May 19, 2024

කරළියෙන් එහා: 16 කණ්ඩායම දේශපාලනයෙන් සමුගනී? ගෝඨාට එරෙහි වූ වාසුගේ යෝජනාවට ජවිපෙ කැමැත්ත

මරණ දඩුවම නැවත ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව හේතුවෙන් පසුගිය සතිය පුරාම දේශපාලන කරළිය උණුසුම් මුහුණුවරක් ගෙන තිබිණි. එම තීන්දුවත් සමඟ ආණ්ඩුව තුළද යළි අර්බුදයක් හටගෙන තිබේ. ඊට හේතු වූයේ එජපායේ ප්‍රබලයෙකු වූ මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඇතුළු ආණ්ඩුවේ කිහිප දෙනෙකු ඊට ප්‍රසිද්ධියේ විරෝධය පළ කළේය. විශේෂයෙන්ම ශ්‍රීලනිපයේ ඇමැතිවරුන් ඊට පක්ෂව පෙනී සිටියේය. කෙසේවෙතත් මීට පෙර ගත් ඇතැම් තීන්දු මෙන්ම මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමේ තීන්දුවද සතියක් ඇතුලත හකුලා ගැනීමට ජනාධිපතිවරයාට සිදුවිය. “ජනාධිපතිවරයාගේ තීන්දුවට ජාත්‍යන්තර වශයෙන් පවා අද විරෝධයක් ගොඩනැගිලා. එම විරෝධය පිටුපස්සේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයම තමයි. විදේශ සබඳතා තිබෙන ප්‍රබල ඇමැතිවරයෙක් තානාපති කාර්යාල කිහිපයකට කතා කරලා වැඩේ කරලා තියෙනවා“ යැයි රජයේ ප්‍රකාශයෙකු පැවසී ය. ඒ අනුව ජාත්‍යන්තරයෙන් එල්ල වන බලපෑම් හමුවේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමේ තීරණය හකුලා ගන්නට ජනධිපතිවරයාට සිදුවී තිබේ. හිටපු ඇමැති එස්.බී දිසානායක මහතා පසුගියදා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා ගන්නා වැදගත් තීන්දු අගමැතිවරයා සහ මුදල් ඇමැතිවරයා ක්‍රියාත්මක නොකරන බවයි. සන්ධානයේ විශාල පිරිසක්ද කියා සිටින්නේ එය දිය යටින් ගින්දර ගෙනයන වැඩපිළිවෙලක් එජාපයේ ක්‍රියාත්මක බවත් ඒ අනුව එජාපය හිතාමතාම ජනාධිපතිවරයාගේ සැලසුම් කඩාකප්පල් කරන තැනක සිටින බවත්ය.

දයාසිරි යළිත් ඇමැති ධූරයක් ගැනීමේ සූදානමක

මේ අතර ශ්‍රීලනිපයෙන් ඉවත් ගිය 16දෙනාගේ කණ්ඩායමේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා යළිත් ආණ්ඩුවේ ඇමැති පට්ටමක් ගෙන ආණ්ඩුවට එක් වීමේ සූදානමක් පවතින බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් අප දයාසිරි මන්ත්‍රීවරයාගේ විමසූ අතර ඔහු ඊට මෙලෙස ප්‍රතිචාර දැක්වීය. තමාට යළිත් ආණ්ඩුවේ ඇමැති ධූරයක් ලබා ගන්නැයි ඉල්ලීම් ගණනාවක් ලැබී ඇති බවත් තමාට ඇමැතිධූරයක් ලබාදීමට ආණ්ඩුව තුළ කටයුතු සිදු කර තිබූ බවත් නමුත් තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටිමින් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට තීරණය කළ බවත්ය. තමා ඒකාබද්ධ විපක්ෂය කිසිවිටෙක නියෝජනය නොකල බව ද පෙන්වා දුන් දයාසිරි මන්ත්‍රීරයා එම කණ්ඩායම සමඟ තමාට වැඩ කළ හැක්කේ ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරයෙකු ලෙස වුවද, ඔවුන් 16 කණ්ඩායමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) සාමාජිකත්වය ලබා ගන්නැයි ඉල්ලීම් කළ බවත් තමන් කිසිවිටෙක ශ්‍රීලනිපය හැර වෙනත් පක්ෂයක සමාජිකත්වය ලබා නොගන්නා බවත් අවධාරණය කළේය. තමා කවදාවත් දේශපාලනය තුල පුද්ගලයෙකු ලඟට ගොස් කටයුතු නොකළ බවත් මහින්දද? මෛත්‍රීදද? යන්න තමාට අදාල නැති බවත් තමන් තවමත් කටයුතු කරන්නේ ශ්‍රීලනිපයේ සාමාජිකයෙකු ලෙස බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා ශ්‍රීලනිපයේ සිටින ගමන් ඒකාබද්ධයේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කළ හැකි බවත් පක්ෂයේ භාගයක් ඉන්නේ හවුල් ආණ්ඩුවත් සමඟ බැවින් ඔවුන් ආණ්ඩුවෙන් එළියට ගෙන පොහොට්ටුවට හේත්තු නොවී පුළුල් සන්ධානයක් ගොඩ ගැනීම අරමුණ බවත් කියා සිටියේය.

ශ්‍රීලනිපයේ මහ ලේකම් ධූරය ලබා ගැනීමට පක්ෂය තුළ සහයක් හිමිවේද? යන්න අප කළ විමසීමකදී මන්ත්‍රීවරයා සඳහන් කළේ පක්ෂය තුළ කල්ලි කණ්ඩායම් බෙදීම් නොමැති බවත් පක්ෂයේ තීරණය මත ඒකමතිකව මහ ලේකම් ධූරය තමාට හිමිවුවහොත් පක්ෂය වෙනුවෙන් වැඩ කටයුතු කරන බවත්ය. ජනාධිපතිවරයා ගන්නා තීන්දු තීරණවලට අගමැතිවරයා සහ මුදල් ඇමැතිවරයා බාධා කරන බවට පසුගියදා එස්.බී දිසානායක හිටපු ඇමතිවරයා කළ ප්‍රකාශය ගැන විමසූවිට මන්ත්‍රීවරයා පැවසූවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුව හරි මාර්ගයට ගැනීමට උත්සාහයක් ගත් බවත් නමුත් අර්බුදයක් හදාගෙන ආණ්ඩුව ඉදිරියට යාමට සිදුවී ඇති බවත්ය. පසුගිය මැතිවරණයේදී දුන් ඡන්දය පිළිබඳ ජනතාව දැන් තේරුම් අරන් සිටින බවත් තම ඡන්ද බලප්‍රදේශය තුල ශ්‍රීලනිපයේ ප්‍රතිසංවිධාන කටයුතු සාර්ථකව සිදුකරමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. එම ප්‍රකාශයෙන් කියැවෙන්නේද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මේ වන විට ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලට තව දුරටත් සහය දෙමින් ශ්‍රීලනිපයේ ප්‍රතිසංවිධාන කටයුතුද සිදුකරන බවයි. කෙසේ වෙතත් වාර්තා වන අන්දමට දයාසිරි මන්ත්‍රීවරයා යළිත් ආණ්ඩුවට එක්ව කටයුතු කිරීමට සූදානම් බව විස්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ සඳහා සාකච්ඡා වට කිහිපයක්ද සිදු කර ති‍බේ.

ඇමැති අජිත්ගෙන් රාජ්‍ය නිලධාරීන්ට බලපෑම්

බණ්ඩාරගම ආසනයේ එජාප සංවිධායක රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතාගේ සහෝදරයෙකු විසින් සිදුකළ කුඹුරු ඉඩමක් ගොඩකිරීමකට නීතිය ක්‍රියාත්මක කළ බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් සුජානි මහේෂා සිල්වා මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දී තිබේ. ඒ අනුව බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් සුජානි මහේෂා සිල්වා මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි කළුතර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ස්ථාන මාරු කර ඇත. කළුතර දිස්ත්‍රික් ලේකම් යු.ඩී.සී.ජයලාල්ගේ අත්සනින් යුතු 2018.07.16 දිනැති DSK/ADM/2/5/1 දරණ ලිපිය මගීන් ස්ථාන මාරුව සිදු කර ඇත. බණ්ඩාරගම ආසනයේ එජාප සංවිධායක අජිත් පී පෙරේරා අමාත්‍යවරයාගේ සහෝදරයෙකු විසින් බණ්ඩාරගම - පානදුර මාර්ගයේ කුඹුරු ඉඩමක් ගොඩ කර ඉන්ධන පිරවුම්හලක් සෑදීම සම්බන්දව පසුගිය දා බණ්ඩාරගම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී ඇති වු ප්‍රශ්නයක් මුල් කර ගනිමින් පලිගැනීම සදහා මෙම ස්ථානමාරු ලබා දී ඇති බව සේවකයින් අමාත්‍යවරයාට චෝදනා කරයි. මෙම ප්‍රශ්නය මුල් කර ගනිමින් මේ වන විට බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන ලද ආර්ථික සංවර්ධන නිලධාරීවරයෙකු ඇතුළු රාජ්‍ය සේවකයින් ගණනාවක් මේවිට ස්ථාන මාරු කර ඇත. තවද මෙම ස්ථාන මාරුකිරීමට අදාල කළුතර දිස්ත්‍රික් ලේකම් යු.ඩී.සී.ජයලාල් මහතාගේ අත්සනින් යුතු ලිපිය මුළුමනින්ම වැරදි බවත් ප්‍රාදේශීය ලේකම්ගේ නම පවා වැරදි ලෙස සදහන් කර එවා ඇති අතර ප්‍රාදේශීය ලේකම්වරියගේ ස්ථාන මාරුවීම් ලිපියේ සදහන් වන්නේ පත් කිරීමක් ලෙස බවත් සේවකයින් පෙන්වා දෙයි. ප්‍රාදේශීය ලේකම්වරයෙකු පත්කිරීමේ බලය දිස්ත්‍රික් ලේකම්වරයෙකුට නොමැති බවද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් වෙත අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූවේ පසුගිය පළාත් පාලන මැතිවරණ සමයෙන් පසු මේ වන තෙක් බණ්ඩාරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම පවත්වා නොමැති බවත් එහි වගකීම දරන්නේ බණ්ඩාරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා බවත් ය. බණ්ඩාරගම පානදුර මාර්ගයේ කුඹුරු ඉඩමක් ගොඩ කිරීම සම්බන්ධයෙන් කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදීද සාකච්ඡා කළ බවත් ඉන් පසු වැඩිදුර තොරතුරක් තමා නොදන්නා බවත් මන්ත්‍රීවරයා පැවසී ය.

ජාතික වැඩපිළිවෙළක් වෙනුවෙන් ප‍්‍රතිපත්ති සම්පාදක කමිටු 10ක්

ජාතික විද්වත් සංවිධානය විසින් පසුගිය 14වැනිදා පවත්වන ලද ජාතික කතිකාවේදී රට රකින, රට හදන ජනතාවාදී පාලනයක් වෙනුවෙන් සකස් කෙරෙන ජාතික වැඩපිළිවෙළ සඳහා ක්ෂේත‍්‍ර දහයක ප‍්‍රතිපත්ති සම්පාදන කමිටු 10ක් පත් කරන ලදී. ශ‍්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීම, ආර්ථික, අධ්‍යාපන, සෞඛ්‍ය, කලාව හා සංස්කෘතිය, පරිසර, කෘෂිකර්ම ධීවර හා පශු සම්පත්, තොරතුරු තාක්ෂණය, ක‍්‍රීඩා, ප‍්‍රවාහන යන ක්‍ෂේත‍්‍ර සඳහා මෙම විද්වත් කමිටු දහය පත්කරන ලදී. මෙම කමිටු සඳහා සිංහල දෙමළ මුස්ලිම් ජාතිකත්වය නියෝජනය කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, නීතිඥයින්, කලාකරුවන්, ගොවි, ධීවර සමිති නායකයින්, වෘත්තීය සමිති නායකයින්, ව්‍යාපාරිකයින්, පරිසරවේදීන්, ප‍්‍රවීණ ක‍්‍රීඩකයින්, ගුරුවරුන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු විද්වතුන් වෘත්තිකයෝ ඇතුළත්ව සිටිති. මේ වැඩපිළිවෙළ සඳහා දේශපාලන පක්ෂයක් ලෙස දායක්ත්වය ලබාදීමට ජාතික විද්වත් සංවිධානයෙන් ජනතා විමුක්ති පෙරමුණට ආරාධනා ලැබී තිබේ. ඉදිරි මාස 06 ඇතුළත මෙම කමිටු 10 මගින් අදාළ ක්ෂේත‍්‍ර සඳහා ප‍්‍රතිපත්ති මාලාවක් සකස් කිරීමට ජනතා අදහස් ලබාගැනීම, වැඩමුළු සංවිධානය කිරීම ඇතුළු ක‍්‍රියාමාර්ග ගණනාවක් ගැනීමට නියමිතය. එම ප‍්‍රතිපත්ති පාදක කොටගෙන ජාතික වැඩපිළිවෙළක් එළඹෙන ජනවාරි මස එළිදැක්වීමට ජාතික විද්වත් සංවිධානය කටයුතු කරමින් සිටියි.

”අපේ රට අද දේශපාලන වශයෙන්, සමාජීය වශයෙන්, ආර්ථික හා සංස්කෘතික වශයෙන් බරපතළ පරිහානියකට පත්වී තිබෙනවා. ඒ ඒ ක්ෂේත‍්‍රවල විප්ලවීය පරිවර්තනයකින් තොරව අපේ රට ගොඩනගන්න පුළුවන් වෙන්නේ නැහැ. ව්‍යාජ දේශපේ‍්‍රමය වෙනුවට ඇත්තටම රට රකින බලවේගයක් නිර්මාණය කළ යුතුයි.” මෙහිදී ජවිපෙ නායකයා සඳහන් කළේය. කැළණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එස්.ජේ. යෝගරාජා මහතාගේ ජාතික සමගිය පිළිබඳ දේශනය සභාවේ විශේෂ අවධානයක් යොමු විය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති සිය කතාවේදී සඳහන් කර සිටියේ තමන්ගේ එක් අතක් ජනපවුරේ තබාගෙන අනෙක් අතින් මහාචාර්ය යෝගරාජාගේ අත ස්පර්ශ කරන්නේ ඔහුගේ අදහස්වලින් තමන් ඉතාම සංවේදී වූ බව පවසමිනි. මෙම ජාතික කතිකාව අවසානයේදී පැමිණ සිටි විශාල පිරිසක් රටේ අනාගතය පිළිබඳව ඉතාමත් බලාපොරොත්තු සහගතව තැන තැන කතා බහ කරමින්ද ජාතික විද්වත් සංවිධානයේ සංවිධායකයින්ට ස්තූති කරමින්ද සිය කෘතඥතාව පළකිරීම විශේෂ කරුණක් විය.

ජනතාව දැනුවත් කරන ජනහමු දසදහස ඇරඹෙයි

වර්තමානයේ පැන නැගී ඇති දේශපාලන තත්වයත් ඉදිරියේදී ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳවත් ජනතාව දැනුවත් කරන ජනහමු දසදහසක් පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණ කර තිබූ අතර එම ජනහමු මාලාව පසුගිය 15වෙනිදා ආරම්භ කරන ලදී. ‘රට රකින, රට හදන, ජනතාවාදී පාලනයක්’ යන තේමාවෙන් මෙම ජනහමු දසදහස ක‍්‍රියාත්මක වේ. මෙහිදී ඉදිරියේදී රට ගොඩනැගීමේ වැඩපිළිවෙළ සකස් කිරීම පිළිබඳවද ජනතාව සමඟ සංවාදයක් ගොඩනගා ගැනීමට ජවිපෙ තීරණය කර තිබේ. මෙම ජනහමු මාලාව ආරම්භ කිරීමත් සමඟ බොහෝ පිරිසක් ජනහමු සඳහා සහභාගිවීමට පෙළඹී සිටියි. ”ඇත්තටම මන්ත‍්‍රීතුමා ඡුන්දයක් නැති මේ වගේ වෙලාවක ඔබතුමාලා ජනතාවත් එක්ක දේශපාලන සංවාදයක් හදාගන්න එක වැදගත්. ඇත්තටම මිනිස්සුන්ට කිසිම බලාපොරොත්තුවක් නැතුව ඉන්නේ. අලූත් කණ්ඩායමක් එක්ක අලූත් වැඩපිළිවෙළක අවශ්‍යතාවයක් දැන් රටට තියෙනවා.” ගම්පහ ප‍්‍රදේශයේ පැවැති ජනහමුවකින් පසු විජිත හේරත් මන්ත‍්‍රීවරයා සමඟ ජනහමුවට පැමිණ සිටි ගුරුවරයෙකු කියා සිටියේය. ”අද වෙනකොට මේ ආණ්ඩුවත් අසමත් කියලා පෙන්වලා ඉවරයි. ආයෙත් අපේ රටට ගෝඨාද, මහින්දද, මෛත‍්‍රීද, රනිල්ද කියලා සංවාදයක් හදන්න සමහරු උත්සහ කරනවා. නමුත් ඇත්ත සාකච්ඡුාව හදන්න ඕනෑ රටට අලූත් වැඩපිළිවෙළක් හදන එක ගැනයි. අපි ඒක ආරම්භ කරලා තියෙනවා. ඒක හදන්නේ අපි විතරක් නෙවෙයි. රටේ උගත්තු බුද්ධිමත්තු, ක්‍ෂේත‍්‍රවල ප‍්‍රවීණයන් එකතුවෙලා ඒ වැඩපිළිවෙළ හදනවා. ඒ වෙනුවෙන් අපි දේශපාලන පරිපාලනය කරන්න සූදානම්. ඒ වෙනුවෙන් තමයි අපි මේ ජනතාව දැනුවත් කරන්නේ. ඒ වෙනුවෙන් ජනතාවටත් වගකීමක් තියෙනවා.” විජිත හේරත් කියා සිටියේය.

20 ගැන විජිත, වාසු කතාබහක්

මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ විසින් පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස ගෙනා 20වැනි ව්‍යවස්ථා සංශෝධනය මේ වනවිට ගැසට් කොට තිබේ. එය ඉදිරියේදී කතානායකවරයාගේ මැදිහත්වීමෙන් පවත්වනු ලබනු පක්ෂ නායක රැස්වීමකින් අනතුරුව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිතය.

මේ අතර නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් වැඩමුළුවක් පසුගියදා මොරටුව ප‍්‍රදේශයේදී පැවැති අතර ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් සහභාගිවී සිටියේ එම පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්ය. තවද එම අවස්ථාවට වාසුදේව නානායක්කාර, එම්.සුමන්තිරන් ඇතුළු දේශපාලඥයින්ද ගාමිණී වියන්ගොඩ ඇතුළු සිවිල් ක‍්‍රියාකාරීහු පිරිසක්ද පැමිණ සිටියහ. අනෙකුත් දේශපාලඥයින් නව ව්‍යවස්ථාව පිළිබඳව අදහස් පළ කළ අතර විජිත හේරත් මන්ත‍්‍රීවරයා විසින් 20වැනි සංශෝධනය පිළිබඳවද දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය. ”මන්ත‍්‍රීතුමා 20වැනි සංශෝධනය සම්මත වුණොත් වැඩි වාසිය තියෙන්නේ රනිල් වික‍්‍රමසිංහට නේද?” සභාවේ සිටි පුද්ගලයෙක් විජිත හේරත්ගෙන් ප‍්‍රශ්නයක් විමසීය. ”ඒක 20ට විරුද්ධ අය හදන කතාවක්. ඇත්තටම රනිල් වික‍්‍රමසිංහට පාඩුවක් වෙන්නේ. මොකද රනිල්ගේ අගමැති ධුරය මාස හතකින් අඩුවෙනවා 20 සම්මත වුණොත්. වැඩි වාසිය තියෙන්නේ මහින්ද රාජපක්ෂට. මොකද එතුමාට 20 සම්මත වුණාට පස්සේ අගමැති අපේක්ෂක වෙන්න පුළුවන්. ජනතාව ජනවරම දෙනවනම් ආණ්ඩුවේ නායකයා වෙන්න පුළුවන්. අද තියෙන තත්වය අනුව එතුමට රටේ නායකයා වෙන්නත් බැහැ ආණ්ඩුවේ නායකයා වෙන්නත් බැහැ.” විජිත හේරත් පැහැදිලි කළේය.

මේ අතර විජිත හේරත් සහ වාසුදේව මන්ත‍්‍රීවරයා අතරද 20 ගැන කතාබහක් ඇතිවිය. ”ඔබතුමාලා 20න් යෝජනා කරලා තියෙන්නේ 2020 පෙරවාරි මාසේ පාර්ලිමේන්තුව විසුරුවන්න. නමුත් අපිට යෝජනාවක් තියෙනවා පාර්ලිමේන්තුව ජනවාරි 08වෙනිදම විසුරුවන එක හොඳයි කියලා. පාර්ලිමේන්තුව විසුරුවලා භාරකාර ආණ්ඩුවක් යටතේ පාර්ලිමේන්තු මැතිවරණය තියමු.” වාසුදේව මන්ත‍්‍රීවරයා කියා සිටියේය. ”ඒ යෝජනාව ගැන අපිට කිසි ප‍්‍රශ්නයක් නැහැ. අපි යෝජනාවලට අවස්ථාව තියලා තමයි 20 හදලා තියෙන්නේ. සමහර දේවල් අපිට සාකච්ඡා කරලා සංශෝධනය කරගන්න පුළුවන්.” විජිත හේරත් කියා සිටියේය.

සහෝදරත්වයේ යතුරු පැදි සවාරිය 23දා

සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කරන සහෝදරත්වයේ දිනය වැඩසටහන් මාලාවේ අවසන් සංස්කෘතික උත්සවය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී 23වෙනිදා පස්වරුවේදී පැවැත්වීමට නියමිතය. ඊට සමගාමීව නගර හතරකින් යතුරුපැදි පෙළපාලි හතරක් කොළඹට පැමිණීමට නියමිතය. හලාවත ජයබිම, මහනුවර තැන්නේකුඹුර හන්දිය, රත්නපුර තිරිවානාකැටිය හන්දිය, ගාල්ල සමනළ උද්‍යානය යන ස්ථාන හතරෙන් එදින පෙරවරු 9.00ට යතුරුපැදි පෙළපාලිය ආරම්භ කිරීමට නියමිතය. එම අවස්ථාවට දේශපාලඥයින් ආගමික නායකයින්, කලාකරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විද්වතුන් වෘත්තිකයින් විශාල පිරිසකට ආරාධනා කොට තිබේ. ‘එක රටක මනු පවුරක්’ යන්න සහෝදරත්වයේ දින වැඩසටහන් මාලාවේ තේමාවයි. කළු ජූලියේ අමිහිරි අත්දැකීම් සිහිපත් කරවන ජූලි මාසය සහෝදරත්වයේ මාසයක් ලෙස නම් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමය මෙම වැඩසටහන් මාලාව ආරම්භ කරනු ලැබුවේ මීට වසර දහකට පමණ පෙර සිටය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් පැනනැගී තිබූ අතර එය මේවන විට ඔඩු දුවන තත්ත්වයකට පත් තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කර තිබූ නිවේදනයක් මගින් කියා තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයා බවත්ය. මේ ආරංචියත් සමඟ ඒකාබද්ධයේ පක්ෂ නායකයින් මෙන්ම මන්ත්‍රීවරුන්ද කලබලයට පත් ව තිබිණි. ඒකාබද්ධයේ ප්‍රබලයින් කිහිපදෙනෙකුම මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කර තිබූ අතර පසුව එය නිවැරදි කර ගැනීමට වහාම පියවර ගන්නා ලෙසද හිටපු ජනාධිපතිවරයාගෙන් ඔවුන් ඉල්ලා තිබේ. ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයාගේ අත්සනින් යුතුව විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය. එම නිවේදනයෙන් සඳහන් කර තිබුණේ හිටපු ජනාධිපතිවරයාගේ නමින් නිකුත් කර ඇත්තේ කූඨ ලේඛනයක් බවයි. මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් යොදමින් සඳහන් කර තිබුණේ තමාව ජනපති අපේක්ෂකයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නම්කර ඇති බවට දැක්වෙන මාධ්‍ය නිවේදනය අසත්‍ය නිවේදනයක් බවයි.

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් නිකුත් කල බව කියැවෙන, 2020 ජනාධිපති අපේක්ෂක ලෙස මා පත්කළ බව සඳහන්වන ව්‍යාජ මාධ්‍ය නිවේදනයක් සමාජ ජාලා හරහා පතුරවමින් තිබෙන අතර මෙය සම්පුර්ණ අසත්‍යක් වන බවටත්, ජනතාව නොමග යවමින් දේශපාලනික වශයෙන් ව්‍යාකුල තත්වයක් ඇතිකිරීමට යම් පාර්ශවයින් විසින් කරන ලද උත්සාහයක් බවටත් මා දන්වා සිටිමි“ යනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා එහි සඳහන් කර තිබේ.

ඒකාබද්ධයට ගිය ශ්‍රීලනිප කණ්ඩායම දැඩි කලකිරීමක

ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායම දැන් 15 දෙනාගේ කණ්ඩායමට බවට පත් වී තිබේ. ඒ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා යළිත් ආණ්ඩුවට කරණමක් ගැසීමේ සූදානමක් පවතින නිසාවෙනි. ඔහු මේ වන විටත් ඒකාබද්ධ විපක්ෂයේ කිසිදු රැස්වීමකට හෝ සාකච්ඡාවකට සහභාගී නොවේ. තවත් කාරණයක් වන්නේ ඒකාබද්ධයේ ඇතැම් තීන්දු තීරණ ගැන එම කණ්ඩායමේ ඇතැම් මන්ත්‍රීවරුන් දැඩි කලකිරීමකින් කටයුතු කරන බවයි. යහපාලන ආණ්ඩුවේ කටයුතු කළ මෙම කණ්ඩායමේ පිරිස වාසි ලබා ගැනීමේ අරමුණින් ඒකාබද්ධය සමඟ එක්වූ බවට ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පිරිස් චෝදනා කරයි. මේ නිසා එම ශ්‍රීලනිප කණ්ඩායමට විවිධ චෝදනා කරමින් අපහසුතාවයට පත් කරන තත්ත්වයට පත් කර ඇතැයි වාර්තා වේ. ප්‍රශ්න තිබෙන බවත් ඒවා විසඳාගැනීමට නොහැකි වුවහොත් දේශපාලනයෙන් ඉවත් වෙන බවත් ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයෙකු වූ ජෝන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.

පොහොට්ටුවේ ෆේස්බුක් හමුව

මහින්දට සහාය ලබාදෙන අන්තර්ජාල ක්‍රියාකාරීන්ගේ හමුවක් බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේදී පැවැත්විණි. එයට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්ද එක්ව සිටියහ. “මම අවුරුදු දහයක් මාධ්‍ය ඇමැති වෙලා හිටියා. ඒ වගේම මාධ්‍ය ප්‍රකාශක වෙලත් හිටියා. හැබැයි ෆේස් බුක් එකේ වටිනාකම තේරෙන්නේ දැන් තමයි” කෙහෙළිය කීවේ එතැන සිටි අය සිනා ගන්වමිනි. “ඒ වුණාට ඔබතුමා ෆේස් බුක් එකේ ඉන්නවානේ” අන්තර්ජාල ක්‍රියාකාරීහු පැවැසූහ. “මගේ ෆේස් බුක් එක කරන්නේ කවුද කියලවත් මම දන්නේ නෑ. මගේ ඔෆිස් එකේ ඉන්න කට්ටියක් තමයි ඕක කරගෙන යන්නේ” කෙහෙළිය කීවේය. “අපි දන්නේ ඉතිං ෆේස් බුක් එකේ ඇඟිල්ලෙන් උඩට පහළට යන්න විතරයි” රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාද තමන්ගේ අන්තර්ජාල දැනුම කියා සිටියේය. “මහින්ද මහත්තයා වෙනුවෙන් ක්‍රියාත්මක වෙන ෆේස්බුක් කණ්ඩායම් මීට වඩා පුළුල්ව ක්‍රියාත්මක වෙන්න ඕන. ආසන මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් දේශපාලන නියෝජිතයින් එකතුවෙලා ෆේස් බුක් හරහා ජනතාව අතරට යන ප්‍රායෝගික වැඩපිළිවෙළක් අපි හදන්න ඕන” ප්‍රසන්න යෝජනා කළේය.
“මෙතැන ඇවිත් ඉන්න අයට අදහස් දැක්වීමටත් අපි අවස්ථාවක් දෙන්න ඕන. තමන් හඳුන්වා දෙනකොට ෆේස් බුක් එකේ ඉන්න ඇත්ත නමයි බොරු නමයි දෙකම කියලා හඳුන්වලා දෙන්න” බැසිල් කීවේ ෆේස් බුක්හි බොරු නම්වලින් සිටින අයත් හඳුනාගැනීමේ අවශ්‍යතාව පෙන්වා දෙමිනි.

මහින්ද - ජවිපෙ මන්ත්‍රී හමුවක්

හම්බන්තොට හිටපු මන්ත්‍රී වී.කේ. ඉන්දිකගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මහින්ද ගියේ චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමගය. මහින්ද එහි යන විට යූ.ඩී.ජී, ආරියතික පළාත් ඇමැතිවරයාත් නිහාල් ගලප්පත්ති ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයාත් එහි පැමිණ සිටියහ. “ආ.. ආරි, මොකද වෙන්නේ” මහින්ද ඇසුවේ ආරියතිලකගෙනි. “ඉන්නවා සර්. වෙන දේ දන්නේ නම් සර්ලා තමයි”ආරියතිලක කියන විට මහින්ද හැරුණේ අසල සිටි නිහාල් ගලප්පත්ති මන්ත්‍රීවරයා වෙතයට. “බලන්නාකෝ නිහාල්. මොකද වෙන්නේ කියලා මම ආරිගෙන් ඇහුවම වෙන දේ දන්නේ අපි කියලා කියනවා. මෙයාලා ආණ්ඩුවේ ඉන්නවා නම් වෙන දේ දැනගෙන ඉන්න එපායැ. මට පේන විදිටය නම් ආණ්ඩුවේ අයත් දැන් වෙන දේවල් දන්නේ නෑ වගේ”මහින්ද කීවේ නිහල් ගලප්පත්ති සමග සුහද කතාවක් කරමිනි.

ගෝඨා ගැන වාසුගෙන් දේශපාලන බෝම්බයක්

මේ අතර ඒකාබද්ධයේ පක්ෂ නායකයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ වතමත් ආණ්ඩුව පෙරළා දැමීම අත්‍යාවශ්‍ය වුවද එය ඉතා පහසුවෙන් සිදු කළ නොහැකි බවත් එය සිදු කළ හැක්කේ යම් ක්‍රියාදාමයකට අනුව බවත්ය.

එය සිදු කිරිමට නම් ප්‍රධාන වශයෙන් රටේ ජනතාවගේ ප්‍රබල ආණ්ඩු විරෝධයක් තිබිය යුතු බවත් පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට තිබෙන බහුතර බලය අඩු කළ යුතු බවත් ඒ මහතා පෙන්වා දුන් අතර එය ඉටු කරගැනිමට නම් එකාබද්ධ විපක්ෂය කරා පැමිනෙන සෑම පුද්ගලයෙකු සමඟම එක අරමුණක් ඇතිව වැඩ කටයුතු කළයුතු වන අතර ඒකාබද්ධ විපක්ෂයේ දැනට සිටින මන්ත්‍රිවරුන් සියළුදෙනාම එකමුතුව ක්‍රියා කල යුතු බවද කියා සිටියේය.

එමෙන්ම 2020දි ඒකාබද්ධය නියෝජනය කරමින් ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන් ජනතා හිතවාදි පුද්ගලයෙකු විය යුතු බවත් ඒ සඳහා සුදුසු වන්නේ හිටපු කතානායක නායක චමල් රාජපක්ෂ මහතා පමණක් බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය. ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් තමන්ට කිසිදු විරුද්ධත්වයක් නොමැති බවත් ඔහු පිටුපස සිටි මිලිටරිවාදි පාලනයකට පක්ෂපාති පිරිස ඉතා භයානක බවත් වාසුදේව නානායක්කාර මහතා පැවසී ය. එම පිරිස සූදානම් වන්නේ ඉතාම තද ජාතිකවාදී මිලිටරි ආණ්ඩුවක් හදා ගන්න යයිද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා දේපාලඥයෙකු නොවන බවත් ඔහුට සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මතවාදයක්ද නැති බවත් පවසන මන්ත‍්‍රීවරයා ඔහු හුදෙක්ම හමුදා නිලධාරියෙක් පමණක් යයිද ඔහු කියා සිටියේය.

රනිල්ට හොරෙන් කිරිඇල්ල ලන්ඩන් ගිහින්

රනිල් ලංකාවට පැමිණි පසුව පාඨලී චම්පික රණවක ඇමැතිවරයාත් රෝහිත බෝගොල්ලාගම නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාත් අරලියගහ මන්දිරයට කැඳවා තිබුණේය. ඒ ත්‍රිකුණාමලය සංවර්ධන සැලැස්ම ගැන සාකච්ඡා කිරීමටය. චීන සමාගමක් එම සංවර්ධන සැලසුම සකස් කර තිබුණ අතර එයට දෙමළ සන්ධානයේ ආර්. සම්බන්ධන්ද සම්බන්ධ කරගැනීම රනිල්ගේ සැලසුම විය. ඊට හේතුවූයේ ඔහු තිරිකුණාමලය දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු වීමය. “කොළඹ, දකුණු තීරය, නුවර - කුරුණෑගල තීරුව සහ ත්‍රිකුණාමලය කේන්ද්‍ර කරගෙන සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. උතුරටත් ඉක්මනින්ම සැලසුමක් ක්‍රියාත්මක කරනවා” රනිල් පැහැදිලි කළේය. ඒ අතර නැගෙනහිර සංවර්ධන කටයුතු ගැනත් රනිල් බෝගොල්ලාගමගෙන් විමසුවේය. “එදා මම කටුනායක, කොග්ගල, බියගම, සීතාවක කර්මාන්තපුර ඇති කළා. මේ අත්දැකීම අනුව රට පුරා කර්මාන්ත ඇරැඹීමට වැඩසටහනක් අවශ්‍යයි” රනිල් කීවේය. “මමත් ඒ කටයුතුවලට සම්බන්ධ වුණානේ සර්. මම සර්ගේ වැඩපිළිවෙළට ලබාදිය හැකි උපරිම සහය දෙන්නම්” බෝගොල්ලාගම සහතිකයක් දුන්නේය.

එම සාකච්ඡාවෙන් පසුව රනිල් හමුවීමට පැමිණ සිටි ඇමැතිවරුන් කිහිපදෙනකු රනිල් සිය නිල කාමරයට කැඳවූවේය. ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා රනිල් හමුවීමට පැමිණ සිටි අතර පසුගිය දිනවලදී පාර්ලිමේන්තුවේ මෙන්ම කැබිනට මණ්ඩලයේදීද ඔහු දක්නට නොලැබිම ගැන රනිල් විමසුවේය. “ලක්ෂ්මන් ලන්ඩන් ගියේ පුද්ගලික සංචාරයකටද?” රනිල් විමසුවේ ඔහු විදේශ ගතවීමට පෙර හමු නොවීම නිසාය. “නෑ. සර්. ලන්ඩන් තේම්ස් විහාරය කරපු ආරාධනයකට තමයි මම ගියේ. අද රටේ ජනතාවට පූර්ණ නිදහස තියෙනවා. මානව හිමිකම් ආරක්ෂා වෙනවා. මම මේවා ගැන ලන්ඩන්වල ඉන්න අපේ රටේ අය දැනුවත් කළා” කිරිඇල්ල තමන්ගේ ලන්ඩන් සංචාරය ගැන කරුණු ඉදිරිපත් කළේය. “දැන් කුඩු හා පාතාලය වගේම මිනීමැරුම් වැඩිවෙලා කියලයි මාධ්‍යයේ කියන්නේ. ඒත් නිල වාර්තා අනුව රාජපක්ෂලාගේ කාලයට වඩා ඒවා අඩුවෙලා. දැන් එන කුඩු අල්ලන නිසා අඩුවෙලා. ඒ නිසා කුඩු වෙළෙන්දෝ ඔවුන් මරාගන්නවා. ඔවුන්ට මරණ දඬුවම දීම ගැන එක්සත් ජාතික පක්ෂය තීරණයක් ගන්න ඕන” එතැනට පැමිණ සිටි විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා පැවැසුවේය. “දැන් අළුගෝසුවෝ නෑ. මරණ දඬුවම පැනෙව්වත් ජේ.අර්.ගේ කා‍ලේ ඉඳලා ඒවා ක්‍රියාත්මක කරන්නේ නෑ. මහින්දගේ කා‍ලේත් නෑ. ජාත්‍යන්තර තත්ත්වය හා මානව හිමිකම් ප්‍රශ්නත් අපි බලන්න ඕන. ඒවා බලලා අපි තීන්දුවක් ගන්න ඕන. කුඩු මර්දනය කරන එක වේගවත් කරනවා” රනිල් පැහැදිලි කළේය.

Rate this item
(2 votes)
Last modified on Saturday, 21 July 2018 13:30