May 10, 2024

කරළියෙන් එහා: පොහොට්ටුව ඇතුලේ ගැටුම් උත්සන්න වෙයි! රවී - හකීම් ආණ්ඩුවට එරෙහි වෙයි

පසුගිය සතියේ දේශපාලන කරළියෙන් එහා දැඩි උණුසුමක් වූයේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය ඒකාබද්ධයට හිමිවේද? යන්නත් දුම්රිය සේවකයන්ගේ ගැටලුව නිසා කැබිනට්ටුවේ ඇති වූ මග ගැටුමත් නිසාය. ඒ අනුව විපක්ෂ නායක ධූරයේ අවුල ලිහා දමන්නට කතානායකවරයා අද පියවර ගත්තේය. ඒ විපක්ෂ නායක ධූරය පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අද උදෑසන කථානායකවරයා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කල විශේෂ ප්‍රකාශයත් සමඟය. ලෝකයේ පිළිගත් සම්ප්‍රදායන් සහ මෙරට පාර්ලිමේන්තුවේ පිළිගත් සම්ප්‍රදායන්ද පැහැදිලි කරමින් කතානායකවරයා අවධාරණය කළේ ආණ්ඩු පක්ෂය නියෝජනය නොකරන විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් වැඩිම මන්ත්‍රී ධුර ප්‍රමාණයක් හිමිකරගෙන තිබෙන පක්ෂයේ හෝ සන්ධානයේ නායකයා විපක්ෂ නායකවරයා ලෙස පත් කළ යුතු බවයි.
ඒ අනුව ආර්. සම්බන්ධන් මහතාව පත් කළ බවත් එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව ජාතික ආණ්ඩුව පිහිටුවා ඇති බැවින් එම පක්ෂ දෙකෙන් එකකට විපක්ෂ නායක ධුරය ලබා දිය නොහැකි බවද කතානායකවරයා පැහැදිලි කළේය.
“2015 අගෝස්තු මස 15 වැනි දින පවත්වනු ලැබූ මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තේරී පත්වූ මන්ත්‍රීවරයන් අට දෙනෙකුගේ අත්සනින් යුක්තව, විරුද්ධ පාර්ශ්වයේ සිටින මුළු මන්ත්‍රී සංඛ්‍යාව 93ක් බවත්, එයින් මන්ත්‍රීවරයන් 70 දෙනෙකු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ලබාදෙන ලෙස 2018 අගෝස්තු මස 01 වැනි දින මා වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලීමට අනුව වර්තමාන අටවැනි පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය පිළිබඳව මතුවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යයනයකින් අනතුරුව මාගේ තීරණය අවසාන වශයෙන් ප්‍රකාශ කිරීමට අදහස් කරමි.“ කතානායකවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනවවැනි සංශෝධනයේ 46 ව්‍යවස්ථාවේ (4) සහ (5) අනු ව්‍යවස්ථා ප්‍රකාරව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම පිණිස 2015 සැප්තැම්බර් මස 03 වැනි දින පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 47(1)(ඇ) විධිවිධානවලට අනුව නමින් සිය ඡන්දය භාවිතා කරමින් පක්ෂව මන්ත්‍රීවරයන් 143ක් සහ විපක්ෂව 16ක් වශයෙන් සම්මත කරන ලද යෝජනා සම්මතයට අනුකූලව දැනට බලාත්මකව පවතින ජාතික ආණ්ඩුවේ, එක්සත් ජනතා නිදහස් සන්ධානය හවුල්කාර පක්ෂයක් වීම නිසා වර්තමාන පාර්ලිමේන්තුවේ මෙම තත්ත්වය වෙනස් වී තිබෙන ආකාරය පිළිබඳව සලකා ලීම අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්වී තිබේ.

ඒ අනුව, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයන් පිරිසක් අමාත්‍ය ධුර දරමින් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් ලෙස මේ වන විටත් කටයුතු කරමින් සිටින බැවින් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් විරුද්ධ පාර්ශ්වයේ අසුන්ගෙන සිටින මන්ත්‍රීවරයන් සංඛ්‍යාව විරුද්ධ පාර්ශ්වයේ වෙනම පක්ෂයක් ලෙස පිළිගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව 2015 සැප්තැම්බර් මස 03 වැනි වැඩි ඡන්දයෙන් සම්මත කරන ලද එකී යෝජනා සම්මතය අනුව හැකියාවක් තමා හට නොමැති බව කතානායකවරයා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

විපක්ෂ නායක ධුරය ලබා ගැනීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ එතරම් උනන්දුවක් නොමැති බව ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග පැවසී ය. ‘තව අවුරුද්දකට ඔය විපක්ෂ නායක ධුරය ඇති වැඩක් නැහැ. ඊට වඩා ආණ්ඩුවට බලපෑම් කරන්න දේවල් තිබෙනවා. අපි ආණ්ඩුවක් හදන්න ඕනේ’ යැයි මහින්ද රාජපක්ෂ සඳහන් කර ඇත. දිනේෂ් ගුණවර්ධනට විපක්ෂ නායක ධුරය ලබාදීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේම පිරිසක් අකමැත්ත දක්වා ඇති බවත් වැඩි කැමැත්ත තිබුණේ කුමාර වෙල්ගමට විපක්ෂ නායක ධූරය ලබා දීමට බවත් එම ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.

මේ අතර “තිරසර දැක්ම එළිදැක්වීම සහ තිරසර කතිකාව ජනගත කිරීමේ” වැඩසටහට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සඳුදා (06) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.
එම වැඩසටහන රජයේ ප්‍රධාන උත්සවයක් ලෙස පැවැත්වුවද එහි සංවිධාන කටයුතු ඉතා දුර්වල මට්ටමක පැවැතිණි. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අසුන් ප්‍රමාණයට වඩා දෙගුණයකටත් වැඩි ප්‍රමාණයකට ආරාධනා කර තිබීම හේතුවෙන් එම වැඩසටහන දැඩි අර්බුදයකට පත්ව තිබිණි. විශේෂයෙන් එම වැඩසටහනට පැමිණි තානාපති නිලධාරීන්, රජයේ නිලධාරීන්, සංවිධානවල නිලධාරීන් ඇතුළු විශාල ප්‍රමාණයක් එම ශාලාවේ ඉඩ පහසුකම් නොමැතිවීමෙන් එම උත්සවයට සහභාගී නොවී ආපසු හැරී ගොස් තිබේ. එම වැඩසටහන සංවිධානය කර ඇත්තේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකුය. විශේෂයෙන් ජනාධිපතිවරයා සහභාගී වන උත්සවවලට ජනතා සහභාගීත්වය අඩුවීම හේතුවෙන් මෙලෙස බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ ආසන වලට වඩා වැඩි ප්‍රමාණයකට ආරාධනා පත්‍ර ලබා දී තිබේ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම උත්සවයට අගමැතිවරයා සහභාගී නොවූ අතර එජාපයේ ප්‍රබලයින්ද ඊට සහභාගී නොවීය.

පසුගිය බදාදා පස්වරුවේ දුම්රිය රියදුරන් ඇතුළු සේවකයන් හදිසියේ ක්‍රියාත්මක කළ වැඩවර්ජනය හේතුවෙන් දහස් ගණන් මගීහු දැඩි අපහසුතාවට පත්වූහ. විශේෂයෙන් රජයේ සහ පෞද්ගලික සේවකයින් සිය නිවෙස් බලා යාමට පැමිණියද ඔවුන් අතරමං වී තිබිණි. ඇතැම් මගීන් දැඩි නොසන්සුන්කාරී ලෙස හැසිරී තිබුණේ හිටි හැටියේ සිදු කළ මෙම දුම්රිය වර්ජනයට විරෝධය පළ කරමිනි. දුම්රිය සේවකයන්ගේ වැටුප් ගැටලුව විසඳීමට ප්‍රවාහන ඇමැතිවරයා පසුගිය සතියේ පැවැති කැබිනට් රැස්වීමේ දී උත්සාහයක් ගත්ත ද මුදල් ඇමැති මංගල සමරවීර ඊට දැඩි විරෝධයත් දැක්වීය. මේ හේතුවෙන් මෙම දුම්රිය වර්ජනයක් දක්වා දිග්ගැස්සී ජනතාව දැඩි අපහසුතාවයට පත් වීම දක්වා දුරදිග ගියේය. නිමල් සිරිපාල සහ මංගල ඇමැතිවරුන්ගේ කඹ ඇදිල්ල නිසා දුම්රිය සේවක ගැටලු නොවිසඳුනු අතර එමගින් විශාල කලබගෑනියක් සිදුවිය.

කෙසේ වෙතත් දුම්රිය සේවකයන් පිරිසකගේ මතය වී ඇත්තේ වෘත්තීය සමිති කිහිපයකගේ ඉල්ලීම අසාධාරණ බවය. කිසිදු පාර්ශ්වයක වැටුප් හෝ දීමනා වැඩි නොකිරීමට ඇමැති මංගල සමරවීර දැඩි තීන්දුවක පසුවීමෙන් මෙම ප්‍රශ්නය ඇතිවිය. එක් කොටසකට පමණක් වැටුප් වැඩිකිරීම තවත් ගැටලු රැසකට හේතුවිය හැකි බව ද මංගල සමරවීර ඇමැතිවරයාගේ අදහසයි. මේ හේතුවෙන් විශාල බලපෑමකට ලක්වූවේ මෙවර උසස් පෙල විභාගයට මුහුණදෙන සිසුන්ට කලට වේලාවට විභාග ශාලාවට යාමට නොහැකි වීමයි. රාජ්‍ය පරිපාලන, නීතිය හා සාමය පිළිබද ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් පැවසූවේ දුම්රිය රියැදුරෙක් මසකට රුපියල් ලක්ෂ දෙකකට වඩා වැඩි වැටුපක් හා පැය 500 ට වඩා අතිකාල දීමනා ලබා ගන්නා බවයි.

අ‍පොස උසස් පෙළ විභාගය පැවැත්වෙන අතරතුර ළමුන්ට බලපෑම් කරමින් වැඩවර්ජනය කිරීම අනුමත කළ නොහැකි බවද පැවැසු ඇමැතිවරයා ජනතාව මේ වන විට ඊට පිළිතුරු දී තිබෙන බවද කීවේය. ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. රජයේ දෙපාර්තමේන්තුවක් වන දුම්රිය දැන් ඇනහිට ඇති බවත් අමුණුගම මහතා ඉදිරිපත් කළ වැටුප් විෂමතාවය දුරු කිරීමේ යෝජනාවට මුදල් ඇමැතිවරයා විරුද්ධ වී එය ප්‍රතික්ෂේප කළ බැවින් මේ වර්ජනය කරනා බවද මන්ත්‍රීවරයා පැවැසීය.

“දුම්රිය රියැදුරන් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප කරලා නැහැ. දුම්රිය රියැදුරන් හා සමාන්තර ශ්‍රේණිවල විශාල ප්‍රමාණයක් රජයේ සේවකයින් ඉන්නවා. මෙයාලා හදන්නේ එක ප්‍රශ්නයක් පෙන්වලා රජය අර්බුදයට පත් කරන්නයි. දුම්රිය හා සමාන්තර සියලූ සේවකයින් වෙනුවෙන් සාකච්ඡා කරන්න නියමිතව තිබෙනවා. මේ අය බොරු බියක් ඇති කර ගෙන තිබෙන්නේ. දුම්රිය රියැදුරෙක් මාසෙකට ලක්ෂ දෙකක විතර පඩි ගන්නවා. ඕ.ටී. පැය 500 ක් කරනවා. කොච්චර කැතද බලන්න ළමයි උසස් පෙළ කරන වෙලාවේ වර්ජනය කරන එක. වර්ජනයට ජනතාව උත්තර දුන්නා. රියැදුරෙක් හිරකර ගෙන හිටියා. අපි ගිහිල්ලයි බේර ගත්තේ.“ යැයි ඊට පිළිතුරු දුන් ඇමැතිවරයා පෙන්වා දුන්නේය. දුම්රිය වර්ජනය නිසියාකාරව කළමනාකරණය කිරීමට ආණ්ඩුව අ‍පොහොසත් වී ඇත.

සජිත් - විමල් මැතිසබේදී ගැටෙයි

නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සහ හිටපු නිවාස හා ඉංජිනේරු සේවා ඇමැති විමල් වීරවංශ මහතා එකිනෙකාට අභියෝග කරගනිමින් කරගත් වචන හුවමාරුවක් නිසා ඊයේ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය. එකිනෙකාට දෙදෙනාම චෝදනා කර ගත් අතර එම චෝදනා ඔප්පු කළහැකිවුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බවට ද අභියෝග කර ගත්හ. අමාත්‍යාංශ නිවේදන යටතේ සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යාංශයේ කටයුතු පිළිබඳ කරුණු දැක්වූ අතර එහිදී විමල් වීරවංශ මහතා අමාත්‍යවරයාට ප්‍රශ්නයක් යොමු කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආධාරකරුවන් පිරිසකට කොන්ත්‍රාත් පදනම මත නිවාස සංවර්ධන අධිකාරියේ ශාඛාවල රඳවා තිබෙන බව කියමිනි. එම පිරිස නිශ්චිත කාර්යයක් නොමැතිව රඳවා තිබෙනවාදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේය. එම කාරණය ප්‍රතික්ෂේප කළ ඇමැතිවරයා විමල් වීරවංශ මහතා අමාත්‍ය ධුරය දරන සමයේ ඔහුගේ පවු‍ලේ ඥාතීන්ට නිවාස ලබාදුන් බව කියමින් නාම ‍ලේඛනයක් ඉදිරිපත් කළේය. ඊට පිළිතුරු දුන් විමල් වීරවංශ මහතා කීවේ එම නම් සඳහන් කරන පුද්ගලයින් මේ වන විටත් එම නිවාසවල රැඳී සිටිනවා නම් තමා මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බවය. සජිත් ප්‍රේමදාස මහතා ඊට පිළිතුරු දෙමින් කීවේ තමා ඉදිරිපත් කළ සියලු තොරතුරු සත්‍ය බවත් එම තොරතුරු අසත්‍ය නම් තමා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවත්ය. රීති ප්‍රශ්න මතු කරමින් මේ ආකාරයට දෙදෙනා පිළිතුරු දී ගැනීමට යාම නිසා වචන හුවමාරුව සභාවේ උණුසුම් තත්ත්වයක් බවට පත් වූ අතර ඇතැම් චෝදනා හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන බව කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.

රාජිතගේ උත්සවයට චතුරගේ විරෝධය

රාජිතට උපහාර උත්සවයක් සංවිධානය කළ යුතු බවට අදහස් ඉදිරිපත් කර තිබුණේ ඔහුගේ අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිපදෙනෙකි. “කලින් ඉඳපු සෞඛ්‍ය ඇමැතිවරුන්ට ලෝක සෞඛ්‍ය සංවිධානයේ තනතුරු ලැබුණාම උපහාර උත්සව පැවැත්වූවා. ඇමැතිතුමාටත් උපහාර උත්සවයක් පවත්වමු” නිලධාරීහු යෝජනා කළහ. “සෞඛ්‍ය අමාත්‍යාංශයේ බජට් එකෙන් මේවට වියදම් කරන්න එපා. වෙන විදියකට සල්ලි හොයාගෙන එහෙනම් සංවිධානය කරන්න” රාජිත උපදෙස් දුන්නේය. ඒ අනුව “සුවපති” අභිෂේකය නමින් රාජිතට උපහාර පිදීමේ උත්සවය සංවිධානය විය. මෙහි ආරාධිත දේශනය පැවැත්වීමේ වගකීම පැවරුණේ මහාචාර්ය කාලෝ ෆොන්සේකාටය. කාලෝට ඒ සඳහා ආරාධනා කිරීමට ගියේ දොස්තර උපුල් ගුණසේකරය.

“උපුල් මට මේක භාරගන්න කලින් ඔයාලාගෙන් දෙයක් ඕන කරලා තියෙනවා. රාජිත ඇමැතිතුමා කරපු වැඩ ටික මට ගෙනැත් දෙන්න. කරපු වැඩ මිසක් කරන්න හදන වැඩ ‍නෙවෙයි” කාලෝ දැනුම් දුන්නේය. ඉන් පසුව කාලෝට රාජිත කළ වැඩ කටයුතු සඳහන් ලිපි ගොනුවක් ලැබුණි. එය කියවා බැලූ මහාචාර්ය කාලෝ ප්‍රධාන දේශනය පැවැත්වීමට එකඟ විය. රාජිත වෙනුවෙන් උපහාර උත්සවය සංවිධානය කරන විට චතුර සේනාරත්න මන්ත්‍රීවරයා එයට විරෝධය දැක්විය. ඔහු සංවිධාන කටයුතුවලට සහභාගිවූයේද නැත. රාජිතගේ උත්සවයට චතුර පැමිණියේද අනෙක් මැති ඇමැතිවරු පැමිණීමෙන් පසුව උත්සවයේ අවසාන විනාඩි කිහිපයේදීය. මෛත්‍රී ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වී සිටි උත්සවයට රනිල්ද පැමිණ සිටියේය. රනිල් සිටියදී කාලෝ අපූරු කතාවක් කළේය. “එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා පළමුවෙනි සුවපති ලෙස හිටපු පක්ෂයෙන් ඉවත්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිකර රාජ්‍ය නායකයා බවට පත්වුණා. විසි පස්වැනි සුවපති වූ මෛත්‍රීපාල සිරිසේන මහතාත් රාජ්‍ය නායකයා බවට පත්වුණේ නොසිතූ විරූ අයුරින්. මට හිතෙනවා මේ ඉතිහාසය දෙස බලන විට රාජිත සුවපතිටත් පණිවුඩයක් තිබෙනවාද කියා. පළමුව සුවපති දෙවැනිව ජනපති වීමේ ප්‍රවණාතවක්ද තියෙනවා ද කියා සලකා බලන්න” කාලෝ කියන විටම රනිල් තමන්ගේ ආසනයෙන් නැගිට්ටේය. එක්වරම නැගිට සිටි ඔහු පිටත්ව ගියේ ඔහු අසල සිටි ජෝන් අමරතුංග ඇමැතිවරයාත් කැඳවාගෙනය. රනිල් ආසනයෙන් නැගිට යන විට ‍පොලිස්පති පූජිත් ජයසුන්දරත් ඔවුන් දෙදෙනාගේ පිටුපසින්ම උත්සව ශාලාවෙන් පිටතට ගියේ මෛත්‍රී සභාවේ සිටියදීමය. රනිල් පිටුපසින් ගිය ඔහු ටික වේලාවකින් නැවත සභාවට පැමිණියේය.
මෛත්‍රී හමුවීමට ඉරාන විදේශ කටයුතු ඇමැතිවරයා පැමිණ සිටි නිසා මෛත්‍රීගේ අදහස් දැක්වීමද ඉක්මන් කළේය. “කාලෝ ෆොන්සේකා මහතා ප්‍රකාශ කළ ආකාරයට රාජිත ඇමැතිතුමාට රාජ්‍ය නායකයා වෙන්න පුළුවන්. පක්ෂ මාරු කරන්නේ නැතිව දැන් ඉන්න තැන ඉඳගෙනම රාජ්‍ය නායකයා වීමේ අවස්ථාව උදා කරගන්න” මෛත්‍රී කීවේ තමන්ගේ පක්ෂයේ නොවන පක්ෂයක අයෙක්ට රාජ්‍ය නායකයා වීම ගැන එතරම් තැකීමක් කරන්නේ නැතිවය.

20 ගැන බොරු මත දුරු වෙයි

ශ‍්‍රී ලංකා විද්වත් වෘත්තික සංගම් සංවිධානය විසින් 20වැනි සංශෝධනය සම්බන්ධයෙන් සංවිධානය කළ විශේෂ සංවාදයක් එම සංගම් මූලස්ථානයේදී පසුගිය 07වෙනිදා පැවැත්විණි. එම සංවාදයට නීතීඥ ප‍්‍රතිභා මහානාම, ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා, ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් සහභාගි වූහ. 20වැනි සංශෝධනයත් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කි‍්‍රයාවලිය පිළිබඳවත් එහිදී දීර්ඝ සංවාදයක් පැවැත්විණි. 20වැනි සංශෝධනය පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් විජිත හේරත් මන්ත‍්‍රීවරයා විසින් සිදු කරන ලද අතර අනෙකුත් කථිකයින් විසින් ඇතැම් කරුණු සම්බන්ධයෙන් විවේචනාත්මක කරුණු දැක්වීම් සිදු කෙරිණි. මෙම සංවාදයට සහභාගිවී සිටියේ විවිධ වෘත්තීන් නියෝජනය කරමින් පිහිටුවා ඇති විද්වත් වෘත්තික සංවිධානවල නියෝජිතයින් පිරිසකි. සංවාදය අවසානයේදී රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් පැවැති අතර පැමිණ සිටි කිහිප දෙනෙක් විජිත හේරත් මන්ත‍්‍රීවරයා සමග සුහද කතාබහක නිරත වූහ. ”ඇත්තටම මන්ත‍්‍රීතුමා 20 ගැන සමාජයේ තියෙන්නේ වැරදි මතයක්. සමහරු මේක ගැන හරියටම දන්නේ නැහැ. සමහරු ප‍්‍රචාරය කරපු බොරු මත ඔළුවේ දාගෙන ඉන්නේ. අපිත් අද තමයි හරියටම අඩංගුව ගැන දැනගත්තේ” වෛද්‍යවරයෙක් පැවසීය. ”20 ගැන සමාජයේ තියෙන වැරදි මතය ඉවත් කරන්න ඔබතුමාලා වැඩිපුර මැදිහත් වුණොත් හොඳයි. හොඳ දෙයක් කරන්න ගියාම බාධා වැඩියි. ඒත් රටේ මිනිස්සු මේ ඇත්ත තත්වය දැනගන්න ඕනෑ.” නීතිඥයෙක් පැවසීය. ”20 ගැන බිල්ලෝ මවන අය අඩංගුව ගැන කතා කරන්නේ නැහැ තමයි. අඩංගුව ගැන කතා කරන්න දෙයක් ඒ අයට නැහැ. මොකද මේක විධායක ජනාධිපති ක‍්‍රමය ගැන මිසක් රටේ ස්වෛරීභාවයටවත්, රට බෙදීම ගැනවත් තියෙන ප‍්‍රශ්නයක් නෙවෙයි. ඔය හැම නායකයෙක්ම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න එකඟ වෙලා තියෙනවා.” විජිත හේරත් කියා සිටියේය.

කඩිනම් මැදිහත්වීම් සඳහා ක්‍ෂෙත‍්‍ර ගණනාවකට ජවිපෙන් කමිටු

ජවිපෙ මධ්‍යම කාරක සභාවේ තීරණයක් අනුව ක්‍ෂෙත‍්‍ර කිහිපයක් සඳහා කඩිනම් මැදිහත්වීම් සිදුකිරීමට කමිටු පත්කර තිබේ. මේ අනුව කෘෂිකර්ම ක්‍ෂෙත‍්‍රය, සෞඛ්‍ය, අධ්‍යාපන වැනි ක්‍ෂෙත‍්‍රවල පැන නගින එදිනෙදා ගැටලූ පිළිබඳව සොයා බැලීමටත් ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්ෂණික විසඳුම් පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුකරවීම සඳහාත් මෙම කමිටු මැදිහත් වනු ඇත. ඒ අනුව අධ්‍යාපනය ක්‍ෂෙත‍්‍රය සඳහා පත්කළ කමිටුව පසුගිය සතියේ ජවිපෙ ප‍්‍රධාන කාර්යාලයේදී රැස්විය. ඒ සඳහා දේශපාල මණ්ඩල සභික බිමල් රත්නායක, මධ්‍යමකාරක සභික හා ලංකා ගුරුසේවා සංගමයේ සභාපති මහින්ද ජයසිංහ, රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් හා ශ්‍රේණිධාරී විදුහල්පති ශාන්ත පද්මකුමාර, හිටපු පළාත් සභා මන්ත‍්‍රී ගමගෙදර දිසානායක යන සහභාගි වූහ. ”ළමා අපචාර දිනෙන් දින වර්ධනය වෙමින් තිබෙනවා. එයින් විශාල ලෙස පීඩාවට පත්වෙන්නේ පාසල් ළමුන්. ඒ නිසා මේ පිළිබඳව කඩිනම් මැදිහත්වීමක් කරන්න ඕනෑ. පාසල් තුළ මේ ගැන දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ගුරු සංගමය මගින් කරන්න පුළුවන්.” මහින්ද ජයසිංහ යෝජනා කළේය. ”ඒ වගේම ඊළඟ අයවැයට අධ්‍යාපනය සම්බන්ධයෙන් මුදල් වෙන්කිරීම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළොත් හොඳයි. ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරලා ආණ්ඩුවේ අවධානය යොමු කළ යුතු ක්‍ෂෙත‍්‍ර හඳුනාගන්න ඕනෑ. ඒ වගේම ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරලා ඒ පිළිබඳව ආණ්ඩුවට බලපෑමක් කළ යුතුයි. ඒ වගේම ගුරු ගැටලූ පිළිබඳවත් විශේෂ මැදිහත්වීමක් කරන්න ඕනෑ” බිමල් රත්නායක යෝජනා කළේය. ඊට අමතරව අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රයේ විවිධ ගැටලූ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර ඉදිරියේදී ගැටලූ පැන නගින ස්ථානවලට ගොස් මැදිහත්වීමටත් කමිටුව තීරණය කළේය.

ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පළාත් සභාවට හැට්ටයක් ගෙනත් - ගලවාගත්තේ කොහෙන්දැයි ජවිපෙ මන්ත‍්‍රී විමසලා

පසුගිය 07වෙනිදා ශ‍්‍රීලනිප මන්ත‍්‍රී වෝල්ටර් ජානක බස්නාහිර පළාත් සභාවට හැට්ටයක් ගෙනඒම නිසා උණුසුම් තත්වයක් ඇතිවිය. අදාල මන්ත‍්‍රීවරයා විසින් සිය ප‍්‍රතිපාදන යොදා සිදුකළ ව්‍යාපෘති කිහිපයක් ප‍්‍රමිතියෙන් තොරවීම නිසා සිදුව ඇති මුදල් නාස්තිය පිළිබඳව ජවිපෙ මන්ත‍්‍රී මහින්ද ජයසිංහ කීපවතාවක් ප‍්‍රශ්න කර තිබේ. නමුත් එම ප‍්‍රශ්නයට පිළිතුරු දීම දිනෙන් දින කල්දැමීමට ඇමතිවරයා කටයුතු කර තිබේ. පසුගිය සතියේ සභාවාරයේදීද ජවිපෙ මන්ත‍්‍රීවරයා මෙම ප‍්‍රශ්නය නැවතත් විමසූ අවස්ථාවේදී පළාත් ඇමතිවරයා පිළිතුරුදීමට කල් ඉල්ලා සිටියේය. නමුත් චෝදනාවට ලක්වී ඇති මන්ත‍්‍රීවරයා නැගිට ප‍්‍රශ්න කිරීම ගැන ප‍්‍රශ්න කළේ පදනම් විරහිතව චෝදනා එල්ල කරන බව පවසමිනි. එතනින් නොනැවතුණු මන්ත‍්‍රීවරයා තමන් රැගෙන ආ හැට්ටයක්ද පෙන්වමින් කියා සිටියේ මේවා ඕපදූප කතා බවය. ”මන්ත‍්‍රීතුමා ඊයේ ගලවගත්ත එකක් අමතක වෙලා සභාවට ගෙනල්ලා. මේ ව්‍යාපෘතිවල ප‍්‍රමිතියක් නෑ. පාසලක් ළඟ හදපු කාණුවලට ළමයි වැටෙනවා. පාලම්වලින් මිනිස්සු යන්න බයයි. ඒ නිසා මේ ගැන හොයලා බලන්න ඕනෑ. මේ ප‍්‍රශ්නයට ඇමතිවරයා උත්තරයක් දෙන්න ඕනෑ. ඇත්ත හෙළි වුණාම හැට්ටය අදින්න වෙන්නේ ගෙනාපු කෙනාටම තමයි” මහින්ද ජයසිංහ කියනවාත් සමඟ අදාළ මන්ත‍්‍රීවරයා හැට්ටයද සඟවාගෙන අසුන් ගත්තේය.

ඉස්සර හරක් හොරු හිටියේ ගමේ - දැන් අමාත්‍යංශවල

කිරි හරක් ගෙන්වීමේදී සිදුකර ඇති මුදල් වංචාවක් සම්බන්ධයෙන් සමස්ත ලංකා ගොවි ජන සම්මේනය පසුගිය 06වෙනිදා විගණකාධිපතිවරයාට පැමිණිල්ලක් භාර දුන්නේය. විගණකාධිපතිවරයාගේ නිර්දේශවලට පටහැණිව රෝගී කිරි එළදෙනුන් ගෙන්වීමට මේ වනවිට අමාත්‍යංශය කටයුතු කරමින් සිටින්නේ පසුගිය අයවැයෙන් මුදල් පවා වෙන් නොකර තිබෙන තත්වයක් තුළ බව පැමිණිල්ලේ සඳහන් වේ. මෙවැනි පැමිණිල්ලක් විගණකාධිපති දෙපාර්තමේන්තුවට ලැබෙන පළමු අවස්ථාව මෙය බව වාර්තා වේ. කෙසේ වෙතත් දෙපාර්තමේන්තු නිලධාරීන් මෙම පැමිණිල්ල ගැන සිය ප‍්‍රසාදය පළකොට තිබෙන අතර කඩිනමින් ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කිරීමට ගොවිජන සම්මේලනයේ නියේජිතයින්ට පොරොන්දුවී තිබේ. ”මීට පෙර ලක්ෂ 05ක් පමණ ගෙවලා ගෙනාපු කිරි එළදෙනුන් අරගෙන තියෙන්නේ මැති ඇමතිවරුන්. පහුගිය ආණ්ඩුවේ හිටපු මන්ත‍්‍රීවරයෙක් කිරි හරක් 400ක් අරගෙන. මේ ආණ්ඩුවේ දැන් ඉන්න ඇමතිවරයෙක් (එයාට කියන්නේ අප්පච්චි මළා කියලා) කිරි හරක් 20ක් අරගෙන. ලක්ෂ 5ක් දීලා ගෙනාවට එයාල අරන් තියෙන්නේ ලක්ෂ දෙකක් වගේ ගාණකට. ඒ විතරක් නෙවෙයි දැන් තවත් හරක් ගෙන්වන්න හදනවා කිසිදු නිර්දේශකයක් මායිම් කරන්නේ නැතුව. ඒ වගේම අමාත්‍යංශය අපිට බොරු තොරතුරු දුන්නා. තොරතුරු දැනගැනීමේ පනත උල්ලංගනය කරලා. අපි මේ ගැන කටයුතු කරනවා. ඒ වගේම මේ ගැන අල්ලස් කොමිසමට පැමිණිලි කරනවා. මහ බැංකුව කැඩුවා. දැන් හරක් හොරකම් කරනවා. හරක් හොරු ඉන්නේ දැන් අමාත්‍යංශවල” නාමල් කරුණාරත්න අදහස් පළකරමින් කියා සිටියේය.

මන්ත‍්‍රී පුටුවකට ලක්ෂ හයහමාරක්

බස්නාහිර පළාත් සභාව සඳහා බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ ඉදිකළ නව ගොඩනැගිල්ලට මේ දිනවලට කාර්යාලීය උපකරණ ඇණවුම් කරමින් තිබේ. මේ අතර පළාත් සභා මන්ත‍්‍රීවරුන්ගේ සභා ශාලාව සඳහා මන්ත‍්‍රී ආසන ගෙන්වීමට කටයුතු කෙරෙමින් ඇති බව පසුගියදා පැවැති සභා කටයුතු කාරක සභාවේදී හෙළිවිය. පුදුමයට කාරණය වන්නේ මන්ත‍්‍රීවරයෙකු සඳහා ගෙන්වීමට තීරණය කර ඇති පුටුවක මිල ලක්ෂ හයහමාරකට ආසන්න මුදලක් වීමයි. මේ පිළිබඳව ජවිපෙ මන්ත‍්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි ආණ්ඩුකාරවරයාට ලිඛිත පැමිණිල්ලක් කිරීමට කටයුතු කර තිබේ. අධික වියදමක් දරා මෙවැනි භාණ්ඩ ගෙන්වීමට අවසර ලබාදුන්නේ කවුරුන්ද යන්න සොයා බලන ලෙසත් එම තීරණය වහාම අවලංගු කරන ලෙසත් මන්ත‍්‍රීවරයා ඉල්ලා තිබේ. ”පළාත් සභා ගොඩනැගිල්ල හදලා තවම වැඩ පටන් ගෙන නැහැ. ගොඩනැගිල්ල හදපු එක ගැන සමහරුන්ගෙ ප‍්‍රසාදයක් තියෙනවා. ඒ ප‍්‍රසාදය පාවිච්චි කරලා දැන් මේ වගේ මගඩි කරන්න හදනවා. මේ විදියට මුදල් නාස්ති කරන්න අවසර දෙන්නේ කවුද කියලා අපි දන්නේ නැහැ. කොහොමත් මේ විදියට ලොකු මුදලක් වෙන්කරගත්තාම මේකෙන් වැඩි ගාණක් ගසාකන්න පුළුවන්” මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේය.

ඒකාබද්ධයේ අර්බුද එළියට

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර තිබෙන අර්බුද මේ වනවිට එළියට එමින් පවතියි. මහින්දානන්ද අලුත්ගමගේ සහ කුමාර වෙල්ගම මන්ත්‍රීවරු එළිපිට බැන ගන්නා තැනට පත්ව තිබේ. මීට අමතරව පවිත්‍රා වන්නිආරච්චි සහ රංජිත් සොයිසා අතර ද හිත නොහොදකමක් ඇතිවෙමින් පවතී. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ කටයුතු කිරීම අතින් පවිත්‍රා වන්නිආරච්චි ජ්‍යෙෂ්ඨයකු වන අතර එම දිස්ත්‍රික්කයේම මන්ත්‍රීවරයෙකු වන රංජිත් සොයිසා ඒකාබද්ධ විපක්ෂය තුළ ජනප්‍රිය වීම සම්බන්ධයෙන් එම ගැටලුකාරී තත්ත්වය හටගෙන ඇතැයි වාර්තා වේ. නමුත් ඒකාබද්ධ වික්ෂයේ නායකයින් එම මන්ත්‍රීවරුන්ගේ ගැටුම් ඔවුන්ට විසඳා ගැනීමට ඉඩ දී බලා සිටින බව වාර්තා වේ. එහෙත් ප්‍රශ්න වඩාත් දුරදිග යාමට පටන් ගෙන ඇති හෙයින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තීන්දුවක් ගෙන තිබේ. ඒ අනුව රංජිත් සොයිසාත් පවිත්‍රා වන්නිඅරච්චිත් බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි කාර්යාලයට කැඳවා කරුණු සාකච්ඡා කිරීමට සූදානමක් පවතී. කුමාර වෙල්ගම සහ මහින්දානන්ද අලුත්ගමගේ යන මන්ත්‍රීවරුන් ද එලෙසම නෙළුම් මාවත කාර්යාලයට කැඳවීමට නියමිතය.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය මීට පෙර සූදානම් කොට කල්දැමූ විරෝධතාව පැවැත්වීමට කඩිමුඩියේ වැඩකරමින් සිටියි. සැප්තැම්බර් මස 05 වැනි දින ‘ජනබලය - කොළඹට’ නමින් එම විරෝධතාවය පැවැත්වීමට සූදානම් කර තිබේ. දිවයිනේ ප්‍රධාන නගරයක සිට දින කිහිපයක් තිස්සේ කොළඹට පා ගමනින් ජන ගංගාවක් ගෙන්වන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

රවී - හකීම් ආණ්ඩුවට එරෙහි වෙයි?

හිටපු මුදල් ඇමැති රවි කරුණානායක ආණ්ඩුවත් සමඟ දැඩි අමනාපයකින් පසුවෙයි. ඔහුට ඇමැති ධුරය අහිමි කිරීම පිළිබඳව ජනාධිපතිවරයා සමඟත් මාස කිහිපයකින් පසුව ඇමැති ධුරයක් ලබාදෙන බවට පොරොන්දු වී එය ඉටු නොකිරීම පිළිබඳව අගමැතිවරයා සමඟත් රවි කරුණානායක අමනාපයකින් පසුවන බවත් පෙනේ. රවි කරුණානායක වක්‍රව විටින් විට ආණ්ඩුවට වාග් ප්‍රහාර එල්ල කරමින් සිටියි. රවි කරුණානායක රාවුෆ් හකීම් ඇමැතිවරයාත් තැතින් තැන කරන කතාවලින් ආණ්ඩුවේ දෙදරීමක් හටගෙන තිබේ. පසුගියදා කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් රවි කරුණානායක පැවසූවේ ‘මහජන බැංකුවේ අධ්‍යක්ෂවරයකු විධායක උපසභාපති ධුරය දරන සමාගමකට රුපියල් කෝටි 1000ක ණයක් ලබා දුන්නේ කෙසේද? කියාය. ලක්ෂ දහයක ණයක් ගන්න ගියොත් ලක්ෂ විස්සක වත්කම් ඉල්ලන රටේ නැගෙනහිර පළාත නියෝජනය කරන ආණ්ඩුවේ තවත් ඇමැතිවරයකුටත් සලකලා තියෙනවා. ඒ ඇමැතිට අයිති සමාගමකට රුපියල් මිලියන 400 ක ණයක් දෙන්න යන බවත් වාර්තා වෙනවා. එවැනි තීන්දු ගන්න බැංකුවල අයිතිකරුවන්ට එරෙහිව කටයුතු කරන්න මහ බැංකුවට කොන්දක් නැහැ“ යැයි ද රවි අවධාරණය කළේය. හිටපු මුදල් ඇමතිවරයා හැම අවස්ථාවකම මහ බැංකුවේ නිලධාරීන්ට ඇඟිල්ල දිගු කරන්නේ රටේ ආර්ථිකය කඩාකප්පල් කරනුයේ මහ බැංකුවේ ලොක්කන් බවට චෝදනා කරමිනි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ 28 වැනි නියෝජිත සමුළුව ඉකුත්දා මහනුවර පොල්ගොල්ලේ දී පැවැත්විණි. එහිදී හකීම් ඇමැතිවරයා ආණ්ඩුවට ප්‍රහාරයක් එල්ල කළේය. ‘ආණ්ඩුව අලුත් පළාත් සභා පනතක් සම්මත කර ගත්තා. ඒකෙන් සුළු ජාතිීන්ට දැඩි අසාධාරණයක් සිදුවෙනවා. මේක සුළු ජාතීන්ට එරෙහි කුමන්ත්‍රණයක්. ඒක පරාජය කරන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් පොදු විපක්ෂය සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ද හකීම් ප්‍රකාශ කළේය. රවුෆ් හකීම් නව පළාත් සභා පනත පට්ට පතුරු ගැසුව ද ඇතැම් පිරිස් සඳහන් කරනුයේ ඔහුට යමක් අමතක වී තිබෙන බවය. අදාළ සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීමට රාවුෆ් හකීම් ද සහාය දැක්විය. එම අවස්ථාවේ ඔහු විරෝධයක් දැක්වූයේ නැත. කෙසේ වෙනත් පළාත් පාලන මැතිවරණ ක්‍රමය මෙන්ම පළාත් සභා මැතිවරණ ක්‍රමය ද මේ වනවිට අච්චාරුවක් බවට පත්වී තිබෙන බව නම් පැහැදිලිය.

සුසන්තිකා රනිල් ලඟ වැද වැටෙයි

ක්‍රීඩා අරමුදලක් ආරම්භ කිරීමේ උත්සවයක් ඉකුත් අඟහරුවාදා කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. එම අවස්ථාව ඔලිම්පික් පදක්කම්ලාභිනි සුසන්තිකා ජයසිංහ ද පැමිණ සිටියාය. සුසන්තිකා උත්සවයට සහභාගි වූයේ ආරාධිතයකු ලෙසය. උත්සව සභාව ඇමැතීමට ද සුසන්තිකාට අවස්ථාව හිමිවිය. සුසන්තිකා සිය කතාව අතරවාරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ප්‍රශංසා කළේය. සිය පදක්කම ලබාගැනීමට විදේශගතවීමට අවශ්‍ය අනුග්‍රහය ලබාදීමට අගමැතිවරයා එදා කටයුතු කළ බව සුසන්තිකා සිහිපත් කළාය. කතාව කිරීමෙන් අනතුරුව වේදිකාවෙන් බැස පහළ අසුන්ගෙන සිටි අග්‍රාමාත්‍යවරයා අසලට ගොස් වැඳ නමස්කාර කළාය. අගමැතිවරයා හෝ උත්සව සභාවේ සිටි කිසිවකු හෝ එවැන්නක් බලාපොරොත්තු නොවූ අතර එය අහඹු සිදුවීමක් විය. උත්සවය ආවරණය කිරීමට ගිය ඡායාරූප ශිල්පීන් කිසිවකුට එම අවස්ථාව ඡායාරූපගත කිරීමට හැකි වූයේ නැත. අගමැතිවරයා ද අතට අත දී සුසන්තිකාට සුහදතාවය පළ කළේය.

Rate this item
(3 votes)
Last modified on Friday, 10 August 2018 14:04