May 21, 2024

කරළියෙන් එහා: ඒකාබද්ධයේ අර්බුදය ඔඩුදුවයි! ගෝඨා එනවාට බැසිල්ගෙන් විරෝධයක් - 2020 ජනපති අපේක්ෂක බැසිල්

පසුගිය සතියේ දේශපාලන කරළිය උණුසුම් වීමට කාරණා කිහිපයක් බලපෑ තිබිණි. සෝභිත හිමියන්ගේ ගුණ සමරුවේදී ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශයෙන් පසු TNL රූපවාහිනී ආයතනයට අයත් ‍පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානයට විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ (TRC) නිලධාරින් විසින් සීල් තැබීමේ සිද්ධියත්, පාර්ලිමේන්තුවට නියෝජ්‍ය කතානායකවරයකු තෝරා ගැනීමත් හේතුවෙනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම යෝජනා කළ මන්ත්‍රීවරයාට නියෝජ්‍ය කතානායක ධුරය හිමිවනු ඇතැයි බොහෝ දෙනකුගේ විශ්වාසය විය. නියෝජ්‍ය කතානායක ධුරය පෙර පරිදිම ශ්‍රීලනිපයට ලබාදීමට අගමැති රනිල් වික්‍රමසිංහ මුලදී එකඟතාව පළකර තිබිණි. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටද කරුණු දන්වා තිබිණි. නමුත් අවසානයේ එක්සත් ජාතික පක්ෂය යෝජනා කළ මන්ත්‍රීවරයාට නියෝජ්‍ය කතානායක ධූරය හිමිවිය.

ජනතා විමුක්ති පෙරමුණේ විසි වැනි සංශෝධනය සම්බන්ධයෙන් ද තවමත් පක්ෂ - විපක්ෂ විවිධ මත පළ කරමින් තිබේ. ඒකාබද්ධ විපක්ෂය ද තවමත් විස්ස ගැන ස්ථිර මතයක් පළකර නැත. හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිසක් “අපි විස්සට විරුද්ධයි” යැයි ප්‍රකාශ කර තිබුණද විසි වැනි සංශෝධනය හරහා අපේක්ෂා කරන විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධය තුළ මත දෙකක් නිර්මාණය වී ඇතැයි ද පැවසේ.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය 06වැනිදා පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයේදී රැස්විය. මෙහිදී විශේෂ අවධානයක් යොමු වූයේ 20වැනි සංශෝධනය සම්බන්ධයෙනි. ”අපි විස්ස ගේන්නත් කලින් සමහරු මේක ගැන බොරු බිල්ලෝ හැදුවා. රට බෙදනවා කිවුවා. බටහිර කුමන්ත‍්‍රණයක් කිවුවා. විස්ස එළියට දැම්මට පස්සේ දැන් ඒ පිරිසට කියාගන්න දෙයක් නැහැ. විස්ස ගේන්න කලින් සඟ සමුළු තියපු නායක හාමුදුරුවන් වහන්සේලා විස්සේ කරුණු ගැන තවම මොකුත් ප‍්‍රකාශයක් නිකුත් කරලා නැහැ.” විජිත හේරත් කියා සිටියේය. ”විස්ස එළියට දාලා නැති තත්වයක් ඇතුලේ බංකොලොත් කණ්ඩායම්වලට ඕනෑම බිල්ලෙන් හදන්න පුළුවන්. නමුත් විස්ස එළියට දැම්මාම ඒකේ කරුණු එක්ක තමයි විවාදයක් තියෙන්නේ. ඒ අයගෙ කිසිදු තර්කයක් සාධාරණීකරණය කරන්න විස්සෙන් මොකුත් හොයාගන්න බැරිවෙලා ඉන්නේ. දැන් වෙන වෙන සම්පප‍්‍රළාප කියවනවා. වාගාලංකාර කියවනවා.” අනුර දිසානායක කියා සිටියේය. ”මුලින්ම කිවුවා රට බෙදන්න තමයි මේ සංශෝධනය ගේන්නේ කියලා. නමුත් අපි 13වෙනි සංශෝධනයට අදාළ ජනපති බලතල කිසිවකට අත තියලා නැහැ. අපි ඒ අයට අභියෝග කරනවා පුළුවන්නම් විස්සේ තියෙන කරුණුවලින් රට බෙදෙන්නේ කොහොමද කියලා ඔප්පු කරන්න කියලා. ඊට පස්සේ කිවුවා මේක අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණයක් කියලා. දේශපාලනය නොදන්නකම එකෙන්ම තේරෙනවා. අධිරාජ්‍යවාදීන්ට ඕනෑ රටේ තනි පුද්ගලයෙක් අතේ බලය තියෙන එක. මොකද තනි පුද්ගලයෙක් නම්මගන්න එක තමයි අධිරාජ්‍යවාදීන්ට පහසු. ඒ අනුව අධිරාජ්‍යවාදී බලවේග විස්සට විරුද්ධ වෙන්න ඕනෑ. මේ කණ්ඩායම් කොයිතරම් කලබල වෙලාද කියනවනම් හැමදේම පටලවාගෙන ඉන්නේ.” ටිල්වින් සිල්වා කියා සිටියේය.

”ඇත්ත ප‍්‍රශ්නේ මේ අයගේ දේශපාලන ප්‍රොජෙක්ට් එක අවුල්වීමයි. ඒකාබද්ධ විපක්ෂයේ ඇතුලේ කචල්. ඒකමතියක් නැහැ. කොටසක් ගෝඨාභය පස්සේ යනවා. තව කණ්ඩායමක් බැසිල් බස්සේ. ගෝඨාභය පස්සේ යන අය තමයි විස්සට විරුද්ධව කෑගහන්නේ.” බිමල් රත්නායක කියා සිටියේය. ”ඒකාබද්දේත් දැන් බෙදීම් ගොඩයි. එක මතයක් නැහැ. කොටසක් බැසිල්ගෙ නියෝග පිළිපදිනවා. කොටසක් ගෝඨාභයගෙ නියෝග. තව කණ්ඩායමක් මහින්දගෙ නියෝග. ඒ නිසා විස්ස ගැන විරෝධය ඇත්තක් නෙවෙයි. නි. කතානායක තෝරන ඡුන්දෙ වෙලාවෙදි බෙදීම තහවුරු වුණා.” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය. ”ඔව්, සුදර්ශනීගේ නම යෝජනා කළේ ඒකාබද්දේ ලොක්කා දිනේෂ්. ඒත් ඡන්දෙ දෙන වෙලාවේ ගොඩක් අය ‘අපි මොකටද එයාට ඡන්දේ දෙන්නේ’ කියලා සභාවෙන් එළියට ගියා. බැසිල්ගෙන් පණිවිඩයක් ආවා කියලා තමයි පස්සේ අපිට ආරංචි වුණේ. දිනේෂ් ලොකු අවුලෙන් හිටියේ. අගමැතිකම ගන්න හිටපු අයට නි.කතානායක පත්කරගන්න බැරිවුණා අන්තිමේදී. ඒ නිසා එයාලගේ විස්සට තියෙන විරෝධය ගැන අපි කලබල විය යුතු නැහැ” විජිත හේරත් කියා සිටියේය. ”කොහොම නමුත් අපි විස්ස ගැන දේශපාලන පක්ෂ එක්ක අදහස් හුවමාරු කරගන්න ඕනෑ. මොකද ගොඩක් අය මේක ගැන අපි කියපු අදහස්වලට වඩා විරුද්ධ කණ්ඩායම් හදපු වැරදි මතවල තමයි ඉන්නේ. ඒ නිසා පක්ෂ නායකයින් එක්ක විස්සේ කරුණු ගැන පැහැදිලි සාකච්ඡුාවක් කරන්න ඕනෑ. අපේ යෝජනාවලට සාධනීය වෙනස්කම් යෝජනා කරනවා නම් අපි ඒවා සලකා බලන්න ඕනෑ. මේක රටේ ව්‍යවස්ථාවට කරන සංශෝධනයක්. ඒ නිසා හැම දෙනාටම මේකේ අඩුපාඩු පෙන්වන්න හොඳ යෝජනා එකතු කරන්න අවස්ථාව තියෙනවා.” ටිල්වින් සිල්වා කියා සිටියේය.

විස්ස ගැන ඒකාබද්දේ මත දෙකක්

ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන ලද විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේ වන විට ඒකාබද්ධ විපක්ෂය සිය විරෝධය පළකරන බව ප‍්‍රකාශ කොට ඇත. නමුත් එහි ප‍්‍රබලයෙක් වන කුමාර වෙල්ගම මහතාගේ මතය වී තිබෙන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවත් 20හි තිබෙන ඇතැම් කරුණු සංශෝධනය විය යුතු බවත්ය. වාසුදේව නානායක්කාර මාධ්‍ය වෙත පවසා තිබුණේ ‘ජවිපෙ ගෙනෙන විස්සට අපි විරුද්ධයි. නමුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක් යටතේ නැවත විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන යෝජනාවක් ගෙනඒමට අපි බලාපොරොත්තු වෙනවා’ යනුවෙනි.

කෙසේ වෙතත් පසුගිය පාර්ලිමේන්තු සතියේදී මේ සම්බන්ධයෙන් අපූරු සිදුවීමක් වාර්තා වේ. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමක් පසුගිය පස්වෙනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. එහිදී කුමාර වෙල්ගම මන්ත‍්‍රීවරයා යෝජනාවක් සිදුකර තිබේ. ”විස්ස ගැන අපේ මන්ත‍්‍රීවරුන්ට හොඳ අවබෝධයක් නැහැ. විස්සේ කරුණු හරියටම දන්නේ නැතුව විවිධ අසත්‍ය කරුණු කියන්න ගිහින් අපි හෑල්ලූ වෙනවා. ඒක නිසා විස්ස ගැන අපේ මන්ත‍්‍රීවරුන්ට පැහැදිලි කරන්න අනුර දිසානායක ගෙන්වන්න ඕනෑ.” වෙල්ගම කියා සිටියේය. ”ඒක හොඳයි. මොකද විස්ස හදපු අයම ඒ ගැන පැහැදිලි කරන එක හොඳයි.” තවත් මන්ත‍්‍රීවරයෙක් අනුමත කළේය. මෙහිදී කලබලයට පත්වූ 20ට මුල සිටම විරෝධය දක්වන සියලූ දේවල් කුමන්ත‍්‍රණ ලෙස දකින මන්ත‍්‍රීවරයෙකු කියා සිටියේ ”අනුර දිසානායක මොකටද අපිට පැහැදිලි කිරීම් කරන්නේ. විස්ස ගැන මම පැහැදිලි කරන්නම්” කියාය. ”මොකෙක් පැහැදිලි කරත් මට කමක් නැහැ. හැබැයි මම අහන හැම ප‍්‍රශ්නයකටම උත්තර දෙන්න ඕනෑ” වෙල්ගම මන්ත‍්‍රීවරයා මදක් කෝපයෙන් කියා සිටියේය.

සිංගප්පූරු ගිවිසුම පිළිබඳ කරුණු සෙවීමට හඳුන්නෙත්ති

වර්තමාන ආණ්ඩුව සිංගප්පූරුව සමඟ අත්සන් කළ ගිවිසුමක් සම්බන්ධයෙන් මේ වනවිට ආන්දෝලනයක් මතුව තිබේ. මේ සම්බන්ධයෙන්ද ජවිපෙ නායකයින්ගේ අවධානය යොමු වූ අතර මෙම ගිවිසුමට එරෙහිව කි‍්‍රයාමාර්ග ගැනීමට කරුණු සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහට වගකීම පවරාදී තිබේ. ”පහුගිය ආණ්ඩු වගේම මේ ආණ්ඩුවත් රටවල් එක්ක ගිවිසුම් අත්සන් කරන්නේ පාර්ලිමේන්තුව වත් දැනුවත් කරන්නේ නැතුව. ආණ්ඩුවක් කුමන හෝ රාජතාන්ත‍්‍රික ගිවිසුමක් අත්සන් කරනකොට පාර්ලිමේන්තුව දැනුවත් කිරීම තමයි සම්ප‍්‍රදාය. රටට වාසි ගිවිසුමක් නම් පාර්ලිමේන්තුවට, රටට හොරෙන් අත්සන් කරන්න වුවමනාවක් නැහැ” බිමල් රත්නායක කියා සිටියේය. ”අපේ රටේ ගිවිසුම් අත්සන් කරන්නේ ඇමතිට ලැබෙන කොමිස් එක අනුවයි. රටට වාසියක් වෙන්න ගිවිසුම් අත්සන් කරලා නැහැ මේ ආණ්ඩු කවදාවත්. ඇමතිගෙ කොමිස් එක තමයි කතා කරගන්නේ. එහෙම නැතුව රටට ලැබෙන වාසි ගැන කේවල් කිරීමක් නැහැ.” හඳුන්නෙත්ති කියා සිටියේය. ”කොහොම නමුත් අපි මේ ගැන කරුණු හොයලා බලන්න ඕනෑ. රටට අහිතකර ගිවිසුම් අත්සන් කරන්න ආණ්ඩුවට ඉඩ දෙන්න බැහැ. ඒ වගේම ඒකට එරෙහිව ගත හැකි ක‍්‍රියාමාර්ග ගැන අපි හොයාලා බලන්න ඕනෑ” විජිත හේරත් කියා සිටියේය.

නියෝජ්‍ය කතානායක ධුරය එජාපයට ගන්න රහස් මෙහෙයුමක්

ශ්‍රීලනිපයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්ට පමණක් ඇමැති හෝ නියෝජ්‍ය ඇමැතිධුරයක් හිමිව නැති නිසා ජනාධිපතිවරයා පවා එකඟතාව පළ කර තිබුණේ ඔහුට නියෝජ්‍ය කතානායක ධුරය ලබාදීමට. ඒ අනුව එජාපයද මුලදී ඊට එකඟ වී සිටියේය. එහෙත් දෙමළ ජාතික සන්ධානය ආරංචියෙන් කලබලයට පත්වූයේය. දෙමළ ජාතික සන්ධානයේ නායකයන් හා අංගජන් අතර දේශපාලන වෛරයකටත් වැඩි නොහොඳ නෝක්කාඩුවක් තිබුණේය. ආර්. සම්පන්දන් ඇතුළු පිරිස ශ්‍රීලනිපයට දන්වා තිබුණේ අංගජන්ට එම ධුරය ලබා නොදිය යුතු බවය. එසේ කරන්නේ නම් ශ්‍රීලනිපය නියෝජනය කරන වෙනත් මන්ත්‍රීවරයකුට ඡන්දය ලබාදීමට දෙමළ ජාතික සන්ධානය කැමැත්ත දුන්නේය. අංගජන්ගේ නම යෝජනා කිරීම අත්හැර ආණ්ඩුවෙන් ඉවත්ව ගිය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගේ නම යෝජනා වූයේ ඒ නිසාය. දෙමළ ජාතික සන්ධානයේ නායක සම්පන්දන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට ඡන්දය ලබාදෙන බවය. එහෙත් නියෝජ්‍ය කතානායක ධුරය සඳහා ඡන්දය විමසන අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු උපක්‍රමශීලීව මග හැරියෝය. ඔවුහු සභා ගැබේ නොසිටියහ. ඒ වනවිටත් කළ හැකි කිසිවක් නොතිබූ බැවින් ශ්‍රීලනිපයට පරාජය බාර ගන්නට සිදුවිය.

සුදර්ශනීට රාජපක්ෂවරුන් කැමති නැද්ද?

මේ අතර නියෝජ්‍ය කතානායක ධුරය එජාපයට හිමිකර ගැනීම සඳහා රහස් මෙහෙයුමක්ද දියත් කර තිබිණි. එහි මහ මොළකරු වූයේ ඇමැති ගයන්ත කරුණාතිලකය. නියෝජ්‍ය කතානායක තෝරාගත් ඉකුත් අඟහරුවාදා එජාප මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට ගෙන්වා ගැනීමට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ගයන්ත කටයුතු කර තිබිණි. විදේශ ගතව සිටි සහ අසනීපව සිටි මන්ත්‍රීවරුන් කිහිපදෙනකු පමණක් පැමිණ සිටියේ නැත. ඡන්දය විමසන අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් සහ චමල් සභා ගර්භයේ සිටියේ නැත. වාර්තා වන පරිදි නාමල් ඒ දිනවල සිටියේ විදේශගතවය. පර්ලිමේන්තු මහ ලේකම්වරයා ඡන්දය සඳහා නම් අඬගසන විට ඔවුන් සභා ගර්භයේ නොසිටි හෙයින් ඇමැති සජිත් ප්‍රේමදාස විහිළුවක් කළේය. සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ විපක්ෂය දෙසට අත දිගුකර ‘මොකද සුදර්ශනීට රාජපක්ෂවරුන් කැමති නැද්ද’යි විමසීය. සජිත් එසේ ප්‍රකාශ කරද්දී එජාප මන්ත්‍රීවරු සිනාසෙන්නට වූහ. මේ අතර නියෝජ්‍ය කතානායකවරයා තෝරා ගැනීම සඳහා පැවැති රහස් ඡන්ද විමසීමේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙද්දී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කෑකෝ ගසන්නට වූහ. ‘කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අගමැතිවරයා අනිවාර්යෙන්ම සුදර්ශනීට ඡන්දය දේවි’ යැයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කෑකෝ ගසද්දී අගමැතිවරයා කිසිත් නොකියාම සිනාසී ඡන්දය ප්‍රකාශ කළේය.

එලෙස ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවෙන් නියෝජ්‍ය කතානායකරයා ලෙස මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතා තෝරා ගත්හ. යහපාලන රජයේ එකඟතාවට අනුව නියෝජ්‍ය කතානායක ධුරය ශ්‍රීලනිපයට අයත් වුවද පවතින හා පැවැති දේශපාලන පෙරළියට අනුව එම ධුරයද එජාපයටම හිමිවිය.

ඒකාබද්ධයේ අර්බුද රැසක්

ඒකාබද්ධ විපක්ෂයේ ගිනි යට අළු මෙන් පැවැති අර්බුදය නියෝජ්‍ය කතානායක තනතුරට පත් කිරීමත් සමගම තවත් ඔඩුදුව ගොස් තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා පැවැති රැස්වීමකදී ඒකාබද්ධ විපක්ෂයේ බහුතර අදහස වී තිබුණේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට ඡන්දය ලබා නොදිය යුතු බවය. “මේ අය ආණ්ඩුවත් එක්ක හිටියා. ආණ්ඩුවේ වරප්‍රසාද ලබා ගත්තා. බැරිම අවස්ථාවේ ඉදිරි දේශපාලන වාසිය බලලා ආණ්ඩුවෙන් ඉවත් වුණා. අපි මොකටද මේ අය දිනවන්නේ” යැයි ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඇතැම් පිරිස් ප්‍රකාශ කර තිබිණි. එහෙත් ඒකාබද්ධය තුළ ප්‍රබල භූමිකාවක් නිරූපණය කරන විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා දිනේෂ් ගුණවර්ධනගේ අදහස්වී ඇත්තේ දහසයේ කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂයට එකතු කරගෙන ආණ්ඩුවට එරෙහි සටන ශක්තිමත් කළ යුතු බවය. ඊට බහුතර එකඟතාවයක් නොමැති හෙයින් සුදර්ශනීට ඡන්දය ලබා නොදීමේ යෝජනාවට එකඟවීමට ඒකාබද්ධයේ ප්‍රබලයන්ට සිදුවූහ. ඒ නිසා දිනේෂ්, විමල් හා උදය ගම්මන්පිල ඇතුළු පාර්ශ්වයන් හා රාජපක්ෂ හිතවාදීන් අතර මතවාදී ගැටුම තව තවත් දුරදිග ගොස් තිබේ. ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයකු මෑතකදී සඳහන් කර තිබුණේ “ආණ්ඩුවට එරෙහිව අපි සටන් කරන්න නම් අපි එකමුතුවෙලා ඉන්න ඕනේ. අපිත් කෑලි කෑලිවලට බෙදිලා මේ සටන ගෙනයන්න පුළුවන්ද මම හිතන්නේ මේක දුරදිග යන්න දෙන්න හොඳ නැහැ” යැයි කියාය. කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මතුපිටින් නොපෙනෙන අර්බුද රැසක් ඒකාබද්ධය තුළ ගොඩගැසී ඇති බවයි.

බැසිල් රාජපක්ෂ මෑතකදී ප්‍රකාශ කර තිබුණේ ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම අවාසි සහගත බවය. ඔහු නොකියා කියා තිබුණේ දෙමළ මුස්ලිම් ඡන්ද ගෝඨාභයට නොලැබෙන බවය. එම නිසා ගෝඨාභයට වඩා ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට තමන් සුදුසු බව ද ඔහුගේ ප්‍රකාශ තුළින් හඟවා ඇතැයි ද වාර්තාවේ. මේ අතර මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ අදහස වී ඇත්තේ වඩාත් හොඳ අපේක්ෂකයා පිළිබඳ තීන්දුව ගැනීම පසුවට තැබීමටය.

ඩග්ලස්ගේ ඇමැති ධුරයට දෙමල සන්ධානය හරස් වෙයි

ඊ.පී.ඩී.පී. පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්ද රජයට එක්කර ගනිමින් ඔහුට ප්‍රබල කැබිනට් ඇමැති ධුරයක් ලබාදීමට අග්‍රාමාත්‍යවරයාත් ජනාධිපතිවරයාත් කිහිප අවස්ථාවකම උත්සාහ කර තිබිණ. එහෙත් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ එම උත්සාහයත් ව්‍යාර්ථ කිරීමට දෙමළ ජාතික සන්ධානයට හැකි වී ඇතැයි ද පැවසේ. දෙමළ ජාතික සන්ධානය අග්‍රාමාත්‍යවරයාට සහ ජනාධිපතිවරයාට දැනුම්දී ඇත්තේ ඩග්ලස් දේවානන්දට ඇමති ධුරයක් ලබාදීමට තම පක්ෂය ඉතාම තදින් විරෝධය දක්වන බවය. ඒ අනුව මේ දක්වාම ඩග්ලස් දේවානන්දට ඇමැති ධුරයක් ලැබී නැත්තේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් හා සුමන්තිරන්ගේ බලපෑම මත යැයි ද දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.

Rate this item
(0 votes)