May 21, 2024

ඒකාබද්ධයේ බලය වැඩිවෙයි! බැසිල්ගේ පොරොන්දුවක් මත 16 කණ්ඩායම අද සිට ඒකාබද්ධයට එක්වෙයි

ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායම අද(02) සිට ඒකාබද්ධ විපක්ෂය සමඟ කටයුතු කිරීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා ඒෂියන් මිරර් වෙත පැවසුවේය.

ඒ අනුව අද සවස 05.00ට ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් එහිදී දෙපාර්ශවය අතර පවතින ප්‍රශ්න, ගැටලු සාකච්ඡා කර විසඳුමක් ගන්නා බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂය සමඟ කටයුතු කරන්නේ ශ්‍රීලනිපයෙන් ඉවත්වීමෙන්ද? යන්න විමසූ විට සෙනෙවිරත්න මන්ත්‍රීවරයා පැවසූවේ ශ්‍රීලංකා නිදහස් පක්ෂය සමඟ ඉදිරියටත් කටයුතු කරන බවත් නමුත් ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කිරීම පිළිබඳ ප්‍රශ්නකාරී තත්ත්වයක් උද්ගතව ඇති බවත්ය.

ඒකාබද්ධ විපක්ෂය සමඟ කටයුතු කිරීමේදී කිසිදු කොන්දේසියක් නොදමන බවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පොරොන්දු වූ බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

මේ අතර අප ශ්‍රීලනිපයේ 16 කණ්ඩායමේ සාමාජිකයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාගෙන් කළ විමසීමකදී පැවසූවේ ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු 16දෙනා අද පස්වරු 04.00ට පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමට සහභාගී වන බවයි.
ශ්‍රීලනිපයේ සාමාජිකත්වය යටතේ ඒකාබද්ධ විපක්ෂයේ වැඩ කටයුතුවලට සහය දෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු කිරීමට ශ්‍රීලනිපයේ නායකයා වශයෙන් ජනාධිපතිවරයාගේ කැමැත්ත දුන්නාද?යන්න ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පැවසූවේ ජනාධිපතිවරයා විපක්ෂය සමඟ කටයුතු කිරීමට අවසර දුන් බවයි.

මේවන විට ආණ්ඩුව ගැන කළකිරීමක් ඇතිව තිබෙන බවත් දැන් ජනතාව ඉල්ලන්නේ වෙනසක් බවත් පෙන්වා දෙන චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා ජනතාවාදී ආණ්ඩුවක් බලයට ගෙන ඒමට සියලු දෙනා එක්ව කටයුතු කරන බවත් අවධාරණය කළේය.

නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය සමඟ කටයුතු කිරීමත් සමඟ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී ධුර ප්‍රමාණය අද සිට 70ක් දක්වා ඉහළ යයි.

මීට අමතරව ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් 10 දෙනෙකු ඉදිරි දිනවල තම කණ්ඩායම සමග එක්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ඒෂියන් මිරර් වෙ ප්‍රකාශ කළ අතර ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී ප්‍රමාණය 80 දක්වා ඉහළ යාමට නියමිතය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 03 July 2018 15:43