May 10, 2024

ජනපති ඉරිදා පත්තරේත් බලයි! අවසන් තීරණයක් ගෙන නොමැති මැති ඇමැති වැටුප් වැඩිවීමට ජනපති හරස් වෙයි

මැති ඇමති වැටුප් වැඩි කිරීමට තීරණය කළේ සියලු පක්ෂ නායකයන්ගේ එකඟතාවයෙන් බවට ඉරිදා පුවත්පත්වල පළ වී තිබුණ ද ඒ කවර යෝජනාවක් වුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බවත්, තමා කිසිසේත් එවැන්නකට ඉඩ නොතබන බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඉකුත් වසර තුන තුළ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ සහ මැති ඇමතිවරුන්ගේ වැටුප් සහ දීමනා වැඩි කිරීමට විටින් විට කටයුතු කර ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා, ඒ අවස්ථාවලදී ජනාධිපතිවරයා හැටියට තමාගේ වැටුප වැඩි කිරීමට පැමිණි යෝජනා තමා තරයේ ප‍්‍රතික්ෂේප කළ බව ද සඳහන් කළේය.

ජීවන වියදම ඉහළ යෑම ඇතුළු ආර්ථික ගැටලු බොහෝමයක් විසඳා ගැනීමට උත්සාහ ගනිමින් සිටින මේ අවස්ථාව මැති ඇමති වැටුප් වැඩි කිරීමට කොහෙත්ම සුදුසු නොවන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ පිබිදෙමු පොළොන්නරුව දිස්ත‍්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ පොළොන්නරුව රෝහල හන්දියේ ඉදිකළ පිබිදෙමු පොළොන්නරුව වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (04) පස්වරුවේ එක් වෙමිනි.

වැටුප් වැඩිවීමෙන් කෝටි 12 ක වැය බරක්

කෙසේ වෙතත් මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා මුදල් ප්‍රතිපාදන සලසා දෙන්නැයි මුදල් අමාත්‍යංශය ලබන සතියේදී ඉල්ලීමක් කිරීමට තීරණය කර ඇත.

පසුගිය ජුලි මස 17 වැනිදා රැස්වුණු පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී මැති ඇමැතිවරුන්ගේ වැටුප් අධිකරණවල විනිසුරුවරුන්ගේ වැටුපට සමානුපාතිකව සියයට 215 කින් වැඩි කිරීමට තීරණය ගෙන ඇත.

මේ තීරණය අනුව මැති ඇමැතිවරුන්ට හිඟ වැටුප් ද සමඟ මේ මාසයේ වැටුප් ගෙවීමට රුපියල් කෝටි 12 කට වැඩි මුදලක් වැඩි වෙතැයි ගණන් බලා ඇත.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ ජනවාරියේ සිට මේ දක්වා හිඟ වැටුප් ද සහිතව වැටුප් වැඩි කිරීමේදී මන්ත්‍රීවරයකුට අමතරව රුපියල් ලක්ෂ පහක්ද නියෝජ්‍ය ඇමැතිවරයකුට රුපියල් පන්ලක්ෂ පනස් දහසක්ද ඇමැතිවරයෙකුට රුපියල් ලක්ෂ හයක්ද හිමිවන බවයි.

වැඩි කෙරුණු වැටුප් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 136 දෙනාට පාර්ලිමේන්තුවේ ගිණුම් අංශයෙන් ගෙවනු ලැබේ. ඇමැතිවරුන් 41 දෙනාත් රාජ්‍ය ඇමැතිවරු 23 දෙනාත් නියෝජ්‍ය ඇමැතිවරු 22 දෙනාත් සඳහා වැටුප් වැඩි කිරීමට කතානායකවරයා අදාල අමාත්‍යංශ ලේකම්වරුන්ට දැනුම් දෙනු ඇතැයි එම ආරංචි මාර්ග පැවසී ය.

මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩි කිරීමට සම්ප්‍රදායිකව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේද වැටුප් වැඩි කෙරෙන බවත් ඒ සඳහා ද මේ දිනවල කටයුතු කෙරෙන බවත් වාර්තා වේ.

මැති ඇමති වැටුප් වැඩිකිරීමට අවසන් තීරණයක් නෑ

මේ අතර කථානායක මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මැති ඇමති වැටුප් වැඩි කිරීමක් පිළිබඳව මෙතෙක් කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති බව අවධාරණය කරන බවයි.

මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳව 2018.08.03 දින බොහෝ මුද්‍රිත මාධ්‍යයන්හි පලව ඇති වාර්තාවන් කෙරෙහි අපගේ අවධානය යොමු ව ඇති බවත් 2006.11.23 දින පාර්ලිමේන්තුවේ සිදු වූ යෝජනා සම්මතයක් අනූව පාර්ලිමේන්තුවේ මැති ඇමති වැටුප් වැඩි කිරීම උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ වැටුප් වැඩි වන අවස්ථාවන්හිදී ඊට සමාන්තරව සිදු විය යුතු බවට තීරණය වී ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

මෙම පසු බිම මත, පසුගිය දා අධිකරණ ක්ෂේත්‍රයේ සිදු වූ වැටුප් වැඩිවීම පිළිබඳව සලකා බලා මැති ඇමති වැටුප් ද ඒ අනූව ගැලපිය යුතු බවට පෙන්වා දෙමින් තමන් වෙත ලැබී ඇති දැනුම්දීම් කථානායකතුමා විසින් අදාල නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමු කර ඇති බවද එම නිවේදනයේ දැක්වේ.

කෙසේ නමුත්, මැති ඇමති වැටුප් වැඩි කිරීමක් පිළිබඳව මෙතෙක් කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති බවද කතානායක කාර්යාලය අවධාරණය කරයි.

තීරණයකට එලඹීමේදී 2006.11.23 තීරණය පරිදි කටයුතු කරන්නේ ද නොඑසේනම් එය වෙනත් ආකාරයකට කටයුතු කල යුතුද යන්න පිළිබඳව පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී කරුණු විමසීමෙන් අනතුරුව අවසාන වශයෙන් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිත අදහස් ද විමසිමට හැකියාව ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

කෙසේ වෙතත් මැති ඇමති වැටුප් වැඩි කිරීමක් පිළිබඳව මෙතෙක් කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති අවස්ථාවක ජනාධිපතිවරයා සුපුරුදු පරිදි පුවත්පතකින් දැනගත් පුවතක් නිසා කලබලයට පත්ව එම වැටුප් වැඩිවීමට ඉඩ නොදෙන බවට කළ ප්‍රකාශය සිය දේශපාලන ප්‍රතිරූපය නංවා ගැනීමට ගත් උත්සායක් බවට දේශපාලන විචාරකයින් පෙන්වා දෙති.

මීට පෙරද ජනාධිපතිවරයා ආණ්ඩුව ගත ඇතැම් තීන්දු තීරණ දැන ගත්තේ පත්තරෙන් බව ප්‍රකාශ කළ අතර පසුව එම තීරණ නතර කරන බවට ප්‍රතිඥා දී තිබිණි.

Rate this item
(2 votes)
Last modified on Monday, 06 August 2018 19:32