May 21, 2024

කරළියෙන් එහා: බැසිල්ගේ නෝක්කාඩු මැද 16 කණ්ඩායම ඒකාබද්ධයේ එල්ලෙයි! ජනපතිට ඉහළින් අකිල වැඩ

මේ සතියේ දේශපාලන කරළිය උණුසුම් වූයේ ශ්‍රීලනිපයේ 16 කණ්ඩායම පක්ෂ නායකයින් හමුවීමත් සමඟ ඔවුන් ගන්නා තීරණය මතය. මේ පිළිබඳ දැනගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාට කතා කළ විට ඔහු පැවසූවේ 16 කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂයේ එක්විය යුතු බවත් ආණ්ඩුව සමඟ කටයුතු කරන ශ්‍රීලනිපයේ ඇමැතිවරු දසදෙනෙකු ඒකාබද්ධ විපක්ෂයට එක්වන බවට එකඟතාවයකට පැමිණි ඇති බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 කණ්ඩායම හා බැසිල් රාජපක්‍ෂ ඇතුලු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් සමඟ ඊයේ (28) පැවති සාකච්ඡාවකින් අනතුරුව තීරණය කර ඇත්තේ 16 කණ්ඩායම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව වැඩකටයුතු කිරීමට එකඟ වීමටය.

මින් ඉදිරියට 16 මන්ත්‍රී කණ්ඩායම යනුවෙන් කණ්ඩායමක් නැති බවත් මින් ඉදිරියට තම මන්ත්‍රී කණ්ඩායම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එකට එක්ව වැඩ කිරීමට එකඟතාවයකට පැමිණි බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා පැවසීය. එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන සඳුදා පැවැත්වෙන ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමටද 16 කණ්ඩායමට ආරාධනා ලැබී තිබේ.

‘‘පොදු ජන පෙරමුණේ ඉන්නෙත් අපිත් එක්ක දීර්ඝ කාලයක් කටයුතු කළ උදවියයි. ඒ නිසා අපිට එක මතයකට එන්න අසීරු වුනේ නැහැ. ඉදිරියේදී මේ ආණ්ඩුව වෙනස් කරන්න පොදු වැඩසටහනක් යටතේ කටයුතු කරන්න අපි තීරණය කළා. මේ සාකච්ඡාවෙන් අපි අතර තිබුණු විරසක බව නැති වුණා. දැන් අපි දෙපාර්ශ්වයටම එකට කටයුතු කරන්න පුළුවන්. අමාත්‍යධූර අත්හැරලා විපක්‍ෂයට ආපු දවසේ ඉඳලා අපි හිටියේ විපක්‍ෂයේ. අපි මෙච්චරකල් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ විශ්වාසයෙන් කටයුතු කළා.” යැයි ජෝන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙසේ පැවසීය. ‘‘මින් පස්සේ ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ 16 කණ්ඩායම කියල එකක් නැහැ. ඒකාබද්ධ විපක්‍ෂයත් අපිත් එකට කටයුතු කරන්න මේ දෙපාර්ශ්වයම එකඟ වුණා. ඒ අනුව අපි දෙපාර්ශ්වයම එකට එකතු වෙලා ආණ්ඩු විරෝධී ප්‍රගතිශීලී බලවේගයක් ගොඩනඟන්න ක්‍රියා කරනවා. මේ ආණ්ඩුව පරාජය කරන්න අපි දෙගොල්ලම එකම වේදිකාවකට ගොඩවෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉන්න අපිට වෙනත් පක්‍ෂයක සාමාජිකත්වය ගැනීමේදී නීතිමය ප්‍රශ්න මතු වෙනවා. නමුත් නිල නොවන මට්ටමින් අපිට වැඩ කරගෙන යෑමට හැකියාව තිබෙනවා.”

සතිය මැද පොසොන් පොහොය යෙදීම නිසා බොහෝ මැති ඇමතිවරු දින කිහිපයක්ම කොළඹින් පිට කාලය ගත කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු සිය ගම්වලට ගොස් ආගමික වතාවත්වල නිරතවූහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පසුගිය අඟහරුවාදා පැවැත්වීමට නියමිතව තිබුණද හිටපු ජනාධිපතිවරයාට හම්බන්තොට යෑමට තිබූ හෙයින් එය කල් දමන්නට සිදුවූයේය.

16 කණ්ඩායම පිළිගන්න බැසිල් පස්සගහයි

ආණ්ඩුවෙන් ඉවත්වූ මන්ත්‍රීවරුන් දහසය දෙනාගේ කණ්ඩායම පිළිගැනීමට හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ එතරම් සැලකිල්ලක් නොදැක්වූ බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. දහසයේ කණ්ඩායම ඉකුත් දිනවල දේශපාලන පක්ෂවල නායකයන් හමුවීමට ගිය අතර එහිදී ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී තිබිණ. විශේෂයෙන් විමල් වීරවංශගේ අදහසවී ඇත්තේ ආණ්ඩුවෙන් ඉවත්වූ දහසය දෙනා අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්කර ගතයුතු බවයි. ඒකාබද්ධ විපක්ෂය ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුව හැරදමා ඒකාබද්ධ විපක්ෂයට එන ඕනෑම මැති ඇමතිවරයෙක් සාදරයෙන් පිළිගන්න අපි සූදානම් බවට විමල් වීරවංශ සඳහන් කර තිබිණ. කෙසේ වෙතත් විමල් වීරවංශ, උදය ගම්මන්පිල එවැනි මතයක් දැරුවද දහසයදෙනාගේ දේශපාලන ඉරණම රැඳී ඇත්තේ රාජපක්ෂ පිලේ ජ්‍යෙෂ්ඨයන්ගේ තීරණය මත වීම විශේෂත්වයක් බවත් ඔවුන්ට බැසිල් සහ ගෝඨා හමු නොවී ඵලක් නොවන බවද දැනටත් ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙකුම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබිණ. කරුණු එසේ වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග සඳහන් කළේ ඊයේ පස්වරුවේ දහසය දෙනාගේ කණ්ඩායම ගොස් බැසිල් රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් හමුවූ බවය. එහිදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් දෙපාර්ශවය දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කළ බවද වාර්තා විය.

අලුත් ආසන සම්මන්ත්‍රණ මාලාවක් මෙහෙයවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ. දැනට නිල කාලය අවසන් වී ඇති නමුත් මැතිවරණය කල්දමා තිබෙන උතුරුමැද, නැගෙනහිර සහ සබරගමුව යන පළාත් තුනේ සහ ඉදිරියේදී නිලකාලය ඉකුත්වන වයඹ, උතුර සහ මධ්‍යම යන පළාත්වලත් මෙම සම්මන්ත්‍රණ මාලාව පැවැත්වීමට නියමිතය. එම සම්මන්ත්‍රණ මාලාව ගැන හා එහි මෙහෙයුම් සැලසුම් පිළිබඳව පූර්ව සාකච්ඡාවක් ඉකුත් සතියේ පැවැත්විණි. බැසිල් රාජපක්‍ෂගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැති අතර එම පළාත් නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පළාත් සභා මැති ඇමැතිවරු පිරිසක් ද සහභාගි වී සිටියහ. එහිදී බැසිල් රාජපක්‍ෂ කීවේ “ආණ්ඩුව දිගින් දිගටම ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස මැතිවරණය කල් දමමින් සිටිනවා. මේක මහජන අරගලයක් ලෙස පවත්වන සම්මන්ත්‍රණ මාලාවක්” යැයි බැසිල් රාජපක්‍ෂ පැහැදිලි කළේය. ආසන මට්ටමෙන් සිදුකෙරෙන සම්මන්ත්‍රණ මාලාවට සමගාමීව ආණ්ඩු විරෝධී මහජන උද්ඝෝෂණ මාලාවක් ද රටපුරා මෙහෙයවීමට ද එහිදී සාකච්ඡා කෙරිණ. ඒ අනුව යෝජිත ආසන සම්මන්ත්‍රණ මාලාව ලබන ජූලි මාසයේ සති අන්ත දිනවල පැවැත්වීට ද එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කෙරිණ.

ජනපති නියෝගය නොතකා අකිල වැඩ

ජනාධිපතිවරයාගේ නියෝගයෙන් නවතා දැමූ පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබා දීමට යළිත් කැබිනට් අනුමැතිය ලබා ගැනීමට අධ්‍යාපන ඇමැති අකිල යළි වැඩ අල්ලා තිබේ. ඇමති අකිල විරාජ් මීට පෙර ටැබ් පරිගණක ලබාදීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ආණ්ඩුවේ ශ්‍රීලනිප ඇමතිවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර ජනාධිපතිවරයාද ඊට විරෝධය දැක්වීම නිසා ඇමති අකිල විරාජ් කාරියවසම්ට එම යෝජනාව හකුළා ගැනීමට සිදුවිය. නමුත් ජනාධිපතිවරයාගේ නියෝගයද නොතකා අකිල විරාජ් ඇමැතිවරයා යළිත් වැඩට බැස්සේය. මේ වන විට පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙළක් සකස්කර ඇත. ඊට කැබිනට් අනුමැතිය ලබාගැනීමට කිහිපවරක්ම උත්සාහ ගත්තද එය ව්‍යර්ථ විය.

ඉකුත්දා ගාල්ලේ පැවැති උත්සවයකදී ඇමතිවරයා කීවේ ‘මම පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. නැවතත් ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් දැම්මා. ලබන සතියේ කැබිනට් රැස්වීමේදී ඊට අනුමැතිය ලබාදේවි’ යැයි අකිල විරාජ් කාරියවසම් විශ්වාසය පළකළද එය ඉටුවූයේ නැත. ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබිණි. ‘මෙතැන ප්‍රශ්න තියෙනවා. ඇතැම් සිසුන් මේවා නරක විදියට භාවිත කරන්නත් පුළුවන්. පාසැල් සිසුන්ට ටැබ් පරිගණක දෙන්න වසරකට මිලියන පන්දහසක් පමණ වැයවෙනවා. ඒ ගැනත් හිතන්න වෙනවා.’ යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය. ශ්‍රීලනිප ඇමතිවරුන්ගෙන්ද ඒ සම්බන්ධයෙන් නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කර තිබේ. ‘මේ වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙසවත් ඉදිරියට පවත්වමු’ යැයි කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කෙරුණද ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට කටයුතු කර නොතිබිණි. කැබිනට් රැස්වීම නිමාවූ පසුව ශ්‍රීලනිප ඇමතිවරයෙක් තවත් එජාප ඇමතිවරුන් කිහිපදෙනෙකු සමඟ ඒ ගැන මෙලෙස අදහස් පළ කර තිබිණි. ‘ටැබ් දෙන්න එක්සත් ජාතික පක්ෂයට විශාල උනන්දුවක් තියෙනවා. හැබැයි කලින් සැරේ වගේම මෙවරත් අකිලගෙ ටැබ් වැඬේ බකස් වුණා’ යැයි ශ්‍රීලනිප ඇමතිවරයා කීවේය.

නීති සිසුන් දැනුවත් කරන්න ජවිපෙ පමණයි

පසුගිය 26වැනි දින නිතී විද්‍යාලයේ සිසුන් 250ක පමණ පිරිසක් පාර්ලිමේන්තුවට පැමිණ තිබුණේ පාර්ලිමේන්තු ක‍්‍රියාවලිය පිළිබඳ අධ්‍යයන කටයුත්තක් වෙනුවෙනි. ඒ අනුව ඔවුන්ගේ පස්වරු 2-4 කාලය වෙන් වී තිබුණේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20වැනි සංශෝධනය පිළිබඳ දේශපාලන පක්ෂවල අදහස් දැනගැනීමටය. ඒ මෙම හමුව සඳහා පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 01 වෙන් වී තිබිණි. කෙසේ වුවද නියමිත වේලාවේ එහි පැමිණියේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් පමණි. සෙසු දේශපාලන පක්ෂ මෙම අවස්ථාව මඟහැරීම පිළිබඳව සිසුන්ගේ නොසතුට පළ වූ අතර විජිත හේරත් මන්ත‍්‍රීවරයා එම අවස්ථාව පාවිච්චි කරගත්තේ නීති ශිෂ්‍යයන්ට 20 පිළිබඳව හොඳ පැහැදිලි කිරීමක් කරමින් ඔවුන්ගෙන් ඉදිරිපත් වූ ප‍්‍රශ්නවලටද සාර්ථකව පිළිතුරු දෙමිනි.

අනුර සාර්ථක එතෙර සංචාරයක

ජවිපෙ නායක අනුර දිසානායක පසුගිය 22වැනි දා සිට ග‍්‍රීසියේ හා එක්සත් රාජධානියේ වැඩකටයුතු ගණනාවකට සම්බන්ධ වී සිටියි. පසුගිය 23වැනි දින ඇතැන්ස්හිදී එහි වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ගේ සමුළුවකට සහභාගි වූ ඔහු 24වැනි දින ග‍්‍රීසියේ එතෙර අපි සංවිධානය පිහිටුවීමේ සමුළුව සඳහාද එක්විය. මේ සඳහා ග‍්‍රීක කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයෙකුද එක්ව සිටීම විශේෂත්වයක් විය. මේ අතර ඉදිරි දිනවලදී ජවිපෙ නායකයා එක්සත් රාජධානියේ ශ‍්‍රී ලාංකිකයන් හමුවීමටද ජවිපෙ කමිටුව මුණගැසීමටද නියමිතය.

සිංගප්පූරු ගිවිසුම ගැන ජවිපෙන් සම්මන්ත‍්‍රණයක්

පසුගියදා ජවිපෙ දේශපාලන මණ්ඩලයේදී කතාබහට ලක්වූ ප‍්‍රධාන කරුණුවලින් එකක් වූයේ ශ‍්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් තබන ලද ගිවිසුමයි. මේ පිළිබඳව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මෙම ගිවිසුමේ භයානකකම පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතු බව කියා සිටියේය. ”මේ පිළිබඳව මාධ්‍ය සාකච්ඡුාවක් විතරක් තියල මදි. අපි රට ඇතුළෙ පුළුල් කතාබහක් හදන්න ඕනෑ.” ඔහු කීවේය. ”මේ ගිවිසුම අවදානමක් වගේම අවුලක්. ගිවිසුමත් විශාල පොතක්. සාමාන්‍ය ජනතාවට හදාරන්න පුළුවන්කමක් නැහැ. අපි මේ ගැන වැඩිපුර කතා කරන්න සම්මන්ත‍්‍රණයක් කරමු.” ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් යෝජනා කළේය. ඒ අනුව 28වැනිදා කොළඹ ජාතික පුස්තකාලයේදී ‘ශ‍්‍රී ලංකා - සිංගප්පූරු ගිවිසුම සහ ආර්ථිකයේ හෙට දවස’ මැයෙන් සම්මන්ත‍්‍රණයක් පැවැත්වීමට තීරණය කෙරිණි.

විශ‍්‍රාම වැටුප කප්පාදුවට එරෙහිව ජවිපෙ ක‍්‍රියාමාර්ගයක

හවුල් ආණ්ඩුව අලූතින් රජයේ සේවය සඳහා බඳවා ගන්නා පිරිස්වලට එතෙක් පැවති විශ‍්‍රාම වැටුප අහෝසි කිරීමට තීරණ කර තිබූ අතර ඔවුන් වෙනුවෙන් දායක විශ‍්‍රාම වැටුප් අරමුදලක් පිහිටවනු ලබන බව කියා තිබිණි. ”දැන් ආණ්ඩුව රාජ්‍ය සේවක විශ‍්‍රාම වැටුප කපලා සද්දයක් නැතුව යනවා. මහ ලොකුවට හදනවා කියපු විශ‍්‍රාම වැටුප් අරමුදල ගැනත් කතාවක් නැහැ. මේකෙන් වෙන්නෙ රාජ්‍ය සේවකයින්ට අනාගතේ විශ‍්‍රාම වැටුපක් නැතිවෙන එක. මේකට විරුද්ධව අපි පක්ෂයක් විදිහට මැදිහත් වෙන්න ඕනෑ.” මේ පිළිබඳව අදහස් දැක්වූ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත කීය. මෙම අදහසට සියලූ දෙනාගේ එකඟත්වය පළ වූ අතර ඉදිරි කි‍්‍රයාමාර්ග යෝජනා කිරීම ලාල්කාන්ත වෙත පැවරිණි.

රාජ්‍ය බැංකුවලින් 10%ක් විකිණීමට ජවිපෙ විරෝධය

මූල්‍ය අර්බුදයක ගිලී සිටින වත්මන් ආණ්ඩුව රාජ්‍ය දේපළ, රාජ්‍ය ආයතන විකුණමින්, බදු දෙමින් මුදල් සොයා ගැනීමට උත්සාහ දරමින් සිටී. මෙහි අලූත්ම පියවර වී ඇත්තේ රාජ්‍ය බැංකුවලින් 10%ක කොටස් අයිතියක් විකුණා දැමීම පිළිබඳව සලකා බලමින් සිටීමය. මේ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ, ලංකා බැංකු සේවක සංගමය සමග ජවිපෙ ප‍්‍රධාන කාර්යාලයේදී සාකච්ඡුාවක් කරන ලද අතර සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ ඊට සහභාගි වූහ. මෙහිදී බැංකු සේවක සංගමය පෙන්වා දුන්නේ ඔවුන් බංකු පෞද්ගලීකරණය, ඊපීඑෆ්/ඊටීඑෆ් කොල්ලය ඇතුළු කරුණු ගණනාවක් ගැන එළඹෙන 04වැනිදා සම්මන්ත‍්‍රණයක් කරන බවය. එසේම ඊට ජවිපෙටද ආරාධනා කරන බව ඔවුහු කීහ. ”ඔබලා විසින් සංවිධානය කරන සම්මන්ත‍්‍රණයේ මාතෘකා සියල්ලටම අපේ එකඟත්වය තිබෙනවා. අරාධනා කිරීම ගැන ස්තූතියි. මේ ගැටලූ ඔබට හෝ අපට හුදෙකලාව බලපාන දේවල් නෙමෙයි. රටට බලපාන දේවල්. මේ ගැටලූවලට එරෙහිව ඒකාබද්ධ සටනක් කරන්න ඕනෑ.” හඳුන්නෙත්ති පෙන්වා දුන්නේය.

”දැන් ඇත්ත බිල්ලො හැංගිලා” - හඳුන්නෙත්ති කියයි

20වැනි සංශෝධනය එළිදැකීමට පෙර ඊට එරෙහිව රට කඩන රට බෙදන බිල්ලන් මැවීමට කටයුතු කළ ඇතැම්හු එය ජනතාව අතරට පැමිණීමත් සමග නිහ`ඩව සැඟවී සිටිති. ”දැක්කෙවත් නැති 20 කෙටුම්පත ගැන සමහරුන්ට ගොඩක් දේවල් කියන්න තිබුණා. බිල්ලො මැව්වා. ඒත් දැන් ඇත්ත බිල්ලො හැංගිලා සද්දයක් නෑ.” සුනිල් හඳුන්නෙත්ති දේශපාලන මණ්ඩලයේදී කියා සිටියේය. ”දැන් 20ට විරුද්ධ අය කියන්න දෙයක් නැහැ. ඒත් මේ කෙටුම්පත ජනතාව අතරට ගෙනියන කටයුත්ත නතර කරන්න හොඳ නැහැ. මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පුළුල් වෙන එකේ වාසිය ජනතාවටයි.” ජවිපෙ දේශපාලන මණ්ඩලයේදී මේ පිළිබඳව අදහස් දැක්වූ ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසීය. ” අන්තිමෙට මේ ප‍්‍රශ්නෙ බේරගන්න වෙන්න ජනතාවට. අපි මේ ගැන කරුණු පැහැදිලි කරන පත‍්‍රිකාවක් ඉක්මණටම රටට බෙදමු.” විජිත හේරත් යෝජනා කළ අතර සියලූ දෙනා ඊට එඟකත්වය පළ කළ අතර ඒ අනුව එළඹෙන 02වැනිදා බෙදීමට තීරණය විය.

කැබිනට් ඇමතිවරුන්ගෙන් ජනපතිට අගමැතිට පැමිණිල්ලක්

ඒ ඒ අමාත්‍යාංශවලින් ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති බොහෝ කල්යන බවට කැබිනට් ඇමතිවරුන් පිරිසක් ඉකුත්දා ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් පැමිණිලි කළහ. “ව්‍යාපෘති බොහොමයක් ආරම්භ කරන්න බැරිවෙලා. සමහර ව්‍යාපෘති වසර දෙකක් යන තෙක් තවම ආරම්භ කරන්න බැරිවෙලා.” යැයි ඇමතිවරු කළ පැමිණිලි සැලකිල්ලට ගත් ජනාධිපතිවරයා ඊට වහා ප්‍රතිචාර දැක්වීය. ඒ අනුව අවශ්‍ය පියවර ගැනීම සඳහා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක්ද පත්කර තිබෙන අතර මෙතෙක් ආරම්භ කිරීමට නොහැකිව තිබෙන ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමේ බලය එම කමිටුවට පැවරී තිබේ. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අර්ථ සාධක අරමුදලේ මුදල් ප්‍රමාණයක් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම හරහා බැඳුම්කරවල ආයෝජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්ටය. “මේ අර්ථසාධක අරමුදලේ මුදල් අවභාවිත කරන්න ඉහළින් නියෝගයක් ලැබී තිබෙනවා. එහෙම නැතිව මෙවැනි තීන්දුවක් ගන්න බැහැ. මේකට කාගේ හෝ ඉහළ බලපෑමක් තියෙනවා. කවුද ඒ ඇමති කියලා සොයන්න ඕනේ” යැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හා සිවිල් සංවිධාන නියෝජිතයෝ දිගින් දිගටම චෝදනා එල්ල කරති. එහෙත් එම චෝදනා කබීර් හෂීම් ප්‍රතික්ෂේප කරයි. සිවිල් සංවිධානවල ඇතැමුන් යහපාලන රජය යටතේ ලැබී ඇති නිදහස භාවිත කරමින් කිසිදු පදනමකින් තොරව පුද්ගලයන්ට චෝදනා එල්ල කරනවා. මටත් දැන් අලුත් චෝදනාවක් එල්ල කරලා. මේවා ඉතා ද්වේශ සහගත සහ පදනම් විරහිත චෝදනා. සිවිල් සමාජවල ඉන්න අයට මතක් කරන්න ඕන යහපාලන ආණ්ඩුවට කලින් සිවිල් සංවිධාන කියන විලේ වතුර හිඳිලයි තිබුණේ හැබැයි අද ඒ අයට කතාකරන්න අයිතියක් ලැබී තිබෙනවා. මම උසස් අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් කටයුතු කළේ දින සියය කාලයේදී පමණයි යැයිද කබීර් හෂීම් කියයි.

Rate this item
(4 votes)