May 19, 2024

මහින්ද නැතිව රැස්වූ නව ඒකාබද්ධ සන්ධානයේ නායකයින්ට මහින්දගෙන් කැඳවීමක්!

පසුගියදා ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ එක්ව පිහිටුවා ගැනීමට සාකච්ඡා කළ නව දේශපාලන සන්ධානය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද(24) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

නව පෙරමුණ බිහි කිරීමට පසුගිය සතියේ පැවැත්වූ පළමු සාකච්ඡාවේ ඉදිරි පියවරක් ලෙස මෙම සාකච්ඡාව පැවැත්වෙන බවත් ඒකාබද්ධ පොදුජන පෙරමුණ නමින් මෙම නව සන්ධානය පිහිටුවීමට සූදානම් බව ඒකාබද්ධ විපක්‍ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා මහතා ඒෂියන් මිරර් වෙත පැවසුවේය.

නව පුළුල් සන්ධානය බිහි කිරීමට එජාපය සහ ශ්‍රීලනිපයේ ඇමැතිවරුන් සහාය දෙනවාද? යන්න අප කළ විමසීමකදී මන්ත්‍රීවරයා සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් කිසිදු ගණුදෙනුවක් සිදු කර නොමැති බවත් ආණ්ඩුවේ කටයුතු කරන ශ්‍රීලනිපයේ මැති ඇමැතිවරුන්ද මෙම සන්ධානයට එක් කර ගැනීමට තවම සාකච්ඡා කර නොමැති බවත්ය.

ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ එක්ව බිහි කිරීමට සූදානම් වන නව දේශපාලන සන්ධානයේ විශේෂ රැස්වීමක් පසුගිය බ්‍රහස්පතින්දා පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. එම සාකච්ඡාව පැවැත්වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විදෙස් ගත වී සිටින අතරතුරය.

ඒ අනුව රට ගොඩනංවන නව ආර්ථික වැඩපිළිවෙළක් ඒකාබද්ධ පොදුජන පෙරමුණට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අතර හමුවක් අද සවස 5.30ට විජේරාම මාවතේ පිහිටි හිටපු ජනපතිවරයාගේ නිල නිවෙසේදී පැවැත්වීමට නියමිතය.

සියලු අංශවල ප්‍රබල කඩාවැටීමත් සමඟම ආර්ථිකය පහළට වැටී ඇති නිසා එය ගොඩගැනීම සඳහා ජාතික ආර්ථික සැලැස්මක් රටට අවශ්‍ය බව පෙන්වා දෙන සොයිසා මන්ත්‍රීවරයා ඒකාබද්ධ පොදුජන පෙරමුණ ඉතා කඩිනමින් පිහිටුවීමෙන් අනතුරුව රට ගොඩනංවන ජාතික ආර්ථික වැඩසටහන රට හමුවේ තබන බවද කියා සිටියේය.

පසුගියදා පැවැති සාකච්ඡාවේදී මෙම නව සන්ධානය සඳහා ආණ්ඩු විරෝධී සියලු දේශපාලන පක්ෂවල අදහස් හා යෝජනා ලබා ගැනීමටද තීරණය කර තිබේ.

අලුත් දේශපාලන සන්ධානය පිළිබඳ තම තමන්ගේ දේශපාලන පක්ෂවල මධ්‍යම කාරක සභාවත් සමග සාකච්ඡා කිරීම සඳහා කාලයක් අවශ්‍ය බව එහිදී පක්ෂ නායකයින් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව සති දෙකක කාලයක් ඒ සඳහා ලබා දීමටත් එම සති දෙක ඇතුළත ආණ්ඩු විරෝධී සියලු දේශපාලන හා සිවිල් සංවිධානවල යෝජනා අදහස් ලබාගෙන නව දේශපාලන සන්ධානයේ නම ලාංඡනය ව්‍යවස්ථාව හා නිලධාරී මණ්ඩලය සම්මත කර ගැනීමටත් තීන්දු කර ඇත.
කෙසේ වුවද අගෝස්තු මස අවසන් වීමට පෙර නව දේශපාලන සන්ධානය එළිදැක්වීමට හැකි වෙනු ඇතැයි ඒෂියන් මිරර් වෙත වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 25 July 2018 17:48