May 12, 2024

කැබිනට් ඇමැතිවරු දෙදෙනෙකු සහ පක්ෂ නායකයෙකු හදිසියේම මහින්ද හමුවෙයි!

රජයේ අමාත්‍යවරුන් වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් හා ඊ.පී.ඩී.පී. නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ඩග්ලස් දේවානන්දා මහත්වරු සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් සිදු කර තිබේ.

මෙම විශේෂ සාකච්ඡාව සිදු කර ඇත්තේ ඊයේ (09) පාර්ලිමේන්තුවේදී ය. එම සාකච්ඡාවට ඒකාබද්ධ විපක්‍ෂයේ ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල, සුසිල් ප්‍රේමජයන්ත හා මහින්ද යාපා අබේවර්ධන මන්ත්‍රිවරුද සහභාගී වී ඇත.

පළාත් සභා ඡන්දය පැරැණි ක්‍රමයට පැවැත්වීම සඳහා ඒකාබද්ධ විපක්‍ෂයේ එකඟතාව ලබා දෙන ලෙස ඔවුන් හිටපු ජනාධිපතිවරයා හමුවී ඉල්ලීමක් කර ඇති අතර මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු එම අවස්ථාවට සහභාගි වූ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිරු ඒ සඳහා පූර්ණ එකඟතාව පළ කර තිබේ.

පළාත් සභා ඡන්දය පැරැණි ක්‍රමයට පවත්වන ලෙස ඔවුන් ඊට කලින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ඉල්ලා ඇත. ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය අවශ්‍ය වන බැවින් ඒකාබද්ධ විපක්‍ෂයේ සහයෝගය ලබා ගන්නා ලෙස අගමැතිවරයා ඔවුන්ට දැනුම් දී තිබූ බවද මෙහිදී ඔවුන් අනාවරණය කර ඇත.

ඊට අමතරව තවත් දේශපාලන කරුණු ගණනාවක් පිළිබඳවද ඔවුන් එම හමුවේදී සාකච්ඡා කර ඇති බවද වාර්තා වේ.

එම හමුව සඳහා තෝරාගෙන තිබුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දෙවැනි මහලේ පිහිටි එක්තරා ආරක්ෂිත ස්ථානයක් බවත් එම ස්ථානය කිසිවකුට නොපෙනෙන බවත් වාර්තා වේ. දහවල් 12.15ට පමණ ආරම්භ වූ මෙම රහසිගත සාකච්ඡාව අවසන් වී ඇත්තේ දහවල් 1.15ට පමණය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 12 August 2018 01:22