May 21, 2024

මහින්ද ශ්‍රීලනිපය හැර යයි! මෛත්‍රීගේ තනතුරු එපා කියා මහින්ද ස්ථීරවම “පොහොට්ටුව“ අතට ගනී

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උපදේශකවරයෙකු ලෙස තමන් පත් කර ඇත්තේ තමන්ද නොදැනුවත්ව බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

"අපි දන්නෙත් නැතිව අපිව තනතුරුවලට පත්කරලා. මේ කරන්නේ මොනවද කියලා මටත් හිතාගන්න බැහැ" යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ධුරයට පත්කර තිබීම සම්බන්ධයෙන් අද ජාතික පුවත්පතක් සමග කළ සංවාදයකදී අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් යන පක්ෂ දෙකම තමන්ව බලාපොරොත්තු වන තත්ත්වයක් තුළ තමන්ගේ අවසාන තෝරා ගැනීම වන්නේ කුමක්දැයි එම පුවත්පත සමඟ සිදු කළ සංවාදයේදී හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා ඇති අතර ඊට පිළිතුරු දෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ "මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරෙයි. ඒත් ඒ පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමඟ හවුල්ව සිටින තාක් මට බෑ ඒකට හවුල් වෙන්න. ඒ අය යූ.එන්.පී. එකත් එක්ක එකතු වුණු නිසයි අපි එළියට බැස්සේ. “පොහොට්ටුව" අපි හදපු පක්ෂය. අද රටේ වැඩිම බලයක් තියෙන පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයට එරෙහි ශක්තිමත්ම පක්ෂයත් ඒකයි. එහෙම තැනකට පොහොට්ටුව ඇවිත් තියෙද්දී අපි මොකටද නිදහස් පක්ෂයට හවුල් වෙන්නේ.“

“ආණ්ඩුවත් එක්ක මඟුල් කන ගමන් එක දවසක් ඒකට බැන්නා කියලා මේ අය වෙනස් වෙන්නේ නැහැ. අනෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනගන්න ඕනෑ, ඒ අයට ඕනෑ වෙලාවට ගන්නයි එපා වෙලාවට විසිකරන්නයි අපි රම්පේ කරපිංචා නෙවෙයි“ යැයි හිටපු ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (03) පෙරවරුවේ කොළඹ, අපේගම පරිශ‍්‍රයේදී රැස්වූ අතර එහිදී ශ්‍රීලනිපයේ ඉදිරි කටයුතු සඳහා නව නිලධාරි මණ්ඩලය තෝරාපත් කර ගෙන තිබිණි.

ඒ අනුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජනාධිපතිවරු සහ අගමැතිවරු පක්ෂයේ උපදේශක මණ්ඩලය ලෙස මෙහිදී තෝරාපත්කර ගනු ලැබූ අතර ඒ අනුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු අග‍්‍රාමාත්‍ය දී.මු ජයරත්න යන මහත්ම මහත්මීන් පක්ෂයේ උපදේශක මණ්ඩලය ලෙස පත්කර ගැනිණි.

මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට කටයුතු කරන සියලුම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු මධ්‍යම කාරක සභාව සඳහා තෝරාපත් කර ගෙන තිබිණි. ඒ අනුව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාද මධ්‍යම කාරක සභාව නියෝජනය කරයි.

ඊට අමතරව පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මධ්‍යම කාරක සභාවට පත්කළ යුතු අනෙකුත් පත්වීම් ඉදිරියේදී සිදුකිරීමට නියමිතය.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 12 June 2018 13:59