May 21, 2024

ශ්‍රීලනිපයට දින 45ක් කල්දෙයි - අනුශාසක ධූරය දුන් මහින්දව මෛත්‍රී මන්ත්‍රීවරුන්ගේ තැනට පත් කරයි

දින 45ක්‌ ඇතුළත ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සියලු ප්‍රතිසංවිධාන වැඩකටයුතු අවසන් කරන බවත් ඒ සඳහා තාවකාලික නිලධාරි මණ්‌ඩලයක්‌ පත්කරගත් බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ ඊයේ (03) පැවැති ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව හා සමස්‌ත ලංකා කාරක සභාව අවසානයේ මාධ්‍ය හමුවේ ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

“පක්‍ෂයේ සමස්‌ත ලංකා කාරක සභාව, විධායක සභාව රැස්‌වුණා. පක්‍ෂයේ ප්‍රතිසංවිධාන වැඩ සිදු කරන්න තාවකාලික නිලධාරි මණ්‌ඩලයක්‌ පත් කර ගත්තා. තාවකාලික නිලධාරි මණ්‌ඩලය දවස්‌ 45 ක්‌, වැඩිම වුණොත් මාස එකහමාරක්‌ පමණයි. එම කාලය තුළ ප්‍රතිසංවිධාන වැඩ අවසන් කරනවා. දුමින්ද දිසානායක හිටපු මහලේකම්තුමා නිලධාරි මණ්‌ඩලය විසුරුවා හැරීමේ ප්‍රකාශය හා ඉල්ලා අස්‌වීමේ යෝජනාව ඉදිරිපත් කළා. මේ සමගම මම එය ස්‌ථීර කළා.

අලුත් ලේකම්වරයා ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතාව අපි පත්කර ගත්තා. මේ තාවකාලික නිලධාරි මණ්‌ඩලය පත් කර ගත්තේ කිසිම බෙදීමක්‌ නැතිව අපි හැමෝම එකතුවෙලා ඒකමතිකවයි. ඊට දුමින්ද දිසානායක ඇමැතිතුමන්ලා වගේම එස්‌. බී. දිසානායක ඇමැතිතුමන්ලා සියලු දෙනා සහාය දැක්‌වූවා.“ යැයිද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසී ය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ කොළඹ අපේගම පරිශ‍්‍රයේදී රැස්විය.

පක්ෂයේ ඉදිරි කටයුතු සඳහා නව නිලධාරි මණ්ඩලය තෝරාපත් කර ගැනීම ද මෙහිදී සිදු කෙරිණි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජනාධිපතිවරු සහ අගමැතිවරු පක්ෂයේ උපදේශක මණ්ඩලය ලෙස මෙහිදී තෝරාපත්කර ගනු ලැබූ අතර ඒ අනුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු අග‍්‍රාමාත්‍ය දී.මු ජයරත්න යන මහත්ම මහත්මීන් පක්ෂයේ උපදේශක මණ්ඩලය ලෙස පත්කර ගැනිණි.

පක්ෂයේ සභාපතිවරයා ලෙස නැවතත් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා තෝරාපත් කර ගන්නා ලදී. පක්ෂයේ මහලේකම්වරයා ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කටයුතු කරනු ඇත. පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස අමාත්‍ය දුමින්ද දිසානායක මහතාත්, භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්තී‍්‍ර හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතාත් පත් කර ගැනිණි.

මහින්දත් මධ්‍යම කාරක සභාවට

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ඩබ්.ඩී. ජේ. සෙනෙවිරත්න, අනුර පි‍්‍රයදර්ශන යාපා, සුසිල් පේ‍්‍රමජයන්ත යන මහත්වරුන් ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් ලෙස පත් කර ගෙන තිබේ.

මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපතිවරු ලෙස ඒ.එච්.එම්. ෆවුසි, සරත් අමුණුගම, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, රෙජිනෝල්ඞ් කුරේ, පියසේන ගමගේ, විජිත් විජයමුණි ද සොයිසා, මහින්ද සමරසිංහ, ඩිලාන් පෙරේරා, දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, පාර්ලිමේන්තු මන්තී‍්‍ර අංගජන් රාමනාදන් යන මහත්වරුන් පත් කර ගැනිණි.

නව උපලේකම්වරු ලෙස අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසානයක, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය, ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක සහ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, හිටපු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, සුමේධා ජී. ජයසේන යන මහත්ම මහත්මීන් පත් කර ගැනිණි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට කටයුතු කරන සියලුම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු මධ්‍යම කාරක සභාව සඳහා තෝරාපත් කර ගැනිණි. ඒ අනුව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාද මධ්‍යම කාරක සභාව නියෝජනය කරයි.

ඊට අමතරව පක්ෂයේ සභාපති විසින් මධ්‍යම කාරක සභාවට පත්කළ යුතු අනෙකුත් පත්වීම් ඉදිරියේදී සිදුකිරීමට නියමිතය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව ස්ථාපිත කළයුතු සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය නියෝජනය කරන සංවිධායකවරු, වෘත්තිකයින්, කලාකරුවන් ඇතුළු ජාතික වැදගත්කමක් ඇති විවිධ සංවිධාන හා ඊට අනුබද්ධිත සංවිධාන ඉදිරියේදී පත්කර ගැනීමට නියමිතව තිබේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 05 June 2018 11:37