May 21, 2024

කරළියෙන් එහා: 2020ට බැසිල් - ගෝඨා අතර සීතල යුද්ධයක්! අලුත් නි.ඇමැති මූණටම කී කතාවට මෛත්‍රීට කේන්ති යයි

පසුගිය සතියේද දේශපාලන කරළිය උණුසුම් වූයේ ගෝඨාගේ දේශපාලන ආගමනය ගැනය. ඒ ගැන කිසිදු ආකාරයකට ගෝඨාභයගෙන් තවම නිල ප්‍රකාශයක් කර නොමැති වුවද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ද ගෝඨාභය ගැන දැඩි ලෙස කතා බහ කිරීමට පටන් ගෙන තිබේ. ඒ නිසාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් බැසිල් හා ගෝඨාභය අතර මේවන විට සීතල යුද්ධයක් දක්වා වර්ධනය වෙමින් පවතින බවක් පෙනෙන්නට තිබේ. මේ අතර පසුගිය දා බැසිල් රාජපක්ෂ මහතා දේශපාලන රැස්වීමක දී වෙනස්ම කතාවක් කියා තිබිණ. “ඔව් අපි දන්නවා. අපේ ආණ්ඩුවට යම් යම් තැන්වල දී වැරදුණා. රතුපස්වල සිද්ධියේ දී අපි ඉක්මන් වුණා. ඒ විතරක් නෙමෙයි කටුනායක වෙළෙඳ කලාපයේ තරුණයාගේ ප්‍රශ්නය” ලෙස කතාවක් කළේය. “බැසිල් කරපු ඔය කතාව සුළුවට තකන්න බැහැ. එයා ඉදිරිපත් කරපු කාරණා දෙකටම සෘජුවම සම්බන්ධතා තිබුණේ හමුදාවට හා පොලිසියට. ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම්වරයාටත් වගකියන්න වෙනවා. බැසිල් කියන්නේ ගෝඨාභයගේ අතින් වුණ වැරදි. එයා ඒකෙන් කාරණා දෙක තුනක්ම ඉටු කරගන්නවා. ජනාධිපති අපේක්ෂත්වය එක කාරණාවක්. අනිත් කාරණාව අතීත වැරදි පිළිගැනීම හා ඉන් ජනතාවගේ හොඳ හිත දිනා ගැනීම. එයා එදා කළේ ලොකු දේශපාලන කතාවක්.” යැයි ද ඒකාබද්ධ විපක්ෂයේ ගෝඨාභය හිතවාදී මන්ත්‍රීවරුන් දෙදෙනකුගේ හමුවක දී සාකච්ඡාවට ලක් කර තිබේ. මේ අතර ගෝඨාභයගේ උපන් දිනය වෙනුවෙන් දානමය පිංකමක් සූදානම් කිරීම හා එහිදී ජනාධිපති අපේක්ෂකත්වය ගැන අදහස් පළකිරීම ද ඒවා මහින්දට හා බැසිල්ට ඇසෙන්නට සැලසීම ගැන ද දේශපාලනඥයන්ගේ කතාබහට ලක්ව තිබේ.

ගෝඨා ගැන වෙඬරුවේ උපාලි නාහිමියන්ගේ ප්‍රකාශයට මෛත්‍රීගෙන් සැර කතාවක්

නිකවැරටිය ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සැර කතාවක් කරමි කියා සිටියේ අද නැවතත් රටට ඒකාධිපති පාලනයක් ඉල්ලා සිටිය ද 2015 ජනවාරි 08 වනදා මේ රටේ ජනතාව තැබූ අපේක්ෂාවන් බිඳ වැටීමට ඉඩ නොතබන බවයි. එම කතාවේ හරය වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය දා අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමියන් සිදුකළ ප්‍රකාශය පිළිබඳවය. තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මහා සංඝරත්නයට අනුශාසනා කළ යුතු හැටිත් පැහැදිලි කළේය.

“මම දැක්කා මාධ්‍ය තුළින් ඊයේ ස්වාමීන් වහන්සේලා කිහිපනමක් කියලා තිබෙනවා අපේ රටට ඒකාධිපති පාලකයෙක් ඕන කියලා . අපේ හාමුදුරුවනේ සමාවෙන්න, මම බෞද්ධයෙක් විදියට මහා සංඝරත්නයට ඉතාමත් ගරු කරනවා. හැබැයි ඔබ වහන්සේලා යම් තැනක අනුශාසනා කරනවා නම්, මේ රටට ඒකාධිපතියෙක් ඕනේ කියලා එතැන තමයි අපි වරද්ද ගත්ත තැන. ඒකාධිපතියෙකුගේ ස්වරූපය මේ රටේ ජනතාවට යම් ප‍්‍රමාණයකින් දැනිලා තිබුණා 2015 ට කලින්. ඒක අමතක වෙලා තිබෙනවා. ඒ නිසා තද පාලකයින් ඉල්ලනවා.
පාලනය දැඩි වැඩියි කියලා, තද වැඩියි කියලා, පාලනය ඒකාධිපති ස්වරූපයකට යනවා කියලා තමයි 2015 ජනවාරි 08 මේ රටේ ජනතාව වෙනසකට ලක්කළේ කියන එක අමතක කරන්න එපා. මේක මම පැහැදිලිවම කියන්න ඕන. ඒ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරලා, මානව හිමිකම් ශක්තිමත් කරලා, මාධ්‍ය නිදහස ඇතුළු ඒ සියලු දේ දුන්නාම, ඒ සියලු දේම වැරදි විදියට භාවිතා කරලා ඒ ආයුධයෙන්ම අද අපිට ගහනවා. බණ්ඩාරනායක අගමැතිතුමාටත් මට අද කියන මේ කතා ටිකම තමයි කිව්වේ. බණ්ඩාරනායක මැතිතුමාට ඒ කාලයේ කිව්වා සෙවල බණ්ඩා කියලා. කොන්ද පණනැති බණ්ඩා කියලා කිව්වා. එහෙම තමයි බණ්ඩාරනායක මහත්තයාට කිව්වේ. එහෙම කියලා තමයි බණ්ඩාරනායක මහතාව මරලා දැම්මේ. එතකොට අදත් ඒ ස්වරූපයට හැසිරෙනවා. අදත් ඒ විදියේ බණ්ඩාරනායක මැතිතුමාට භාවිතා කළ වචන අද මටත් භාවිතා කරනවා. බණ්ඩාරනායක අගමැතිතුමා මේ රටේ බලයේ හිටියේ වසර තුනහමාරයි. මේ රටේ සාමාන්‍ය ජනතාවගේ හදවත් තුළ එතුමා ගැන මතකය තිබෙන්නේ එතුමා පුංචි මිනිසුන් වෙනුවෙන් සමාජ පරිවර්තනයක් කළ නිසයි.“

“මේ රටේ සමාජ පරිවර්තන සිදුකළ දේශපාලන නායකයින් කිහිප දෙනෙක් ඉන්නවා. බණ්ඩාරනායක මහතා, රණසිංහ පේ‍්‍රමදාස මහතා ඒ නායකයින් අතරින් කිහිප දෙනෙක්. නමුත් මූලික වශයෙන් අද තිබෙන මේ සමාජ තත්ත්වයන් ඇතැම් අය වැරදි විදියට භාවිතා කරනවා. ඔය ඉල්ලන ඒකාධිපතියෝ, ආඥාදායකයෝ, හමුදා පාලනයක් වුණත් හොඳයි කියන අය, ඒ අත්දැකීම පිළිබඳ අවබෝධයක් නැතිවයි ඒ දේවල් කතා කරන්නේ. මේ රටේ උගතුන්, බුද්ධිමතුන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන ප‍්‍රබුද්ධයින්, දේශපාලනඥයින් රාශියක් ඉන්නවා. ඒ අය ඔය ඉල්ලන ආඥාදායකයෝ, ඉල්ලන ඒකාධිපතියෝ, මේ රටේ ඇතිවන්න කිසිවිටෙකත් ඉඩදෙන්නේ නැහැ. ඒක නිසා ආපු පාර වරද්දගන්න එපා. ආපු පාර වරද්දගෙන වළක වැටෙන්න ලැහැස්ති වෙන්න එපා. “ යැයි ජනාධිපතිවරයා දැඩිව කියා සිටියේය.

‘20’ට විරුද්ධ අයගේ බළලා මල්ලෙන් එළියට පනී

ජනතා විමුක්ති පෙරමුණ පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස ගෙනා 20වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විවිධ පාර්ශව විසින් විරෝධය එල්ල කිරීමට පටන් ගත්තේ එය කෙටුම්පතක් ලෙස එළිදැකීමටත් පෙර සිටය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විවිධ විවේචන එල්ල කළ අතර භික්‍ෂූන්වහන්සේ පිරිසක් එක්ව පැවැත්වූ සංඝ සමුළුවකදී චෝදනාව එල්ල වූයේ එම යෝජනාවෙන් රට බෙදීමේ වුවමනාව ඉටුවන බවටය. කෙසේ වෙතත් ජවිපෙ කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජවිපෙ නායකයින්ගේ මැදිහත්වීමෙන් භික්‍ෂූන්වහන්සේලා ඇතුළු පූජකතුමන්ලා හමුවී මේ පිළිබඳව විවිධ අවස්ථාවන්හිදී පැහැදිලි කිරීම් කරන ලදී. ඉන් අනතුරුව ඇතැම් නායක ස්වාමින්වහන්සේ සැබෑ තත්වය පිළිඳව අවධානය යොමු කළහ. කෙසේ වෙතත් තවත් භික්‍ෂූන්වහන්සේ තවමත් 20වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව මත දක්වමින් සිටිති. මේ අතර ගෝඨාභය රාජපක්ෂගේ උපන්දිනය නිමිත්තෙන් පැවැති ආගම්ක උත්සවයකදී නායක ස්වාමින්වහන්සේ නමක් කරන ලද ප‍්‍රකාශයක් ගැන මාධ්‍යවේදියෙක් ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්ගෙන් මතය විමසීය. ”මන්ත‍්‍රීතුමා නායක ස්වාමින්වහන්සේ නමක් අද කිවුවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයට හිට්ලර් කෙනෙක් වෙලා හරි, මිලිටරි පාලනයක් ගෙනත් හරි කමක් නෑ රට හදනවනම් කියලා.” මාධ්‍යවේදියා සඳහන් කළේය. ”සමහරු අපේ යෝජනාවට විරුද්ධ වුණේ හරිහැටි තොරතුරු නොදැනයි. නමුත් තවත් සමහර භික්‍ෂූන්වහන්සේලා කවුරු වෙනුවෙන්ද පෙනී ඉන්නේ කියලා ඒ කතාවෙන් පැහැදිලියි. බළලා මල්ලෙන් එළියට පනිනවා කියන්නේ ඒකට තමයි. උන්වහන්සේලා තමයි 20 එන්නත් කලින් විස්ස විවේචනය කළේ. දැන් හොඳටම පැහැදිලියි රට බෙදන බිල්ලො මවලා මොන වුවමනාවටද විස්ස විවේචනය කළේ කියලා. ” විජිත හේරත් කියා සිටියේය.

ශිෂ්‍ය වීර දිනය දා පාර්ලිමේන්තුවට ආ සයිටම් ප‍්‍රශ්නය

සයිටම් වෛද්‍ය විද්‍යා ආයතනය පිළිබඳව වසර ගණනාවක් පුරා ක්‍ෂෙත‍්‍ර ගණනාවක් සම්බන්ධවූ අරගලයක් දියත් විය. මේ සම්බන්ධයෙන් පනතක් පාර්ලිමේන්තුවේ විවාදයට ලක්වීමට දින යෙදී තිබුණේ ජුනි 20දිනය. ජුනි 20 දින ජාතික ශිෂ්‍ය වීර දිනයයි. මේ පනත සම්බන්ධයෙන් ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායම 19වෙනි අඟහරුවාදා රැුස්ව සාකච්ඡුාවක් කරන ලද්දේ පනත සම්බන්ධයෙන් ගත යුතු පියවර තීරණය කිරීම සඳහාය. ”ආණ්ඩුව ගෙනෙන මේ පනතේ අඩුපාඩු තිබෙනවා. නමුත් මේ ගැටලූවට විසඳුමක් ලබාගැනීමේ ප‍්‍රවේශයකින් අපි මැදිහත්වෙන්න ඕනෑ. මොකද විශාල කාලයක් මේ සම්බන්ධයෙන් වැය කරලා තිබෙනවා. ශිෂ්‍යයන් විශාල මර්දනයකට ලක්වුණා. අධ්‍යාපනය කඩාකප්පල් වුණා. වෘත්තීය සමිතිවල, දෙමාපියන්ගේ, දේශපාලන පක්ෂවල විශාල කාලයක් මේ ගැටලූව වෙනුවෙන් වැය කරන්න සිදුවුණා.” කණ්ඩායම් නායක අනුර දිසානායක මන්ත‍්‍රීවරයා කියා සිටියේය. ”මේක සයිටම් ආයතනය හදන්න රාජපක්ෂ පාලන කාලේ විශාල මැදිහත්වීමක් කළේ එස්බී. එක ඇමතියෙක්ගේ වුවමනාව නිසා විශාල පිරිසකට ඒකෙන් වන්දි ගෙවන්න සිදුවුණා. ඇමතියන්ගේ ඔලමොට්ටල වැඩ නිසා රටම නැති ප‍්‍රශ්නවලට මුහුණ දෙනවා. නමුත් විසඳුමක් වෙනුවෙන් ගෙනාව පනතෙත් අඩුපාඩු තිබෙනවා. ඒකට සංශෝධන වශයෙන් ඇතුළත් විය යුතු කරුණු තියෙනවා. අවම සුදුසුකම එස් 03ට එකඟ වෙන්න බැහැ. ඒ වගේම සයිටම් අහෝසි කරනවා කියන වගන්තිය මේ පනතට ඇතුළත් විය යුතුමයි. ඒ වගේම වෛද්‍ය සභාවේ නියෝජිතයෙකු කොතලාවල වෛද්‍යපීඨය නිරීක්ෂණය කළ යුතුයි. මේ කරුණු සංශෝධන විදියට ඇතුළත් විය යුතුයි.” බිමල් රත්නායක යෝජනා කළේය. ”සයිටම් ආයතනයත් සී2යි එස්1 අවම සුදුසුකම කියලා පිළිඅරගෙන තියෙන තත්වයක ආණ්ඩුව එස්3 යෝජනා කරනවා. ඒක කණගාටුවට කරුණක්. කෙසේ වෙතත් දීර්ඝ අරගලයකින් පස්සේ ශිෂ්‍ය වීර දිනය දවසේ මේ සයිටම් ගැටලූවට විසඳුමක් ලබාගැනීමට හැකි වෙයි කියලා අපි හිතනවා. අරගලවලින් ජයග‍්‍රහණ ලබාගන්න පුළුවන් කියලා ඔප්පු වුණ තවත් අවස්ථාවක් මේක” වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේය.

ජවිපෙන් ග‍්‍රීසියේ සහ එක්සත් රාජධානියේ සම්මන්ත‍්‍රණ මාලාවක්

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මන්ත‍්‍රීවරයා සහභාගි වන සම්මන්ත‍්‍රණ මාලාවක් ඉදිරි දින කිහිපය තුළ ග‍්‍රීසියේ සහ එක්සත් රාජධානියේ ප‍්‍රධාන නගර කිහිපයකදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. ග‍්‍රීසියේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් සහ එක්සත් රාජධානියේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින්ගේ ආරාධනයකට අනුව එම රටවල ජවිපෙ පක්ෂ කමිටු විසින් මෙම සම්මන්ත‍්‍රණ මාලාව සංවිධානය කොට තිබේ.

ජවිපෙ විසින් යෝජනා කර ඇති විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවත් රටේ වර්තමාන දේශපාලන තත්වය පිළිබඳවත් ජවිපෙ ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳවත් මෙම සම්මන්ත‍්‍රණ මාලාව සංවිධානය කොට තිබේ.

කෘෂිකර්මාන්තය පිළිබඳ ජවිපෙ දැක්ම

කෘෂිකර්මාන්තයේ හෙට දවස මැයෙන් පසුගිය සතියේ රූපවාහිනී වැඩසටහනක් පැවැත්විණි. මේ සඳහා ජවිපෙ නියෝජනය කරමින් සහභාගි වූයේ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්නය. ආණ්ඩුව නියෝජනය කරමින් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර සහ ගොවිජන සංවර්ධන අධ්‍යක්ෂ ජනරාල්වරයාද සහභාගි විය. එමෙන්ම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරු කිහිපදෙනෙක්ද මේ අවස්ථාවට සහභාගි වී සිටියහ. මෙහිදී නාමල් කරුණාරත්න විසින් මෙරට කෘෂිකර්මාන්තය මුහුණ දී ඇති අර්බුදයත් ඒ සඳහා බලධාරීන් විසින් ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳවත් සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් කරන ලදී. ඉඩම් පිළිබඳ ගැටලූ, ජල කළමනාකරණය, ගොවීන් මුහුණ දෙන බීජ ප‍්‍රශ්නය, වගා වන්දි, නිෂ්පාදන වියදම ඉහළ යෑම, අස්වැන්න අලෙවි කිරීමට ඇති ගැටලූ සහ කෘෂිකර්මාන්තයට නවීන තාක්ෂණය යොදා ගැනීමේ අවශ්‍යතාව වැනි කරුණු ගණනාවක් පිළිබඳව නාමල් කරුණාරත්න පැහැදිලි කළේය. ආණ්ඩුව නියෝජනය කරමින් පැමිණි නියෝජිතයෝද ඔහුගේ ඇතැම් යෝජනා අනුමත කරමින් කරුණු පැහැදිලි කළහ. වෙනදා පැවැත්වෙන පක්ෂ විපක්ෂ මතවාදවලින් බැහැරව කෘෂිකර්මාන්තය පිළිබඳව විද්වත් සංවාදයක් ඇතිවීම විශේෂත්වයක් විය. සජීවී වැඩසටහනෙන් අනතුරුව හේමකුමාර නානායක්කාර නාමල් කරුණාරත්න මන්ත‍්‍රීවරයාට කියා සිටියේ ”හොඳ අදහස් ටිකක් ඔබතුමා යෝජනා කළානේ” යනුවෙනි. ”අපිටත් හිතන්න කරුණු ටිකක් ඔබතුමා ඉදිරිපත් කළානේ” පැමිණ සිටි නිලධාරීහුද ඔහුට සුභ පැතූහ. 

අයිවෝ ඩෙනිස් ගැන පියතුමා විජිතට කියපු කතාව

සුනිල් ශාන්ත පරපුරේ අවසන් පුරුකක් වූ අයිවෝ ඩෙනිස් ගායකයාට අවසන් ගෞරව දැක්වීම සඳහා ජවිපෙ ප‍්‍රචරක ලේකම් විජිත හේරත් මන්ත‍්‍රීවරයාද සීදුවේ මළගෙදරට ගියහ. අවසන් ගමන් යන ගායකයාට ගෞරව දැක්වූ විජිත හේරත් පැමිණ සිටි කලාකරුවන් සමඟ සුහද සංවාදයකටද එක්විණි. වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්ද එහි සිටි අතර මන්ත‍්‍රීවරයා ”ඉතිං කොහොමද මේ දවස්වල වැඩ” කියා විමසීය. ”මම නාට්‍යයක් කරනවා. මේ රටේ මිනිස්සුන්ගේ හෘදසාක්ෂිය ගැන කතා කරන මාතෘකාවක් තමයි මගේ නාට්‍යයට පාදක වෙලා තියෙන්නේ.” නාට්‍යකරුවා පිළිතුරු දුන්නේය. ”ඒක හොඳ මාතෘකාවක්. අපි පහුගිය ඡුන්දෙට දාපු අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට නම දැම්මෙත් හෘදසාක්ෂියේ සම්මුතිය කියලා. ලංකාවේ ගොඩක් අයට අද හෘදසාක්ෂිය නැතිවෙලා. විශේෂයෙන් දේශපාකයින්ට” විජිත හේරත් කීය. මේ අතර අයිවෝ ඩෙනිස් ගායකයාගේ නිහතමානී ගුණය ගැන එතැනට පැමිණි සිටි පියතුමෙක් විජිත හේරත් මන්ත‍්‍රීවරයා සමඟ පැරණි සිදුවීමක් මතක් කළේය. ”අපි සංවිධානය කරපු උත්සවයට මෙතුමා ගීතිකා කිහිපයක් ගායනය කරන්න ආවා. අපි ඉතිං සාමාන්‍ය විදියට ගමන් ගාස්තුවක් හැමෝටම දුන්නා. මෙතුමටත් කවරයක දාලා රුපියල් 5000ක් මම දුන්නා. මෙතුමා අපූරු වැඩක් කළේ. එතුමට වියදම් වුණේ රුපියල් 2500යි කියලා ඉතිරි 2500 ආපහු මට දුන්නා. ඒ තරම් නිහතමානී චරිතයක්” පියතුමා අතීතය ආවර්ජනය කරමින් කියා සිටියේය.

16 කණ්ඩායමට ඒකාබද්ධයෙන් වාග් ප්‍රහාර

ආණ්ඩුවේ ඇමැති ධුරවලින් ඉවත් වූ දහසය දෙනාගේ කණ්ඩායමට එළිපිටම පහරදෙන තත්ත්වයකට ඒකාබද්ධයේ ඇතැම් මන්ත්‍රීවරු කටයුතු කරමින් සිටිති. එහි ප්‍රමුඛත්වය ගෙන ඇත්තේ බැසිල් රාජපක්ෂ සහ ප්‍රසන්න රණතුංගය. බැසිල් රාජපක්ෂ ඉකුත් සතියේ දී ප්‍රසිද්ධියේම ප්‍රකාශයක් කර තිබිණ. “ඔය පිරිස ආණ්ඩුවේ ඇමැතිකම් ගත්තා. හැම පනතකටම අත ඉස්සුවා, අන්තිම වෙනකම්ම ආණ්ඩුවේ ඉඳලා බැරිම තැන ඉවත් වුණා. එහේ කකුලකුයි මෙහේ කකුලකුයි තියාගෙන කටයුතු කරන්න බැහැ. හරි තීරණයක් අරගෙන ආවොත් සලකා බලන්න පුළුවන්” යැයි බැසිල් කීවේය. බැසිල් කී කතාවට අභිබවා ප්‍රසන්න රණතුංග සැර කතාවක් කළේය. ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා කීවේ “ඔය දහසය දෙනා දෙපිටකාට්ටුවෝ. ඇමැතිකම්වලින් ඉවත් වෙලා. ඒත් තවම ශ්‍රීලනිපයේ තනතුරු දරනවා. කොන්ද කෙළින් තියාගෙන ඒකාබද්ධ විපක්ෂයට එනවා නම් ඕනෑම කෙනෙක් ගන්නවා. එහෙම නැතිව ආණ්ඩුවේ ප්‍රධානියා වන මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිත් එක්ක එකට ඉන්න ගමන් ආණ්ඩු පෙරළන්න අපිත් එක්ක එන්න හදනවා. අපට ඔය දහසය දෙනා ආවත් නාවත් ඊළඟ මැතිවරණයේ දී අපට පහසුවෙන් ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්. එදා මහ මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ගුණවයමින් සිටි ඔය කට්ටිය ඡන්දය ඉවර වෙච්ච ගමන් ගිහින් මෛත්‍රි මහත්තය ළඟ වැඳ වැටිලා ඇමැතිකම් ගත්තා. මේ අය පාර්ලිමේන්තුවට ගියේ මහින්ද මහත්තයගෙ පින්තූරය ගහගෙනයි. මහින්ද මහත්තයගේ නම විකුණලා පාර්ලිමේන්තු ගිහින් මෛත්‍රි ජනාධිපතිගෙන් ඇමැතිකම් ගත්ත ගමන්ම ආපස්සට හැරිලා මහින්ද මහත්තයටම අපහාස කරන්න ගත්තෙ කවුද? පරණ පත්තර ටික බැලුවාම ඒ ගැන තේරුම් ගන්න පුළුවන් වේවි” යැයි ද ප්‍රසන්න රණතුංග කීවේය.

ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල භූමිකාවක් සිදුකරන බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා තවත් වැඩකට අත තබා තිබේ. බන්දුල ගුණවර්ධන තවත් ග්‍රන්ථ කිහිපයක් රචනා කිරීමට පටන්ගෙන ඇත. “රුපියලේ ඉතිහාසය”, “ඛනිජ තෙල් මිල සූත්‍රය” බන්දුලගේ අලුත්ම ග්‍රන්ථ දෙක වන අතර එම ග්‍රන්ථ ඉතා නුදුරු දිනයක දී එළිදක්වන බව ද බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම ඉකුත් අඟහරුවාදා පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණ. මුලදී ප්‍රකාශ කර තිබුණේ එම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට දහසය දෙනාගේ කණ්ඩායම ද සහභාගි වනු ඇත කියාය. එහෙත් එවැන්නක් සිදුවූයේ නැත. “ඒකාබද්ධ විපක්ෂය සමඟ අපට තව සාකච්ඡා කරන්න තියෙනවා. එකඟවෙන්න බැරි පුළුවන් කරුණු කාරණා රැසක් තියෙනවා. ඒ ගැන සොයා බලන්න ඕනේ. සාකච්ඡා කරන්න ඕනේ.” යැයි දහසයේ කණ්ඩායමේ මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කර තිබේ. දිනේෂ් ගුණවර්ධන හා අනුර යාපා අතර දේශපාලන සාකච්ඡාවක් අද හෙටම පැවැත්වීමට නියමිතය.

16 පිලේ පිරිසක් ගෝඨා මඟඅරී

ගෝඨාභය රාජපක්ෂගේ උපන් දිනය ඉකුත් බදාදාට යෙදී තිබිණ. ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට පැතිර යන ආරංචි හේතුවෙන් ඒ පිළිබඳව ජනමාධ්‍යය ද විශේෂ උනන්දුවකින් කටයුතු කරන බවක් පෙනේ. ගෝඨාභය රාජපක්ෂගේ උපන් දිනය වෙනුවෙන් නුගේගොඩ පිහිටි ඔහුගේ නිවසේ සාංඝික දානයක් පැවැත්විණ. මල්වතු හා අස්ගිරි පාර්ශ්වවල අනුනාහිමිවරු ද එම දානයට වැඩම වීම විශේෂත්වයක් විය. චමල්, මහින්ද සහ බැසිල් ඇතුළු පවුලේ ඥාතීන් පිරිසක් ද දේශපාලනඥයෝ ද එම අවස්ථාවට සහභාගි වී සිටියහ. දහසය දෙනාගේ කණ්ඩායමේ ගෝඨාභයට හිතවත් හා ඔහු මීළඟ ජනාධිපති අපේක්ෂකයා විය යුතුය යන ස්ථාවරයේ සිටින ජෝන් සෙනෙවිරත්න, තිලංග සුමතිපාල සහ දයාසිරි ජයසේකර යන මන්ත්‍රීවරු පමණක් ගෝඨාභයට සුබපැතීමට ගොස් සිටි අතර අනෙක් පිරිස එහි යාමෙන් වැළකී සිටියහ. මේ අතර තවත් විශේෂත්වයක් වී තිබුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් මත ප්‍රකාශ කරන ගෝඨාභයට අකමැති ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිංකමට සහභාගි වී නොසිටීමය.

මහින්දගේ ඥාතියාට රෝසිගෙන් කැපිල්ලක්

කොළඹ මහ නගර සභාවේ විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් පැන නැගී තිබෙන අර්බුදය දිග්ගැස්සෙමින් තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කොළඹ මහනගර සභාවේ හිමි මන්ත්‍රී ධුර සංඛ්‍යාව විසි දෙකකි. විපක්ෂයේ පක්ෂ අතරින් වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් එම පක්ෂයට හිමි වී තිබේ. ඒ අනුව එම තර්කය ගොඩනගමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ මහනගර සභාවේ විපක්ෂනායක ධුරය ඉල්ලා සිටින අතර කොළඹ නාගරික මන්ත්‍රී වෛද්‍ය ප්‍රදීප් කාරියවසම්ට විපක්ෂනායක ධුරය ලබා දෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විටත් නගරාධිපතිනියට ලිඛිතව හා වාචිකව දන්වා තිබේ. එහෙත් රෝසි සේනානායක තුරුම්පුවකට ගෙන ඇත්තේ මහ නගර සභා ආඥා පනතයි. මහ නගර සභා ආඥා පනතේ විපක්ෂනායක ධුරයක් සඳහන්ව නැත. ඒ නිසා විපක්ෂනායකයකු අවශ්‍ය නැතැයි රෝසි සේනානායක ඇතුළු එජාප නාගරික මන්ත්‍රීවරුන් පිරිසකගේ තර්කය වී තිබේ. එහෙත් කොළඹ මහ නගර සභා ඉතිහාසය පුරාවටම විපක්ෂ නායකයකු සහ ඔහු වෙනුවෙන් කාර්යාලයක් ද ඊට අවශ්‍ය පහසුකම් ද තිබිණ. “මහ නගර සභා ආඥා පනතේ විපක්ෂ නායක ධුරයක් නැති වෙන්න පුළුවන්. මේක සම්ප්‍රදායක්. ඇත්ත කතාව මේක නෙමෙයි. ප්‍රදීප් කාරියවසම් කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඥාතියෙක්. කොළඹ මහ නගර සභාවේ හිටපු ප්‍රධාන වෛද්‍ය නිලධාරියා. එතුමා නගර සභාවේ වෙන නොවෙන සියලුම දේවල් දන්නවා. එයාට බලයක් එනවට එජාපයේ නාගරික මන්ත්‍රීවරු පිරිසක් විරුද්ධයි. ඒ අය රෝසි සේනානායකට බලපෑම් කරනවා. මෙතැනදී රෝසි හිරවෙලා. හැබැයි රෝසිත් කැමැති නැහැ ප්‍රදීප් කාරියවසම් එනවට ඒ නිසා රෝසි කියන්නේ ප්‍රදීප් කාරියවසම් නැතිව වෙන කෙනෙක් දාමු කියලයි. ඒත් වෙන කෙනෙක් දාන්න පොහොට්ටුවේ අය කැමැති නැහැ. විපක්ෂනායකයා කවුද කියලා එජාපයට තෝරන්න බලයක් නැහැ. ඒක අපේ පක්ෂයේ ප්‍රශ්නයක්” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පෙන්වා දෙති. කෙසේ වෙතත් අවසන් මොහොතේ විපක්ෂ නායක ධුරය ප්‍රදීප් කාරියවසම්ට දීමට රෝසි නිල නොවන මට්ටමින් කැමැත්ත ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ඉදිරියේදී වෛද්‍ය ප්‍රදීප්ට එම ධුරය හිමිවනු ඇතැයි දැනගන්නට තිබේ.

ඇමැති පට්ටම ගන්න ගිය මාන්නප්පෙරුමට අකරතැබ්බයක්

ඉකුත් සතියේ තවත් දේශපාලන සිද්ධියක් වූයේ නියෝජ්‍ය ඇමැති ධුර පිරිනැමීමය. එහිදී අජිත් මාන්නප්පෙරුමට අකරතැබ්බයක් වූයේය. අගමැතිවරයා යෝජනා කර තිබුණේ අජිත් මාන්නප්පෙරුමට මහ නගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය ඇමැති ධුරය ලබා දීමටය. අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ජනාධිපති කාර්යාලයට යැවූ ලිපි ලේඛනවල ද ඒ බව සඳහන් වී තිබිණ. අජිත් මාන්නප්පෙරුම මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමැතිකමේ දිවුරුම් දීමට සියල්ල සූදානම් සිටියේය. එහෙත් ජනාධිපති කාර්යාලයට ගිය අවස්ථාවේ දී මාන්නප්පෙරුමට දැනගන්නට ලැබුණේ ඔහුට එම අමාත්‍යංශය නොලැබෙන බවය. ඒ වෙනුවට ජනාධිපතිවරයාට අයත් පරිසර අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමැති ධුරයේ දිව්රුම් දීමට මාන්නප්පෙරුමට සිදුවිය. අග්‍රාමාත්‍යවරයා දිවයිනේ නොසිටි හෙයින් ඔහු ජනාධිපති කාර්යාලයේ දීම මලික් සමරවික්‍රමට හා අකිල විරාජ්ට මේ ගැන කියා සිටියේය. “දැනට පරිසර අමාත්‍යාංශය බාර ගන්න. අපි අගමැතිතුමා ආවම කතා කරමු.” යැයි මලික් හා අකිල මාන්නප්පෙරුම මන්ත්‍රීවරයාට කියා සිටියේය. ඒත් දිව්රුම් දී සමූහ ඡායාරූපයට පෙනී සිටීමට සූදානම් වූ අවස්ථාවේ මාන්නප්පෙරුම ජනාධිපතිවරයා ළඟට ගොස් “ඇයි සර් මට පරිසරය දුන්නේ. මගේ මෙගා පොලිස් අමාත්‍යාංශයට මොකද වුණේ?” යැයි මාන්නප්පෙරුම ඇසූ විට ජනාධිපතිවරයාට තරමක් කේන්ති ගියේය. “මේක හොඳම අමාත්‍යාංශයක්. ඔයාට බැරි නම් දැන්ම කියන්න.” යැයි ජනාධිපතිවරයා තදින් කියා සිටියේය. අජිත් මාන්නප්පෙරුම එතැනින් නැවතුනේ නැත. පසුදින පාන්දරම නොදන්වාම මාන්නප්පෙරුම කොළඹ පැජට් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවසට ගියේය. ජනාධිපතිවරයා හමුවූ විට මාන්නප්පෙරුමට කිසිවක් කීමට ඉඩ තැබුවේ නැත. “පරිසර අමාත්‍යාංශය හොඳ අමාත්‍යාංශයක්. හොඳ නියෝජ්‍ය ඇමැතිවරයෙක් ඕනේ. අවංකව ඔළුව තියෙන කෙනෙක් ඕනේ ඔයා හෙට උදේ දහය හමාරට වැඩ බාරගන්න. මමත් එනවා.” යැයි ජනාධිපතිවරයා කීවේය. මාන්නප්පෙරුමට කර කියා ගත නොහැකි තත්වයක් ඇති විය. ඔහු නැවත ගෙදර ගොස් පසුවදා පරිසර අමාත්‍යාංශයට ගොස් වැඩ භාර ගත්තේය. ජනාධිපතිවරයා ද ඒ අවස්ථාවට පැමිණියේය. මාන්නප්පෙරුමට රාජකාරි ආරම්භ කරන්නට නැකැත් වෙලාවක් හෝ නොතිබිණ. ජනාධිපතිවරයා කී වෙලාවට ඔහුට අත්සන් කරන්නට සිදුවිය.

බුද්ධිකට වුණු අපත වැඩේ

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණට නියෝජ්‍ය ඇමතිධුරයක් හිමිවීම පිළිබඳව දේශපාලන කරළියේ නොයෙකුත් කතාබහ ඇතිවිය. ඇතැම් පිරිස් කීවේ ‘බුද්ධික ඔය අවුරුදු එකහමාරත් ඕක නොගෙනම හිටියා නම් හොඳයි’ කියාය. ‘අගමැතිතුමා දිගින් දිගටම බුද්ධික නොසලකා හැරියා. මාතර දිස්ත්‍රික්කයේ එජාප ලැයිස්තුවෙන් පළමු තැනට ආවේ බුද්ධික. ඒත් නියෝජ්‍ය ඇමතිධුරයක්වත් ලැබුණේ නැහැ.’ යැයි තවත් කෙනෙක් පවසා තිබිණ. නියෝජ්‍ය ඇමතිධුර ලබාදෙන අවස්ථාවේ බුද්ධික ජපානයේ සංචාරයකට ගොස් සිටියේය. දින දෙක තුනකට පසුව නැවත දිවයිනට පැමිණි බුද්ධික පසුගිය අඟහරුවාදා පස්වරු 5.30ට ආසන්න වෙද්දී කොළඹ 07 මහගම සේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවෙසට ගියේ ජනාධිපතිවරයා හමුවී තමන්ට ලැබීමට නියමිත නියෝජ්‍ය ඇමැති ධුරයේ දිවුරුම් දීම සඳහාය. සිය මෑණියන්, නැඟණිය සහ ඇගේ සැමියා සහ හිතවතුන් කිහිපදෙනකුද සමඟ එහි ගිය බුද්ධිකට මුලින්ම හමුවූයේ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුය.

ඔහු බුද්ධික දෙසට කහ පැහැති ෆයිල් කවරයක් දිගු කරමින් මෙසේ කීවේය. 'ඔය කොළේ තියෙන ටික බලාගන්න. ඕක බලාගෙන තමයි දිවුරුම් දෙන්න තියෙන්නෙ. ඔන්න අපි ඔබතුමා ඉල්ලපු එකම දුන්නා.' කොළය අතට ගත් බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා උඩගොස් බිම වැටුණේය. එහි සඳහන් වූයේ ඔහුට හිමිවනුයේ නගර සැලසුම් හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ධුරය බවය. නමුත් ඔහුට දැනුම්දී තිබුණේ කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය ලබාදෙන බවය. කලබලයට පත්වූ බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා ජනාධිපති ලේකම්වරයාට මෙසේ කීවේය. “මේක නෙවෙයි මට දෙනවා කිව්වේ. මම කිසිම ඇමැතිකමක් ඉල්ලලා නෑ. අවුරුදු 3ක් මන්ත්‍රි කෙනකුව සිටිය මට ඉතිරි අවුරුදු දෙකත් මෙහෙමම ඉන්න එක මහ වැඩක් නෙවෙයි. හැබැයි අද උදේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමා මගේ ස්ටාෆ් එකටත් එන්න කියලා. මට ලැබෙන ඔෆිස් එකත් පෙන්නලා තියෙනවා. බ්‍රහස්පතින්දා උදේ වැඩ භාරගන්න උත්සවයකුත් ලෑස්ති කරලා. එහෙම එකේ මෙහෙම වුණේ කොහොමද? "අගමැතිතුමා මුලින්ම ලියලා එවලා තිබුණේ කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය ඇමැතිකම දෙන්න කියලා. ඊට පස්සේ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක අපට දැනුම් දුන්නා බුද්ධික පතිරණ මන්ත්‍රිතුමාගේ ඉල්ලීම පරිදි නගර සැලසුම් හා ජලසම්පාදන නියෝජ්‍ය ඇමැතිකම දෙන්න කියලා. ඒක තමයි වුණේ." ලේකම්වරයා පැවසී ය. "ලේකම්තුමා මේක අමූලික බොරුවක්. මම එහෙම ඉල්ලීමක් කෙළේ නෑ. එකක් මතක තියා ගන්න. මගේ උස අඩි 5යි අඟල් 3යි. ඒක සෙන්ටිමීටර්වලින් නම් 159යි. උසින් ටිකක් අඩු වුණාට මට හොඳ කොන්දක් තියෙනවා. මේක ඔබතුමා තියාගන්න. දෙනව නම් අගමැතිතුමා දන්වලා එවපු නියෝජ්‍ය ඇමැතිකම විතරක් දෙන්න. නැත්නම් මම මන්ත්‍රිකමේම ඉන්නවා යැයි බුද්ධික කීවේය.

“මේ හදිසියේ කොහොමද? මේක වෙනස් කරන්නේ. හයට විනිසුරුවරුන් කට්ටියක් ජනාධිපතිතුමා හමුවෙන්න එනවා“ ලේකම්වරයා කියද්දී බුද්ධික ඊට මෙසේ පිළිතුරු දුන්නේය. “එහෙනම් ඒක ඉවර වෙලා රෑ 11ට හරි 12ට හරි කමක් නෑ. අපි හරි එකේ දිවුරුම් දෙමු. එහෙම නැත්නම් මම දැන්මම යන්න යනවා“ යැයි කියමින් බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා මෑණියන්ගේද අත අල්ලාගෙන සිටි තැනින් නැඟිට්ටේය. “හා... හා... කලබල වෙන්න එපා. ඔබතුමාගේ ප්‍රශ්නෙ කොහොම හරි විසඳනවා. පොඩ්ඩක් ඉන්න“ එසේ කියූ ඔස්ටින් ප්‍රනාන්දු මහතා වහාම ජනාධිපති ලේකම් කාර්යාලයට ඇමතුම් කිහිපයක් ගත්තේය. ඉන් පසු විනාඩි 20ක් පමණ ගතවෙද්දී ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට විශේෂ පොලිස් ආරක්‍ෂාවක් සහිතව පැමිණි වාහනයකින් ලිපි ලේඛන සහිත ෆයිල් කවරයක් නිලධාරියකු විසින් ජනාධිපති ලේකම්වරයා වෙත ගෙනැවිත් දුන්නේය. වාහනයට පොලිස් ආරක්‍ෂාව ලැබී තිබුණේ කාර්යාල අවසන් වූ වේලාව බැවින් මාර්ග තදබදයෙන් එන ප්‍රමාදය වළක්වා ගැනීම සඳහාය.

“ආ... මේන් තියෙනවා. දැන් මේක කියවන්න' කියමින් ජනාධිපති ලේකම්වරයා සිනහ මුසුව බුද්ධිකට ලිපියක් අඩංගු දිවුරුම සහිත ෆයිල් කවරය ඔහු අතට පත් කළේය. එහි සඳහන්ව තිබුණේ දිවුරුම්දීමට නියමිතව ඇත්තේ කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස බවය.

ඉන් මඳ වේලාවකට පසුව බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවේ දිවුරුම් දුන්නේය. “සර් මෙතුමා විෂයක් ඉල්ලලා නෑ. අපි ලියුම් දෙකම දැකලා පස්සේ ආපු එක හරියි කියලා හිතුවා. ඒකයි වුණේ' ජනාධිපති ලේකම්වරයා සිනාසෙමින් කීවේය. තමන් සිදුවන්නට ගිය අකරතැබ්බයෙන් මුදා ගැනීම ගැන ජනාධිපතිවරයාට තුති පුද කළ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද කීවේය. “ජනාධිපතිතුමනි, බ්‍රැඩ්මන් වීරකෝන් ලේකම්තුමා වගේ ඔස්ටින් ප්‍රනාන්දු ලේකම්තුමාත් කවදා හරි ජීවිත කතාව ලියද්දී 'බුද්ධිකට වුණු අපත වැඩේ' කියලා මේ වෙච්ච දේ ගැන පරිච්ඡේදයක් ඒකේ ලිව්වොත් තමයි හොඳ“යැයි කියද්දී ජනාධිපතිවරයාටද සිනහා නොවී සිටින්නට බැරිවිය.

සියඹලාපිටියට චම්පිකගෙන් චෝදනා

කෙරවලපිටියේ ඉදිකිරීමට යෝජිත ස්වභාවික වායු සංයුක්ත චක්‍ර විදුලි බලාගාරය සම්බන්ධයෙන් ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී උණුසුම් තත්ත්වයක් හට ගැණින. විදුලිබලාගාර ව්‍යාපෘති ලක්දනවි නැමති විදුලිබල මණ්ඩලයට අයත් සමාගමකට ලබාදීමට තිබියදී නීති විරෝධීව හා සැකසහිතව ටෙන්ඩරය අවසන් මොහොතේදී චීන සමාගමකට ලබාදීම පිළිබඳව මුලින්ම චෝදනාව එල්ල කළේ හිටපු විදුලිබල හා බලශක්ති ඇමතිවරයා වන පාඨලී චම්පික රණවකය. පාඨලී ඇමතිවරයා දිගින් දිගටම තර්ක කළේ බලාගාරය ඉදිකිරීමේ ටෙන්ඩරය ලක්දනවි සමාගමට ලබාදිය යුතු බවය. ඒ සම්බන්ධයෙන් වන නිරීක්ෂණ වාර්තාවක් පවා පෙර සූදානම් කරගෙන තිබූ ඇමතිවරයා එයද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය. පාඨලීගේ සහායට සාගල රත්නායක ඇමතිවරයාද එක්විය. සාගල ඇමතිවරයා සඳහන් කළේ ලක්දනවි සමාගමට අදාළ ටෙන්ඩරය ලබාදීම චීන සමාගමකට ලබාදීමට වඩා වාසි සහගත බවය. ලක්දනවි සමාගමේ ඉතිහාසයද ගෙන හැර එමින් සාගල කරුණු කාරණා පැවසුවේය. කෙසේ වෙතත් බලාගාර ටෙන්ඩරය නිසා කැබිනෙට්ටුව රත්වෙද්දී ජනාධිපතිවරයාද ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළේය. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමති රංජිත් සියඹලාපිටියද වාදයට එක්වූ අතර ඔහු දිගින් දිගටම කරුණු කියන්නට විය. සියඹලාපිටිය පිළිතුරු දෙමින් කීවේ නියමිත ටෙන්ඩර් පරිපාටිය හා ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ තීන්දුවට අනුව සාධාරණව කටයුතු සිදුව ඇති බවය. එම නිසා චීන සමාගමට එම ටෙන්ඩරය ලබාදිය යුතු බවද හෙතෙම සඳහන් කළේය. සියඹලාපිටිය ඇමතිවරයාගේ කරුණු පැහැදිලි කිරීමට මහින්ද සමරසිංහ සහ නිමල් සිරිපාල ද සිල්වාත් මැදිහත් වූහ. එලෙස වාදය උණුසුම්වෙද්දී ජනාධිපතිවරයා තීන්දුවක් ගත්තේය. “අපි පාඨලී ඇමතිවරයාගේ අදහස ගනිමු. මේ පිළිබඳව නැවත සලකා බලන්න ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයට සතියක කාලයක් ලබාදෙමු” යැයි ජනාධිපතිවරයා පැවසී ය. ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත බලාගාරයේ කැබිනට් උණුසුම එලෙසින් නිමවිය.

Rate this item
(4 votes)
Last modified on Friday, 22 June 2018 18:28