May 10, 2024

මහින්ද පොරොන්දු කඩ කරයි! ඇඹිලිපිටිය උත්සවයේ දැඩි නොසන්සුන්තාවයක්

ඇඹිලිපිටියේ සංවිධානය කර තිබූ උත්සවයකට හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා පොරොන්දු වු පරිදි නොපැමිණීම හේතුවෙන් ඇතිවූ ‍නොසන්සුන්තාවයක් නිසා එම උත්සවය අවලංගු කර තිබේ.

ඇඹිලිපිටිය හීන් දලූක්හින්න නාග විහාරස්ථානයේ සංවිධානය කර තිබූ බුද්ධ ප‍්‍රතිමා නිරාවරණය කිරීමේ උත්සව සංවිධායකයන් දෙදෙනකු ඒ අසල තිබූ කොහොඹ ගසක නැග විරෝධය පෑමත් සමඟ ඇතිවූ නොසන්සුන්තාව නිසා උත්සවය කල් දමනු ලැබීය.

ඒ හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා පොරොන්දු වු පරිදි නොපැමිණීම එම නොසන්සුන්තාවයට හේතුවයි.

ආරාධනා මත පැමිණ සිටි හිටපු කතානායක චමල් රාජපක්‍ෂ මහතා ද පසුව හිස් අතින්ම ආපසු ගොස් තිබේ. පසුව සබරගමු පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න සහ ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති සුරන්ත වීරසිංහ යන මහත්වරු තමන්ගේ මුදලින් ඉදිරි දිනයක උත්සවයක් පවත්වා මහින්ද රාජපක්‍ෂ මහතා ගෙන්වාදීමට ද පොරොන්දු වී ඇත.

දඹදිවින් වැඩම කළ ශ‍්‍රී මහා බෝධි අංකුරයක් මහින්ද රාජපක්‍ෂ මහතා අතින් ද, අනුරාධපුර ශ‍්‍රී මහා බෝධි අංකුරයක් චමල් රාජපක්‍ෂ මහතා අතින් ද මෙහිදී රෝපණය කිරිමට නියමිතව තිබුණ ද ඒවා ද අවලංගු කෙරිණි.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂක නිලධාරීන් පෙර දිනයේ පැමිණ උත්සවයේ ආරක්‍ෂක කටයුතු වලට උපදෙස් ද දුන්හ. මහජනයා පරීක්‍ෂා කිරිමට අවශ්‍ය ස්ථාන වැටවල් ආදිය නිමවුණේ පැමිණ සිටි එම ආරක්‍ෂක ප‍්‍රධානීන්ගේ උපදෙස් මතය.

එහෙත් පෙරේදා (28) අලූයම 02.30ට පමණ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂකයින් පිටව ගියේ පාන්දර 06.30 වනවිට නැවත පැමිණෙන බව දන්වමිනි. නමුත් ඔවුන් යළිත් පැමිණ නැත.

උත්සවය අවස්ථාවේ චමල් රාජපක්‍ෂ මහතා පමණක් පැමිණි අතර කොන්දේ අමාරුවක් නිසා මහින්ද රාජපක්‍ෂ මහතා නොඑන බව දන්වා තිබේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 01 August 2018 03:43