May 21, 2024

කරළියෙන් එහා: ඒකාබද්ධ නායකයින්ට මහින්දගෙන් දැඩි දෝස්මුරයක්! තනතුරක් ගන්න බන්දුල කැමැත්තෙන්

ඊලඟ ජනාධිපතිවරණයට ගෝඨාභයගේ පැමිණීමත්, ඒකාබද්ධය ඇතුලේ මත ගැටුම් සහ ජවිපෙ 20 වන සංශෝධනය ගැන පසුගිය සතියේ දේශපාලන කරළියෙ උණුසුම් විය. මේ අතර ඒකාබද්ධයේ ඇතුලේ විවිධ මතවාද අතරේ ආණ්ඩුවෙන් ඉවතට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දහසය දෙනාගේ කණ්ඩායමද පොදු එකඟතාවකට ඒමට නොහැකි වීමෙන් ඔවුන් අතරද විවිධ මත ගැටුම් ඇතිවී තිබේ. ජෝන් සෙනෙවිරත්න, චන්දිම වීරක්කොඩි සහ තවත් කිහිපදෙනෙකුගේ වුවමනාව වී ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හරහා නැවත රාජපක්ෂ පිලට එකතුවීමටය. එහෙත් තවත් පිරිසක් බැසිල් රාජපක්ෂ හිතවාදීව කටයුතු කරන බව ද පැවසෙන අතර, තවත් අදහසක් වී ඇත්තේ තවදුරටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ එක්ව ශ්‍රීලනිපයේ කටයුතු කළ යුතු බවටය. ජනතා විමුක්ති පෙරමුණ විජිත හේරත් මන්ත‍්‍රීවරයාගේ පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස ගෙනා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සංශෝධනය පිළිබඳ විවිධ මත පළවෙමින් තිබේ. මේ පිළිබඳව ඇතැම් පිරිස් ව්‍යාජ මත පතුරවමින් ජනතාව නොමඟ යැවීමට කටයුතු කරමින් තිබේ. මේ නිසාම ඇතැම් පිරිස් 20වැනි සංශෝධනය පිළිබඳව යම් සැකයකින් කතාබහ කරමින් සිටියි. මේ හේතුව නිසාම ජවිපෙ නායකයින් මේ දිනවල විද්වත් පිරිස් සමඟ සංශෝධනය පිලිබඳව කරුණු සාකච්ඡා කරමින් සිටියි. පසුගියදා 20 පිළිබඳව තිබූ එවැනි සාකච්ඡාවකදී නීතිඥවරයෙක් විජිත හේරත්ගෙන් මෙවැනි කරුණක් ගැන විමසා සිටියේය. ”මන්ත‍්‍රීතුමා මොකක්ද මේ රනිල්ගේ වුවමනාවට මේ සංශේධනය ගෙනාවා කියන්නේ. මාසයක් රනිල්ට බලය ලැබෙනවා කියලත් කතාවක් යනවා.” නීතිඥයා විමසා සිටියේය.

‘20’න් කාටද වාසිය

”අපි යෝජනාව දැම්මට පස්සේ ඊට කලින් මවපු බිල්ලෝ මවන්න සමහර ඔඩොක්කු කුක්කන්ට බැහැ. ඒ නිසා දැන් පරණ පුරුද්දට රනිල් පටලවා ගන්නවා. විස්ස කි‍්‍රයාත්මක වෙන්නේ 2020 ජනවාරි 08න් පස්සේ. විස්ස ක‍්‍රියාත්මක වීමත් සමග 2020 පෙබරවාරි මාසේ 08 වෙනිදා පාර්ලිමේන්තුව විසුරුවන්න කියලා අපි යෝජනා කරනවා. නමුත් දැන් තියෙන ආණ්ඩුව 2020 සැප්තැම්බර් වෙනකල් තියෙනවා. විස්ස නිසා 2020 පෙබරවාරි පාර්ලිමේන්තුව විසුරුවනවා. ඇත්තටම වෙන්නේ මාස 7ක් කලින් රනිල්ගේ ආණ්ඩුව අවසන් වෙන එකයි. ඒක රනිල්ට පාඩුයි. එතකොට කියනවා රනිල්ට ජනවාරි සිට පෙබරවාරි දක්වා මාසයක බලයක් යනවලූ. මාසයකින් පස්සේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න යෝජනා කරන්නේ රටේ අස්ථාවරත්වයක් ඇතිවෙයි කියලා. නමුත් කවුරු හරි යෝජනා කරනවානම් 2020 ජනවාරි 09වෙනිදම විසුරුවා හරින්න කියලා අපි ඒකටත් කැමතියි.” විජිත හේරත් කියා සිටියේය.

20න් පස්සේ මහින්දටයි මෛත‍්‍රීටයි මොකද වෙන්නේ

”එතකොට මන්ත‍්‍රීතුමා මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයට සහ මෛත‍්‍රීපාල ජනාධිපතිතුමාට මොකද වෙන්නේ.” විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් විමසා සිටියේය. ”මූලික වශයෙන් අපි පුද්ගල සාධක ගැන හිතලා සංශෝධනය හැදුවේ නැහැ. නමුත් මේකෙන් මෛත‍්‍රී ජනාධිපතිතුමාට වාසියක් තියෙනවා කියලා තර්කයක් හදන්න පුළුවන්. විස්ස ක‍්‍රියාත්මක වෙලා ඊළඟ පාර්ලිමේන්තුව මගින් ජනාධිපති පත්වෙනකල් මෛත‍්‍රීට විස්සේ ප‍්‍රතිපාදන අනුව ජනාධිපති පුටුවේ ඉන්න පුළුවන්. නැත්නම් මෛත‍්‍රී 2020 ජනවාරි 09වෙනිදා ගෙදර යන්න ඕනෑ. ඒ නිසා කවුරු හරි කියනවානම් මේක මෛත‍්‍රීගේ වුවමනාවට කරනවා කියලා ඒකට තර්කයක් තිබෙනවා. මහින්ද රාජපක්ෂගේ පැත්තෙන් බැලූවොත් දැන් තියෙන ව්‍යවස්ථාව අනුව මහින්දට රටේ නායකයා වෙන්නත් බැහැ ආණ්ඩුවේ නායකයා වෙන්නත් බැහැ. මොකද රටේ නායකයාත් ආණ්ඩුවේ නායකයාත් ජනාධිපති නිසා. නමුත් විස්සට අනුව මහින්දට ආණ්ඩුවේ නායකයා වෙන්න පුළුවන්. මොකද 20වැනි සංශෝධනය අනුව ආණ්ඩුවේ නායකයා වෙන්නේ අගමැතිවරයායි. ඒ නිසා කාට හරි කියන්න පුළුවන් මේක මහින්දගේ වුවමනාවක් කියලත්.

”එතකොට මන්ත‍්‍රීතුමා මේක සම්මත කර ගන්නේ කොහොමද? පළමු වටයේ මේ සංශෝධනයට 2/3ක් ඕනෑ. ඒ කියන්නේ මන්ත‍්‍රීවරු 150ක්” සාකච්ඡාවට සම්බන්ධ වූ ස්වාමින්වහන්සේ නමක් විමසා සිටියහ. ඊට පිළිතුරු දුන්නේ අනුර දිසානායක මන්ත‍්‍රීවරයාය. ”අපිට ඉන්නේ මන්ත‍්‍රීවරු 06යි. අපිට අභියෝගයක් තියෙනවා. අපිට 2001 මන්ත‍්‍රීවරු හිටියේ 10යි. ඒ වෙලාවේ 17වැනි සංශෝධනය සම්මත කරගත්තා. එදා මන්ත‍්‍රීවරු 223ක් 17ට එකඟ වුනා. මොකද? එදා පාර්ලිමේන්තුවේ වෙනත් අරාජික තත්වයක් තිබුණා. ඒක අපි ප‍්‍රයෝජනයට ගත්තා. අද පාර්ලිමේන්තුවේ සංයුතිය කොහොමද? එජාපයේ 106යි. මහින්දගෙ 54යි. ටීඑන්ඒ 16යි. මෛත‍්‍රීගේ 23යි. දොරකඩ 16යි. දේවානන්ද ළඟ 01යි. මේ තත්වය අපිට පාවිච්චි කරගන්න පුළුවන්. මොකද ආණ්ඩුවට 2/3ක් තිබුණ වෙලාවේ සම්මත කරගත්ත සංශෝධන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ඒවා. නමුත් 17 සහ 19 පමණයි ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හිතකර වුණේ. ඒවා සම්මත කරගත්තේ පාර්ලිමේන්තුවේ පොදු සම්මුතියෙන්. අදත් පාර්ලිමේන්තුවේ තිබෙන සංයුතිය හොඳයි. මහින්ද විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න එකඟයි. මෛත‍්‍රීපාල සිරිසේන අවස්ථා ගණනාවකදී ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා කිව්වා. රනිල් වික‍්‍රමසිංහ අවස්ථා ගණනාවකදී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න එකඟවෙලා තිබෙනවා. මේ තිදෙනාම අහෝසි කරන්න එකඟතාවයක් තිබෙනවා. ඒ නිසා අපිට යම් විභවයක් තිබෙනවා විස්ස සම්මත කර ගැනීමට. ඒ වගේම වෙල්ගම, බන්දුල, ප‍්‍රසන්න රණතුංග, වාසුදේව වගේ ඒකාබද්ධයේ පිරිස් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ මූලික එකඟතාවයේ ඉන්නවා.” අනුර දිසානායක පැහැදිලි කළේය.

මිල්කෝ සමාගම ගොවියට රු. මිලියන 900ක් ණයයි

පසුගිය මාසයකට පමණ අධික කාලයක සිටි කිරිගොවියන් විසින් උද්ඝෝෂණ මාලාවක් පවත්වමින් සිය ගැටලූ පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමුකරවීමට උත්සහ දැරීය. මාසයකට ආසන්න කාලයක් කිරිගොවියන් සඳහා මිල්කෝ සමාගම ‘කිරි පඩි’ ලබානොදීමත් කිරිගවයින්ට ලබාදෙන සත්ව ආහාර අධික ලෙස මිල වැඩිවීමෙන් කිරි නිෂ්පාදන මිල ඉහළ යෑමත් ඇතුළු ගැටලූ ගණනාවකට කිරි ගොවියන් මුහුණදී තිබේ. මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නාමල් කරුණාරත්න මැදිහත්වූ අතර කිරිගොවි සමිති ඒකරාශි කොට කොරිගොවි සමිති එකතුවක්ද ගොඩනගා ගත්තේය. පසුව විජිතමුණි ඇමතිවරයාගෙන් සාකච්ඡුාවක් ඉල්ලා සිටියේය. පසුගිය සතියේ ඇමතිවරයාගේ ලේකම්වරියක නාමල් කරුණාරත්නට කතා කොට කීවේ ලබන 21වෙනිදා සාකච්ඡුාවක් ලබාදිය හැකි බවයි. ”ලේකම්තුමිය, අපිට කලින් දිනයක් දීලා ඒකත් කල් දැම්මා. අපි 13වෙනිදා කොළඹ එනවා. එදාට මහජන දිනය නිසා ඇමතිතුමාට ඉන්න කියන්න” නාමල් කරුණාරත්න තම තීරණය කියා දුරකතනය විසන්ධි කළේය. පසුව 13වෙනිදා දහවල් කිරි ගොවියන් 500ක් පමණ කොළඹට පැමිණ අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළ අතර පසුව ඇමතිවරයා සමඟ සාකච්ඡාවක්ද පැවැත්වීය.

”අපි කිරි ගොවියන්ගේ මුදල් ගෙවන්න කටයුතු කරනවා. ප‍්‍රශ්න විසඳන්න අපිට මාස තුනක කාලයක් දෙන්න.” විජිතමුණි ඇමතිවරයා නියෝජිතයින්ට පොරොන්දුවිය. මේ වසරේ මැයි මස 15 වනවිට මිල්කෝ ආයතනය රුපියල් මිලියන 1078ක ණයකාරයෙකු වී ඇති බවත් ගොවියන් සඳහා පමණක් තවත් මිලියන 900ක් පමණ ගෙවීමට ඇති බවත් හෙළි විය. මේ අතර පසුගිය ආණ්ඩුව සමයේ කිරි ගවයන් ගෙන්වීම පිළිබඳවත් අවධානය යොමු විය. ”බැසිල් රාජපක්ෂ කිරි ගවයින් 4900ක් විතර ගෙනත් තියෙනවා. ඒ කිරි ගවයින් වෙනුවෙන් ආණ්ඩුව ලක්ෂ 05ක් බැගින් දරණවා. නමුත් කිරි ගවයෙක් ගොවියට දෙන්න තිබුනේ ලක්ෂ දෙක ගානේ. ඇමතිතුමා, නමුත් ආණ්ඩුවෙන් නීතියක් දාලා තිබුණා අවම වශයෙන් හරක් 10ක් ගන්න කියලා. එතකොට ගොවියෙකුට ලක්ෂ 20ක් ඕනෑ. ඒක දාලා තියෙන්නෙම ව්‍යාපාරිකයින්ට හරක් ටික විකුණන්නයි. ඒ නිසා තමයි ලක්ෂ්මන් වසන්ත පෙරේරා හරක් 400ක් ගත්තේ. ආණ්ඩුව විශාල වියදමක් දරලා මන්ත‍්‍රීවරුන්ට හරක් දීලා. ඒ විතරක් නෙවෙයි මේ හරකුන්ට ලෙඩ තියෙනවා කියලත් වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා ගැටලූ ගොඩක් තියෙනවා මේ කිරි හරක් ගෙන්වන එකේ.” නාමල් කරුණාරත්න පැහැදිලි කළේය. ”නාමල් මන්ත‍්‍රීතුමා මමත් හරක් 50ක් ගත්තා. ඒක වෙනම කතාවක්. නමුත් මම මේ ගැන හොයලා බලන්නම්.” ඇමතිවරයා කියා සිටියේය. ”ඔව් ඇමතිතුමා තවත් කිරි හරක් 15000ක් ගෙන්වනවා කියලා පත්තර දැන්වීම් දාලා තිබුණා. අපේ රටට සල්ලි දීලා ලෙඩ දාගන්න ඕන නැහැ. මොකද අපේ රටේ දියර කිරි ව්‍යාප්ත කරන්න කිරිපිටි එවන රටවල්වලට උවමනාවක් නැහැ. ඒ රටවලින් හරක් එවන්නේ අපේ රටේ ඉන්න හරක් ටිකත් ලෙඩ කරන්න වෙන්න පුළුවන්. මේ ගැන කඩිනමින් හොයලා බලන්න වෙනවා.” නාමල් කරුණාරත්න කියා සිටියේය.

සභාපති ධූරයකට බන්දුල කැමැත්තෙන්

ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රී කණ්ඩායම රට පුරා රැස්වීම් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. එහි පළමු රැස්වීම පසුගියදා මාතර දී පැවැත්විණි. උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවැති මෙම රැස්වීම හිතූතරම් සාර්ථක නොවූ බව එම මන්ත්‍රී කණ්ඩායමේ සමහර අයගේ අදහස වී තිබේ. එම නිසාම එහි දෙවැනි පියවර පැවැත්වීම කල්දමන්නට ඔවුන්ට සිදු වූයේය. කෙසේ වෙතත් ආරංචිමාර්ග සඳහන් කළේ “හෘද සාක්ෂියේ නිදහස” මැයෙන් වන එම රැස්වීම හෙට දිනයේදී මාතලේ නගරයේ පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තු සැසිවාරය අලුතින් ආරම්භ කෙරෙන විට කාරක සභා සාමාජිකයන්ද පත්කර නැවත අලුත් කළ යුතුය. ආණ්ඩුව තීන්දු කර තිබුණේ කෝප් කමිටුව, රාජ්‍ය ගිණුම්කාරක සභාව සහ අනෙකුත් කමිටුවලට කලින් පත්වී සිටි සාමාජිකයන්ම පත් කිරීමටය. එහෙත් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ඊට ඇස ගසා සිටියේය. “රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ධුරය මට දෙන්න, ඒක මට කරන්න පුළුවන්” යැයි බන්දුල ලසන්ත අලගියවන්නට කීවේය. ලසන්ත අලගියවන්න ශිෂ්‍යයකු අවධියේ බන්දුල ගුණවර්ධනගේ ගෝලයෙකි. එහෙත් ගෝලයා මෙවර ගුරුතුමාට එකඟ වූයේ නැත. “රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ලෙස වැඩ කළේ මම. නැවතත් ඒ ධුරය මටම දෙන්න ආණ්ඩුව තීන්දු කරලා තියෙනවා” යැයි ලසන්ත අලගියවන්නට ගුරුසිත නොරිදෙන පරිද්දෙන් කියා සිටියේය. මේ අතර බන්දුල හිතවතුන් පිරිසක් සමග කියා ඇත්තේ “ඡන්දයකට ගියා නම් කොහොමටත් අපට ඡන්ද අඩුයි. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ලසන්තට ඡන්දය දේවි, ඒ නිසා මම අදහස අයින්කර ගත්තා” කියාය.

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට ආණ්ඩුවේ වැඩි පිරිසකගේ එකඟතාව පළවී තිබෙන බව වාර්තා විය. එහෙත් ජනාධිපතිවරයාත්, පළාත් පාලන හා පළාත් සභා ඇමැතිවරයාත් ඇතුළු ආණ්ඩුවේ පිරිසකගේ මතය වී ඇත්තේ පළාත් සභා මැතිවරණය ද නව ඡන්ද ක්‍රමය යටතේ ම පැවැත්වීම වඩාත් හොඳ බවය. “සමහරු කියනවා අලුත් ඡන්ද ක්‍රමය හොඳ නැහැ කියලා. ඒක සත්‍යම නොවෙයි. මෙවර ජනතාව ඡන්දය භාවිත කළ ආකාරය නිසා ගැටළුසහගත තත්ත්වය වැඩිවුණා. එහෙම නැතුව පැරණි සමානුපාතික ක්‍රමයට වඩා අලුත් ඡන්ද ක්‍රමය හොඳයි. ජනතාවට කරදරයක් නැහැ. සල්ලි නාස්ති වෙන්නෙත් නැහැ.” යැයි ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කරයි. ඒ අනුව විෂය භාර ඇමැතිවරයා ලෙස ෆයිසර් මුස්තාපා අලුත් ඡන්ද ක්‍රමය වෙනුවෙන් තවමත් පෙනී සිටින බවක් පෙන්නුම් කරයි. එහෙත් එක්සත් ජාතික පක්ෂය ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන ඇමැතිවරුන් දේශපාලන පක්ෂ නායකයන් ඇතුළු බහුතරයකගේ මතය වී ඇත්තේ මීළඟ පළාත් සභා මැතිවරණය ද පැරණි ක්‍රමයටම පැවැත්වීම වඩාත් යහපත් වන බවය.

කෙසේ වෙතත් මේ වනවිට 2017 අංක 17 දරන පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත මේ වන විට පාර්ලිමේන්තුවේ සම්මත වී තිබේ. ඒ අනුව අනිවාර්යයෙන්ම පළාත් සභා මැතිවරණය අලුත් ක්‍රමයට පැවැත්විය යුතුය. එහෙත් අලුත් ක්‍රමයට පළාත් සභා ඡන්දය පැවැත්වීම කල්දැමීමට හෝ අලුත් පනත සංශෝධනය හෝ අවලංගු කිරීම හෝ සිදුවිය යුතුය. ඒ සඳහා අවශ්‍ය පියවර ගත යුත්තේ පාර්ලිමේන්තුවය. අලුත් ඡන්ද ක්‍රමයට අදාළ සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම හිතාමතාම ආණ්ඩුව මඟහැර තිබේ. ඒ නිසා අනිවාර්යයෙන්ම පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වෙනු ඇතැයි විශ්වාස කළ හැකිය. මේ අතර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් සියලු පක්ෂ නායකයන්ටත් තද ලියුමක් යවමින් සඳහන් කර තිබුණේ මැතිවරණ කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි ක්‍රියාවක් බවය. එම නිසා තවදුරටත් පළාත් සභා මැතිවරණය කල් නොදැමිය යුතු බව ද මහින්ද දේශප්‍රිය සභාපතිවරයා එම ලිපියෙන් අවධාරණ කර තිබිණ. ඉහළ පෙළේ දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ දැනට විසුරුවා හැර තිබෙන සහ ලබන මාසයේදී නිල කාලය නිමා වන පළාත් සභාවලට අදාළ මැතිවරණය දෙසැම්බර් හෝ ජනවාරි මාසයේදී පැවැත්වෙනු ඇති බවය.

ඇමරිකානු තානාපති - මහින්ද හමුව

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කේෂාප් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර පසුගිය දා පැවැති හමුව සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ ඉකුත් දා පළ වී තිබිණ. ඒ අතර ප්‍රබල ලෙසම පළවී තිබුණු මතය වූයේ ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් ඇමරිකානු තානාපතිවරයා පැවසූ බව කියන කතාවක්ය. දේශපාලන කරලියේ ඉතා උණුසුම් ලෙස එම කතාව පැතිර ගොස් තිබිණ. “ගෝඨාභය රාජපක්ෂ මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඇමරිකාව ඇතුළු යුරෝපා රටවල සහායක් නොලැබෙන බව ඇමරිකානු තානාපති අතුල් කේශාප් හිටපු ජනාධිපතිවරයාට පැවසූ බවක් එම කතාවල සඳහන් වී තිබිණ. එහෙත් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය එම කතා ප්‍රතික්ෂේප කර තිබිණ. කෙසේ වෙතත් ඇමෙරිකන් තානාපති කාර්යාලය මේ ගැන මේවන තෙක් කිසිදු සඳහනක් කර නොමැත. එය සත්‍යයක් ද, එසේ නැතහොත් එය අසත්‍යයක් දැයි ඔවුහු ප්‍රකාශ කර නැත. එහෙත් හිටපු ජනාධිපතිවරයා හෝ ඒකාබද්ධ විපක්ෂයද ඒ සම්බන්ධයෙන් තවමත් කිසිම ප්‍රකාශයක් කර නැත.

මේ අතර වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක ඉකුත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට අභියෝගයක් ඉදිරිපත් කළේය. “ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කරලා හෝ අයින් කරලා හෝ තිබෙනවා නම් ඒ ගැන ජනතාවට පෙන්වන්න කියලා මම ගම්මන්පිලට අභියෝග කරනවා. උදය ගම්මන්පිලට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ ඔය විදියට කතා කියන්න. එයා කියලා තියෙන්නේ ඕන අවස්ථාවක ගෝඨාභයගෙ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කළ හැකි බවයි. අපිත් නීතිය දන්නවා” යැයි ද නවීන් ප්‍රකාශ කරයි. “සාමාන්‍යයෙන් ඇමරිකානු පුරවැසියෙකුට මේ රටේ ජනාධිපති අපේක්ෂකත්වයට තරග කරන්න බැහැ. අපට ආරංචි හැටියට ගෝඨාභය මහත්තයා ඇමෙරිකානු පුරවැසිභාවය අයින් කරන්න ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ ඉල්ලීම පිළිගන්නවා නම් ඇමෙරිකාව සහතිකයක් නිකුත් කරනවා. අපි කැමැතියි රාජපක්ෂ මහත්තයාටයි, ගම්මන්පිල මහත්තයටයි කියන්න කරුණාකරලා ජනතාවට ඒ සහතිකය පෙන්වන්න පිළිතුරක් දී ඇත.

මහින්දට හදිසි අසනීප තත්ත්වයක්

මහින්ද පසුගිය සෙනසුරාදා ගම්පහ බලා ගියේ ඉඹුල්ගොඩ වීරයා යැයි විරුදාවලී ලත් එස්.ඩී. බණ්ඩාරනායකගේ පිළිරුව විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමටය. පිළිරුව ඉදිකර තිබුණේ ඉඹුල්ගොඩය. එස්.ඩී. බණ්ඩාරනායකගේ පුත් පණ්ඩු බණ්ඩාරනායක පසුගිය කාලයේ මෛත්‍රී පාර්ශ්වයට සහය දක්වමින් සිටිය ද ඔහු දැරූ ආසන සංවිධායකකම සති කිහිපයකට පෙර මෛත්‍රී විසින්ම ඉවත් කර තිබුණි. මෙම උත්සවයට සහභාගි වීම සඳහා ප්‍රසන්න රණතුංග කලින්ම පැමිණ සිටි අතර ඒකාබද්ධයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් වන ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ ඇතුළු පිරිසක් ද ප්‍රසන්න සමඟ වූහ.

ප්‍රසන්න දුටු එක් ව්‍යාපාරිකයකු “ආ මන්ත්‍රීතුමා එන්න ඉස්සරහට, දැන් ඉතින් යහපාලනේ කට්ටිය ඉස්සරහට එන කාලෙනේ. එයාලට දැන් තමයි අපිව මතක් වෙලා තියෙන්නේ”යැයි කීවේ ප්‍රසන්නට පිටුපසින් සිටි සුදර්ශනී දෙස ද බලමිනි. ව්‍යාපාරිකයාගේ කතාව ඇසුණු පණ්ඩු ප්‍රසන්නට සුදර්ශනීව ඇහෙන් පෙන්වීය. “ඕවා ගණන් ගන්න එපා. අපි එයාලා එන එකට අකමැති නැහැ. නොමඟ ගිය අය යහමඟට එනවා දකින්න තමයි අපිත් කැමැති. හැබැයි එන අය කෙලින් එන්න ඕනේ වංගු ගහන්නේ නැතුව” ප්‍රසන්න කීවේය.
පසුගිය ඉරිදා සවස මහින්ද කරන්දෙණිය බලා ගියේ ඝාතනයට ලක් වූ කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාට අවසන් ගෞරව දැක්වීමටය. මේ දිනවල රට පුරා යහමින් පැතිර යමින් තිබෙන පාතාලයේ ගොදුරක් බවට පත්වීමට උප සභාපතිවරයාට සිදුව තිබුණි. රමේෂ් පතිරණ සහ මොහාන් සිල්වා යන මන්ත්‍රීවරුන් ද සමඟ සම්පත් අතුකෝරාළ ද මෙම අවස්ථාවට සහභාගීව සිටි අතර මහින්ද ඇතුළු පිරිස සාකච්ඡා කළේ ද පාතාල ලෝකයේ හිස එසවීම සම්බන්ධයෙනි. “අපේ ආණ්ඩුව තිබුණ කාලෙ නම් සර්ලට පින්සිද්ධ වෙන්න පාතාල ලෝකය මර්දනය වෙලා තිබුණා. අද චණ්ඩි පාට් දාන පාතාලයෝ සේරම හිටියේ මර බයේ රටින් පැනලා. හැබැයි මේ ආණ්ඩුව ආවා විතරයි සේරම ටික ආපහු ලංකාවට ඇවිත් වැඩ පෙන්වන්න පටන් ගෙන” සම්පත් පැවසීය.

“ඒක ඇත්ත. යහපාලන ආණ්ඩුව ඇවිත් ගෙවුණ අවුරුදු තුනට දකුණේ පාතාලයේ ශීඝ්‍ර වර්ධනයක් වුණා. දැන් හැමතැනම මිනීමරුම්. දකුණේ මිනිසුන්නට නිදහසේ ජීවත් වෙන්න තිබුණු ඉඩත් යහපාලන ආණ්ඩුව නිසා නැති වුණා” රමේෂ් පැවසීය. “පාතාලය මර්දනය කරන්න බැරි වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවේ ඉන්න ලොකු ලොක්කෝ සේරම පාතාලයට යටින් උදව් කරන නිසයි. මේ ආණ්ඩුවේ ඉන්න ඇමැතිවරුන්ගේ හොඳම යාලුවෝ ටික තමයි ඔය පාතාලයේ රජවෙලා ඉන්නේ. ඒ හින්දා පොලිසියටත් වෙලා තියෙන්නේ සද්ද නැතුව ඉන්නයි”මහින්ද පැහැදිලි කළේය.

“සර්ගේ කතාව හරි. පොල් ගෙඩියක් ඇහිලුවත් ජීප් එකෙන් ඇවිත් ගහලා බැනලා රිමාන්ඞ් කරවන පොලිසිය පාතාලයෝ ඉස්සරහා පුදුම විදියට නිශ්ශබ්දයි. පාතාලේ අයත් දන්නවා පොලිසියෙන් කිසිම කරදයක් නැහැ කියලා. ඒ හින්දා හිතුමනාපෙට මිනිස්සුන්ට වෙඩි තියනවා” මොහාන් පැවසීය. එදින සවස තංගල්ල බලා පිටත්ව ගිය මහින්ද ගම් ප්‍රදේශයේ පැවැති උත්සව කිහිපයකට සහභාගි වී කොළඹ බලා ආවේ කැලණියේ සංවිධාන කර තිබුණු ඉෆ්තාර් උත්සවයකට සහභාගි වීම සඳහාය. එහෙත් හදිසි අසනීප තත්ත්වයක් නිසා මහින්දට එයට සහභාගි වීමට නොලැබුණි. මහින්ද දුරකතනයෙන් උත්සවයට සහභාගී වූවන්ට සුබපැතුවේය. බැසිල්ට ද උත්සවයට සහභාගී වන්නට නොලැබුණේ කොන්දේ අමාරුවක් නිසාය.

අඟහරුවාදා සවස පහට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේ දී පැවැත්වුණේ මහින්දගේ ප්‍රධානත්වයෙනි. ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා හැර සෙසු අය මෙම සාකච්ඡාවට සම්බන්ධ වී සිට ඇති අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද මෙම අවස්ථාවට සම්බන්ධ වී සිට ඇත. සාකච්ඡාව ආරම්භයේදීම හිටපු ජනාධිපතිවරයා මන්ත්‍රී කණ්ඩායමේ අවධානය යොමු කර ඇත්තේ ඉකුත්දා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක තේරීමේදී ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පිළිබඳවය. “අපේ සමහර අය මම දෙන උපදෙස් පිළිපදින්නේ නැතුව කොහොමද අපි වැඩ කරන්නෙ. ජනතාව අපි වටා එකතුවෙන කොට අපි පෞද්ගලික දේවල් මුල්කර ගෙන ප්‍රශ්න ඇති කරනවා. ආණ්ඩුවට විරුද්ධ හැමෝම ඒකාබද්ධ විපක්ෂයට එකතු වෙලා අපේ ප්‍රතිපත්ති පිළිගන්නෙ නෑ. අපිට තියෙන්නෙ ආණ්ඩුවට විරුද්ධ හැමෝම සමග එකතුවෙලා ආණ්ඩුව පෙරළන්නයි. එහෙම කරන්න බැරි අය ඉන්නවා නම් ඒක අපි කලින් දැන ගන්න ඕනේ.” යැයිද රාජපක්ෂ මහතා මෙහිදී දැඩි ස්වරයකින් ප්‍රකාශ කර ඇත.

මෙහිදී විශේෂයෙන්ම සාකච්ඡාවට ලක් වූයේ නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම, සුදර්ශනීගේ පරාජය සහ ඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙනි. “මේ දවස්වල ඒකාබද්ධ විපක්ෂයේ බෙදීමක් ගැන මතවාදයක් වපුරන්නට උත්සාහ ගනිමින් සිටිනවා. ඒකාබද්ධ විපක්ෂය කියන්නේ පක්ෂ කිහිපයක එකතුවෙන් හැදුණ දෙයක්. ඒ පක්ෂ අතර විවිධ මතවාද තියෙනවා. ඒ මතවාද කලින් ප්‍රකාශයට පත් වුණාම තමයි ඒකාබද්ධය බෙදිලා කියලා ආණ්ඩුව දේශපාලන වාසියක් ගන්න හදන්නේ. ඒ නිසා අපි කවුරුත් අපේ මතවාද ප්‍රකාශ කරනකොට ප්‍රවේසම් වෙන්න ඕනේ. මොන මතවාද තිබුණත් අපි හැමදාම තීන්දු ගත්තේ හැමදෙනාම එකතු වෙලා සාකච්ඡා කරලයි. ඒ නිසා අපි මේ කාරණය ගැන මීට වඩා කල්පනාකාරී විය යුතුයි” මහින්ද පැහැදිලි කළේය.
“ආණ්ඩුවෙන් එළියට බැස්ස 16 දෙනාගේ කණ්ඩායම විවිධ මත ප්‍රකාශ කරමින් යනවා. සමහරු කියනවා මහින්ද මහත්තයට උදව් කරනවා කියලා. තවත් සමහරු කියනවා පොහොට්ටුවේ ඡන්ද ටිකත් අරන් මෛත්‍රී ගාවට යනවයි කියලා. අපි අවුරුදු ගාණක් දුක්විඳලා හදාගත්තු මේ බලවේගය විනාශ වෙන්න දෙන්න බැහැ. අපි ඒ අය එනවට විරුද්ධ නැහැ. හැබැයි එනවා නම් සියලු දෙනාම එක මතයක් ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම අපිත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. විපක්ෂයට එනවා කියලා ඇවිත් මෛත්‍රී එක්ක දේශපාලනයක් කරන්න උත්සාහ ගන්නවා නම් අපිට ඒකට ඉඩ තියන්න බැහැ.“

අවසානයේ නියෝජ්‍ය කථානායක තේරීමේ අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන කනගාටු වෙමින් ඉදිරියේදී රට පුරා පැවැත්වෙන රාජ්‍ය විරෝධී දැවැන්ත උද්ඝෝෂණයට ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ල.නි.ප 16 දෙනාද එක්කර ගෙන සහයෝගයෙන් කටයුතු කිරීමට ගිවිසගෙන ඇත.

Rate this item
(3 votes)
Last modified on Friday, 15 June 2018 17:27