May 10, 2024

කරළියෙන් එහා: මෛත්‍රී අතහැර රතන හිමි අලුත් වෙනසට පාර කපයි! මෛත්‍රී - රනිල් අතර ගැටුම උත්සන්න වෙයි

ආණ්ඩුවේ දෙදරායාම තවත් උත්සන්න වූයේ යහපාලන ආණ්ඩුව ගෙන ඒමට කටයුතු කළ ආණ්ඩුවේම ප්‍රබලයින් දෙදෙනෙකු ආණ්ඩුව ගැන දැඩි කළකිරීමකින් කටයුතු කිරීමත් ඒ අතර පූජ්‍ය රතන හිමියන් ජනාධිපතිවරයාගේ උපදේශක තනතුරින්ද ඉල්ලා අස්වෙමින් අලුත් ගමනක් අරඹන කතාබහ ඇති වීමත් නිසාවෙනි. පසුගිය අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් සාකච්ඡා කරන අතරතුර සිදුවූ උණුසුම්කාරී තත්ත්වයක් නිසා යහපාලන ආණ්ඩුව ගෙනඒමට බර කරට ගෙන ක්‍රියා කළ අර්ජුන රණතුංග අමාත්‍යවරයාද පසු වූයේ ජනපති සහ අගමැති ගැන දැඩි කළකිරීමකිනි. මේ අතර ආණ්ඩුවට එල්ල වූ ප්‍රබලතම පහර වූයේ රතන හිමියන්ගේ ඉල්ලා අස්වීමය. “කලින් පක්ෂ වෙන වෙනම හොරකම් කළා. දැන් දෙගොල්ලො එකතුවෙලා ආණ්ඩුවක් හදලා හොරකම් කරනවා. ජනාධිපති උපදේශක කියලා මගේ නමට ඉදිරියෙන් තනතුරක් තියෙනවා. ජනාධිපති උපදේශක කියල මගේ නම කියනකොට මට ලැජ්ජයි. ඔය ජනාධිපති උපදේශකකමට මින් පස්සේ මගේ කිසිම සම්බන්ධයක් නෑ. ඒ නිසා තවදුරටත් මම ජනාධිපති උපදේශක නොවෙයි“ යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ.

පසුගිය 28 වනදා කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී පැවැති ශ්‍රී ලංකා කාන්තාවන්ගේ සංවර්ධනය සේවා සමුපකාර සමිතියේ 30 වැනි සංවත්සරයට සහභාගි වෙමින් රතන හිමියන් මෙම ප්‍රකාශය සිදු කළ අතර එහිදී ඒ හිමියෝ මෙලෙස අදහස් දැක්වූහ. "මහ බැංකුව භාර දුන්නා පල් හොරකුට. මහ බැංකුව දුන්නෙ සිංගප්පූරු ජාතිකයකුට. කැබිනට් එක විරුද්ධ වෙද්දි මේ පල් හොරා පත් කළේ කවුද? වැරැදි මිනිස්සුන්ට රට භාර දීල අපි බලාගෙන ඉන්නවා. අන්න ඒ යුගය අපි අවසාන කරන්න ඕනෑ. මේ සමුපකාර ව්‍යාපාරයට තියපු අත්තිවාරම අපි ඉදිරියට ගෙන ගියොත් මේ රට ගොඩනඟන්න පුළුවන්. මේ රට අංක එකේ පොහොසත් රටක් බවට පත් කරන්න පුළුවන්. ඒක දේශපාලකයන්ට බැරි බව එයාලා ඔප්පු කරලා ඉවරයි. මේ වගේ කාන්තා සංවිධානවලට විතරයි ඒක කරන්න පුළුවන්. මේ අපේ රට හැමෝම එකතු වෙලා මේ තත්ත්වෙන් බේරා ගන්න ඕනෑ යැයි" රතන හිමියෝ එහිදී තවදුරටත් අවධාරණය කළහ.

සුපුරුදු පරිදි පසුගිය අඟහරුවාදා උදෑසන ජනපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී කැබිනට් මණඩල රැස්වීම පැවැත්වුණේ සති දෙකකට පසුවය. පසුගිය සතියේදී මෛත්‍රී ලංකාවෙන් බැහැරව සිටි නිසා මේ සතියේ කැබිනට් හමුවට කැබිනට් පත්‍රිකා වැඩ ප්‍රමාණයක් ඉදිරිපත්ව තිබුණේය. ක්‍රිකට් ගැනත් මේ සතියේ කැබිනට් මණ්ඩලයේදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු විය. ඒ ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාෆා ක්‍රිකට් පාලක මණ්ඩලය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී අදහස් දැක්වීම නිසාය. “ක්‍රිකට් නිලවරණයට දැන් මොකද වෙන්නේ. නිලවරණයක් තියන්නේ නැතිනම් අතුරු කමිටුවක් පත් කරන්න ඕන” අර්ජුන ඇමැතිවරයා යෝජනා කළේය. “මම වැඩ කරන්නේ රටේ තියෙන නීතිය අනුව. නීතියට පිටින් ගිහින් මට වැඩ කරන්න බෑ. නීතිපතිවරයාගේ නියමයන් අනුව තමයි මම මේ සම්බන්ධයෙන් පියවර ගන්නේ” ෆයිසර් කීවේ තරමක් තදින්ය.

“ක්‍රිකට් නිලවරණය සම්බන්ධයෙන් ඇමැතිතුමා හරියට වැඩ කළේ නෑනේ. ඒකනේ මේ ප්‍රශ්න” අර්ජුන කීවේ තරමක් ආවේගයෙන් යුතුවය.

“මමත් නීතීඥයෙක්. ඔබතුමා නොදන්න දේවල් කතා කරන්න යන්න එපා. මම ජනාධිපති නීතීඥයෙක්. මම නීතියට හරියට දන්නවා” ෆයිසර් අදහස් දැක්වූයේ අර්ජුන දෙස බලා ඇඟිල්ලක් දිගුකරමින්ය. “ඇමැතිතුමාට මම අමාත්‍යාංශයක් දීලා තියෙනවානේ. ඒ අමාත්‍යාංශයේ වැඩ හරියට වෙනවාද කියලා ඔබතුමා බලන්න. ක්‍රීඩා අමාත්‍යාංශයේ වැඩ කටයුතුවලට ඇඟිලි ගහන්න එන්න එපා.” ජනපතිවරයා අර්ජුනට තදින් කියා සිටියේය. “ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ නිලවරණය ඉක්මනට තියන්න. ඒකට පත්වෙන පුද්ගලයන් කවුද කියන එක මට අදාළ නෑ. කවුරු පත් වුණත් මට එකයි. ඒ නිසා කඩිනමින් නිලවරණය තියලා නිලධාරීන් පත් කරගන්න” මෛත්‍රී ෆයිසර්ටත් උපදෙස් දුන්නේය.

උතුරේ නිවාස ව්‍යාපෘතිය රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්නයක්

“උතුරේ නිවාස ප්‍රශ්නයට විසඳුමක් විදියට මනෝ ගනේෂන් ඇමැතිතුමා උතුරට නිවාස පනස් දහසක් දීලා තියෙනවා. වතුකරයටත් ඒ වගේ නිවාස ව්‍යාපෘතියක් ලබාදෙන්න. උතුරේ නිවාස හදන එක ප්‍රමාද වෙන්නේ තාක්ෂණික ඇගයීම් කමිටුවේ ප්‍රධානියා නිසා. ඒ නිසා නිවාස අමාත්‍යාංශයේ නිලධාරියෙක් එතැනට දාන්න” රාජිත සේනාරත්න ඇමැතිවරයා ඉල්ලා සිටියේය. “උතුරේ තාක්ෂණික කමිටුවේ ප්‍රධානියා තියාගන්න කියලා කියන්නේ ටී.එන්.ඒ. එකෙන්” අගමැති රනිල් වික්‍රමසිංහ කීවේය.

“මේක තාක්ෂණික කමිටුවක්. මෙකේ ප්‍රධානියා තියාගන්න ඕන නම් තාක්ෂණික නිලධාරියෙක් විතරක් පත් කරන්න. නැත්නම් මේ වැඩ පරක්කු වෙනවා” ඇමැති මනෝ ද අදහස් දක්වන්න විය. “උතුරේ නිවාස පිළිබඳ මටත් ප්‍රශ්න තියෙනවා. මට ඒ පැත්තට යන්නවත් බෑ. හදනවා කියලා කියපු ගෙවල් කොහේද කියලා මිනිස්සු අහනවා. මෙතැන තියෙන්නේ වෙන ප්‍රශ්නයක්. මේ ගෙවල් හදන්න මිලියන 1.3ක් යනවා කියලා චීනය කියනවා. ඉන්දියාව කියන්නේ මිලියන 2.2ක් යනවා කියලයි. මේ ඔක්කෝම කරන්නේ සමාගම්. ඉන්දියාව කරනවාට චීනය විරුද්ධයි, චීනය කරනවාට ඉන්දියාව විරුද්ධයි ඒ නිසා මේ ප්‍රශ්නය ඇදීගෙන යනවා” ස්වාමිනාදන් ඇමැතිවරයා පැවැසුවේය. “මම මේ ගැන ඉන්දියාවයි චීනයයි එක්ක කතා කරලා බලන්නම්” අවසානයේදී රනිල් එම වගකීම ගත්තේය.
“ඔව් ඉතිං මේ වැඩපිළිවෙළ දවසින් දවස පහුවෙනවා. අපි කතා කර කර ඉන්නවා” ස්වාමිනාදන් කීවේ දැඩි කළකිරීමකින් යුතුවය. “මේක රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්නයක්. ඒ නිසා මේක රාජ්‍ය තාන්ත්‍රික මට්ටිමින් විසඳාගන්න ඕන” මංගල සමරවීර ඇමැතිවරයාත් කතාවට මැදිහත් විය
“ඒක හරි. ඉන්දියාව තරහ කරගන්නත් බෑ. චීනය තරහ කරගන්නත් බෑ. මේක සතියක් ඇතුළත විසඳාගන්න බැරිවුණොත් ජනාධිපතිතුමා මැදිහත් වෙන්න. ටී.එන්.ඒ. එකයි, ඉන්දියානු මහ කොමසාරිස්වරයායි, අගමැතිතුමායි ගෙන්නලා මේ ගැන සාකච්ඡා කරන්න. නැතිනම් මේ ව්‍යාපෘතියෙන් මිනිස්සුන්ට කිසිම දෙයක් ලැබෙන්නේ නැතිවේවි” සරත් අමුණුගම ඇමැතිවරයා අවසානයේදී ගැටුමට විසඳුමක් යෝජනා කළේය.

කෙසේ වෙතත් මේ වන විට මෛත්‍රිපාල සහ රනිල් අතර සීතල යුද්ධයක් නිර්මාණය වී තිබේ. කලක සිට පැවැත ආ එම මතභේදය මරණ දඬුවම යෝජනාවෙන් පසු වැඩි වී තිබේ. ජනපති මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කළ විගසම මුදල් ඇමැති මංගල ඊට එරෙහිව අදහස් දැක්වීය. එම ප්‍රශ්නය එසේ තිබියදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යළිත් වරක් දැඩි කතාවක් කරමින් මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව කියා සිටියේය. මෛත්‍රි එය එජාපයට කළ ප්‍රහාරයක් වශයෙන් දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි. මෙම මතභේදය තවත් උත්සන්න වූයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූ විදුහල්පතිවරුන් පිරිසකට සහ අධ්‍යාපන පරිපාලන සේවයේ පිරිසකට උසස්වීම් දීමට අධ්‍යාපන ඇමැතිවරයා තීරණය කර තිබීමත් සමඟය. එයට ඇමැති අකිලට අග්‍රාමාත්‍යවරයාගේ පූර්ණ සහයෝගය ලබා දී තිබිණි. කෙසේ වෙතත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිය සංගම් රාශියක් එයට දැඩි විරුද්ධත්වය දක්වන්නට වූහ. වෘත්තිය සමිති වැඩවර්ජනයට ද තීරණය කර තිබූ අතර ජනාධිපතිවරයා එම උසස්වීම් දීම අවසානයේදී අත්හිටවූයේය. ජනාධිපති තීන්දුව අකිලටත් රනිල්ටත් සිදුකළ කණේ පහරක් ලෙස දැක්විය හැකිය.

අලූත් ව්‍යවස්ථාව: කෙරෙන වැඩක්ද?

ආණ්ඩුව විසින් ගෙන ඒමට යෝජනා කරන නව ව්‍යවස්ථාව පිළිබඳව නැවතත් රට තුළ සංවාදයක් මතුව තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමකදීද මේ ගැන අවධානය යොමුවී තිබුණි. ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳව පැවැති රැස්වීම් සඳහා සහභාගි වූයේ ජවිපෙ නායක අනුර දිසානායකය. ඔහු මේ පිළිබඳව තත්වය දේශපාලන මණ්ඩලයට පැහැදිලි කළේය. ”ආණ්ඩුව ගෙනාපු ව්‍යවස්ථා කෙටුම්පත ගැන බරපතළ ප‍්‍රශ්න තියෙනවා. ඇතැම් කරුණුවලට අපිට පක්ෂයක් ලෙස එකඟ වෙන්න බැහැ. ඒ වගේම ආණ්ඩුව තවත් වැරැද්දක් කරලා තියෙන්නේ. කමිටුවලදී සාකච්ඡා කරලා එකඟ නොවූ දේවල් පවා කෙටුම්පතට එකතු කරලා. ඒකට විරෝධය පළ කළා. ඉදිරි කමිටු රැුස්වීම්වලදී එම ප‍්‍රශ්න ගත කරුණු ගැන සාකච්ඡා කරන්න වෙනවා. කොහොම නමුත් මේ තියෙන තත්වය අනුව අලූත් ව්‍යවස්ථාවක් ගේන එක නොකෙරෙන වැඩක් විදියට තමයි පේන්න තියෙන්නේ.” අනුර දිසානායක කියා සිටියේය. ”කොහොමත් මේ ආණ්ඩුව පිළිවෙළකට වැඩක් කරගන්න පුළුවන් එකක් නෙවෙයි. හැම වැඩක්ම අනාගන්නවා. රටේ ව්‍යවස්ථාව හදන්න තරම් මේ ආණ්ඩුව දක්ෂ නැහැ. තමන්ගේ දේශපාලන බලපොරය ඔලූවේ තියාගෙන රටක ව්‍යවස්ථාව හදන්න බැහැ. ඒ නිසා මේක අසාර්ථක එකක්. කතා සාප්පුවක් විතරයි.” ටිල්වින් සිල්වා කියා සිටියේය.

බල්ලා, දිවියා සහ කොටියා

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර ඇති ජනහමු දස දහස මේ දිනවල රට පුරා ප‍්‍රාදේශීය මට්ටමින් පැවැත්වෙමින් තිබේ. ජවිපෙ නායකයෝ රට පුරා ගම්දනව්වල මෙම ජනහමු මාලාවට සහභාගි වෙති. ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක පසුගිය සතියේ කිලිනොච්චි ප‍්‍රදේශයේ එවැනි රැස්වීම් කිහිපයකට සහභාගි විය. මේ අතර පසුගියදා ගම්වාසීන් විසින් දිවියෙකු මරා දැමුණු ප‍්‍රදේශයේදීද රැස්වීමක් සංවිධානය කර තිබුණි. රැස්වීමෙන් පසුව ප‍්‍රදේශවාසීන් සමඟ එම සිදුවීම පිළිබඳවද මන්ත‍්‍රීවරයා කතාබහක නිරත විය. ”මන්ත‍්‍රීතුමා දකුණේ මාධ්‍යවල මේ සිදුවීම වාර්තා කළේ සම්පූර්ණ ම්ලේච්ඡ වැඩක් විදියට. දිවියාට ගහන රූපරාමු සියල්ල පෙන්නුවා. දෙමළ ජනතාව ගැන විශාල විරෝධයක් හැදුවා. දෙමළ ජනතාව ‘කොටියා’ බවට පත්කරන විදියේ නිවුස් ගියා.” සිංහල මාධ්‍ය පිළිබඳවද අවධානයකින් පසුවෙන අයෙක් කියා සිටියේය. ”ඇත්තම සිදුවීම අපි දන්නෙත් නැහැ. අපිත් මාධ්‍යවල ගියපු නිවුස් තමයි දැක්කේ.” මන්ත‍්‍රීවරයා කීය. ”ඒක තමයි ප‍්‍රශ්නේ, උතුරේ දෙමළ මාධ්‍යවල විශේෂයෙන් පත්තරවල ලිවුවේ, ඒ දිවියා හමුදා කඳවුරක ඉඳලා පැනපු එකෙක් කියලා. හමුදාව තමයි මේකට වගකියන්න ඕනැ කියලා.” එම ප‍්‍රදේශයේ පුද්ගලයෙක් කියා සිටියේය. ”ඒ වගේ ආර්ටිකල් එකක් මමත් කියෙව්වා. සිංහලෙන් පළවෙලා තිබුණා පත්තරයක” බිමල් රත්නායක කීවේය. ”ඒත් මේ සිදුවීම් දෙකක් තමයි එකතු කරලා තියෙන්නේ. ඇත්තම සිද්ධිය වුනේ මෙහෙමයි. හමුදා කඳවුරකින් ලොකු බල්ලෙක් පැනලා ගම්වැදිලා තිබුණා. මිනිස්සුන්ටත් කරදර වෙන්න ඇති. මිනිස්සු කඳවුරට පැමිණිලි කළාම හමුදාවෙන් බල්ලා අරගෙන ගිහින්. ඒ අතරේ තමයි දිවියා ගමට පැනලා තියෙන්නේ.” තවත් පුද්ගලයෙක් කියා සිටියේය. ”ඒක තමයි අද තියෙන ප‍්‍රශ්නය. ඉතාම කුඩා සිද්ධියක් වුනත් දකුණේ මාධ්‍ය සහ උතුරේ මාධ්‍ය වාර්තා කරන්නේ ජාතිවාදී පදනමෙන්. අන්තිමට බල්ලා, දිවියා කළා. දෙමළ මිනිස්සු, කොටියා කළා. මේක කණගාටුදායක තත්වයක්. ඇත්තටම දැන් ජනප‍්‍රිය දේශපාලනය වෙලා තියෙන්නේ ජාතිවාදය. ඒක නිසා මාධ්‍යයත් වාර්තා කරන්න පෙළඹෙන්නේ ඒ වගේ ප‍්‍රවෘත්ති. මේ තත්වය වෙනසක් කරන්න ලොකු මැදිහත්වීමක් කරන්න වෙනවා” බිමල් රත්නායක කියා සිටියේය.

හිට්ලර් සහ ප‍්‍රභාකරන් කතාව ගැන කනස්සල්ලක්

පසුගියදා ජවිපෙ මන්ත‍්‍රී බිමල් රත්නායක විදෙස් සංවිධානවල නියෝජිතයින් කිහිප දෙනෙකු මුණ ගැසිණි. රටේ පවතින දේශපාලන තත්වයන් පිළිබඳවත් ජවිපෙ දේශපාලන කටයුතු පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. ජවිපෙ විසින් යෝජනා කර අති 20වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවද බිමල් රත්නායක මන්ත‍්‍රීවරයා ඔවුන් දැනුවත් කළේය. ”ලෝකයේ බොහෝ රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් ගැන ලොකු සංවාදයක් තිබෙනවා. ලංකාවේත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරන කොට විධායක ජනාධිපති ධුරය ගැන විවේචනයක් තිබෙන බව අපි දන්නවා. ඔබතුමා කියන ආකාරයට 20වැනි සංශෝධනය ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැත්තෙන් සතුටුදායක දෙයක් බව අපිට හැෙඟනවා.” විදෙස් නියෝජිතයෙක් කියා සිටියේය. ”ඔව්, ලංකාවේ දේශපාලන සංවාදවලදී මතුවුණා හිට්ලර් ගැන. ඒ වගේම තව පැත්තකින් ප‍්‍රභාකරන් ගැන. නමුත් ඒ අන්තවාදී පාලනයන් ගැන ලොකු විරෝධයක් මතුවෙලා තියෙද්දී ලංකාවේ දේශපාලකයින් ඒ මාතෘකා කතා කරන්නේ ඇයි. අපිට නම් එක් ප‍්‍රශ්නයක්” තවත් එක් නියෝජිතයෙක් තම කනස්සල්ල පළකරමින් කියා සිටියේය. ”අපේ රටේ දේශපාලන සංවාදය ටිකක් සංකීර්ණ එකක්. එක පැත්තකින් වංචා දූෂණ ගැන කතා කරනකොට තව පැත්තකින් ඒක මාතෘකාව වෙනස් කරන්න වෙන වෙන සංවාද හදනවා. එක කණ්ඩායමක් හිට්ලර් ඉල්ලනවා. තව කණ්ඩායමක් ප‍්‍රභාකරන් පාලනයක් ඉල්ලනවා. ඊට පස්සේ ඒ වටා ලොකු සංවාදයක් හදනවා. රටේ ඇත්ත ප‍්‍රශ්න යටගහනවා. ඇත්තටම අපිට අභියෝගයක් තියෙනවා රටේ ඇත්ත ප‍්‍රශ්න ගැන ජනතාවගේ අවධානය යොමු කරන එක ගැන” බිමල් රත්නායක කියා සිටියේය.

කටුනායක ගුවන්තොටුපළත් පෞද්ගලික සමාගමක් වෙයි

මත්තල ගුවන්තොටුපළ විකිණීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන මාධ්‍ය හමුවක් පැවැත්වීමට ජවිපෙ තීරණය කළ අතර එම මාධ්‍ය හමුව පැවැත්වීම ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මන්ත‍්‍රීවරයාට පැවරිණි. මේ අතර කටුනායක ගුවන්තොටුපළ පිළිබඳවද විශේෂ හෙළිදරව්වක් අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහට දැනගන්නට ලැබුනේ කටුනායක ගුවන්තොටුපළේ වෘත්තීය සමිති නායකයින්ගෙනි. ”මත්තල විතරක් නෙවෙයි කටුනායක ගුවන්තොටුපළටත් වැඩක් දෙන්න ආණ්ඩුව ප්ලෑන් කරලා තියෙන්නේ. දැන් තියෙන කටුනායක ගුවන්තොටුපළ සමාගම පුද්ගලික සමාගමක් කරන්න යන්නේ. පාලනාධිකාරියේ නිලධාරීන් සේවකයින්ට මේ ගැන දැනුවත් කරලා. පුද්ගලික සමාගමක් බවට පත්කරලා විකුණලා දාන්න තමයි ආණ්ඩුව හදන්නේ. සිවිල් ගුවන් සේවා පනතත් සංශෝධනය කරන්න යනවා කියලා ආරංචියි.” වසන්ත සමරසිංහ, විජිත හේරත් මන්ත‍්‍රීවරයාට දැනුම් දුන්නේය. ”මත්තලත් 70%ක කොටස් විකුණනවා. ඒ වගේම කටුනායක ගුවන්තොටුපළත් විකුණන්නයි ආණ්ඩුව මේ හදන්නේ. රජයේ ආයතනත් කොටස් වෙළඳපොළේ ආයෝජනය කරන්න පුළුවන් විදියට ලැයිස්තුගත කරන්න යනවා. ආණ්ඩුව මේ හැමදේම කරන්නේ රුපියල් කෝටි 4800ක ණයක් බලාගෙන” විජිත හේරත් කීය.

දේශපාලන පළිගැනීම් මුවාවෙන් ස්ත‍්‍රී දූෂකයින්ට, සාපෙළ අසමත් අයට උසස්වීම්

ගුරු සංගම් විසින් 26වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ වර්ජනය හදිසියේ අත්හිටුවන ලදී. මේ පිළිබඳව දැන ගැනීමට ජවිපෙ ප‍්‍රචාරක ලේකම්, ලංකා ගුරුසේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහට දුරකතන ඇමතුමක් ලබාදුන්නේය. ”අපි දිගින් දිගටම අකිල විරාජ් ඇමතිවරයාට පෙන්නල දුන්නා, මේ පත්වීම්වල තියෙන අසාධාරණය ගැන. අකිල විරාජ් මේ කරන්න යන්නේ තමන්ගෙ හෙංචයියන්ට උස්සවීම් ටිකක් අරන් දෙන්න. දේශපාලන පළිගැනීම් වෙලා තියෙනවා කියලා හැමෝටම උසස්වීම් දෙන්න බැහැ. සාපෙළ අසමත් අය පවා මේ ඇමතිගෙ ලැයිස්තුවේ ඉන්නවා. ඒ විතරක් නෙවෙයි ස්ත‍්‍රී දූෂණවලට චෝදනා ලබපු අයත් ඉන්නවා. ඒ නිසා අපි වර්ජනයක් කරන්න සැලසුම් කළා. ඒත් ජනාධිපතිතුමා සාකච්ඡාවක් ලබාදුන් නිසා වර්ජනය නැවැත්තුවා. ගුරු සංගම්වල පළමු අදියරේ සටන් ජයග‍්‍රගණයක් ලැබුවා. ජනාධිපතිතුමාට නැවත කමිටුවක් පත්කරන්න සිදුවුණා. අකිල විරාජ්ටත් හොඳ පාඩමක් කියලා දුන්නා.” මහින්ද ජයසිංහ කියා සිටියේය. ”එජාපය බැඳුම්කර හොරු ගැන හොයන්න පත් කළේ යූඑන්පී එකේ කමිටුවක්. දේශපාලන පලිගැනීම් හොයන්න දැම්මෙත් යූඑන්පී කමිටුවක්. යූඑන්පී කමිටුවෙන් යූඑන්පී සාමාජිකයින්ට පත්වීම් දෙන්න හදනවා. මේක ජනාධිපතිතුමාට දැනගන්න වර්ජනයක්ම කැඳවන්න සිද්ද වුණ එකයි කණගාටුව” විජිත හේරත් කියා සිටියේය.

මහින්ද - ගෝඨා ඇමැති රංජිත් සමඟ සාකච්ඡාවක

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන බලය කොළඹට උද්ඝෝෂණය ගැන සාකච්ඡා කිරීමට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සාකච්ඡා වට කිහිපයක්ම පසුගිය සතියේදී පැවැත්වුවේය. මෙම උද්ඝෝෂණය සංවිධානය කිරීමේ වගකීම නාමල් ඇතුළු තරුණ මන්ත්‍රීවරුන්ට පවරා තිබේ. ඒකාබද්ධයේ ප්‍රධානීන්ගේ සාකච්ඡාවක් කැඳවා තිබුණේ බැසිල්ගේ ප්‍රධානත්වයෙන්ය. “උසස් පෙළ විභාගය තියෙනවා. ඒ නිසා විභාගය අතරවාරයේදී මේ උද්ඝෝෂණ තියන්න එපා කියලා මහින්ද මහත්තයා කියනවා. ඒ නිසා විභාගයෙන් පස්සේ මේක තියන්න කියලා තියෙනවා”නාමල් කීවේය.

“එහෙනම් අපි සැප්තැම්බර් මාසේ මුල් සතියේදී මේක කරමු”අවසානයේදී සියල්ලෝම මෙය කල් දැමීමට එකඟතාව දැක්වූහ. “අපි මේක සාර්ථක කරගන්න ඕන. අපි කලින් කරපු 'ජන සටන' පාගමනට වඩා වැඩි සෙනඟක් මේකට ගේන්න ඕන”නාමල් යෝජනා කළේය. මේ උද්ඝෝෂණයට සෙනඟ ගේන්නේ කොහොමද”සාකච්ඡාවට පැමිණි අයෙකු ඇසුවේය. “සේරම එළියට දාන්න බෑ. හැබැයි ඕනම දේකට ඔට්ටු පිරිසක් තමයි කොළඹ එන්නේ”ප්‍රසන්න කීවේය.
චීන තානාපති කාර්යාලය සංවිධානය කළ උත්සවයක් පසුගිය සතියේදී පැවැත්විණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එහි ආරාධිතයෙක් ලෙස පැමිණ සිටියේය. චීන තානාපතිවරයා ඔහු සමග කතා කරමින් සිටියේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳවය.

ගෝඨා - ආරක්ෂක ලේකම් සමඟ සාකච්ඡාවක

මේ අතර ගෝඨාභය රාජපක්ෂද එහි පැමිණි අතර එහි සිටි බොහෝ දෙනා ඔහු සමග කතා කරන්න විය. ආරක්ෂක අමාත්‍යාංශයේ ‍ලේකම් කපිල වෛද්‍යරත්නද එහි පැමිණ සිටි අතර ගෝඨා ඔහු සමග කතා කළේ කිසිවෙක් නොමැති තැනකදීය. ඔවුන් දෙදෙනා කළ කතාව සියලු දෙනාමට වසන් කර තබාගැනීමට දෙදෙනාම උත්සාහ ගත්හ.
මේ අතර මෙහි පැමිණ සිටි රංජිත් මද්දුමබණ්ඩාර ඇමැතිවරයාට මහින්ද හමුවිය. “කොහොමද රංජිත්” මහින්ද ඇසුවේය. “හොඳින් ඉන්නවා” රංජිත් උත්තර දුන්නේය. මේ අතර ගෝඨාත් ඔවුන් සිටින තැනට පැමිණියේය. “මම බිබි‍ලේ පන්සලට ගිහින් ආවේ” ගෝඨා කීවේය.
“නෑ. ඉතිං අපි කලින් ඒ පන්සලට ගිහින් විවෘත කරන ඒවා විවෘත කරල ආවේ” රංජිත් කීවේ සිනාසෙමින්ය.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදීය. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම පිළිබඳවත් එහිදී අවධානය යොමුවී තිබූණි. ජයම්පති වික්‍රමරත්න හා එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා එක්ව සකස් කළ කෙටුම්පතක් ගැන දිනේෂ් කරුණු අනාවරණය කරන්න විය. “ඕක අගමැතිතුමාගේ වුවමනාවට ගෙනාපු එකක් වෙන්න ඇති. ඒ නිසා මේක ගැන අපි ජනතාව දැනුවත් කරන්න ඕන”ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා යෝජනා කළේය.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් පරාජය කරන්න නම් ජනතාව දැනුවත් කරනවා වගේම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයත් නැති කරන්න වෙනවා”තවත් අදහසක් ඉදිරිපත් විය. “ආණ්ඩුවෙන් අපේ අය ගන්නවා නම් මම එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් දෙන්නම්”මහින්දානන්ද කීවේය.
“ඔයාගේ මල්ලිනේ අරගන්න හදන්නේ. එයා ඕනම වෙලාවක ගන්න පුළුවන්නේ. කොහොමත් සහෝදරයා වැඩ කරන්නේ ඔයා කියන විදියටනේ”රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා කීවේ සිනහවක් මුවට නංවාගනිමිනි. “ආණ්ඩුව දැන් මගේ නම තියෙන හැම එකක්ම ගලවලා දානවානේ”මහින්ද කතාව වෙනතකට යොමු කළේය.

Rate this item
(0 votes)