May 21, 2024

එජාපයේ ප්‍රබලයින් 06ක් සහ ශ්‍රීලනිප ඇමැතිවරු 10ක් ඒකාබද්ධයට! මහින්දගේ සාකච්ඡාවෙන් පසු එකඟතාවයක

ආණ්ඩුවේ ප්‍රබල එජාප ඇමැතිවරු හය දෙනෙකු ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එජාප ඇමැතිවරුන්ගේ අදහස් සහ යෝජනා පිළිබඳවත්, ඉදිරි ජනාධිපතිවරණයේදී සහය ලබා දීම පිළිබඳවත් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර ඇති අතර එම එජාප ප්‍රබලයින් හය දෙනා විටින් විටින් හිටපු ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කර තිබේ.

මේ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් වෙත අදහස් දක්වමින් රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා මහතා සඳහන් කළේ එජාපයේ යම් කණ්ඩායමක් ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට එකඟතාවයකට පැමිණ ඇති බවයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී එජාපයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වුවහොත් පරාජය වන බවත් වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්තිය සමඟ තවදුරටත් පැවැතිය නොහැකි බව පෙන්වා දෙමින් එජාපයේ ප්‍රබලයින් පිරිසක් සාකච්ඡා ආරම්භ කර ඇති බවද මන්ත්‍රීවරයා පැවසුවේය.

මේ අතර දැනට ආණ්ඩුවේ කටයුතු කරන ශ්‍රීලනිප ඇමැතිවරුන් 10දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත්ව ඒකාබද්ධ විපක්ෂයට සහය දීමට කැමැත්ත පළ කර ඇති බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

මේ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ එම ඇමැතිවරුන් 10 දෙනා සාකච්ඡා කර ඇති බවත් සාකච්ඡා සම්මුතියෙන් පසු එම ඇමැතිවරුන් 10 දෙනා ඒකාබද්ධ විපක්ෂයට එක් වීමට නියමිත බවත් මන්ත්‍රීවරයා පැවසී ය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ඇමතිවරුන් විපක්ෂයට එකතු වීම සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ කැමැත්තක් නොමැති බවද වාර්තා වේ.

ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කිරීමට සුදානමින් සිටින ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ජන්ද පදනමට එය බලපෑමක් විය හැකි බව ඔවුන් පෙන්වා දී තිබේ.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ ආසනවලට නායකත්වය දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම පළාත් සභා මන්ත්‍රීවරුන්ද මෙම ස්ථාවරයේ සිටින බවද දැනගන්නට ලැබේ.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 30 June 2018 03:29