May 19, 2024

කරළියෙන් එහා: ජනපති, කැබිනට් මණ්ඩලය අතර රණ්ඩුවක් - මැති ඇමතින්ට බදු සහනයක්

මේ සතියේ දේශපාලන කරළිය උණුසුම් වීමට බලපෑවේ මරණ දඩුවම යළිත් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කිරීමත් සමගය. විජයකලාගේ කොටි ප්‍රකාශය, නිව්යෝක් ටයිම්ස් චෝදනා යටපත් කරමින් මරණ දඩුවම දැන් කරළියට පැමිණ තිබේ. පසුගියදා අඟහරුවාදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී බන්ධනාගාරය තුළ සිරකරුවන් ලෙස සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන සැකකරුවන්ට මරණ දඩුවම දිය යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කළ තිබූ අතර ඊට එකහෙලා සියලු ඇමැතිවරුන් අත උස්සා ඒකමතිකව සහය පළ කරද්දී ඊට විරුද්ධ වීමට ආණ්ඩුවේ ප්‍රබලයෙකු වන සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කටයුතු කර තිබිණි.

මෛත්‍රී පව් ගැන හිතමින් මරණ දඩුවමට අත්සන් තබයි

ඒ පිළිබඳ ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ගාම්භීර ප්‍රකාශයක් කරමින් පසුගිය බදාදා දිනයේදී මහනුවර ගැටඹේ කී‍්‍රඩාංගණයේ පැවති වැඩසටහනකට සහභාගී වෙමින් අවධාරණය කළේ මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමවී, දඬුවම් ලබමින් සිටියදීත් පුළුල් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ඉදිරියේදී ජනාධිපතිවරයා ලෙස තම අත්සන යොදන බවයි.

“ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විශේෂයෙන්ම මත් කුඩු, මත් පෙති නිසා නීතියට හසු වෙලා අධිකරණයෙන් දඬුවම් විඳින බව අපි දන්නවා. ඔවුන් අතර මරණීය දණ්ඩනය නියම වුණු අයත් ඉන්නවා. ඔවුන් හිර ගෙදර ඉඳලත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරනවා. රට පුරා මත්ද්‍රව්‍ය බෙදනවා. බෞද්ධ සමාජයේ ඒ පිළිබඳව බොහෝ වාද විවාද තිබෙන්න පුළුවන්. මරණීය දණ්ඩනය නියම වුණු අය මරණීය දණ්ඩනය දීම සඳහා අත්සන් කළ යුත්තේ ජනාධිපතිවරයා. ඒ නිසා මම ඇමති මණ්ඩලයට යෝජනාවක් ගෙනාවා මුළු සමාජයට රටට හෙට උපදින දරුවන් වෙනුවෙන් මම ඊයේ හවස් වෙන කොට අධිකරණ අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියා මත්ද්‍රව්‍ය නිසා මරණීය දණ්ඩනයට නියම වී, එසේ මරණීය දණ්ඩනයට නියම වීමෙන් පසුවත් පුළුල් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වෙලා ඉන්න අය සඳහා මරණීය දණ්ඩනයට අවසර ලබාදෙමින් මගේ අත්සන යොදන්න. මම හිතනවා මම පවක් කර ගන්නේ නැහැ කියලා. එහෙම නැතිව මේ රට හදන්න බැහැයි කියලා අපිට පේනවා. දඬුවම් මදි බව පේනවා. අපේ හාමුදුරුවෝ පූජකතුමාලා උදේ හවා බණ කියනවා. ධර්ම දේශනා කරනවා. අනුශාසනා කරනවා. උදේට නැගිටින කොට රෑට නින්දට යන කොටත් බණ ඇහෙනවා. මේ තරම් බණ අහන රටක් මේ තරම් බණ කියන රටක් ලෝකයේ නැහැ. නමුත් මේ විදියට අකටයුතු දේවල් කරනවා නම් ඒවට අවශ්‍ය තීන්දු තීරණ ගත යුතු වෙනවා.“ ජනාධිපතිවරයා කියා සිටියේය.

නව රාජ්‍ය ඇමැතිවරු දෙදෙනෙක්

ආණ්ඩුවේ තවත් ඇමැති පට්ටම් බෙදිල්ලක් ලිහා ගන්නට ජනාධිපතිවරයාට සිදුවිය. ඒ අනුව විද්‍යාත්මක ඇමැති මණ්ඩලයට තවත් රාජ්‍ය ඇමැතිවරු දෙදෙනෙකු පත් කළේය. ඒ අනුව නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලකී ජයවර්ධන මහතා සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජේ.සී. අලවතුවල මහතා පසුගිය 10 වනදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. ලකී ජයවර්ධන මහතා මීට පෙර කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර ජේ.සී. අලවතුවල මහතා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයාව කටයුතු කළේය.

මැති ඇමතින්ට බදු සහනයක්

ඇමැතිවරුන්ගේ හා නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ වාහන ඇතුළු අනෙකුත් දීමනා වලින් අය කළ බද්ද එක් වාහනයකට පමණක් සීමා කර ඇත. ඒ අනුව ඇමැතිවරුන්ට ලබාදෙන වාහන තුනක් වෙනුවෙන් එක් වාහනයකට රුපියල් 50,000 බැගින් රුපියල් 150,000ක්ද රියදුරු දීමනා ලෙස රුපියල් 75,000ක් ද ඉන්ධන දීමනාව ද ආදායම් ලෙස සලකා වැටුපට එකතු කර නව බදු සංශෝධනය යටතේ විශාල මුදලක් වැටුපෙන් අඩුකර තිබේ. මේ පිළිබඳව ඇමැතිවරුන් රැසක් විරෝධය පළකර තිබූ අතර ඒ අනුව මෙම තීරණය ගෙන ඇතැයි ද වාර්තා වේ.

රට ගොඩනගන ජාතික වැඩපිළිවෙළට ආරම්භයක්

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමක් පසුගිය 10වැනිදා බත්තරමුල්ල පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී රටේ වත්මන් දේශපාලන අර්බුදකාරීත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය. මේ අතර ජාතික විද්ත්වත් සංවිධානය විසින් 14වැනිදා පවත්වන ජාතික කතිකාව පිළිබඳවද ජවිපෙ නායකයින්ගේ අවධානය යොමු විය. එම ජාතික කතිකාවේ කොටස්කරුවෙකු ලෙස ජනතා විමුක්ති පෙරමුණද සිය දායකත්වය ලබාදෙමින් සිටී. ”අද අපේ රටට හැම අතින්ම පිරිහිලා. ආර්ථික අර්බුදය පමණක් නෙවෙයි සමාජ අර්බුදය දේශපාලන අර්බුදය දිනෙන් දිනම බරපතළ තත්වයකට පත්වෙනවා. ආණ්ඩුවට කිසිම දෙයක් ගැන අවබෝධයක් නැහැ. යන්නේ කොහොද කියලා ආණ්ඩුවේ ඇමතිවරු තියා ජනාධිපති අගමැතිවත් දන්නේ නැහැ. එදා වේල මොකක් හරි කරගෙන ඉන්නවා.” විජිත හේරත් කියා සිටියේය. ”රටේ ණය අර්බුදය වගේම වගේම ජනතාව විදියට විවිධ ණය උගුල්වල පැටලිලා. ජීවන වියදම දිනෙන් දින ඉහළ යනවා. දරුවන්ගේ අධ්‍යාපනයට වියදම් කර ගන්න තමන්ගෙ ලෙඩට දුකට බේතක් ගන්න ජනතාවට හැකියාවක් නැහැ. ඒ මදිවට මාර්ග අනතුරු, කොල්ලකෑම්, ස්ත‍්‍රී දූෂණ, ඝාතන, පාතාල ක‍්‍රියාකාරකම් ගහන රටක් බවට පත්වෙලා. මේ කිසිවකට ආණ්ඩුවට උත්තර නැහැ. මේ විදියට රටකට ඉස්සරහට යන්න පුළුවන්කමක් නැහැ. පුදුම ඛේදවාචකයක රට තියෙන්නේ.” අනුර දිසානායක කියා සිටියේය. ”දැන් මේ ආණ්ඩුවලින් ජනතාවට දිනාගන්න දෙයක් ඉතිරි වෙලා නැති තරම්. මහින්ද, රනිල්, මෛත‍්‍රී මේ කවුරු රට පාලනය කළත් අර්බුදයට උත්තර ලැබෙන්නේ නැහැ. සමහරු හිට්ලර් ඉල්ලනවා. තවත් සමහරු ප‍්‍රභාකරන් ඉල්ලනවා. මේ කවුරු ආවත් යන්නේ පරණ පාරේම තමයි. ඒ නිසා ජනතාවට රෝග නිධානය හොයාගන්නම වෙනවා. ජනතාවට ඒක තනියෙන් කරන්න බැහැ. අපි මේකට අලූත් පියවරක් තියන්න ඕනෑ. ඒකට හොඳම පියවරක් තමයි 14වැනිදා ජාතික කතිකාව.” බිමල් රත්නායක කීවේය.

“ඔව්, මේ කතිකාව මිනිස්සු අපෙන් බලාපොරොත්තු වුණා. අලූත් වැඩපිළිවෙළක් රටට ඕනෑ. ඒක දේශපාලන පක්ෂයක පමණක් වැඩක් විය යුතු නැහැ. විද්වතුන්, වෘත්තිකයින්, කලාකරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෘත්තීය සමිති, ගොවි, ධීවර සමිති නායකයින් මේ සියලූ දෙනා එක තැනකට එකතු වෙන්න ඕනෑ. සමහරු හිතාගෙන ඉන්නේ රට ගොඩනගන එක දේශපාලඥයින්ගේ වැඩක් කියලා. ඒ නිසා ජාතික විද්වත් සංවිධානය රට ගොඩනගන වැඩපිළිවෙල සකස් කිරීමේ ක‍්‍රියාමාර්ගයට දේශපාලන පක්ෂයක් ලෙස අපිට ආරාධනා කළ එක වැදගත්. අපි මේ වෙනුවෙන් සම්පූර්ණ සහායෝගය ලබාදීලා මේ වැඩපිළිවෙළ රට දිනවන වැඩපිළිවෙළක් බවට පත්කරන්න ඕනෑ. විද්වතුන්, වෘත්තිකයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් බොහෝ පිරිසක් දැන් රටේ අර්බුදකාරී තත්වය තේරුම් අරගෙන සක‍්‍රීයව වැඩපිළිවෙළක් හදන ක‍්‍රියාවලියකට සම්බන්ධ වීම ඉතාම වැදගත්. 14වැනිදායින් පස්සේ මේ ජාතික කතිකාව ගමට ගෙනියන්න ඕනෑ. සැබෑ දේශප්‍රේමය ගැන රට හදන එක ගැන ජාතික සමගිය ගැන සමාජගත වෙලා තියෙන්නේ වැරදි මත. සමහරු දේශපේ‍්‍රමය විකුණාගෙන තමන්ගේ බඩ වඩාගන්නවා. හැමදාම රට හදනවා කියලා පම්පෝරි ගහනවා. ඒ නිසා මේ දේවල් ජනතාව සමඟ මුහුණට මුහුණ කතාබහක යෙදෙන්න ඕනෑ.” සුනිල් හඳුන්නෙත්ති කීවේය. ”ඔව් අපි මේ සංවාදය 15වෙනිදා ඉඳලම ගම්මට්ටමට ගෙනියන්න ඕනෑ. ජනහමු, ගෘහස්ත සාකච්ඡා, විද්වත් සාකච්ඡා විදියට ගම්මට්ටමට ගෙනියන්න ඕනෑ.” ටිල්වින් සිල්වා යෝජනා කළේය. ඒ අනුව ජවිපෙ 15වැනිදා සිට රට රකින, රට හදන ජනතාවාදී පාලනයක් මැයෙන් ජනහමු දසදහසක් රට පුරා පැවැත්වීමට තීරණය විය.

රටේ තියෙන්නේ ආණ්ඩුවක් නෙවෙයි රණ්ඩුවක්

දේශපාලන මණ්ඩල රැස්වීම අතරතුර ජවිපෙ නායකයින්ට දැනගැනීමට ලැබුණේ ඉන්ධන මිල ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවත් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් විශේෂ රැස්වීමක් එදින පස්වරුවේ පැවැත්වෙන බවත්ය. මේ සම්බන්ධයෙන්ද ජවිපෙ නායකයින්ගේ අවධානය යොමු විය. ”පහුගිය පස්වෙනිදා තෙල් මිල වැඩිකරනවා කිවුවාම ජනාධිපතිවරයා ඒකට විරුද්ධ වුණා. දැන් දවස් දෙක තුනක් යනකොට ජනාධිපති තෙල් මිල ඉහළ දාන්න කැමතිවෙනවා. මේ මොන විගඩමක්ද?” විජිත හේරත් කීවේය. ”ඇත්තටම අපේ රටේ දැන් ආණ්ඩුවක් නැහැ. තියෙන්නේ රණ්ඩුවක්. අගමැති ජනපති රණ්ඩු, ජනපති කැබිනට් මණ්ඩලය අතර රණ්ඩුවක්. මේ නිසා රටේ පාලනයක් නැහැ. ලෝක වෙළඳ පොලේ තෙල් මිල වැඩිවෙන කොට මෙහෙත් වැඩි කරන්න නම් ආණ්ඩුවක් ඕන නැහැ. කළු කඩ මුදලාලි කෙනෙක් හිටියාම ඇති. රටේ නායකයාටත් දැක්මක් වැඩපිළිවෙළක් නැති බව මේ දේවල්වලින් ඔප්පු වෙනවා.” ටිල්වින් සිල්වා කියා සිටියේය.

”ආණ්ඩුව මිල සූත‍්‍රයක් හැදුවා තෙල් මිලට. මුලදි කිවුවේ අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන් කියලා. නමුත් දැන් වැඩි වෙන එක වෙන්නේ. මේ විදියට මාස දෙකෙන් දෙකට තෙල් මිල වැඩිවෙන්න ගියොත් ජනතාවට මොකද වෙන්නේ. අනික මේ මිල සූත‍්‍රය මොකක්ද කියලා රට දන්නේ නැහැ. අපි ආණ්ඩුවට බලපෑම් කරන්න ඕනෑ මේ මිල සූත‍්‍රය හංගාගෙන ඉන්නේ නැතුව එළියට දාන්න කියලා. ඒ විතරක් නෙවෙයි ජනතාවගේ ආදායම වැඩි කරන්නත් ආණ්ඩුව සූත‍්‍රයක් හදලා දෙන්න ඕනෑ.” අනුර දිසානායක කියා සිටියේය.

”මැයි මාසේ මිල වැඩි කළා ආණ්ඩුවේ බදු වැඩි කරලා. නමුත් මේ වතාවේ ආණ්ඩුව හේතුවක් කියන්නේ නැහැ. ලෝක වෙළඳ පොලේ තෙල් මිල වැඩිවීමක් නැහැ. මාස දෙකෙන් දෙකට මිල සූත‍්‍රය පෙන්නලා වැඩි කරන්නයි ආණ්ඩුව හදන්නේ. මේ නිසා බස් ගාස්තු, ත‍්‍රීවිල් ගාස්තු, තේ එක, බත් පැකට් එක වගේම හැම නිෂ්පාදනයකම මිල වැඩි වෙනවා. ඒ නිසා ආණ්ඩුවට මේ විදියට අසාධාරණ වැඩ කරන්න දෙන්න බැහැ. අපි මේකට විරුද්ධව ලොකු විරෝධයක් පටන් ගන්න ඕනෑ.” ලාල්කාන්ත කියා සිටියේය. ඒ අනුව ජවිපෙ රට පුරාම සියලූ ප‍්‍රධාන නගරවලදී එළඹෙන 16 සහ 17 දෙදින ආණ්ඩුව විසින් තෙල් මිල ඉහළ දැමීමට විරෝධය පළකරමින් උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට තීරණය විය.

විග්නේෂ්වරන් හමුදාවට පාඩමක් උගන්වන්න යයි

ඊයේ (12) දින කිලිනොච්චි ඩිපෝ මන්සන්ධියේදී ආබාධිත වූවන් වෙනුවෙන් ඉදිවූ සංවර්ධන මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් කියා සිටියේ උතුරේ යුද හමුදාවට තමන්ගෙන් නොවිමසා කිසිදු තොරතුරක් ලබා නොදෙන ලෙසයි.

“මම කියන්න කැමතියි උතුරේ සියලුම රාජ්‍ය නිලධාරීන්ට යුද හමුදාව තොරතුරු ඉල්ලන්න ආවොත් දෙන්න එපා කියලා. එහෙම ඇවිත් තොරතුරු ඉල්ලුවොත් ඔබතුමාල එයාලට කියන්න උතුරු පලාත් ප්‍රධාන අමාත්‍යවරයා දැනුම් දීල තියෙන්නේ කිසිම තොරතුරක් එතුමන්ගෙන් විමසීමක් කරන් නැතුව දෙන්න එපා කියල තියෙන්නෙ කියලා. මගෙන් අහලා අවශ්‍ය තොරතුරු දෙන්නම් කියලා එයාලට කියන්න.“ යැයි සඳහන් කළ විග්නේෂ්වරන් මහතා තවදුරටත් කතා කරමින් කියා සිටියේ “ඒ වගේම මේ පලාත මධ්‍යම රජයෙන් එක පලානයක් සිද්ද වෙනවා පලාත් සභාවෙන් තවත් පාලනයක් සිද්ද වෙනවා. මේ දෙකටම අමතරව තුන්වනුව තවත් පාලනයක් විදිහට ආණ්ඩුකාරවරයාගේ පාලනයත් ඇවිල්ලා. මේ සියලු පාලනයන්ගෙන් අපහසුතාවයට පත්වෙන්නේ අපේ ජනතාවයි. මේ හේතු නිසා තමයි අපි මුල සිටම ෆෙඩරල් පාලනයක් ඉල්ලන්නේ මීට අමතරව ලංකාවේ පලාත් නවයෙම ස්වයං පාලනයකුත් අවශ්‍යයි කියලා ඉල්ලීමකුත් කරන්න ඕන.“ යනුවෙනි.

මෛත්‍රී බලයට ගෙන ආ සංවිධානයක් මෛත්‍රීට හරස් වෙයි

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත අහෝසි කරන්නැයි මෙරට ජනමාධ්‍ය සංවිධාන කලක් තිස්සේ කළ ඉල්ලීම නොතකා පුවත්පත් මණ්ඩලයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය දැඩි සේ හෙළා දකින්නේ යැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. නිදහස් මාධ්‍ය තහවුරු කිරීම සඳහා පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මැතිවරණ පොරොන්දු බරපතල ලෙස උල්ලංඝණයවීමක් මෙමගින් සිදුව ඇතැයි ද එම ජනාධිපතිවරණෙය් දී පොදු සංවිධාන එකතුව ජනාධිපතිවරයා සමඟ ඇති කරගත් එකඟතාවෙහි ප්‍රධාන කොන්දේසියක් වූයේ පුවත්පත් මණ්ඩල පනත අහෝසි කිරීම යැයි ද එය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොදු අපේක්ෂකයා වෙත ඉදිරිපත් කළ ප්‍රධාන නිර්දේශයක් යැයි ද එම නිවේදනයේ සඳහන් විය.

එනිසා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තම පාර්ශවයෙන් එම එකඟතා කඩකළ අවස්ථාවක් ලෙස මෙම පියවර හැඳින්වීමට සිදුවන්නේ යැයි ද මෙම පනතෙහි අනුචිතභාවය හා පසුගාමීත්වය පිළිබඳ තමන් දිගින් දිගටම කරුණු දක්වා ඇති පරිදි තවදුරටත් මේ පිළිබඳව සමාජය දැනුම්වත් කරමින් හා මාධ්‍ය සමාජයෙහි මීට එරෙහි හඩ තවදුරටත් ශක්තිමත් කරමින් පුවත්පත් මණ්ඩල පනත අහෝසි කිරීම දක්වා වන අරගලය ඉදිරියට ගෙන යාම සඳහා වන සිය අධිෂ්ඨානය යළි සපථ කරන්නේ යැයි ද එහි සඳහන් කර තිබිණි. සමාජ වගකීමක් සහිත මාධ්‍ය නිදහසක් සඳහා වන පුළුල් මාධ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක අවශ්‍යතාවය මෙම සිදුවීමෙන් තවදුරටත් තහවුරු වන්නේ යැයි ද ඒ සඳහා ඒකරාශී වන ලෙස මෙරට මාධ්‍ය ප්‍රජාවගෙන් හා ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි සියලු බලවේගවලින් ඉල්ලා සිටින්නේ යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

Rate this item
(8 votes)
Last modified on Saturday, 14 July 2018 12:47