May 20, 2024

මත්තල විකිණීමට හොර රහසේ ඩීල් එකක්? ගිවිසුම් කාලය නෑ

ඉන්දීය රජයට සියයට 70ක කොටස් සහ ශ්‍රී ලංකා රජයට සියයට 30ක කොටස් ලැබෙන පරිදි ගිවිසුම සකස් කිරීමට සාකච්ඡා කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ඒෂියන් මිරර් වෙත පැවසුවේය.

ඒ සඳහා ඉන්දීය රජයේ නියෝජිතයින් සමඟ ඊයේ (04) දිනයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවත් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉන්දීය සහ ශ්‍රී ලංකා රජයන්ගේ ඒකාබද්ධ හවුල් ව්‍යාපාරයක් ලෙස ගුවන් සේවා හා මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමට එහිදී සාකච්ඡා කළ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉන්දීය රජයේ නියෝජිතයන් සමඟ ඒ සම්බන්ධයෙන් පැවැත්වූ මූලික සාකච්ඡා සාර්ථක මට්ටමක පවතින බවත් නමුත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගත් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

මත්තල ගුවන්තොටුපොළෙහි තක්සේරු කටයුතු සිදුකරගෙන යන බවත් මුළු තක්සේරු වටිනාකමෙන් 70%ක කොටස් ඉන්දීය රජය ලබාගත් පසුව ඊට අදාළව ඇමෙරිකානු ඩොලර් මිලියන 225ක් පමණ ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම හවුල් ව්‍යාපාරය සිදුකරන්නේ කොපමණ කාලයකටද යන්න පිළිබඳව මේ වනවිට සාකච්ඡා කළද අවසන් තීරණයක් නොගත් බවද කියා සිටියේය.

දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ තව දුරටත් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයට රජය පත්ව තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවත් ඔහු පැවසී ය.

මත්තල ගුවන්තොටුපොල ආරම්භ කළදා පටන් මේ දක්වා කිසිදු දිනක ලාබ ලබා නොමැති බවත් වසරකට කෝටි 100 බැගින් වසර 15ක ණය වාරිකයක් ගෙවීමට රජයට සිදුව ඇති බවත් මේ වන විට එම ණය වාරික ගෙවන්නේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොලෙන් ලැබෙන ආදායමෙන් බවත් නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

හොරෙන් සිදු කරන ඩීල් එකක්

මේ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් වෙත අදහස් දක්වමින් දූෂණ විරෝධි හඩ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවසූවේ මත්තල ගුවන්තොටුපොල ඉන්දියාවට ලබා දීමේ ගිවිසුම “හොරෙන් සිදු කරන ඩීල් එකක්“ බවයි.

පසුගියදා ඉන්දියානු සමාගම් සහ ඉන්දියානු රජයේ නිලධාරීන් මෙරටට පැමිණ ඊට මැදිහත්වෙමින් රටට හොරෙන් ඇති කර ගන්නා තවත් එක් ගිවිසුමක් බවත් මෙය දේශපාලන ගේම් වගේම දෙයක් බවත් සමරසිංහ මහතා සඳහන් කළේය.

පසුගිය සමයේ චීනය සතුටු කිරීමට හම්බන්තොට වරාය දුන් බවත් ඉන්දියාව සතුටු කිරීමට මත්තල ගුවන්තොටුපොල පවරාදීමට යන බවත් රටේ ණය වලින් ඉදිකර ඇති ආයතන ලාභ ලබන ආයතන බවට පත් කිරීම වෙනුවට හොරාට විකුණන වැඩක් සිදුකරන බවත් ඔහු කියා සිටියේය.

මේ ආණ්ඩුවට රටේ සමස්ත ණය වාරිකය ගෙවා ගැනීමට නොහැකි බවත් පසුගිය වසර දෙක තුන දිහා බැලුවද ආණ්ඩුව ණය වීම ඉදිරියටත් පවත්වාගෙන යන බවත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නවත්වපු තැනින් වත්මන් ආණ්ඩුව ඉදිරියට යන බවත් ඒ නිසා මේ වසරේදීත් රටේ ණය සහ පොලීය ගෙවීමට බිලියන 1950 අවශ්‍ය බවත් සමරසිංහ මහතා අවධාරණය කළේය.

හම්බන්තොට වරාය චීනයට පැවරූ පසු එම ණය ප්‍රමාණය අඩුවී නොමැති බවත් මේ ආණ්ඩුව සියලු රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමට යන බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය.

රටේ ආරක්ෂාව බරපතළ අනතුරක

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි සියලුම මෙහෙයුම් කටයුතුවලින් 70%ක කොටස් ප්‍රමාණයක් ඉන්දියාවට ලබාදීමට ආණ්ඩුව ක්‍රියාකිරීම ජාතික අපරාධයක් බවයි.
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉන්දියාවට ලබාදෙන්නේ ශ්‍රී ලංකාවට කිසිදු වාසියක් අත්වන ආකාරයකින් නොවන බවත් රටේ දේපළ කුණු කොල්ලයට විකුණා දමා එදා වේල පිරිමසා ගැනීම වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී තිබෙන බවත් හිටපු ජනාධිපතිවරයා පැවසී ය.

එකිනෙකාට එරෙහි රටවල් දෙකක් වන චීනයට හම්බන්තොට ජාත්‍යන්තර වරායත්, ඊට සැතපුම් කිහිපයක් ඈතින් පිහිටි මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉන්දියාවටත් ලබාදීමෙන් රටේ ආරක්ෂාව බරපතළ අනතුරකට පත්වන බවත් ඇතැම් විට මෙම රටවල් දෙක අතර ප්‍රබල ගැටුමක් ඇතිවීමටද මෙම තත්ත්වය බලපා හැකි බවට ජාත්‍යන්තර දේශපාලන විචාරකයන්ද පෙන්වා දෙන බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොල 2013 වසරේ ඉදිකළේ චයිනා එක්සීම් බැංකුවෙන් ලබාගත් ඇමෙරිකා ඩොලර් මිලියන 190 ක මුදලක් යොදවමිනි. 2013 වසරේ සිට මේ දක්වාම එම ගුවන් තොටුපොල පාඩු ලබන තත්ත්වයට පත්ව ඇති අතර 2013 වසරේ මත්තල ගුවන් තොටුපොලේ මුළු ආදායම කෝටි 4 කට ආසන්නයි.

එම වර්ෂයේ ගුවන් තොටුපොල ලැබූ මුලු අලාභය කෝටි 210 ඉක්මවා ඇත. 2014 වසරේ මුළු ආදායම කෝටි 13 ඉක්මවා ඇති අතර මුළු අලාභය ද කෝටි 272 ට අධිකයි. 2015 වසරේ මුළු ආදායම කෝටි 7 ඉක්මවා තිබේ. එහෙත් වසරේ මුළු අලාභය කෝටි 309 ක් බව කෝප් වාර්තාව සඳහන් කර තිබේ. 2016 වසරේ පළමු මාස හය තුළ මුළු ආදායම කෝටි 2 ඉක්මවා තිබුණ ද එම වසරේ මුළු අලාභය ද කෝටි 154 කට වැඩි බව එම වාර්තාවේ සඳහන් වේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 06 July 2018 17:02