විදුලි බල මණ්ඩලය මගින් වැඩි මිලට පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලට ගැනීම මහජන උපයෝගිතා කොමිසම මගින් වළක්වා තිබීමයි. මෙම විදුලි මිලදී ගැනීම් නිසා විදුලි බල මණ්ඩලයට විශාල පාඩුවක් සිදුවනවා සේම විදුලි පාරිභෝගිකයින්ටද විශාල අසාධාරණයක් සිදුවේ. සේවකයින් පවසන ආකාරයට සහ කෝප් කමිටුවේ හෙළිදරව් වූ කරුණු අනුව විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන් ඇතුළු ඉහළ නිලධාරීන්ට පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමෙන් විශාල කොමිස් මුදලක් ලැබෙන බව වාර්තා වේ. කෙසේ වෙතත් විදුලි බල මණ්ඩලය් ඉහළ නිලධාරීන් පවසා ඇත්තේ ම.උ.කො. සභාපතිවරයා ඉවත් කරන තුරු නියාමන ගාස්තු නොගෙවන බවයි. නමුත් එම ගෙවීම් පාර්ලිමේන්තුවේ අනුමත කරන ලද ගෙවීම්ය. විදුලි බල මණ්ඩලයේ අරමුණවී ඇත්තේ තමන්ට කීකරු පුද්ගලයෙකු ම.උ.කො. පත්කරගැනීම බව විමර්ශනවලින් හෙළිවී තිබේ. මේ ගැටලූව පසුගිය සතියේදී කෝප් කමිටුවේදී සාකච්ඡුාවට බඳුන්වී ඇති අතර විදුලි බල මණ්ඩලයේ විශාල අයථා ගනුදෙනු සම්බන්ධයෙන් දැන් විමර්ශනය කෙරෙමින් පවතී.

කෝප් සභාපතිගෙන් රාජ්‍ය නිලධාරීන් උපදෙසක්

පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය මගින් සංවිධානය කරන ලද වැඩමුළුවවක් සඳහා කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්තිටද ආරාධනයක් ලැබිණි. එම වැඩමුළුව වූයේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල, දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලවල ඉහළ නිලධාරීන් සඳහා රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳව දැනුම ලබාදෙන වැඩසටහනකි. ඒ සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය විගණකාධිපතිවරයෙක්ද සම්බන්ධ විය. එය පළාත් මට්ටමින් පැවැත්වෙන අතර බස්නාහිර පළාතේ වැඩමුළුව සඳහා කෝප් සභාපතිවරයා සම්බන්ධ වූ අතර මධ්‍යම පළාතේ වැඩමුළුවටද සහභාගි වීමට නියමිතය. ”රාජ්‍ය මූල්‍ය පාලනය කියන්නේ ඉතාම වැදගත් රාජකාරියක්. රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන් තමයි මේ මූල්‍ය කටයුතු සඳහා මැදිහත් වෙන්නේ. ඒ නිසාම මම මේ උපදේශය දෙන්න කැමතියි. රාජ්‍යය සහ ආණ්ඩුව දෙකක්. ආණ්ඩුව අවුරුදු පහෙන් පහට මාරු වෙනවා. ඒ නිසා රාජ්‍ය නිලධාරීන් දේශපාලකයින්ගේ වුවමනාවන් ඉටුකරන්න යන්න ඕනෑ නැහැ. ඔවුන් කරන්න ඕනෑ රාජ්‍යය වෙනුවෙන් වැඩ කිරීමයි. එතකොට මූල්‍ය ගනුදෙනු අයථා විදියට කරන්න ඕන වෙන්නේ නැහැ. රජයේ මූල්‍ය ප‍්‍රතිපත්තියට අනුව වැඩ කළාම වංචා දූෂණ වෙන්නෙත් නැහැ. තමන්ට ප‍්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. අද අපේ රටේ වෙලා තියෙන ප‍්‍රශ්නය දේශපාලකයින්ට ඕන විදියට නිලධාරීන් වැඩකරන්න ගිහින් අමාරුවේ වැටෙන එකයි.” කෝප් සභාපතිවරයා රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳව දේශනය පවත්වමින් කියා සිටියේය.

එජාප මන්ත්‍රී මහින්දව පිලිගනී

රිචඞ් පතිරණගේ දස වැනි ගුණ සමරු උත්සවය පසුගිය 10 වැනිදා පැවැත්වුණේ මහින්දගේ ප්‍රධානත්වයෙනි. එම ගුණ සමරුවට ආ මහින්ද පිළිගත්තේ එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි විසිනි. විජේපාල කලක් රිචඞ් පතිරණගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළේය.

‘අපේ සර්ගේ උත්සවයට ආපු ඔබතුමා සාදරයෙන් පිළිගන්නවා’ විජේපාල මහින්ද පිළිගනිමින් පැවසීය. උත්සවය අවසානයේදී රමේෂ්, මොහාන්, විජේපාල සමඟ කතාකරමින් සිටින අතරතුර මහින්ද රිචඞ් සම්බන්ධ අතීත දේශපාලන කතා සිහිපත් කළේය. එසේම අධ්‍යාපන ඇමතිවරයකු ලෙස රිචඞ්ගෙන් සිදුවූ සේවය ද මහින්දගේ ඇගයීමට ලක්විය. ‘ඒක හරි. අපිටත් මතකයි අපේ සර් ඒ කාලේ වැඩ කරපු හැටි. අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩ කිව්වොත් වෙන දෙයක් මතකවත් නැහැ. ඒ තරම් කැපවීමකින් වැඩ කළා.’ විජේපාල ද පැවසීය. ‘දැන් කොහෙද ඒ වගේ ඇමැතිවරු. දැන් ඉන්නේ කොහොම හරි තියෙන දෙයක් විකුණලා අතපිහදාගන්න බලන අයනේ’ රමේෂ් කීවේය. ‘දැන් ඉන්න අධ්‍යාපන ඇමැතිට අධ්‍යාපනයට වඩා කරන්න වැඩ තියෙනවානේ. ළමයින්ගේ දේවල් සොයා බලලා කරන්නේ නැතුව වෙන වෙන ව්‍යාපෘති කරන්නනේ එයාලට ඕනේ’ මොහාන් පැවසීය.

පසුදා සෙනසුරාදා දිනයක් වූ බැවින් මහින්ද සිටියේ තංගල්ල කාල්ටන් නිවසේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායමේ සුසිල්, චන්දිම, ජෝන්, තිලංග, සුමේධා, සුදර්ශනී එදින කාල්ටන් නිවසට පැමිණ සිටියේ මහින්ද මුණ ගැසීමටය. එම සාකච්ඡාව පැය එකහමාරකට ආසන්න කාලයක් පැවැති අතර එහිදී සාකච්ඡා වූ කරුණු හෙළිදරව් කෙරුණේ නැත. එහෙත් සාකච්ඡාව නිමවා එළියට පැමිණි චන්දිම මාධ්‍යවේදීන්ට කීවේ තිබෙන ගැටලු නිරාකරණය කරගත් බවත් ඉදිරියේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එකතුවී කටයුතු කිරීමට සූදානම් බවත්ය.

වෘත්තීය සමිති නියෝජිතයන් සහභාගි වූ විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 13 වැනිදා නාරාහේන්පිට අභයාරාමයේ දී පැවැත්විණි. වෘත්තීය සමිති සියයක පමණ නියෝජිතයන් සහභාගී වූ එම රැස්වීමට දිනේෂ්, වාසු, කොල්ලුරේ, ලොකුගේ ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියහ. “අපි ආණ්ඩුවේ මර්දනයට එරෙහිව තනි තනිව සටන් කරලා වැඩක් නැහැ. එකට එකතු වෙලා සටන් කළ යුතුයි” ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක සංගමයේ නදීර මනෝජ් පෙන්වා දුන්නේය.
“ඒ කතාව ඇත්ත. මේ වගේ මර්දනකාරී පසුබිමක අපි හුදකලා සටන් කරන්න ගියොත් පරදිනවා. සියලු බලවේග එකතු කරගෙන එක සටනක නියැළුණොත් ආණ්ඩුවට අපිව පරද්දන්න බැරි වෙනවා” වාසු පැවසීය. “එහෙම මධ්‍යස්ථානයක් තිබුණොත් මේ සටන් මෙහෙයවන්න වගේම ජයග්‍රහණය කරන්නත් පහසුයි. අපි තනි වෙලා ඉන්නකොට ආණ්ඩුවට අපිට ගහන්න ලෙසියි. අපි එකතු වුණොත් ආණ්ඩුව වුණත් අත දාන්න ඉක්මන් වෙන්නේ නැහැ” ඩලස් පැවසීය.

“මමත් අවුරුදු ගණනාවක් වෘත්තිය සමිති එක්ක වැඩ කරපු කෙනෙක්. එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවල මර්දනකාරී වැඩපිළිවෙළ මම හොඳාකාරව දන්නවා. හොඳින් බැරි නම් නරකින් හරි වෘත්තිය සමිති පරාජය කිරීම තමයි එයාලගේ එකම අරමුණ. ඒ හින්දා අපි එකට එකතු වෙලා ඉමු. එකතු වෙලා ඉන්න කොට ආණ්ඩුවට අපිව මර්දනය කරන්න ලේසි නැහැ” මහින් ද පැවසීය. “ආණ්ඩුවේ දැන් එකම අරමුණ රාජ්‍ය ආයතන ටික විකුණලා දාන එකයි. ඒ නිසා අපි විකුණන්න නියමිත ආයතනවලට ගිහින් විරෝධය පාමු” දිනේෂ් කී කතාවට කාගෙත් අනුමැතිය ලැබුණු අතර ඒ අනුව තීන්දු කෙරුණේ ලබන සතියේ දුම්රිය දෙපාර්තමේන්තුවට ගොස් විරෝධය පෑමටය.

මහින්දගේ රැස්වීමේදී කහඳගම යකා නටයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන වෘත්තීය සමිති සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර නාරාහේන්පිට ශ්‍රී අභයාරාම විහාරස්ථානයේදී ඊයේ පෙරවරුවේ හමුවක් සංවිධානය කෙරුනේ ප්‍රථම වරටය. ඒ සඳහා හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වන ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති මහින්ද කහඳගම මහතා ද එක්වූ අතර එම රැස්වීමට මහින්ද කහඳගම මහතාව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සඳහා අවශ්‍ය පැමිණිල්ල ගොනු කළ සමස්ත ලංකා ත්‍රිරෝද රථ සංගමය සභාපති සුනිල් ජයවර්ධන මහතාද පැමිණ සිටියේය. ඔහු දුටු සැනින් මහින්ද කහඳගම මහතා ඊට සිය විරෝධය පළ කරමින් එම ස්ථානයෙන් පිටත්ව ගියේය.

“මාව හිරේ යවපු පැමිණිලිකාරයත් මෙතන වාඩි වෙලා ඉන්නවා. මොනවද විලි ලැජ්ජා නැති වැඩනේ සර් කරන්නේ.” මහින්ද කහඳගමගේට දැඩි ආවේගයකින් කතා කළේය. කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීමෙන් අනතුරුව සාකච්ඡාව ආරම්භ වූ අතර මහින්ද කහඳගම මහතා මෙම හමුව සංවිධානය කර ඇති ආකාරය පිළිබඳව සිය අප්‍රසාදය පළ කර තිබේ.
“මේක ඕවා ගැන කතා කරන වේලාවක් නෙමෙයි. අපි කවුරුත් මහන්සි වෙන්නේ ආණ්ඩුවක් හදන්න. ආණ්ඩුවක් හදන්න නම් අපි කැමැති අය විතරක් එකතු කරගෙන බැහැ. ඒකට ආණ්ඩු විරෝධී සියලු පාර්ශ්ව එක වේදිකාවකට ගේන්න ඕනේ. එතැන අපි කැමැති අය වගේම අකැමැති අයත් ඉන්න පුළුවන්. හැබැයි අපි පෞද්ගලික කෝන්තර අමතක කරලා එකමුතුව වැඩ කරන්න ඕනේ. නැතුව මේ සටන දිනන්න බැහැ” මහින්ද දිර්ඝ පැහැදිලි කිරීමක් කළේය.

පළාත් සභා ඡන්දේ අර්බුද රැසක

පළාත් සභා මැතිවරණය පිළිබඳව ආන්දෝලනාත්මක තත්ත්වයක් පවතින අතරේ එක්සත් ජාතික පක්ෂයේ අලුත්ම අදහස වී ඇත්තේ පැරණි ක්‍රමයට හෙවත් සමානුපාතික ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් පවතින බවටය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලුත් ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට තීරණයක් ගෙන තිබිය දී එජාපය හා ආණ්ඩුවට සම්බන්ධ සුළු දේශපාලන පක්ෂ, එජාපයත් සහ ඒකාබද්ධ විපක්ෂයත් පැරණි ක්‍රමයටම ඡන්දය ඉල්ලා සිටීම නිසා අර්බුද රැසක් මතුවී තිබේ. තත්ත්වය මෙසේ තිබිය දී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික් දේශපාලනඥයන් පිරිසක් කොළඹ දී හදිසි රැස්වීමක් පැවැත් වූහ. එහි අරමුණ වූයේ වයඹ පළාත් සභාවට තරග කිරීම සඳහා මහ ඇමති අපේක්ෂකයකු තෝරා ගැනීමය. වයඹ පළාත් සභාවේ මීළඟ මහ ඇමති අපේක්ෂකයා ලෙස හිටපු ඇමති ජයරත්න හේරත් සුදුසු යැයි පිරිසක් යෝජනා කරද්දී තවත් පිරිසක් කියා සිටියේ ඩී.බී. හේරත් ඊට සුදුසු බවය. වයඹට හොඳ ශක්තිමත් නායකයෙක් දාන්න ඕනේ. වයඹ පළාත මුළු රටටම තීරණාත්මක සාධකයක්. ඒ නිසා පළාතේ ගෞරවය රැකගන්නත් එක්ක පළපුරුදු කෙනෙක් මහ ඇමති කරන එක හොඳයි’ යැයි එහි දී සාකච්ඡා කෙරිණ.
මීට අමතරව මහ ඇමති ඩී.බී. හේරත් මහ ඇමති අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් පසුවන බවට ද පසුගිය දිනවල ආරංචි පැතිර ගොස් තිබිණ. කොළඹ පැවැති විශේෂ සාකච්ඡාවේ දී තීරණය වී ඇත්තේ ඩී.බී. හේරත්ට පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමේ අවස්ථාව සලසා දීමටය.

ගෝඨාභය නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයට?

ඉකුත් 14 වනදා මාතලේ මහ නගර සභා මාසික රැස්වීම මාතලේ මහ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් නගර සභා රැස්වීම් ශාලාවේදී රැස්විය. එහිදී නගරාධිපතිවරයා කළ ප්‍රකාශයට කාගේත් අවධානයට ලක් වූයේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වූ ඔහු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අගයමින් කතා කිරීම හේතුවෙනි.

පසුගිය පාලන සමයේ සංවර්ධන වැඩ කිරිමේදී ගෝඨාභය රාජපක්ෂ මහතා දක්ෂ ලෙස වැඩ කළ බවත් ඔහුව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස පත්කර හෝ වැඩ ගත යුතු බවත් මාතලේ නගරාධිපතිවරයා කීය. “පසුගිය පාලන සමයේ සංවර්ධන වැඩ කිරිමේදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දක්ෂ ලෙස වැඩ කළා. අපි එවැනි පුද්ගලයින්ගෙන් වැඩ ගත්තා මදි. නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස පත්කරලා හරි වැඩ ගත යුතුයි” යැයි නගරාධිපතිවරයා ප්‍රකාශ කළේය.
මෙහිදි අදහස් දැක්වමින් විපක්ෂ නායක පාලිත ජයසේකර මහතා (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) සඳහන් කළේ “ගෝඨාභය මහත්තයා අගය කිරිම පිළිබද ස්තුතිවන්ත වෙනවා. අපි ඉදිරියේදී එතුමා ජනාධිපති කරගෙන ඉදිරි වැඩ ටික කර ගනිමු. අද කාලගුණය වගේමයි දේශපාලනයත් කොයි වෙලේ වෙනස්වෙයිද කියන්න බෑ”

Rate this item
(1 Vote)