May 10, 2024

දයා ගමගේට මංගලගෙන් කැපිල්ලක්! ආණ්ඩුවත් එපාවෙයි

වැඩිහිටි සුබ සාධානය සඳහා වෙනම ලොතරැයියක් හඳුන්වාදීමට සමාජ සුබ සාධන හා ප්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් ඊයේ (31) කැබිනට් රැස්වීමේදී ප්‍රතික්ෂේප වී තිබේ.

රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ වැඩිහිටියන් සඳහා වෙනම ලොතරැයියක් හඳුන්වාදීමට මුදල් ඇමති මංගල සමරවීර මහතා විරෝධය පළ කිරීම හේතුවෙන් එම යෝජනාව ප්‍රතික්ෂේප වී ඇති බවයි.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය හා ජාතික ලොතරැයි මණ්ඩලය මගින් දැනටමත් ලොතරැයි 10ක් වෙළඳපොළට නිකුත් කෙරෙන බැවින් අලුතින් ලොතරැයියක් හඳුන්වාදීමේ අවශ්‍යතාවක් නැතැයි මුදල් අමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කර තිබේ.

වැඩිහිටි සුබ සාධානය සඳහා වැඩපිළිවෙලක් සකස් කරන්නේ නම් එම ලොතරැයි අතරින් ක්‍රමවේදයක් සකසනවා මිස අලුතින් ලොතරැයියකට යා නොහැකි බවද මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

දයා ආණ්ඩුව ගැන කලකිරීමෙන්

මේ අතර කොළඹ ගලධාරි හෝටලයේදී පසුගිය දා ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්‌ඩල මගින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්‌වෙමින් ප්‍රාථමික කර්මාන්ත පිළිබඳ ඇමැති දයා ගමගේ මහතා අවධාරණය කළේ පත්වන හැම රජයක්‌ම රටේ ආර්ථිකය ඉහළ නැංවීමට කටයුතු කරන ව්‍යාපාරිකයන් මත අධික බදු බරක්‌ පැටවීම ගැන ඇමැතිවරයෙක්‌ ලෙස තමා කනගාටු වන බවයි.

එහිදී අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

“ව්‍යවසායකයෝ ගත්තොත් පැය 24 න් පැය 16 ක්‌ වැඩ කරනවා. රටේ ආර්ථිකයට විශාල සේවයක්‌ කරනවා. මම ඇමැතිවරයෙක්‌ වශයෙන් දුක්‌වෙනවා එන හැම රජයක්‌ම මේ අය මත ජනතාව මත අධික බදු බරක්‌ පටවනවා. දැන් පසුගිය රජයට දොස්‌ කියලා වැඩක්‌ නැහැ. ණයක්‌ අරන් තියෙනවා නම් එය අපිට ගෙවන්න වෙනවා. රජය ගත්තම ගෙවන්න සල්ලි නැහැ. ඒ ණය ගෙවන ගමන් රජය පාරවල් හදන්න ඕන. සහනාධාර දෙන්න ඕන. ඒ ණය ගෙවන්න තව ණයක්‌ ගන්න ඕන. පත්තරවල කුඩු ඇල්ලුවා, මිනී මැරුම් වාර්තා කරනවා. ලිංගික සිද්ධි ලෝකයටම දැනගන්න වාර්තා කරනවා. මේ නිසා අපේ සංචාරක කර්මාන්තය නැතිවෙනවා. මේවා වාර්තා කරන කොට රට ගැනත් හිතන්න ඕන.“ යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(1 Vote)
Last modified on Monday, 06 August 2018 19:33