May 21, 2024

ආණ්ඩු පෙරළියට යන ඒකාබද්ධයේ අර්බුදයක්! මත ගැටුමක් නිසා බෙදීමක්!

ඒකාබද්ධ විපක්ෂය තුළ බරපතල මත ගැටුමක් ඇතිවී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙපිලකට බෙදී ගොස් ඇති බව වාර්තා වේ.

විශේෂයෙන් යහපාලන ආණ්ඩුව පෙරලා දමා ආණ්ඩු බලය ලබා ගැනීම, 2020 ජනපති අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳවත් ඒකාබද්ධ විපක්ෂය තුළ දැඩි මතභේදාත්මක තත්ත්වයත් හට ගෙන තිබේ.

ඒ අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ඉතා කඩිනමින් ආණ්ඩු බලය ලබා ගත යුතුය යන මතයේ සිටින අතර හදිසි බලය ලබා ගැනීමකට නොගොස් මැතිවරණයක් පැවැත්වෙන තෙක් සිට බලය ලබා ගත යුතු බවට හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ප්‍රකාශ කර ඇත.

තවද ඉදිරි ජනාධිපතිවරණයට පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යුතුය යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඇතුළු ඒකාබද්ධයේ පිරිසක් යෝජනා කළද තවත් පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනපති අපේක්ෂකයා කළ යුතු බවයි.

තවත් පිරිසක් සඳහන් කර ඇත්තේ චමල් රාජපක්ෂ මහතා ජනපති අපේක්ෂකයා විය යුතු බවයි. කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ හවුල්කාර පක්ෂයක නායකයෙකු වන වාසුදේව නානායක්කාර මහතා දැඩිව ප්‍රකාශ කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට තමන් දැඩි විරෝධය පළ කරන බවයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසූවේ ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළදී මැතිවරණයකට පෙරදී පරාජය කළයුතු නැත්නම් මහ මැතිවරණයකදී ආණ්ඩුව පරාජය කළ යුතුය යන කරුණ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය තුළ බෙදීමක් ඇති බවයි.

ඒෂියන් මිරර් කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා සඳහන් කළේ විශාල ගැටලුවක් හෝ බෙදීමක් ඒකාබද්ධ විපක්ෂය තුල නොමැති බවයි.

නමුත් විවිධ මතිමතාන්තර හා අදහස් තිබෙන පක්ෂ නායකයින් මන්ත්‍රීවරුන් ඒකාබද්ධ විපක්ෂය තුළ සිටින බවත් ඒ සියලු දෙනා එජාපය පරාජය කිරීමට එකඟවී ඇති බවත් එම අරමුණ වෙනුවෙන් කටයුතු කළ හැකි ඕනෑම කෙනෙකුට එක්බද්ධ විපක්ෂයට එක්වි හැකි බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනපති අපේක්ෂකයා නම් කිරීමට පෙර මේ වන විටත් විසුරුවා ඇති උතුරු මැද, සබරගමුව ඇතුළු පළාත් සභා වල මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(1 Vote)
Last modified on Monday, 02 July 2018 10:45