May 19, 2024

දයාසිරිට යළිත් ඇමැති ධූරයක්! පොහොට්ටුවේ කොන්දේසියට පයින් ගැසූ දයාසිරිගේ සැලසුම හෙළිවෙයි

තමාට යළිත් ආණ්ඩුවේ ඇමැති ධූරයක් ලබා ගන්නැයි ඉල්ලීම් ගණනාවක් ලැබී ඇති බව හිටපු අමාත්‍ය, එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඒෂියන් මිරර් වෙත පැවසුවේය.

තමාට ඇමැතිධූරයක් ලබාදීමට ආණ්ඩුව තුළ කටයුතු සිදු කර තිබූ බවත් නමුත් තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටිමින් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට තීරණය කළ බවත් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

තමා ඒකාබද්ධ විපක්ෂය කිසිවිටෙක නියෝජනය නොකල බවත් එම කණ්ඩායම සමඟ තමාට වැඩ කළ හැක්කේ ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරයෙකු ලෙස වුවද ඔවුන් 16 කණ්ඩායමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) සාමාජිකත්වය ලබා ගන්නැයි ඉල්ලීම් කළ බවත් තමන් කිසිවිටෙක ශ්‍රීලනිපය හැර වෙනත් පක්ෂයක සමාජිකත්වය ලබා නොගන්නා බවත් හෙතෙම අවධාරණය කළේය.

තමා කවදාවත් දේශපාලනය තුල පුද්ගලයෙකු ලඟට ගොස් කටයුතු නොකළ බවත් මහින්දද? මෛත්‍රීදද? යන්න තමාට අදාල නැති බවත් තමන් තවමත් කටයුතු කරන්නේ ශ්‍රීලනිපයේ සාමාජිකයෙකු ලෙස බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා ශ්‍රීලනිපයේ සිටින ගමන් ඒකාබද්ධයේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කළ හැකි බවත් පක්ෂයේ භාගයක් ඉන්නේ හවුල් ආණ්ඩුවත් සමඟ බැවින් ඔවුන් ආණ්ඩුවෙන් එළියට ගෙන පොහොට්ටුවට හේත්තු නොවී පුළුල් සන්ධානයක් ගොඩ ගැනීම අරමුණ බවත් කියා සිටියේය.

ශ්‍රීලනිපයේ මහ ලේකම් ධූරය ලබා ගැනීමට පක්ෂය තුළ සහයක් හිමිවේද? යන්න අප කළ විමසීමකදී මන්ත්‍රීවරයා සඳහන් කළේ පක්ෂය තුළ කල්ලි කණ්ඩායම් බෙදීම් නොමැති බවත් පක්ෂයේ තීරණය මත ඒකමතිකව මහ ලේකම් ධූරය තමාට හිමිවුවහොත් පක්ෂය වෙනුවෙන් වැඩ කටයුතු කරන බවත්ය.

මේවන විට පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ ශ්‍රීලනිපයට ප්‍රජාතන්ත්‍රවාදය හිමිව තිබෙන බවත් ඒ අනුව පක්ෂය තුල ඕනෑම කෙනෙකුට සිය අදහස් දැක්විය හැකි බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා ගන්නා තීන්දු තීරණවලට අගමැතිවරයා සහ මුදල් ඇමැතිවරයා බාධා කරන බවට පසුගියදා එස්.බී දිසානායක හිටපු ඇමතිවරයා කළ ප්‍රකාශය ගැන විමසූවිට මන්ත්‍රීවරයා පැවසූවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුව හරි මාර්ගයට ගැනීමට උත්සාහයක් ගත් බවත් නමුත් අර්බුදයක් හදාගෙන ආණ්ඩුව ඉදිරියට යාමට සිදුවී ඇති බවත්ය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ඡන්දය දුන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට බැවින් මේවන විට පළාත් පාලන ආයතන අක්‍රීය වී ඇති බවත් එනිසා සම්පූර්ණයෙන් පළාත් පාලන ආයතන පරිපාලනය කඩා වැටී ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පසුගිය මැතිවරණයේදී දුන් ඡන්දය පිළිබඳ ජනතාව දැන් තේරුම් අරන් සිටින බවත් තම ඡන්ද බලප්‍රදේශය තුල ශ්‍රීලනිපයේ ප්‍රතිසංවිධාන කටයුතු සාර්ථකව සිදුකරමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Rate this item
(10 votes)
Last modified on Saturday, 21 July 2018 12:33