May 19, 2024

ඇමති අජිත් පී පෙරේරාගේ සහෝදරයාගේ කුඹුරුගොඩ කිරීමට එරෙහි වු බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම්ට ස්ථාන මාරුවක්

බණ්ඩාරගම ආසනයේ එජාප සංවිධායක රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතාගේ සහෝදරයෙකු විසින් සිදුකළ කුඹුරු ඉඩමක්  ගොඩ  කිරීමකට නීතිය ක්‍රියාත්මක කළ බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් සුජානි මහේෂා සිල්වා මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දී තිබේ.

ඒ අනුව බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් සුජානි මහේෂා සිල්වා මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි කළුතර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ස්ථාන මාරු කර ඇත.

කළුතර දිස්ත්‍රික් ලේකම් යු.ඩී.සී.ජයලාල්ගේ අත්සනින් යුතු 2018.07.16 දිනැති DSK/ADM/2/5/1 දරණ ලිපිය මගීන් ස්ථාන මාරුව සිදු කර ඇත.

බණ්ඩාරගම ආසනයේ එජාප සංවිධායක අජිත් පී පෙරේරා අමාත්‍යවරයාගේ සහෝදරයෙකු විසින් බණ්ඩාරගම - පානදුර මාර්ගයේ කුඹුරු ඉඩමක්  ගොඩ කර ඉන්ධන පිරවුම්හලක් සෑදීම සම්බන්දව පසුගිය දා බණ්ඩාරගම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී ඇති වු ප්‍රශ්නයක් මුල් කර ගනිමින් පලිගැනීම සදහා මෙම ස්ථානමාරු ලබා දී ඇති බව සේවකයින් අමාත්‍යවරයාට චෝදනා කරයි.

මෙම ප්‍රශ්නය මුල් කර ගනිමින් මේ වන විට බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන ලද ආර්ථික සංවර්ධන නිලධාරීවරයෙකු ඇතුළු රාජ්‍ය සේවකයින් ගණනාවක් මේවිට ස්ථාන මාරු කර ඇත.

තවද මෙම ස්ථාන මාරුකිරීමට අදාල කළුතර දිස්ත්‍රික් ලේකම් යු.ඩී.සී.ජයලාල් මහතාගේ අත්සනින් යුතු ලිපිය මුළුමනින්ම වැරදි බවත් ප්‍රාදේශීය ලේකම්ගේ නම පවා වැරදි ලෙස සදහන් කර එවා ඇති අතර ප්‍රාදේශීය ලේකම්වරියගේ ස්ථාන මාරුවීම් ලිපියේ සදහන් වන්නේ පත් කිරීමක් ලෙස බවත් සේවකයින් පෙන්වා දෙයි.

ප්‍රාදේශීය ලේකම්වරයෙකු පත්කිරීමේ බලය දිස්ත්‍රික් ලේකම්වරයෙකුට නොමැති බවද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් වෙත අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූවේ පසුගිය පළාත් පාලන මැතිවරණ සමයෙන් පසු මේ වන තෙක් බණ්ඩාරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම පවත්වා නොමැති බවත් එහි වගකීම දරන්නේ බණ්ඩාරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා බවත් ය.

බණ්ඩාරගම පානදුර මාර්ගයේ කුඹුරු ඉඩමක් ගොඩ කිරීම සම්බන්ධයෙන් කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදීද සාකච්ඡා කළ බවත් ඉන් පසු වැඩිදුර තොරතුරක් තමා නොදන්නා බවත් මන්ත්‍රීවරයා පැවසී ය.

අප මේ සම්බන්ධයෙන් අදහස් දැනගැනීමට කලුතර දිස්ත්‍රික් ලේකම්වරයාව දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ ගත්තද  එකී වෑයම නිශ්ඵල විය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 21 July 2018 12:31