May 20, 2024

කරළියෙන් එහා: මහින්ද එජාප ප්‍රබලයෙකු සමග සාකච්ඡාවක - වෙල්ගමට ඩිලාන්ට පොහොට්ටුවේ අප්‍රසාදය

විජයකලාගේ කොටි ප්‍රකාශයත් සමග පවතින දේශපාලන අර්බුදයට ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් විය. ඒ හේතුවෙන් දේශපාලන කරළියේ දැඩි උණුසුම්කාරී තත්වයක් හට ගෙන තිබිණි. මහින්ද පාර්ශවයට වාසි පිට වාසි ගෙනඑමින් ආණ්ඩුවේ ප්‍රතිරූපය තවත් පහලට ඇඳ දැමීමට තවත් පොටක් පාදා දී තිබුණේ එජාපයේම මන්ත්‍රීවරියක් වන රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් විසිනි. ප්‍රශ්න පිට ප්‍රශ්න ඇති මොහොතක ආණ්ඩුවේ නායකයින් දෙපලට එය තවත් මරාලයක් විය. මේ අතර ආණ්ඩුවේ අවුල යළිත් කරළියට ගෙන එමින් ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්විය. මීට පෙර ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට බාරදී තිබුණද ජනාධිපතිවරයා විසින් එම ඉල්ලා අස්වීමේ ලිපිය බාරගැනීම ප්‍රතික්ෂේප කර තිබිණි. පෞද්ගලික හේතුවක් නිසා එසේ ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කළද රජයේ ඇතැම් තීන්දු තීරණ පිළිබඳ කළකිරීමෙන් ඔහු තනතුරෙන් මෙපමණ ඉක්මනින් ඉල්ලා අස්වීමට හේතුවූ බව වාර්තා විය. කොන්දේ අමාරුවක් හටගෙන ඇති නිසා ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට බලපා තිබූ බවටද ආරංචි මාර්ග සඳහන් කළේය. හිටපු ජනපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයට පත්කිරීමට කටයුතු සූදානම් කර ඇත. මේ අතර නව ලේකම්වරයෙකු පත් කර ගැනීමට ජනාධිපතිවරයාට සිදුවිය. ඒ අනුව අමාත්‍යාංශ කිහිපයක ලේකම්ධුර දරා ඇති ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වූ උදය ආර්. සෙනෙවිරත්න මහතා පත් කිරීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කටයුතු කළේය. අද දිනයේම නව ජනපති ලේකම්වරයා වැඩ බාර ගත්තේය. උදය ආර්. සෙනෙවිරත්න මහතා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා වේ.

එක පිරිසක් හිට්ලර් - තව පිරිසක් ප‍්‍රභාකරන්

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් පසුගිය තුන්වෙනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ජවිපෙ නායක අනුර දිසානායක විදෙස් ගතවී සිටි බැවින් කණ්ඩායම් රැස්වීම පවත්වනු ලැබුවේ විජිත හේරත් මන්ත‍්‍රීවරයාගේ ප‍්‍රධානත්වයෙනි. මෙහිදී විශේෂයෙන් අවධානයට ගැනුණේ විජයකලා ඇමතිවරියගේ ප‍්‍රකාශයත් එම සතියේ පාර්ලිමේන්තුවට ගෙනඒමට නියමිත විගණන පනත පිළිබඳවත්ය.

”විජයකලා මහේෂ්වරන්ගේ ප‍්‍රකාශය රටේ ව්‍යවස්ථාව උල්ලංගනය කිරීමක්. ඒක කරන්නේ ජනාධිපතිවරයාගේ ජංගම සේවාවක උත්සවයකදී. ඒ විතරක් නෙවෙයි ඒ උත්සවයේ ස්වදේශ කටයුතු ඇමතියි, විදේශ කටයුතු ඇමතියි දෙන්නම ඉන්නවා. ආණ්ඩුවේ ඇමතිවරු ළඟ තියාගෙන මේ වගේ ප‍්‍රකාශයක් කරලත් පහුවදා දවල් වෙනකල් ආණ්ඩුව විදියට කිසිම කි‍්‍රයාමාර්ගයක් ගත්තේ නැහැ” බිමල් රත්නායක කියා සිටියේය. ”ඔව්, ඒ උත්සවය ආණ්ඩුවේ වැඩක්. ආණ්ඩුවේ ඇමතිවරු මේ වගේ ප‍්‍රකාශ කරන එක බරපතළයි. ඇමතිවරිය කළ ප‍්‍රකාශය ගැන එතන හිටපු සමහරු කතාවෙලා තියෙනවා. නමුත් ආණ්ඩුවේ ඇමතිවරු ඒ ගැන කිසිම කි‍්‍රයාමාර්ගයක් අරගෙන නැහැ. ඒ විතරක් නෙවෙයි ආණ්ඩුවේ ගෲප් මීටින් එකේවත් මේ ගැන කතා කරලා නැහැ. ඒ තරමට ආණ්ඩුව මේක සැහැල්ලූවෙන් අරගෙන තියෙන්නේ. ඒ නිසා මේ ගැන අපි විරෝධය පළකරන්න ඕනෑ. ඒ විතරක් නෙවෙයි එම සිදුවීමට අදාළව නීතිය කි‍්‍රයාත්මක කරන්න ආණ්ඩුවට බලපෑම් කරන්න ඕනෑ” විජිත හේරත් කීවේය. ”අද රටේ නීතිය කි‍්‍රයාත්මක වෙන්නේ නැහැ. කුඩු ජාවාරම්, මංකොල්ලකෑම්, මිනීමැරුම් ස්ත‍්‍රී දූෂණ මේ හැම එකක්ම වැඩිවෙලා. සමාජය පිරිහිලා. ආණ්ඩුව හැම අතින්ම බංකළොත් වෙලා තියෙන්නේ. ඒ නිසා සමහරු මේ ප‍්‍රශ්නය වෙන වෙන විදියට දකිනවා. කොටසක් හිට්ලර් ඕනැ කියනවා. තව කොටසක් ප‍්‍රභාකරන් ඕනැ කියනවා. මේ වගේ ප‍්‍රකාශවලට ඉඩ හැදෙන විදියට රට අරාජික කරලා තියෙන්නේ මේ ආණ්ඩුව” වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේය.

විගණන පනතට ජවිපෙන් සංශෝධන 16ක්

”ආණ්ඩුව මේ සතියේ විගණන පනත පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නවා. මේ විගණන පනත දින 100 වැඩපිළිවෙළ යටතේ එන්න තිබුණ එකක්. නමුත් දැන් කල් මරලා වෙනත් පාර්ශ්වවල බලපෑම නිසා තමයි ආණ්ඩුවට ගේන්න වෙලා තියෙන්නේ. නැතුව ආණ්ඩුව කැමැත්තෙන් ගේන එකක් නෙවෙයි.” විජිත හේරත් පැහැදිලි කළේය. ”ඇත්තටම මේ ආණ්ඩුව විගණන පනතේ අ`ඩු කඩලා තමයි ගේන්නේ. විගණකාධිපතිවරයාගේ බලතල අඩුකරලා. අධිභාර පැනවීමේ ප‍්‍රතිපාදන කප්පාදු කරලා. දඩ පැනවීම දුර්වල කරලා. අපි මුලින්ම විවිධ පාර්ශව සමඟ සාකච්ඡුා කරලා විගණන පනතක් සකස් කළා. පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් විදියට දැම්මා. නමුත් ආණ්ඩුව ඒකට ඉඩදුන්නේ නැහැ ඒක බලවත් එකක් නිසා. මේ ගැන උනන්දුව දක්වන බොහෝ පිරිසක් මාත් සමඟ සාකච්ඡා කළා. ඒ අයට උවමනාව තියෙනවා කොහොම හරි විගණන පනත සම්මත කරගන්න. නමුත් බලයක් නැති පනතක් සම්මත කරලා වැඩක් නැහැ.” විගණන පනත පිළිබඳව සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය. ”අපි පනතට සංශෝධන යෝජනා කරමු” නිහාල් ගලප්පත්ති යෝජනා කළේය. ”ඔව්, අපි මේ විගණන පනත බලාත්මක කරන ආකාරයේ සංශෝධන දාන්න ඕනෑ. ආණ්ඩුව ඒවා භාරගනීද නැද්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් මේ පනත රටට වැඩක් ඇති පනතක් වෙන්න නම් සංශෝධන ඉදිරිපත් කරන්නම වෙනවා.” බිමල් රත්නායක කියා සිටියේය.

ඒ අනුව සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා විසින් පස්වෙනිදා පෙරවරුවේදී විගණන පනතට සංශෝධන 16ක් සහිත ලියවිල්ලක් පාර්ලිමේන්තුවට බාරදෙන ලදී.

මරික්කාර්ගෙන් පත්තූ වූ දේශපාලන බෝම්බය

කෙසේ වෙතත් විජයකලාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කරළියට ගෙන ආවේ එජාපයේම කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්. මරික්කාර්ය. ඔහු විජයකලා විවේචනය කළ පසුව විපක්ෂය එය දිගින් දිගටම ඇද ගෙන යමින් දැඩි වාග් ප්‍රහාර දක්වා උණුසුම් තත්ත්වයකට මැති සබේ පත් විය. ඉතා උණුසුම්කාරී සිදුවීම් නිසා පසුගිය 03 වනදා සවස 2.30ට කල් තැබූ පාර්ලිමේන්තුව කරු ජයසූරිය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 04 වනදා දින දහවල් 1.00ට රැස්විය. කරු ජයසූරිය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව ප්‍රථමයෙන්ම කථානායකවරයා කියා සිටියේ ඊයේ මැති සබය තුළ ඇති වූ අශෝභනකාරී සිද්ධිය පිළිබඳව තමා දැඩි ලෙස කනගාටු වන බවයි. "පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙදෙනකු ඉතාමත් අශෝභන ආකාරයෙන් හැසිරුණා. මුළු පාර්ලිමේන්තුවම අපකීර්තියට පත් වන ආකාරයෙනුයි ඔවුන් දෙදෙනා හැසිරුණේ" යනුවෙන් කථානායකවරයා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙදෙනකු ගැන ප්‍රකාශ කළද ඔවුන් දෙදෙනාගේම නම් ප්‍රකාශ කළේ නැත. විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරිය සම්බන්ධයෙන් මතු කරන ලද ප්‍රශ්නයට පිළිතුරු ලබාදුන් කථානායකවරයා කියා සිටියේ එය මේ වන විට නීතිපතිවරයාට යොමු කර තිබෙන බවයි. "අපි හැම වේලාවෙම රටේ ඒකීයභාවය රකිනවා. එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් කරලා තියෙන්නේ. විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරියගේ කතාව දැනගත් පසුව මං මේ ගැන සොයා බැලුවා. මේ ගැන දේශපාලන කමිටුව රැස්වුණා. මේ ගැන විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරිය සමඟ සාකච්ඡා කළා. එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කරන්න මේ රටේ රණවිරුවන් ඇතුළු සියලුමදෙනා කැප වුණා" යනුවෙන් අගමැතිවරයා අදහස් දැක්වීය.

ඉන් පසුව ඒකාබද්ධ විපක්ෂයට යම් චෝදනාවක් එල්ල කිරීමටද අගමැතිවරයා අමතක නොකළේය. “එදා එල්.ටී.ටී.ඊ. සංවිධානයට ඕන වුණා මේ පාර්ලිමේන්තුව අකර්මණ්‍ය කිරීමට. එදා මේ ගැන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අනුරුද්ධ රත්වත්තේ මතහාගේත් එවකට හිටපු කථානායක කේ.බී. රත්නායක මහතාගේ අවධානයට ලක් කරන්න අපට හැකි වුණා. ඒ වගේ ඊයෙ දිනයේත් පාර්ලිමේන්තුව අකර්මණ්‍ය කිරීමේ ක්‍රියාවලියක් සිදු වෙන්න ගියා" යනුවෙන් අගමැතිවරයා ප්‍රකාශ කරනවාත් සමඟම ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ඝෝෂා කරන්නට වූහ. “600ක් පොලිස් නිලධාරීන් මරපු කරුණාට මේගොල්ලන්ගේ පක්ෂයේ උප සභාපතිකම දෙනවා. යුද්ධයට නායකත්වය ලබාදීපු සරත් ෆොන්සේකා හිරේ දානවා. මේගොල්ලන් කළේ එහෙමයි“ අගමැතිවරයා තරමක් උස් හඩින් ප්‍රකාශ කළේය.
“මෝඩ චූන් ගන්න හදනවා“ කියමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ඝෝෂා කරන්නට වූහ. "මේගොල්ලන්ට මෙහෙම කෑගහන්න දෙන්න එපා. ඔබතුමා තදින් ක්‍රියාත්මක වෙන්න" යනුවෙන්ද අගමැතිවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

එදින ඇති වූ උණුසුම පාර්ලිමේන්තුව ආරම්භයේදීම යම් මට්ටමකට එසේ පැවතුණත් එය වඩාත් තීව්‍ර වූයේ ඉන් ටික වේලාවකට පසුවය. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළේය. එම ප්‍රශ්නය මතු කරමින් අජිත් පී. පෙරේරා චෝදනා කළේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙදෙනකුටය. මෙම වරප්‍රසාද ප්‍රශ්නය අජිත් පී. පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට හඳුන්වාදී තිබෙන නව ආචාර ධර්ම පද්ධතියද අතේ තබාගෙන වීම විශේෂත්වයකි.

“පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කරමින් හඳුන්වා දුන් නව ආචාරධර්ම පද්ධතියේ 30, 31 හා 32 වගන්ති අනුව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවේ විනය උල්ලංඝනය කරලා තියෙන්නේ. කථානායකතුමාට තර්ජනය කරලා පහත් ආකාරයෙන් බැනවැදිලා සභාවේ කටයුවලට බාධා කරලා, සෙංකෝලය පැහැරගෙන මේ අය කටයුතු කරපු ආකාරය ඉතා අශෝභනයි. ඊයේ දින විවාදයට ගන්න නියමිතව තිබුණේ ජාතික ඖෂධ අධිකාරියේ රෙගුලාසි. ඖෂධ මිල සම්බන්ධයෙන් මෙය රටේ ජනතාවට ඉතාමත් වැදගත්. නමුත් එම විවාදය පවත්වන්න ඉඩ ලබාදුන්නේ නැහැ. විමල් වීරවංශ, ප්‍රසන්න රණවීර යන මන්ත්‍රිවරුන් ඇතුළු කණ්ඩායමක් තමයි මේ බාධා කිරීම් සිදු කළේ. මෙම බාධා කිරීම් නිසා මුළු දිනයක්ම පාර්ලිමේන්තුව කල් දාන්න සිදු වුණා. රුපියල් ලක්ෂ ගාණක පාඩුවක් සිදු වුණා. මේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ හැසිරීම නිසා මම ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සියලුදෙනාගේ වරප්‍රසාද උල්ලංඝනය වෙලා තියෙනවා. මෙම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට එරෙහිව වහාම විනය පියවර ගන්න" යනුවෙන් අජිත් පී. පෙරො රාජ්‍ය අමාත්‍යවරයා විසින් යෝජනා කරන ලදී. "ඒකට යෝජනාවක් ගෙන එන්න" කථානායකවරයා ප්‍රකාශ කළේය.

මේ සමඟම නැඟීසිටියේ ඒකාබද්ධ විපක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණවීරය. ඔහු කෑගසමින් රීති ප්‍රශ්නයක් මතු කිරීමට අවශ්‍ය බව පැවැසීය. නමුත් කථානායකවරයාගෙන් ඊට අවස්ථාවක් නොලැබුණු නිසා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු කිහිපදෙනකුම ප්‍රසන්න රණවීර වෙනුවෙන් අදහස් දක්වන්නට වූහ. "මගේ නම කියැවුණා. මට පිළිතුරු ලබාදෙන්න ඕන" යනුවෙන් දිගින් දිගටම රීති ප්‍රශ්නයක් මතු කරමින් ප්‍රසන්න රණවීර මන්ත්‍රිවරයාද දිගින් දිගටම කෑගසන්නට විය. "නම කියැවුණත් මේ වෙලාවේදී කතා කරන්න දෙන්න බැහැ. සභාවේ කටයුතුවලට ඊයේ බාධා සිදු වුණා. අද සභාවේ කටයුතුවලට බාධා කරන්න දෙන්න බැහැ" යනුවෙන් කරු ජයසූරිය කථානායකවරයා දැඩි ස්ථාවරයක සිටියේය.

"එහෙම කියන්න බැහැ. ගරු කථානායකතුමනි, ප්‍රසන්න රණවීර මන්ත්‍රිතුමාගේ නම කියැවුණා. ඒක නිසා ඒ මන්ත්‍රිතුමාට කථා කරන්න අවස්ථාවක් ලබා දෙන්න" යනුවෙන් මහින්දානන්ද අලුත්ගමගේ, රංජිත් ද සොයිසා යන මන්ත්‍රිවරු දිගින් දිගටම කථානායකවරයාගෙන් ඉල්ලා සිටියහ. මේ අවස්ථාවේදී අජිත් පී. පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු අතරද උණුසුම් වචන හුවමාරුවක් සිදු වුහ. "මීහරක්. ඇලෝසියස්ගේ මුදල්, හොර හැත්ත ගඳ ගහනවා, හොර" යන වචන මෙහිදී දැඩි උණුසුම්කාරී ආකාරයෙන් හුවමාරු විය. "හොර හැත්ත" යන වචනය ඉල්ලා අස්කර ගන්නා ලෙසට කථානායකවරයා විසින් කිහිප වතාවක්ම රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයාට දැනුම් දෙන ලදී. "ඒ ගොල්ලන් අපිටත් අපහාස කළා. ඒක නිසා මං ඉල්ලා අස්කරගන් නැහැ" රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයා කියා සිටියේය.

මහින්දට එජාප ප්‍රබලයෙකු ස්තූති කරයි

මේ අතර මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේ දහවල් 12.40ට පමණය. බත්තරමුල්ල ජයන්තිපුර නෙලුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ ප්‍රධාන දේශපාලන කාර්යාලයට ගොස් එහි පැවති උත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට පැමිණෙන ලෙසට ලැබුණු ආරාධනාවකට අනුව හිටපු ආරක්ෂක ලේකම්වරයා එහි ගොස් තිබිණි. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණෙන විට හිටපු ජනාධිපතිවරයා පිළිගැනීමට මහින්ද යාපා අබේවර්ධන, ගාමිණී ලොකුගේ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක් පැමිණ සිටියහ.

විදුලි සෝපානයට හිටපු ජනාධිපතිවරයා සමඟ ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චිද එක්විය. දෙදෙනාම එකම ගම් පළාතේ වූ බැවින් සුහදව කතාබස් කළ අතර දිලිප් වෙදආරච්චි, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ස්තුති කළේය. දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයා තංගල්ල නගර සභාවේ නගරාධිපතිවරයාය. පොසොන් පින්කම වෙනුවෙන් තංගල්ල නගර සභාව සංවිධාන කළ බත් දන්සලට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාද සහභාගි විය. එසේ බත් දන්සලට පැමිණීම ගැන දිලිප් වෙදආරච්චි රාජ්‍ය අමාත්‍යවරයා විසින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ස්තුති කරන ලදී. ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දිවා ආහාරය ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි මන්ත්‍රි භෝජනාගාරය වෙත ගමන් කළේය. තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක අතරමඟදී හිටපු ජනාධිපතිවරයාට මුණ ගැසුණේය. "ඔබතුමා මොරවක ඇවිල්ලා ගියා. මං හිටියෙත් මොරවක ගෙදර. තේ එකක්වත් බොන්න ඒවි කියලා මං හිතුවා" සාගල රත්නායක අමාත්‍යවරයා ඉතා සුහද ලෙස පැවැසීය. "මං මොරවක පන්සලක උත්සවයකට ආවේ. ආපහු ආපු වෙලාවක බලමුකෝ" යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සුහද ලෙස ප්‍රතිචාර දැක්වීය.

විජයකලාට උණ ගනී

කෙසේ වෙතත් පසුගිය සඳුදා යාපනයේදී කළ ප්‍රකාශයෙන් පසුව රාජ්‍ය ඇමැති විජයකලා මහේෂ්වරන් මහත්මිය බදාදා පස්වරු වනතෙක් කොළඹ පැමිණියේ නැත. එජාපයේ මැති ඇමැතිවරුන් මෙන්ම දේශපාලන හිතවත්තු ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැතිවරිය විමසීමට දුරකතන ඇමතුම් ලබා දී තිබිණ. එහෙත් ඉන් කරුණු කිහිපයකට හැර අදාල කතාවට පිළිතුරු දෙන්නට හෝ විජයකලා රාජ්‍ය ඇමැතිවරිය ඉදිරිපත් නොවූවාය. එනිසා එජාපයේ ප්‍රබල මැති ඇමැතිවරුන්ගේ රතුඑළි දල්වා තිබුණි. “ඇමැතිවරිය දුරකතනයට එන්නේත් නැහැ. එයා ගිනි පත්තු කරලා යාපනයට වෙලා ඉන්නවා. ඒවා නිවන්න වෙලා තියෙන්නේ අපට“ යැයි එජාප මන්ත්‍රීවරු පිරිසක් චෝදනා කළහ. මේ අතර එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනෙකු ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් වෙන වෙනම හමුවී විජයකලාගේ රාජ්‍ය ඇමැති ධූරය ඉවත් කරන ලෙස ඉල්ලීම් කර ඇතැයි ද වාර්තා පලවිය. ‘මේකෙන් අපට බේරෙන්න ක්‍රම දෙකයි තියෙන්නේ. එක්කෝ එතුමිය ඉල්ලා අස්විය යුතුයි. නැත්නම් අගමැතිතුමාගේ ඉල්ලීම පිට ජනාධිපතිතුමා එතුමිය ඉවත් කළ යුතුයි. එහෙම කළොත් පමණක් මේකෙන් අපට ගොඩ එන්න පුළුවන්’ යැයි එම ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනා අගමැතිවරයාටත් ජනාධිපතිවරයාටත් පවසා තිබිණ. මේ අතර පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඇති වූ ගාලගෝට්ටිය නිසා අගමැතිවරයාද යම් තීන්දුවක් ගෙන තිබිණ. අගමැති කාර්යාලය කිහිපවිටක්ම උත්සාහ කර යාපනයේ සිට රාජ්‍ය ඇමැතිවරිය දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් අගමැතිවරයාගේ පණිවුඩයක් ලබා දුන්නේය. ඒ අනුව ඇය ප්‍රකාශ කර ඇත්තේ උණ රෝගය වැළඳී ප්‍රතිකාර ගන්නා බවය. කෙසේ වෙතත් බදාදා පස්වරුවේ කොළඹ අරලියගහ මන්දිරයේදී අගමැතිවරයා හමුවීමට රාජ්‍ය ඇමැතිවරිය එකඟතාව පළ කර තිබිණ. අගමැතිවරයා හමුවීමෙන් පසුව මන්ත්‍රී විජයකලා සිය රාජ්‍ය ඇමැති පදවියෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා විය.

16 කණ්ඩායම ඉවරයි

ආණ්ඩුවෙන් ඉවත් වූ දහසයේ කණ්ඩායම ඉකුත් දා නිලවශයෙන් ඒකබද්ධ විපක්ෂයට එක්වුණේය. ඒ අනුව ඔවුන් රට වටේ සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමටද කටයුතු කළ නමුත් එය සාර්ථකත්වයට පත් නොවුණි. අවසානයේ දහසයේ කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂයට එකතුවිය. ඒ අනුව ප්‍රථමවරට එම මන්ත්‍රීවරු පිරිස ඉකුත් සඳුදා පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමටද සහභාගී වූහ. කෙසේ වෙතත් මේ පිරිස සම්බන්ධකර ගැනීම සම්බන්ධයෙන් ඒකාබද්ධයේ ඇතැම් පිරිස් එල්ල කරන විරෝධතා තවදුරටත් පවතින බවද පැවසේ. ලක්ෂ්මන් යාපා මන්ත්‍රීවරයා එම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී විශේෂ ඉල්ලීමක්ද කළේය. ‘තවදුරටත් අපට දහසයේ කණ්ඩායම කියන්න එපා. අපි දැන් ඒකාබද්ධ විපක්ෂයේ ඉන්නේ’ යැයි ලක්ෂ්මන් යාපා කී කතාවට ඒකාබද්ධ මන්ත්‍රීවරුන් කිසිවක් ප්‍රකාශ කර නොතිබිණි.

මේ අතර සඳුදා පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ජී.එල්. පීරිස් සහභාගී වූයේ නැත. ඔහු විදේශ සංචාරයකට ගොස් සිටියේය. ලක්ෂ්මන් යාපා, ජෝන් සෙනෙවිරත්න, චන්දිම වීරක්කොඩි ඇතුළු පිරිසක් එම රැස්වීමට ගියද දයාසිරි ජයසේකර ගොස් සිටියේ නැත. දයාසිරි ජයසේකර තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී වෙමින් කටයුතු කිරීමට සූදානමක් පවතී. ‘මම ශ්‍රීලනිපයේ ඉන්නවා. පක්ෂ කාර්යාල හදලා ශක්තිමත් කරලා පක්ෂය ගොඩදාන්න අපට පුළුවන්’ යැයි දයාසිරි ජයසේකර මීට ඉහත දී ප්‍රකාශ කර තිබිණ.
සඳුදා පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තවත් විශේෂ යමක් සිදුවූයේය. ඩිලාන් පෙරේරා සහ වෙල්ගම කරේ අත දාගෙන ගජමිතුරන් සේ රැස්වීම නිමවී එළියට ආවෝය. කුමාර වෙල්ගම හා ඩිලාන් පෙරේරා ඉකුත් කාලය පුරාම එකිනෙකාට චෝදනා එල්ල කර ගනිමින් දේශපාලන වශයෙන් මෙන්ම ඇතැම් විට කාන්තාවන්ගේ කතා සම්බන්ධකර ගනිමින් පෞද්ගලිකවද මඩ ගසා ගත්තේය. එවැනි තත්ත්වයක් තුළ හදිසියේ ඔවුන් දෙදෙනා ගජමිතුරන් වීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මෙන්ම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ටද පුදුමයක් වූවේය. ‘අපි යාළුවෝ. දේශපාලනයේ හැටි එහෙම තමයි’ ඩිලාන් සාධාරණීකරණය කළේය. එහෙත් ඩිලාන්ගේ හා වෙල්ගමගේ හැසිරීම පිළිබඳව ඒකාබද්ධයේ ඇතැම් පිරිස් අප්‍රසාදය පළකර තිබිණ. ‘වෙල්ගමගේ හැසිරීම හොඳ මදියි. අපි ඒ ගැන වෙනම බලන්න ඕනේ’ යැයිද ඒකාබද්ධ මන්ත්‍රීවරු පිරිසක් පැවසූහ.

ගෝඨා වෙනුවෙන් තවත් දේශපාලන සංවිධානයක්

මේ අතර පසුගිය අඟහරුවාදා මහින්ද පාර්ශවයේ විද්වතෙකු කොළඹ ලිබර්ටි ප්ලාසා හිතවත් රැස්වීමක් කැඳවා තිබිණ. මහින්ද රාජපක්ෂ කණ්ඩායමට එල්ලවෙන චෝදනා සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීම එම රැස්වීමේ අරමුණ වී තිබිණ. මහින්ද රාජපක්ෂ පාලනයට මේ වනවිට එල්ලකරන ප්‍රධාන චෝදනා තුනක් එහිදී සාකච්ඡාවට බඳුන් විය. මිහින් ලංකා චෝදනාව සම්බන්ධයෙන් එහිදී මන්ත්‍රීවරුන් දැනුම්වත් කළේ මිහින් ලංකා ආයතනයේ හිටපු ප්‍රධානී නිශාන්ත රණතුංගය. වරාය අධිකාරියේ හිටපු සභාපති ප්‍රියත් බන්දු වික්‍රමට පැවරී තිබුණේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළ වූ චෝදනාව හා සම්බන්ධ කරුණු පැහැදිලි කිරීමය. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු විධායක අධ්‍යක්ෂ කපිල චන්ද්‍රසේනට පැවරී තිබුණේ එම ගුවන් සේවයේ පාඩුව හා ඒ සම්බන්ධයෙන් රාජපක්ෂ ආණ්ඩුවට එල්ලවන චෝදනාවලට පිළිතුරු දීමටය. එහිදී කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න අසන්නට ද අවස්ථාක් ලැබී තිබිණ. මීළඟ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඒකාබද්ධය තුළ හා රාජපක්ෂ සහෝදරයන් අතර මත ගැටුමක් තිබෙන බවට විරුද්ධ දේශපාලනඥයෝ දිගින් දිගටම චෝදනා නගන්නට වූවෝය. බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ වෙන වෙනම දේශපාලන කටයුතුවල නිරතවීමෙන් ජනතාවටද බොහෝ අවස්ථාවල එම සැකය මතු වී තිබිණ. මේ අතර රාජපක්ෂවරුන්ට නැගෙන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දෙනවා වෙනුවට සහෝදරයන් හතර දෙනාම එකම වේදිකාවකට එක් කළ යුතු යැයි ඒකාබද්ධයේ ප්‍රබලයන් කිහිප දෙනෙකුම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට යෝජනා කර තිබූ අතර ඒ අනුව පසුගිය බදාදා බත්තරමුල්ල නෙළුම් මාවතෙහි පැවැති උත්සවයට බැසිල් ගෝඨා මෙන්ම චමල් ද පැමිණ සිටියහ. ගෝඨාභය රාජපක්ෂ බත්තරමුල්ලේ නෙළුම් මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂගේ දේශපාලන කාර්යාලයට ප්‍රථම වතාවට පැමිණියේ ඉකුත් බදාදා බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ. මීට පෙර ගෝඨාභය නෙළුම් මාවතට පැමිණ නැති බවද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සඳහන් කළහ.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ නායකත්වය ලබා දෙන ‘එළිය’ සංවිධානය රටපුරා සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමටද කටයුතු යොදා ඇතැයි වාර්තා වේ. රටේ වත්මන් තත්ත්වය සහ රටේ අනාගතය පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමට බව පවසමින් ‘හරිමඟ’ නමැති තවත් දේශපාලන සංවිධානයක් රටපුරා සම්මන්ත්‍ර මාලාවක් සූදානම් කර තිබේ. එහි ප්‍රථම සම්මන්ත්‍රණය පැවැත්වෙන්නේද ගෝඨාභය රාජපක්ෂගේ මූලිකත්වයෙනි. කොලොන්නාව රජමහා විහාරස්ථාන පරිශ්‍රයේදී එම සම්මන්ත්‍රණය පැවැත්වීමට කටයුතු යොදා තිබේ. නාලක ගොඩහේවා, සීතා අරඹේපොල සහ මේජර් කමල් ගුණරත්න එහිදී දෙසුම් පැවැත්වීමටද නියමිතය.

Rate this item
(5 votes)
Last modified on Friday, 13 July 2018 14:45