May 21, 2024

ඔසීට කරපු දේ මෛත්‍රීටත් කරන්න යයි - 2020ට වැඩි කැමැත්ත චමල්ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් තත්ත්වය මත ඉදිරි ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂ කිරීමට දුමින්ද දිසානායක වැන්නවුන් උත්සහ දරන්නේ ඔහු ජනාධිපති කිරීමට නොව ජනාධිපති අපේක්ෂකයෙක් පමණක් කිරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අවධාරණය කළේය.

ඉදිරි ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක වන්නේ නම්, ඔහු ජයග්‍රහණය කිරීම සඳහා සියලුදෙනා එක්විය යුතු බවත් නැතිනම් ඔසී අබේගුණසේකරට මෙන් ජනාධිපති අපේක්ෂකයෙක් පමණක් විය හැකි බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ජනපතිවරයාව ඉදිරි ජනපතිවරණයේදී යළිත් ජනපති කරවීමට කිසිදු අවශ්‍යතාවක්‌ ඔවුන්ට නැති බව ඒ මහතා කරන කියන දේවලින් හොඳින්ම රටට පැහැදිලි බව ද ඩිලාන් පෙරේරා මහතා පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ‍ලේකම් ධුරය වෙනස් විය යුතු බව ආණ්ඩුවෙන් ඉවත් වූ දහසයදෙනා ඇතුළු දැනට ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමකගේද අදහස වූ බැවින් එය සියලුදෙනාට අවශ්‍ය වූ දේ සිදු වුණ බව සඳහන් කළ ඒ මහතා එහිදී පයින් පහර ගසන විට උඩට යන ලෙස දුමින්ද දිසානායකට පහර වැදුණු බවත් දින 45න් පසු ස්ථිර නිලධාරී මණ්ඩලය තේරීමේදී පහළට වැටෙන ලෙස එම පයින් පහර වැදෙනු ඇතැයි ද කියා සිටියේය.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා රාජපක්ෂවරු කිහිපදෙනකුගේ නම් යෝජනා වී ඇති බැවින් ඒ සඳහා සුදුසුම පුද්ගලයා චමල් රාජපක්ෂ මහතා බව තමාගේද මතය වන්නේ යැයි සඳහන් කළ ඩිලාන් පෙරේරා මහතා සියලු ජාතීන් හා ආගම්වල ප්‍රසාදය චමල් රාජපක්ෂ මහතාට තිබෙන බවද වැඩිදුරටත් පැවසී ය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසූවේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ජාතික ආණ්‌ඩුවේ තවදුරටත් රැඳී සිටීම ගැන කිසිදු සාකච්ඡාවක්‌ පවත්වා නැති බවයි.

ජාතික ආණ්‌ඩුවේ තවදුරටත් සිටීම පිළිබඳව පක්‌ෂයේ කාට හෝ මැති ඇමැතිවරයකුට ගනුදෙනුවක්‌ ඇත්නම් එය එජාපයට ගොස්‌ සිදුකරගත හැකි බවද සඳහන් කළ ඒ මහතා පුද්ගලික අදහස්‌ නිලතලවල සිටිමින් ඉටු කර නොගන්නා ලෙසද කිසිදු තැනක මෙවැනි සාකච්ඡාවක්‌ සිදුවී නොමැති බවද කියා සිටියේය.

Rate this item
(0 votes)
Last modified on Monday, 11 June 2018 09:26