May 19, 2024

“තව ටික කාලයයි“ - ඇමතිකම නැතිවූ රවී පිම්මකට සැරසෙයි!

තමාට ඇමැතිධූරයක් ලබාදීම ගැන කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවත් එවැනි තොරතුරක් හෝ තමා නොදන්නා බවත් හිටපු මුදල් ඇමැති, එජාප පර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඒෂියන් මිරර් වෙත පැවසුවේය.

මහ බැංකු නිලධාරීන්ට පමණක් දිගින් දිගටම චෝදනා එල්ල කිරීම ගැන අප කළ විමසීමකදී රවී කරුණානායක මහතා පැවසූවේ පසුගිය ආණ්ඩුවේ සිටි හොරු තවමත් මහ බැංකුවේ සිටින බවයි.

මේ වන විට උද්ධමනය වැඩිවී රුපියල දැඩි ලෙස බාල්දූ වී ඇති බවත් පෙන්වා දුන් මන්ත්‍රීවරයා සඳහන් කළේ මහ බැංකු නිලධාරීන්ගේ ක්‍රියාමාර්ග නිසා මේ තත්ත්වය උද්ගතව ඇති බවත් කියා සිටියේය.

එවැනි චෝදනා ලද නිළධාරීන් ඉවත් නොකර ඔවුන්ගේ සේවය ලබා ගත්තේ ඇයිදැයි කළ විමසීමේදී මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව තමා යටතේ නොතිබූ බවයි.

“තව ටික කාලයක් බලන් ඉන්නකෝ“ යැයි කියමින් මන්ත්‍රීවරයා දුරකතනය විසන්ධි කළේ ඇසූ ප්‍රශ්නවලින් ලිස්සා යමිනි.

ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවය වන්නේද එක්සත් ජාතික පක්ෂය වන අතර එහි නායකවරයා ලෙස කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මහතා වත්මන් අගමැතිවරයාය. එසේ තිබියදී හිටපු ඇමැති රවී කරුණානායක මහතා එජාපයේ ප්‍රබලයෙකු ලෙස ආණ්ඩුව විවේචනය කරමින් චෝදනා කරන්නේ මහ බැංකුවේ සිදුවූ සිද්ධීන්වලට තමාට වගකීම බාර ගත නොහැකි බවයි. ඒ අනුව රවී කරුණානායක මන්ත්‍රීවරයා ඔහු මුදල් ඇමැති ධූරය දරන සමයේ සිදුවූ සිද්ධින්වල වගකීම අගමැතිවරයා බාර ගත යුතු බවට නොකියා කියයි.

රවී කරුණානායක මන්ත්‍රීවරයා මුදල් ඇමැති ධූරය දරන සමයේ ශ්‍රී ලංකා මහ බැංකුව අයත්ව තිබුණේ අගමැතිවරයා ඇමැතිධූරය දරන ජාතික ප‍්‍රතිපත්ත හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේය.

Rate this item
(4 votes)
Last modified on Friday, 13 July 2018 17:01