May 21, 2024

විද්‍යාත්මක ඇමැති මණ්ඩලේ අවුල්: හින්දු කටයුතු මුස්ලිම් ඇමැතිට - ක්‍රිස්තියානි කටයුතු බෞද්ධාගමික ඇමැතිවරයෙකුට

නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කාදර් මස්තාන් මහතා පත් කිරීම පිළිබඳ ආණ්ඩුවේ ප්‍රබලයින් මෙන්ම දෙමල ජාතික සන්ධානයද ආණ්ඩුවට සිය විරෝධය පළ කර තිබේ.

එජාප මූලස්ථානයේ ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවකදී බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සුරේෂ් වඩිවේල් මහතා පැවසූවේ හින්දු ආගමික කටයුතු ඇමැතිධූරයට මුස්ලිම් නියෝජ්‍ය ඇමැතිවරයකු පත් කිරීම ප්‍රශ්න සහගත බවයි.

එහිදී මන්ත්‍රිවරයා සඳහන් කළේ "විශ්වවිද්‍යාලයක මුදල් අවභාවිතාව පිළිබඳව චෝදනා ලත් අයකු එජාප ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රිවරයකු ලෙස පත් කිරීම ප්‍රශ්නයක්. ඔහුට එරෙහිව පරීක්ෂණ පැවැත්වෙන බවත් දැනගන්නට ලැබුණා. පුද්ගලයා මම දැකලාවත් නැහැ. එවැනි අයකුට මන්ත්‍රි ධුරයක් දෙන විට නායකයන් හොඳින් සොයා බැලිය යුතුයි.“

“ඒවගේම හින්දු මන්ත්‍රිවරුන් සිටියදී හින්දු ආගමික නියෝජ්‍ය ඇමැති ලෙස මුස්ලිම් මන්ත්‍රිවරයකු පත්කිරීම එතුමාටත් ප්‍රශ්නයක්. එතුමාට නියෝජ්‍ය ඇමැති ධුරයක් පිරිනැමීම වෙනම දෙයක්. නමුත් මෙවැනි කරුණු හේතුවෙන් නැති ප්‍රශ්න ඇති වෙනවා. ඒ ගැන සොයා බලා කටයුතු කිරීම නායකයන්ගේ වගකීමක්" යැයිද මන්ත්‍රිවරයා පැවසී ය.

මේ අතර දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ උතුරු සංවර්ධන නැවත පදිංචිකිරීම් හා හින්දු කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කාදර් මස්තාන් මහතා පත්කිරීම හින්දු ජාතියට නිගා කිරීමේ ක්‍රියාවක් බවයි.

හින්දු සිද්ධස්ථානයකට පය තබා නැති හින්දු ධර්මය පිළිබද අල්ප මාත්‍ර දැනුමක් හෝ නොමැති අයෙකු හට හින්දු කටයුතු නියෝජ්‍ය අමාත්‍යධූරය පිරිනැමීම කිසිසේත් අනුමත කළ නොහැකි බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

මෙතුලින් රජයේ වගකීම් විරහිත බව ඉස්මතු වන බවත් රජය සිටින්නේ කොතනද යන්න රජය හෝ නොදැනීම විමතියට කරුණක් බවද සිද්ධාර්ථන් මහතා ප්‍රකාශ කළේය.

මෙම පත්කිරීමත් සමඟ දෙමළ ජාතික සන්ධානය මෙන්ම දෙමළ දේශපාලන ධාරාව තුළත් දෙමළ ජනතාව තුළත් රජය කෙරෙහි විවේචනාත්මක සංවාදයක් පවතින බවත් හින්දු කටයුතු විෂය හින්දු භක්තික අමාත්‍යවරයෙකු වෙත පිරිනමන ලෙස ඉල්ලන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මේ අතර සංචාරක, සංවර්ධන හා කි‍්‍රස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරනු ලබන එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී බෞද්ධාගමිකයකු වන රංජිත් අලුවිහාරේ මහතා පත්කර සිටීමද විශේෂත්වයක් වේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 13 June 2018 18:59