May 14, 2024

මහින්දගෙන් CIDය ප්‍රශ්න කිරීම නාටකයක්! තිර පිටපත අගමැති රනිල්ගේ

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් පැය 2 කට අධික කාලයක් අද(17) ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.

අද පෙරවරු 11.20 ට පමණ කොළඹ - 07, විජේරාමේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසට පැමිණ එම ප්‍රකාශය ලබාගැනීම ආරම්භ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද පස්වරු 1.50 ට පමණ ඉන් පිටත්ව ගියේය.

හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සඳහන් කළේ “මේක දේශපාලන පලිගැනීමක්. මේක මුළු රටම දන්නවනේ. අවුරුදු තුනහමාරක් ගිහිල්ලද මේ ගොල්ලන්ට මතක් වුණේ. මේක සම්පූර්ණයෙන්ම දේශපාලන පලිගැනීමක්. ජනාධිපතිවරණය අතලඟනේ. පළාත් සභා ඡන්ද අතලඟ. මේකේ නායකයන්ට ඕනනේ මඩ ගහන්න. ඒකනේ මහින්ද මහත්තයට මඩ ගහන්නේ. “

තිර පිටපත රනිල්ගේ

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එස්බී දිසානායක මහතා ප්‍රකාශ කළේ මොළේ කළදක් ඇති කෙනෙක් නම් හිටපු ජනාධිපතිවරයාගෙන් සාක්කි ලබා ගැනීමට සීඅයිඩීය එවන්නේ නැති බවයි.

කීත් නොයාර්ට පහර දුන්නේ ජනාධිපතිවරයා නොවන බවත් සීඅයිඩිය ජනාධිපතිවරයා හමුවී ප්‍රකාශ සටහන් කර ගැනීම විහිලුවක් බවත් මෙය නාටකයක් යැයි ද එහි තිර පිටපත රනිල් වික්‍රමසිංහ මහතා ලියා ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

කෙසේ වෙතත් මේ වැඩෙනුත් සිදුවන්නේ යහපතක් යැයි ද හෙතෙම සඳහන් කළේය.

කීත් නොයාර් පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කථානායක කරූ ජයසූරිය මහතා ද මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබාදී තිබිණි.

මාධ්‍යවේදී කීත් නොයාර් මෙලෙස පැහැර ගෙන ගොස් පහරදී තිබුණේ 2008 වසරේ මැයි 22 වනදායි.

Rate this item
(0 votes)
Last modified on Monday, 20 August 2018 12:12