May 10, 2024

මෛත්‍රී 2020 පරාජය බාරගනී - ජනපති අපේක්ෂකත්වයට රාජිතව අභිෂේක ගන්වයි!

වත්මන් ආණ්ඩුවෙන් ඉවත් නොවී රාජ්‍ය නායකයා වීමට කල්පනා කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් ඉල්ලා සිටියේය.

කොළඹ නෙළුම් පොකුණ රඟහලේ ඊයේ සවස පැවති සුවපති අභිෂේකය උත්සවය ඇමතු මහාචාර්යවරුන් වන කාලෝ ෆොන්සේකා හා සරත් විජේසූරිය යන මහත්වරුන් විසින් රාජ්‍ය නායකයා වීම සම්බන්ධව කල්පනා කරන්නැයි රාජිත සේනාරත්න මහතාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී ඊට පිළිතුරු දෙමින් ජනාධීපතිවරයා මේ බව කියා සිටියේය.

ජනාධිපතිවරයා එහිදී මෙසේද සඳහන් කළේය.

“මහාචාර්යතුමාලා දෙපලගේම කතාවේදී ඉඟියක් කළා. මා හිතවත් කාලෝ ෆොන්සේකා මහාචාර්යතුමා කිව්වා පළමු සෞඛ්‍ය ඇමති එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා ඉන්න තැනින් එළියට ඇවිත් රටේ රාජ්‍ය නායකයා වුණා කියලා. ඒ වගේම එතුමා කිව්වා වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනත් සෞඛ්‍ය ඇමති විදියට ඉඳලා ඉන්න තැනින් එළියට ඇවිල්ලා රාජ්‍ය නායකයා වුණා කියලා. එම කරුණ හොඳයි මම ආශිර්වාද කරනවා. ඉන්න තැනින් එළියට ගිහින්ද,ඉන්න තැන ඉඳගෙනද කියලා මට ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ගැනත් හිතන්න කියලා සෞඛ්‍ය ඇමතිවරයාට කියනවා.රාජිත සේනාරත්න මහතාගේ දක්ෂතාවයන්, හැකියාවන්, නිර්මාණශීලිභාවයන්, අවංකම, එඩිතරකමට සුබ පතනවා“

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිධූරයෙන් පිදුම් ලැබූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට උපහාර පිරිනැමීමේ මෙම උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රගහලේ දී ඊයේ පස්වරුවේ පැවැත්විනි.

සුවපති අභිෂේකය ලෙස තේමා කර ගත් මෙම උත්සවයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත සමරු තිළිණය පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු කෙරිනි. මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය ද එක්ව සිටියාය.

ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදු කරන්නේ ශ්‍රීලනිපය, එජාපය 2020 ජනපති අපේක්ෂකත්වය ගැන දැඩි කතා බහක් ඇතිව ඇති අවධියකය.

ඒ අතර යළිත් පොදු අපේක්ෂකයෙකු පිළිබඳවද දේශපාලන තිරෙන් එහා කතාබහක් ඇතිව තිබේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඊලඟ ජනපති අපේක්ෂකත්වය යළිත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දීමට යෝජනාවක් සම්මත කර තිබේ.

මින් පසු පොදු අපේක්ෂකයෙකුට සහය නොදෙන බව ප්‍රකාශ කරන එජාපයේ ජනපති අපේක්ෂකයා වන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බව එජාප මහ ලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කර තිබේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහය ලබා දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකත්වයට පුද්ගලයින් කිහිපදෙනෙකු ගැනම යෝජනා වුවද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඉදිරියෙන්ම කියැවෙයි.

මීට පෙර ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ 2020 ජනාධිපතිවරණයට ගෝඨාභය එනවානම් එජාපය විසින් තරඟයට දැමිය යුතු හොඳම අශ්වයින් දෙදෙනා සජිත් - චම්පික හෝ චම්පික - සජිත් යුගල බවයි.

මේ හේතුවෙන් 2020 ජනාධිපතිවරණයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නොහැකි වනු ඇතැයි ජනාධිපතිවරයාගේ ලේකම්වරයෙකු විසින්ද පිළිගෙන තිබීමත් ශ්‍රීලනිපයේ බොහෝ දෙනාද මේ වන විට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට සහය දක්වමින් ඒකාබද්ධ විපක්ෂයට එක්වී අවසන්ය.

ආණ්ඩුවේ ඉතිරි වී ඇති ශ්‍රීලනිපයේ ඇමැතිවරුන් කිහිපදෙනෙකුද ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට නියමිත බව වාර්තා වේ.

Image may contain: 19 people, people smiling, people on stage, people standing and wedding

Rate this item
(0 votes)
Last modified on Monday, 06 August 2018 19:33